Main Logo

Sunday 19 November 2017

ගිංතොට සිද්ධි ඇති වන්නේ ඇයි?

 ගිංතොට සිද්ධි ඇති වන්නේ ඇයි?

ගිංතොට සිද්ධ වුණේ මොකක් ද කියන එක ජනමාධ්‍යයෙන් කියන්නේ නැහැ. එක්තරා වෙබ් අඩවියකට අනුව මෙය බයිසිකලයක යම් අයකු හැප්පීම නිසා හටගත්තක්. අවාසනාවකට මෙන් හැප්පීමට අමතර ව ඒ සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ එක ම ජාතියකට හෝ එක ම ජනවර්ගයකට අයත් දෙදෙනකු නො වෙයි. ප්‍රශ්නය තාවකාලික ව සමනයකට පත් වී ඇතත් දින දෙකකින් නැවත ඇවිළී ගිහින්.

මේ සිද්ධිය දැන් සමනය වී ඇති බව පොලීසිය හා ආණ්ඩුව කියනවා. ඒක එහෙම නම් හොඳයි. ලංකාවේ වියුක්ත ප්‍රවාද නිර්මාණයක් නැති නිසා මේ සිද්ධිය ගැන විවිධ සංයුක්ත ප්‍රවාද (තියරි) නිර්මාණය වෙනවා. මා කියන්නේ සිද්ධියේ ආරම්භය හා පැතිර යෑම ගැන. අද ඇතැමුන් දක්වන අදහසක් වී ඇත්තේ ආණ්ඩුව හෝ ආණ්ඩුවේ යම් පාර්ශ්වයක් හෝ මැතිවරණ කල් දැමීමට, බැඳුම්කරය අමතක කරවීමට සිද්ධිය ඇති කළ බව. ඒ නම් පිළිගැනීමට තරමක් අපහසුයි. ඒ කෙසේ වෙතත් මේ සිද්ධිය නිසා අනෙක් කරුණු මග හැරීමට ඉඩක් නොතැබීමට වග බලා ගත යුතුයි. එහෙත් ඒ කරන්නට වන්නේත් දේශපාලනඥයන්ට!

අද මැතිවරණ කල් දමා ගැනීමට මූලික ව අවශ්‍ය වී ඇත්තේ මෛත්‍රිපාල කණ්ඩායමට. ඔවුන්ට තුන්වැනි හතරවැනි තැන්වලට ඒම වැළැක්වීම සඳහා ගිවිසුම් සංධාන අවශ්‍ය වෙනවා. මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් ද කළ දුටු කල වළ ඉහ ගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් තම මන්ත්‍රීධුර අපේක්‍ෂක සංඛ්‍යාව හා අවසානයේ මන්ත්‍රීධුර සංඛ්‍යාව වැඩි කර ගැනීමට මෛත්‍රිපාල සමග එකතු වීමට කටයුතු කරනවා. විමල් හා ගම්මන්පිල ඒ අතර ප්‍රධානයි. ඔවුන් සියල්ලන් ම යෙදෙන්නේ මැතිවරණ දේශපාලනයෙහි මිස ජාතික දේශපාලනයක නො වෙයි. අප එදා චම්පකට විරුද්ධ වූයේත් මැතිවරණ දේශපාලනය සඳහා ඔහු ජාතිකත්වය දඩමීමා කර ගත් නිසා.

එ ජා පක්‍ෂයට අවශ්‍ය නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට. ඔවුනුත් සූදානම් නැහැ ව්‍යවස්ථාව සම්මත කර ගන්නා තෙක් මැතිවරණයක් පැවැත්වීමට. මැතිවරණ පරාජයක් ව්‍යවස්ථාවට බලපාන බව ඔවුන් දන්නවා. රනිල් හෙට බැඳුම්කර කොමිසමට යනවා. ඔහුගෙන් ප්‍රශ්න අසන්නේ නීතිපති කියා කියනවා. මෛත්‍රිපාල රනිල් ඉවත් නොකිරීමේ ප්‍රතිඵල හෙටින් පසු බලා ගන්න පුළුවන් වේවි.  ඒ මොනවා වුණත් ගිංතොට සිද්ධිය මැතිවරණ කල් දැමීමට යොදා ගන්න ඉඩ තියෙන්නෙ එ ජා පක්‍ෂයට. මා එයින් කියන්නේ ඒ සිද්ධිය පිටුපස එ ජා ප සිටින බව නො වෙයි. ඕනෑම සිද්ධියක් දේශපාලනඥයන් තම අවශ්‍යතා සඳහා යොදා ගන්න ඉඩ තියෙනවා. 

ගිංතොට සිද්ධිය සමනය කිරීමට ආධාර කළ යුතුයි. ඒ ගැන වාදයක් නැහැ. එහෙත් අප අමතක නොකළ යුතු කරුණක් තියෙනවා. මෙවැනි සිද්ධී අතීතයේ සිදු වුණා. අනාගතයේ දී ද සිදු වේවි. ඒ වළක්වා ගන්නේ කෙසේ ද? මොන සංහිඳියාවක් ගැන කතා කළත් මෙරට ජනවර්ග සිංහල ජාතියට විරුද්ධයි. එයට ප්‍රධාන හේතුව ලෝකයේ කොහේවත් නැති බහුසංස්කෘතික බහබූතයක් බටහිරයන් හා ඔවුන්ගේ අන්තේවාසික සිවල් සාමාජිකයන් හා ඊනියා රාජ්‍ය නොවන පඬියන් ජනවර්ගවලට මෙන් ම සිංහලයන් අතරට ද කාන්දු කර තිබීමයි. මේ තමයි බටහිර දැනුම. ඔවුන්ගේ දැනුම් ආධිපත්‍යය. මෙයට විරුද්ධව මෙරට සිංහල බෞද්ධ දැනුමක් තියෙනවා. එයට ජනමාධ්‍ය මගින් අවශ්‍ය ප්‍රචාරය දෙන්නේ නැහැ.

ජනමාධ්‍යයට ද දේශපාලනයක් තියෙනවා. එය ඩී ආර් විජේවර්ධනගේ සිට දිලිත් ජයවීර හා ටිරාන් අලස් දක්වා දිවෙනවා. ඕනෑම ජනමාධ්‍යයක අයිතිකරුවන් ගැන සොයා බලන්න. ඔවුන්ගේ දේශපාලනය හා මතවාද ජනමාධ්‍යයෙන් ප්‍රකාශ වෙනවා. අද මෛත්‍රිපාල කණ්ඩායම හා ඒකාබද්ධ විපක්‍ෂය මැතිවරණය සඳහා (රනිල් ඉවත් කිරීම වැඩිම වුවහොත් එහි අතුරු ඵලයක් පමණයි) එකතු කෙරෙන්නේ ප්‍රධාන ජනමාධ්‍ය දෙකක් මගින්. මැතිවරණ දේශපාලනයෙන් වැඩියෙන් ම බැට කන්නේ සිංහලයන්. මා මේ ලියන දේ ගැන ජනමාධ්‍ය කලබල වන්නේ නැති බව මා දන්නවා. මේ ලිපි පළ වීමෙන් පසුවත් කියවන්නේ දෙසියයක් පමණ පිරිසක්.

ඒ කුමක් වුවත් ගිංතොට ප්‍රශ්නය පිටුපස අවසාන වශයෙන් ඇත්තේ දෙමළ හා මුස්ලිම් ජනවාර්ගිකයන් විශෙෂයෙන් ම ඔවුන්ගේ දේශපාලනඥයන් බටහිර වුවමනාව මත මෙරට සිංහලයන්ට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය නොපිළිගැනීම. ඊනියා බහු සංස්කෘතික බහුබූතයකට මුවා වී ඔවුන් මෙරට සියලු සංස්කෘතීන් සමාන ලෙස සලකනවා. අප පැහැදිලි ව කියා සිටිනවා කිසිම රටක අඩු තරමෙන් කෘත්‍රීම රටවල් වූ සිංගප්පූරුවේ හා ස්විට්සර්ලන්තයේ සියලු සංස්කෘතීන් සමාන වන්නේ නැහැ. සිංගප්පූරුවේ විශේෂිත සංස්කෘතිය සිංගප්පූරු චීන සංස්කෘතිය. ස්විට්සර්ලන්තයේ විශේෂිත සංස්කෘතිය ක්‍රිස්තියානි සංස්කෘතියක්. අප රටේත් තවමත් විශේෂිත සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි. මෙරට නීති පද්ධතිය රෝම ලන්දේසි. ඒ නීති පද්ධතියෙහි බුදුහාමුදුරුවන්ගේ රූප පච්ච කොටා ගන්නා සුදු ගැහැණුන්ට ඊනියා මානව අයිතිවාසිකම් තියෙනවා. දැනුම සංස්කෘතියට සාපේක්‍ෂ බව හා බහුසංස්කෘතික බහුබූතය හා තවත් බොහෝ දේ ගැන අපට අපේ ම වූ දැනුමක් තියෙනවා. එහෙත් ක්‍රිස්තියානි සංස්කෘතියේ ජනමාධ්‍ය හා අධ්‍යාපන ආයතන ඒවාට ඉඩක් දෙන්නේ නැහැ.

ගිංතොට සිද්ධිය වැනි සිද්ධි නැවත ඇති නොවීමට නම් ඊනියා සංහිඳියාව කෙසේ වෙතත් මෙරට දිගු කාලීන සාමයක් ඇති වීමට නම් දෙමළ මුස්ලිම් ජනවර්ග සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂත්වය පිළිගත යුතුයි. දේශපාලනඥයන් හා පඬියන් එයට ඉඩ නොදෙනතාක්  ගිංතොට වැනි සිද්ධි ගැන ඔවුන් වග කිව යුතුයි.

________________________

වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-11-19