Main Logo

Tuesday 21 November 2017

මැතිවරණ දේශපාලනය හා බැඳුම්කර මගඩිය

මැතිවරණ දේශපාලනය හා බැඳුම්කර මගඩිය

බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගය අවසන්. එහි වාර්තාව තව සති තුනකින් පමණ නිකුත් වේය කියා හිතනවා. කොමිසමට කළ හැක්කේ නිර්දේශ කිරීම පමණයි. වරදකරුවන් කවුදැයි නිගමනය කිරීම කොමිසමේ කාර්යයක් නො වෙයි. රනිල් කොමිසමට ලිඛිත ව මෙන් ම වාචික ව ද කරුණු දක්වා සිටියා. ඔහු තමන් කරන්නේ කුමක් ද යන්න දන්නා එකම දේශපාලනඥයා. ඔහු මහජන මතයට ගරු කරන්නේ නැහැ. එහෙත් සමහර විට මහජන මතය ඉදිරියේ අඩියක් පස්සට ගන්නවා. ඒ අඩි දෙකක් ඉදිරියට තැබීමේ බලාපොරොත්තුවෙන්.

බැඳුම්කර කොමිසම පත් කිරීම පිළිබඳ ව මෛත්‍රිපාල දැන් මොනවා හිතනව ද දන්නේ නැහැ. සමහරවිට ඔහු සතුටු වෙනවාත් ඇති. හේතුව කොමිසම තීරණය නොකළත් බැඳුම්කරයට වරදකරුවා මහින්ද විය හැකි බැවින්. රනිල් කියන විධියට බැඳුම්කර ප්‍රතිපත්ති වෙනස් කිරීමට, බැඳුම්කර වෙන්දේසි කිරීමට හේතු වෙලා තියෙන්නෙ මහින්ද ගත් ණය ගෙවීමට. මහින්ද ණය ගත්තෙ නැත්නම් බැඳුම්කර ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නැහැ. එතකොට අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු අධිපති ලෙස පත් කිරීම. ඔහු විදේශිකයෙක්. විදේශිකයකු පත් කරන්න බැහැ කියලා නීතියක් නැහැ. රනිල්ගෙන් ඇහුව නම් නීතිය කියා දේවි.

ඒත් මෛත්‍රිපාල දැන් ගැටයක් ගහන්න ඕන. ඒ බැඳුම්කරය ගැන නො වෙයි. පළාත් පාලන ආයතන  මැතිවරණය ගැන. මෛත්‍රිපාලට දැන් රනිල් ඉවත් කරන්න බැහැ. බැඳුම්කර කතා අස්සෙ ඔහුට ඒ සඳහා අවස්ථාවක් තිබුණා. ඔහු එය යොදා ගත්තෙ නැහැ. ඔහුට ඒ සඳහා ශක්තියක් තිබුණෙ නැහැ. ඔහු ශක්තිමත් අයකු නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයත් ඔහුට රනිල් ඉවත් කිරීමට සහාය දුන්නෙ නැහැ. දැන් දෙන්නෙත් නැහැ. මේ සියල්ලන් ම කටයුතු කරන්නෙ මැතිවරණ බලාගෙන. රට ජාතිය ආගම ගැන සලකමින් නො වෙයි. විමල් ඌව පළාත් සභා මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කය වෙන ම තරග කළ බව ඊනියා දේශකයන්ට අමතක ඇති. එහෙත් අපට අමතක නැහැ.

අප්පච්චි මළෝ කියලා තිබුණ පළාත් පාලන මැතිවරණ තරග කරන්නෙ මහින්ද එක්ක කියලා. අප්පච්චි මැරිලා ඉපදිලා ද? නැත්නම් මැරුණෙ නැත් ද? සිහි නැතිවීමක් මරණය ලෙස දැක්ක ද? මෛත්‍රිපාල තනියම තරග කළොත් ඇතැම් ප්‍රාදේශීය සභාවල තුන්වැනි තැනවත් නැහැ. ඒ නිසා කා සමග හරි ගිවිසුමක් අවශ්‍ය වෙනවා. ඒ රනිල් සමග ද, මහින්ද සමග ද? කා සමග වුවත් මෛත්‍රිපාලට සංධානයක් අවශ්‍යයයි. එහෙත් මෛත්‍රිපාල මෙරට දේශපාලනයේ ජරාජීර්ණ ම පාවාදීම කළ පුද්ගලයා. මා හිතන්නේ නැහැ රනිල්ට ඔහු ගැන විශ්වාසයක් තියෙනවා කියලා. එහෙත් මැතිවරණ දේශපාලනයේ දී ඕනෑම දෙයක් සිදු විය හැකියි.

ඒකාබද්ධ විපක්‍ෂයෙ කිසිම කණ්ඩායමක් මෛත්‍රිපාල කල්ලිය සමග මැතිවරණ සඳහා එකතු වීම අවසානයේ දී මහින්දට අවාසි වේවි. එවැනි එකතුවක් සිදු වුණොත් ඒකාබද්ධ විපක්‍ෂයට හිතවත් ඇතැමුන් ඡන්දය දීමෙන් වළකීවි. එහි වාසිය රනිල්ට මිසක් මහින්දට නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂය මෛත්‍රිපාල සමග එකතු විය යුතුව තිබුණේ රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමටයි. එහෙත් එය කෙරුණේ නැහැ. ඊයේ සිට රනිල් නැවතත් බලවත්.

පාර්ලිමේන්තු වරප්‍රසාද ගැනත් යමක් කියන්න ඕන. කෝප් කමිටුවේ සාමාජිකයන් කිහිප දෙනකු අර්ජුන් ඇලෝෂියස් සමග දුරකතනයෙන් සම්බන්ධ වෙලා. ඒ ගැන හෙළිදරවු වෙලා. එය ප්‍රසිද්ධ කිරීම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් නො වෙයි. පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ඇත්තේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සම්බන්ධයෙන්. එහි කරන කතා, පාර්ලිමේන්තුවට යෑම ඒම ආදිය පිළිබඳ මන්ත්‍රීවරුන්ට නිදහසක් තියෙනවා. මෙය එංගලන්ත පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් ගත් එකක්. ඒ රජුට මන්ත්‍රිවරුන්ට බලපෑම් නොකිරීම සඳහා නිර්මාණය කරගත් සම්ප්‍රදායක්. මේ අනුකාරකයන්ගේ පාරාදීසයේ තවමත් කවුරුන්වත් පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධයෙන් අර්ස්කින් මේ උපුටා නොදැක්වීම පුදුමයට කරුණක්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඕනෑම වරදක් කිරීමට වරප්‍රසාද යටතේ අයිතියක් නැහැ. ඔවුන් සිරභාරයට ගැනීම ගැනත් මන්ත්‍රීවරුන් හිතන ආකාරයේ නිදහසක් නැහැ. අද අපරාධ නඩු සම්බන්ධයෙන් පමණක් නොවෙයි සිවිල් නඩු සම්බන්ධයෙනුත් මන්ත්‍රීවරුන් සිරභාරයට ගත හැකියි. පාර්ලිමේන්තුවේ කතා කිරීමට ඇති නිදහස (එහිත් යම් යම් සීමාවන් තියෙනවා) යනු ඕනෑම වරදක් කිරීමට ඇති නිදහසක් නො වෙයි.

බැඳුම්කර මගඩියෙන් රනිල් නිදහස් වුවත් එ ජා ප කෝප් මන්ත්‍රීවරුන් අර්ජුන් ඇලෝෂියස් සමග සම්බන්ධකම් පැවැත්වීම වරදක්. වරප්‍රසාද පනතට මුවා වී එයින් නිිදහස් වෙන්න බැහැ. එහෙත් දැන් රනිල් බලවත්. ඔහු තවමත් අගමැති. ඇලෝෂියස් ඇමතුම්වලට කිසිවක් වන එකක් නැහැ. සමහර විට ඒ පළ කළ ජනමාධ්‍ය වැරදිකරුවන් වන්න පුළුවන්.

අද මෛත්‍රිපාල ඉවත් කරන්න පසුබිමක් තියෙනවා. මේ මොහොතේ මෛත්‍රිපාල කල්ලියට මහින්ද ඕන. ඒ සංධානය ඇති කරගන්න බැරි වුණොත් මෛත්‍රිපාල නැවතත් චන්ද්‍රිකා හා රනිල් සමග එකතු වේවි. මැතිවරණ දේශපාලනයේ බැඳුම්කර මගඩිය එක් ජවනිකාවක් පමණයි.   

_____________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-11-21