Main Logo

Sunday 5 November 2017

බටහිර වෛද්‍ය හා දෙමළ වෙල්ලාල ඒකාධිකාර  

බටහිර වෛද්‍ය හා දෙමළ වෙල්ලාල ඒකාධිකාර

මාධ්‍ය වාර්තාවලට අනුව මෛත්‍රිපාල සිරිසේන පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන්ට කියල තියෙනවා දේශපාලනඥයන් ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් තම පැවැත්ම සඳහා යොදා ගත්තත් එහි යම්කිසි දෙයක් ඇති බවත් දෙමළ ජනයාට යම් දෙයක් දිය යුතු බවත්. බොහෝ දේශපාලනඥයන් බොරු ප්‍රබුද්ධයන් වෙන්න ඕන වුණාමත් ඔය වගේ කතා කියනවා. සමහරු නොදන්න කමට කියනවා. තවත් සමහරු ඉන්දියාවෙ නැත්නම් බටහිර වුවමනාවට ඒ දේ කියනවා. සමහරු අප රැවටීමට කියනවා. මෛත්‍රිපාල  මේ මොකක් නිසා අර ප්‍රකාශය කළා ද දන්නෙ නැහැ. ඒකට කමක් නැහැ.


මේ කතාව සහ සයිටම් නිදහස් අධ්‍යාපනය එක්ක සම්බන්ධයක් තියෙනවා. අර පෙරටුගාමි නාම්බන් යටිගිරියෙන් නිදහස් අධ්‍යාපනයක් ගැන කියවනවා. වෛද්‍ය සිසුන්ගේ දෙමව්පිය සංගමයේ සභාපතිත් මාරාන්තික උපවාසයක් ගැන කියවනවා. ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙක්, කොමසාරිස් කෙනෙක්. ඔහුට නිදහස් අධ්‍යාපනය තියෙන්නෙ බටහිර වෛද්‍ය අධ්‍යාපනයෙ පමණයි. අද මේ රටේ විවිධ උපාධිවලට සිසුන්ට උගන්වන ලාභ උපදවන ආයතන කොපමණ තියෙනවා ද? ඒ ආයතන පවත්වගෙන යන්නෙ හුදෙක් සිසුන්ට දැනුම ලබා දීමට නම් නො වෙයි. මේ ආයතනවල  මුදල් අයකරනවාට පෙරටුගාමි නාම්බන් හා ජ වි පෙ වයෝවෘද්ධ තප්පු ලන්නන් විරුද්ධ නැද්ද?

අද බටහිර වෛද්‍ය වෘත්තියෙහි ඇත්තේ ඒකාධිකාරය පිළිබඳ ප්‍රශ්නයක්. උසස් පෙළ ලකුණු ටිකක් වැඩි පුර ගත් පමණින් ඒකාධිකාරයක් පවත්වා ගෙන යන්න බැහැ. කාලෝ ෆොන්සේකා පසුගිය දා ඉතා පැහැදිලිව කියා තිබුණා ආණ්ඩුවේ රැකියා රජයේ වෛද්‍ය පීඨවලින් පිටවෙන උපාධිධාරීන්ට හිමි විය යුතු බව. පිටරටින් වෛද්‍ය උපාධි ලබාගෙන පැමිණෙන්නන්ට රජයේ රැකියා දීමේ දී හිමිවන්නේ දෙවැනි තැන. මේ ප්‍රශ්නය අප කලින් ම දුටුවා. අප යෝජනා කෙළේ පොදු විභාගයක් පවත්වා රැකියා දීමේ දී රජයේ වෛද්‍ය විද්‍යාලවලට පළමු තැනත් මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල උපාධිධාරීන්ට දෙවැනි තැනත් පිටරට වෛද්‍ය උපාධිධාරීන්ට තුන්වැනි තැනත් දිය හැකි බව.

බටහිර වෛද්‍ය විද්‍යාවේ ඇති ඒකාධිකාරිය බිඳීම එතරම් පහසු නැහැ. වෛද්‍ය සභාව ඇත්තේ වෛද්‍යවරුන්ගේ පමණක් නොව හෙදියන්ගේ හා තවත් අයගේත් කටයුතු කළමනාකරණය කිරීමට බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උදවිය දන්නේ නැහැ. තම උපාධිය හා දන්ත වෛද්‍ය උපාධිය හැරෙන්න වෙනත් වෛද්‍ය ක්‍ෂෙත්‍රවල උපාධි පාඨමාලා අවුරුදු තුනකට වඩා පවත්වාගෙන යෑමට වෛද්‍ය සංගමය කැමති නැහැ.  බටහිර වෛද්‍යවරුන්ගේ දරුණු ඒකාධිකාරය වසා ගැනීමට ඔවුන් නිදහස් අධ්‍යාපනය යන්න යොදා ගන්නවා.

දෙමළ දේශපාලනඥයන් දෙමළ ජනයාට සිදු වී ඇති අසාධාරණය යන්න යොදා ගන්නේත් බටහිර වෛද්‍යවරු තම ඒකාධිකාරිය රැක ගැනීම සඳහා නිදහස් අධ්‍යාපනය යොදා ගන්නා ආකාරයට. සයිටම් ආයතනයෙන් නිදහස් අධ්‍යාපනයට පහරක් වදින්නේ නම් එයට කලින් වෙනත් ආයතනවලින් පහර වැදිය යුතුයි. නිදහස් අධ්‍යාපනය කියන්නේ මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගත හැකි අයට ඒ අවස්ථා නැති කිරීම නො වෙයි. මෛත්‍රිපාල කිනම් හේතුවක් නිසා හිතන් හිටියත් දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණයක් නැහැ. ඔවුන්ට දීමට දේකුත් නැහැ.

උගත් පාඩම් කොමිසමට මා සාක්කි දුන් පසු දෙමළ ජනයාට අසාධාරණයක් වී නැති බව කොමිසම පිළිගත් නමුත් එක් කොමසාරිස්වරයකු කීවේ ඒත් දෙමළ ජනයාට අප යම්කිසි දෙයක් දිය යුතු බවයි. දෙමළ ජනයාට දිය යුතු කිසිවක් නැහැ. ඒකීය රාජ්‍යයක විධායක, ව්‍යවස්ථාදායක අධිකරණ බලතල අබමල් රේණුවකින්වත් විමධ්‍යගත කරන්න බැහැ. ඩලස් මහින්දානන්ද වැන්නන් දයාන් චන්ද්‍රප්‍රේම දෙරණේ දිලිත් වැන්නන් සමග එකතු වී විමධ්‍යගත කරන්න යන්නේ කිනම් බලයක් ද? මේ අය අද ගෝඨභය ඉදිරියෙන් දමා තම බෙදුම්වාදී දේශපාලනය ඉදිරියට ගෙන යෑමට උත්සාහ කරනවා. පැකේජ්වාදී ඩලස්ට පුළුවන් ද ඒකීය රාජ්‍යයක් යනු කුමක් දැයි බටහිර දේශපාලනඥයකුගේ කියුමක් මත නොරඳා යම් අදහසක් ප්‍රකාශ කිරීමට.

අද දෙමළ වෙල්ලායන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒ අර බටහිර වෛද්‍ය ඒකාධිකාරය වගේ ප්‍රශ්නයක්. 1650න් පසු මෙරටට ආනයනය කරනු ලැබූ මේ වෙල්ලාලයන්ට, විශේෂයෙන් ම කුමාරස්වාමි පොන්නම්බලම් පවුලට අවශ්‍ය වූයේ ඉංගිරිසින්ගේ අනුබලයෙන් අනුග්‍රහයෙන් හා ආධාරයෙන් මෙරට ප්‍රධානීන් වීමට. එහෙත් 1931 සර්වජන ඡන්දය දීමෙන් පසු ඔවුන්ට ඒ ඒකාධිකරය රැක ගැනීම වඩා බරපතළ ප්‍රශ්නයක් වුණා. ඉන් පෙර සිටමත් ඒ ඒකාධිකාරය රැක ගැනීමට ඔවුන් විවිධ දේ කළා.ඔවුන්ගේ ප්‍රශ්නය මුළු ලංකාවට ම ඉංගිරිසින්ගෙන් පසු ප්‍රධානීන් බවට පත් වීමට තිබූ වුවමනාව.

එය කරන්න බැරි බව ඔවුන් දන්නවා. ඔවුන් දැන් අඩුම තරමින් උතුරු හා නැගෙනහිර පළාත්වල තම ඒකාධිකාරයක් ගොඩ නැගීමට කටයුතු කරනවා. ඒ ඒකාධිකාරයෙන් වෙල්ලාල පවුල් කිහිපයකට මිස දෙමළ ජනයාට වන යහපතක් නැහැ.  ඒ සඳහා බටහිර වෛද්‍යවරුන් තම ඒකාධිකාරය රැක ගැනීමට නිදහස් අධ්‍යාපනය යොදා ගන්නවා මෙන් වෙල්ලාලයන් දෙමළ ජනයාට වූ ඊනියා අසාධාරණයක් ගැන කියවනවා. මෛත්‍රිපාලට පුළුවන් ද සම්බන්ධන්ගෙන් අහන්න මොනව ද ඔය අසාධාරණකම් කියා.

කිසිම ඒකාධිකාරයක් තම අවශ්‍යතාව ඒකාධිකරය ආරක්‍ෂා කිරීම බව කියන්නේ නැහැ. ඔවුන් ඒකාධිකාරය ආරක්‍ෂා කිරීම වෙනුවට ජනතාව ආකර්ෂණය කළ හැකි සටන් පාඨ කියවනවා.   මෛත්‍රිපාලවත් රටවත් මේ සටන් පාඨවලින් නොමග යා යුතු නැහැ.


මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 නොවැම්බර් 05