Main Logo

Monday 27 November 2017

සිංහල බුද්ධාගම

සිංහල බුද්ධාගම

සිංහල බුද්ධාගම අද වේගයෙන් ක්‍රිස්තියානිකරණය වෙනවා. ඒ අද ඊයේ පටන්ගත් දෙයක් නො වෙයි. දහනවවැනි සියවසේ අග අප බටහිර නූතනත්වයට යටවීමේ ප්‍රතිඵලයක්. ඕල්කට් බුද්ධාගම ද එහි එක් අංගයක්. මාක්ස්වාදය බටහිර විද්‍යාව ආදී දැනුම් හා ඒ ආශ්‍රිත තාක්‍ෂණය ලංකාවේ දී සිංහල බුද්ධාගම ක්‍රිස්තියානි කිරීමට දැඩි බලපෑමක් කර තිබෙනවා. බටහිර නූතනත්වය මුළුමනින් ම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත බිහිවූවක්. එහි අධිපතිවාදී සංස්කෘතිය යුදෙව් ක්‍රිස්තියානියේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය. අද වන විට සිංහල බුද්ධාගම ක්‍රිස්තියානිකරණය වීම ඉතා වේගවත් වෙලා.

අද සිංහල බුද්ධාගම ක්‍රිස්තියානි සංස්කෘතියට (මෙහි දී ආගම හා සංස්කෘතිය පටළවා ගන්න එපා) යට කීරීමේ දී අපේ දේ රැක ගැනීම කියන සටන් පාඨය ද යොදා ගැනෙනවා. එය හුදු සටන් පාඨයක් පමණයි. අද ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ටෙලිනාට්‍යය දෙවෙනි ඉනිම බව කියැවෙනවා. මේ නාට්‍යයෙහි දරුවන් දෙමව්පියන් ඉදිරියෙහි හැසිරෙන්නේ, දෙමව්පියන් ගැන කතාකරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියක නො වෙයි. ඒ සඳහා උදාහරණ දීමට මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. එසේ උදාහරණ දීමත් සිංහල බෞද්ධ තරුණ තරුණියන් නොමගට යොමු කරන්න පුළුවන්. එහි නිරූපණය වන පාසල්වල කිසිම බෞද්ධ පරිසරයක් නැහැ. අඩු තරමෙන් බුදුපිළිම වහන්සේ නමක්වත් දකින්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ බුදු පිළිම වහන්සේ නමක් නැති සිංහල මාධ්‍යයෙන් ඉගැන්වෙන පාසල් කීයක් තියෙනවා දඒ කොල්ලන් කෙල්ලන් හා ඔවුන්ගේ දෙමවුපියන් නිකමටවත් පන්සලකට යන්නේ නැහැ. මා අන්තවාදියකු කියා හංවඩු ගසා පැත්තකට විසි කිරීමට ජනමාධ්‍යයට පුළුවන්. එහෙත් මා ජනමාධ්‍ය මත යැපෙන්නේ නැති බැවින් මට එය බලපාන්නේ නැහැ. දෙවැනි ඉනිම සිංහලයන් අතර ජනප්‍රිය ම නාට්‍යය නම් ඉන් සිංහල බුද්ධාගම ක්‍රිස්තියානිකරණය වීම ගැන බොහෝ දේ කියැවෙනවා.

අද සිංහල බෞද්ධ නායකත්වයේ ඉන්නේ කවු ද? මා කතා කරන්නේ දේශපාලනඥයන් ගැන නොවෙයි ඔවුන්ට උපදෙස් දෙන්නන් ගැන. අද සිංහල මතය හසුරුවනු ලබන්නේ ඉංගිරිසි උගත් අය මගින්. ඔවුන් බොහෝ විට ක්‍රිස්තියානි/කතෝලික පවුල්වල උපත ලත් අය/මාක්ස්වාදීන්/ මාක්ස්වාදයෙන් පූර්ණ ලෙස කැඩීමට නොහැකි වූ අය/ බෞද්ධයන් ව සිට ක්‍රිස්තියානි වූ අය ආදී ලෙස වර්ග කරන්න පුළුවන්.

මේ ලිපිය ලිවීමට නිමිත්ත සැපයුවේ කතෝලික පවුලක උපත ලත් රෙජිනෝල්ඩ් කුරේ සිංහල බුද්ධාගමක් නැත කියා තිබීම. ඔහු කලක් මාක්ස්වාදියකුව සිටියා. දැන් කවුරු හරි අහන්න පුළුවන් මා මාක්ස්වාදියකු ව නොසිටියේ ද කියා. මා මාක්ස්වාදයෙන් පමණක් නොව බටහිර විද්‍යාවෙන් ද පූර්ණ ලෙස කැඩී වෙන් වී අවුරුදු තිහකට වැඩියි. මා එයින් අදහස් කරන්නේ බටහිර විද්‍යාව ප්‍රතික්‍ෂෙප කරණ බව නො වෙයි. මා මාක්ස්වාදය නම් මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කරනවා. අද ඊනියා මාක්ස්වාදීන්ට කියුබාව නැත්නම් කියා ගන්න දෙයක් නැහැ. එහෙත් කියුබාව මාක්ස්වාදී නො වෙයි. මා බටහිර විද්‍යාවේ දැනුම් ආධිපත්‍යයට හිස නමන්නේ නැහැ. මා බටහිර දැනුම නොව දැනුම් ආධිපත්‍යය ප්‍රතික්‍ෂෙප කරනවා. සිංහල බුද්ධාගම ක්‍රිස්තියානිකරණය වන්නේ මේ බටහිර දැනුම් ආධිපත්‍යය හමුවේ.

රෙජිනෝල්ඩ් කුරේ කලක් ධර්මසේකර (දැන් පැවිදි)  අනුගමනය කළා. එකල රෙජිනෝල්ඩ් ජාතිකත්වයට නැඹුරු වුණා. එහෙත් පසුව ඔහු චන්ද්‍රිකා අනුගාමිකයකු වුණා. ඔහු කතෝලික සංස්කෘතියෙන් මුළුමනින් ම කැඩී වෙන්වූ බවට සාධක නැහැ. ඔහු බෞද්ධයකු වූ බවටත් සාක්‍ෂි නැහැ. එහෙත් ඔහු සිංහල බුද්ධාගම ගැන සිංහල බෞද්ධයනට කියා දෙනවා. ඔහු කියා ඇති දේ සිංහල බෞද්ධ දේශපාලනඥයන්ට උපදෙස් දෙන ඊනියා විකල්ප සිංහල දකුණක් ගැන කියන කතෝලික පාසලක ඉගෙන ගත් කතෝලික මවකගේ පුතෙකු වූ දයාන් ජයතිලක විද්වත් මතයක් ලෙස හඳුන්වලා. දයාන් දැනටත් මාක්ස්වාදියෙක් යැයි මා සිතනවා. මහින්ද ගෝඨාභය ඩලස් වැන්නන් ඔහු හා චන්ද්‍රප්‍රේම වැන්නන්ගේ උපදෙස් පිළිගන්නවා. චන්ද්‍රප්‍රේම භික්‍ෂූන් වහන්සේ විවේචනය කරමින් කොළපාට සමාජය ලියු තැනැත්තා.

රෙජිනෝල්ඩ් කුරේ බුද්ධාගම කියා සිතන්නේ කුමක් ද? බුදුන්වහන්සේ දෙසූ ධර්මය ද? රෙජිනෝල්ඩ් කුරේ කිසිම සැකයකින් තොරව බුදුන්වහන්සේ දෙසූ ධර්මය මේ යැයි කියා දන්නවා ද? ආගම යනු ධර්මය නො වෙයි. ආගමක් යනු අවසාන වශයෙන් ගත් කල යම් සංස්කෘතියක්.  බුදුන්වහන්සේත් ධර්මයක් දේශනා කළා පමණක් නොව සංස්කෘතියක් ද ඇති කළා. සංඝයා වහන්සේ ඒ සංස්කෘතිය ජනතාව අතර ගෙන ගියා. එහෙත් ඒ සංස්කෘතිය කාලයත් සමග වෙනස් වුණා. සංස්කෘතියේ විවිධ ප්‍රභේද ඇති වුණා. ඒ ප්‍රභේද නැත්නම් සංස්කෘතීන්ට සාපේක්‍ෂව දහමත් වෙනස් වුණා. දැනුම සංස්කෘතියට සාපේක්‍ෂයි.  මහායාන හීනයාන තන්ත්‍රයාන පමණක් නොව ඒ ඒ යාන තුළ විවිධ ප්‍රභේද ද ඇතිවුණා. අද සිංහල බෞද්ධ සංස්කෘතිය හෙවත් සිංහල බුද්ධාගම කියන්නේ මෙකල සිංහලය බෞද්ධයන්ගේ සංස්කෘතියට. බුදුදහම ලංකාවට හඳුන්වාදීම කවදා සිදුවුණත් අද අප අතර ඇත්තේ අශෝක බුද්ධාගමේ විකාශයක්. එය අවුරුදු දෙදහස් හාරසියක පමණ කාලයක වෙනස් වෙලා.

අද බටහිරයානයකුත් තිබෙනවා. බටහිරයානය අවසාන වශයෙන් ගත් කල ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙනවා. බටහිරයානය බුදුදහම විද්‍යාත්මක කරනවා. බටහිරයානයෙහි ඇත්තේ බටහිරයන් පමණක් නො වෙයි. මෙරට ඇතැම් භික්‍ෂූන් වහන්සේ ද ඇතුළු සමහර ගිහි බෞද්ධයන් බටහිරයානිකයන්.

රෙජිනෝල්ඩ් කුරේ පඬි කතා කියන්නේ නැතිව අපට බුදුන්වහන්සේ දෙසූ ධර්මය කියනවා ද? එහෙත් ඔහුට එසේ කිරීමට බැහැ. ඔහුට තබා වල්පොල රාහුල හිමියන්ටවත් එය කිරීමට බැරි වුණා. උන්වහන්සේ බුදුන්වහන්සේ වදාළ ධර්මය යැයි කීවේ බටහිරයන්ට අවශ්‍ය අන්දමට සකස් කළ ධර්මයකට. බුදුන්වහන්සේ දෙසූ ධර්මය ලෙස අප එකිනෙකා පෙන්වන්නේ අපට සාපේක්‍ෂ වූ දැනුම්. රෙජිනෝල්ඩ් කුරේට කළ හැක්කේ තමාට සාපේක්‍ෂ ව බුදුන්වහන්සේ දෙසූ ධර්මය කීම පමණයි. සිංහල බෞද්ධ සංස්කෘතියක දෙපා රුවා නොගත් රෙජිනෝල්ඩ් දයාන් වැන්නන් සිංහල බෞද්ධයනට ඉගැන්වීමට ඉදිරිපත් නොවිය යුතුයි. එහෙත් දේශපාලනඥයන් වැඩියෙන් සලකන්නේ සිංහල බෞද්ධයනට නොවීම රටේ ප්‍රශ්නයක්. ඒ නූතනත්වයේ ප්‍රශ්නයක්.        



___________________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-11-27