Main Logo

Friday 3 November 2017

සුද්දන්ගේ දැනුම් සපත්තු ලෙව කෑම


සුද්දන්ගේ දැනුම් සපත්තු ලෙව කෑම



චන්ද්‍රිකාත් හාමුදුරුවරුන්ට චීවරධාරීන් යැයි කියනවා. තම දෙමව්පියන්ට වඩා ඇංග්ලිකන් ක්‍රිස්තියානි මහමුදලි සීයා ගැන ආඩම්බර වන ඇයගෙන් වෙනත් කියුමක් බලාපොරොත්තුවෙන් සිටි අයකු වේ නම් මේ වන විට තම වරද වටහා ගෙන ඇති. මේ සිංහල බෞද්ධ විරෝධී පැකේජ් නෝනාගෙන් වෙන මොනවා බලාපොරොත්තු වන්න ද? අද ඇයට අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයකටවත් තේරී පත්වන්න බැහැ. ඇගේ පුතා තමා සිංහල බෞද්ධයකු වීම ගැන ලජ්ජා වන්නේ යැයි කී විට ඉන් මෑණියන් කවුදැයි නිරූපනය වන බව ඇයට වැටහීමක් නැහැ.




මියන්මාරයේ අවුන් සාන් සු කීට මහජන මතයට හිස නමන්න සිද්ධ වෙලා. බටහිරයන් ඇයට නොබෙල් තැග්ග දුන් නමුත් මියන්මාර් බෞද්ධ මතය හා එය යම් පමණකට නියෝජනය කරන හමුදාව නොබෙල් තෑග්ග පරයමින් ඉදිරියට ඇවිල්ලා. චන්ද්‍රිකා හිතන්නේ 1994 ඇයට ඡන්දය දුන්නේ ඇගේ සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කළ ජනතාවක් කියායි. එදාත් අප ඇය ගැන දැන සිටි නිසා ඇගේ බලය අඩු කිරීමට කටයුතු කළා. එදා ඇය ජයග්‍රහණය කෙළේ දහහත් අවුරුදු එ ජා ප ශාපය නිසයි.



එහෙත් අද ඇය ඉන්නේ රනිල්ගේ එ ජා ප ශාපය සමග. අද එ ජා ප ශාපයට විරුද්ධ ඡන්දය දෙන්නන් චන්ද්‍රිකාටත් විරුද්ධ වෙනවා. චන්ද්‍රිකාට ආපසු එංගලන්තයට යෑමට සිදුවන දිනය වැඩි ඈතක නො වෙයි. ඇංග්ලිකන් පල්ලියේ පූජකවරුන්ට නම් ලෝගුධාරීන් කියා කිව හැකියි. ඔවුන්ට සාමාන්‍ය ජීවිතයේ ලෝගු නැතිව කලිසම් අඳින්නට පුළුවන්. ඔවුන් පූජක කටයුත්තක දී ලෝගුව ඇඳ ගන්නවා. ඒ අර්ථයෙන් ඔවුන් ලෝගුධාරීන්. උපාධිධාරීන් ද එවැනි ම වූ අර්ථයකින් ලෝගුධාරීන්. ලෝගුව නිල කටයුත්තක දී අඳින ඇඳුමක්. චන්ද්‍රිකාලා වියන්ගොඩලා දැනගත යුතු කරුණ නම් චීවරය බුද්ධ ධජය බවත් එය කරේ දැමූ පසු ගලවන්නේ උපැවිදි වීමක දී බවත්.



වියන්ගොඩ පහුගිය දිනෙක කියා තිබුණා හාමුදුරුවරුන්ට වඩා දන්නා ගිහියන් අද සිටින බවත් අද හාමුදුරුවරුන්ගෙන් ඉගෙනීමට දෙයක් නැති බවත්. වියන්ගොඩ උගෙන ඇත්තේ කුමක් දැයි මා දන්නේ නැහැ. දැන ගන්නට වුවමනාවකුත් නැහැ. ඔහු කුමක් දැන ගත්තත් ඒ බටහිරයන්ගෙන් ලත් දෙයක් විය යුතුයි. බටහිරයන් ආසියාව ගැන කියා ඇති දෙයින් වැඩක් තියෙනවා ද? මාක්ස් අඩු තරමෙන් ආසියාතික නිෂ්පාදන මාතයක් ගැන කිව්වා. එහෙත් ඒ ඔහු අතනින් මෙතනින් අහුලා ගත් දෙයක් පමණයි. මාක්ස්ගේ නාමයෙන් ආසියාවේත් සිදු වී ඇත්තේ මිනී මැරීම පමණයි. 1971 ඊනියා නිර්ධන පංති විප්ලවයට සහභාගි වූ උයන්ගොඩගෙන් වියන්ගොඩට ඒ බව දැන ගත හැකියි.



දැන උගත්කම යනු පොතින් පතින් ලබාගන්නා දෙයක් පමණක් නො වෙයි. එය සංස්කෘතික ව ලැබෙන්නක් ද වෙනවා. මෙරට සිටිනවා යැයි කියන විද්‍යාඥයන්ට ඒ ක්‍ෂෙත්‍රවල යමක් අලුතෙන් එකතු කරන්න බැහැ. බටහිර වචනවලට සීමා වු නවකතා සිනමා විචාරයෙන් මෙරටට සිදු වී ඇති සේවය කුමක් ද? සිංහල කවියට සිදු වී ඇති සේවය කුමක් ද? සිංහල කවිය මරා දමනු ලැබුයේ බටහිර විචාරය හා අනුකරණය නිසා නො වේ ද? මරා  දැමුණු කවිය වෙනුවට ඊනියා ගේහ පද රචනයක් මතු වූ නමුත් අද එයත් මැරී ගොස්. අද ඇත්තේ එක් ස්වාමීන් වහන්සේ නමක් ප්‍රකාශ කළ ආකාරයට පොලිස් පොතේ ලියන පැමිණිළි හා අඳෝනා පමණයි. සිංහල කවිය ඇත්තේ යම් අරුතක් හඬ නගා කීමට මිස සිතින් මැතිරීමට නොවන බව අනුකාරක උගතුන්ට වැටහුණේ නැහැ. අද ඇත්තේ හඬ නගා කියන අරුත් සුන් පැමිණිළි හා අඳෝනා. 



අප හාමුදුරුවරුන්ට මිස මහාචාර්යවරුන්ට ආචාර්ය උපාධිධාරීන්ට වෛද්‍යවරුන්ට ඉංජිනේරුවන්ට විනිසුරුවන්ට පරිපාලක නිලධාරීන්ට ජාතියේ මුරදේවතාවුන් වහන්සේ කියන්නේ නැහැ. ඊනියා විප්ලවවාදීන්ට මරදේවතාවුන් කියලා නම් කියන්න පුළුවන්. අවුරුදු දෙසියයක පමණ ඉංගිරිසි අධ්‍යාපනයෙන් හා අවුරුදු තුන්සියයකට වැඩි බටහිර අධ්‍යාපනයෙන් ලංකාවට වී ඇති සෙත කුමක් ද? අප ජාතියේ ඉතිහාසය සංස්කෘතිය පදනම දන්නේ හාමුදුරුවරුන් මිස ඊනියා උගත් ගිහියන් නො වෙයි. උගත් ගිහියන් බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ඒ සියල්ල විකෘති කරනවා.



ඉංගිිරිසි ආණ්ඩුකාරයන්ට වුවමනා වූයේ ඔවුන් කහකඩ හමුදාව නමින් හැඳින් වූ හාමුදුරුවරුන් නැති කිරීමට. අද චන්ද්‍රිකාලාට හා වියන්ගොඩලාටත් අවශ්‍ය එය. එහෙත් ඔවුන්ටත් එය කරන්න බැහැ. අද සිංහල ජාතියට තර්ජනයක් වූ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමත් සමග මහා සංඝයා වහන්සේ එක් හඬින් නැගී සිටියා. වියන්ගොඩලාට චන්ද්‍රිකාලාට තම කාර්යය කර ගෙන යෑමට හාමුදුරුවරුන් බාධාවක් වුණා. සරත් ෆොන්සේකාටත් හාමුදුරුවරුන් බාධාවක් වෙලා. අද ඔවුන් ද වෙනත් රාජ්‍ය නොවන පඬියන්ද දේශපාලනඥයන් ද හාමුදුරුවරුන්ට අපහාස කිරීමට පෙරට පැමිණ තිබෙනවා. ඒ මේ පඬියන්ගේ හා දේශපාලනඥයන්ගේ යන ගී කීමක් පමණයි.



චන්ද්‍රිකා නොදන්නවාට මෙරට දේශපාලන ඉතිහාසය හැමදාමත් ආගමිකයි. ගැමුණු රජු ගැන ඇය දන්නේ මොනවා ද? එතුමා සටන් කෙළේ බුදු සසුනේ චිරස්තිථිය පිණිස බව ක්‍රිස්තියානි සංස්කෘතියේ චන්ද්‍රිකා දන්නේ කෙසේ ද? අප පරංගින්ට ලන්දේසීන්ට ඉංගිරිසින්ට පමණක් නොච එකල සොළීන්ට ද විරුද්ධව සටන් වැදුණේ බුදු සසුන ආරක්‍ෂා කර ගැනීමට. අද ඉංගිරිසින් ප්‍රමුඛ බටහිරයන්ට ද ඉන්දියාවට ද එරෙහි ව අප සටන් කරන්නේත් බුදුසසුන රැක ගැනීමට.



චන්ද්‍රිිකා සිතන්නේ ඇගේ සංස්කෘතික මව් රට වූ එංගලන්තයේ සුද්දන් සටන් කරන්නේ ඊනියා මානව අයිතිවාසිකම් රැක ගැනීමට කියා ද? ඔවුන්ට අවශ්‍ය ප්‍රෙතෙස්තන්ත සංස්කෘතිය ලොව පුරා තව තවත් තහවුරු කිරීමට. එහි දී ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙනවා. චන්ද්‍රිකාලාට වියන්ගොඩලාට අවශ්‍ය සිංහල බෞද්ධයන් ඒ පහර කමින් සුද්දන්ගේ දැනුම් ආධිපත්‍යයට යට වී සුද්දන්ගේ සපත්තු ලෙව කෑමට.  





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 නොවැම්බර් 03