Main Logo

Thursday 30 November 2017

ඊනියා ස්වාභාවික ආපදා

ඊනියා ස්වාභාවික ආපදා

පළාත් කිහිපයක ම පාසල් පැවැත්වෙන්නෙ නැහැ. ඊයේ රාත්‍රී මහා සුළඟක් හමා ගියා. ලෝකයේ ම කාලගුණය වෙනස් වෙලා. අපේ රටේ විතරක් නොවෙයි. භූමිකම්පා සුළි සුළං ගංවතුර හැම රටක ම පාහේ වාර්තා වෙනවා. මෙරට පාලකයන් ධර්මිෂ්ට නැහැ. එහෙත් කාලගුණ විපර්යාසය ඒ හින්ද ම නොවෙයි. මිනිසුන් ද ධාර්මික නැහැ. ලෝකයේත් එහෙමයි. දළ පූට්ටුවා මරා දැම්මේ කවුද කියා දන්නේ නැහැ. ඒ ඝාතකයන්ට දේශපාලන අනුග්‍රහයක් ආරක්‍ෂාවක් තිබෙන්නත් ඇති. නොතිබෙන්නත් ඇති. එහෙත් දළ පූට්ටුවා මරා දමා වැඩි දිනක් යන්නට පෙර තවත් ඇතකු මරා දමා ඇති බව වාර්තා වෙනවා. ඒ මිනිසුන්ගේ ධාර්මිකබවට නිදසුන්.

එහෙත් එක් ඇතකු මරා දමන විට අප කුකුළන් කී දෙනකු මරා දමනවා ද? අද දානයකටත් චිකන් නැතිව බැහැ. මේ මරා දැමෙන කුකුළන් මැරෙන්නෙ උපේක්‍ෂාවෙන් නො වෙයි. මැරෙන විට ඔවුන් අපට මෛත්‍රී කරනවා ද? ඔය ඊනියා සමීක්‍ෂකයකුට පුළුවන්ද ලංකාවේ දිනකට මරා දැමෙන කුකුළන් හරකුන් සංඛ්‍යාව කියන්න. හරක් මරන හරක් ලංකාවේ හැම පළාතක ම දකින්න පුළුවන්. ප්‍රවෘත්ති ප්‍රචාරයේ දී ඒ ගැන කියනවා. ඒත් එය ප්‍රාදේශීය ප්‍රවෘත්තියක් පමණයි. ජාතික වැදගත්කමක් නැති ප්‍රවෘත්තියක්. ජාතික වැදගත්කමක් ලැබෙන්නේ දේශපාලනඥයන්ගේ වාචාල කතාවලට.

නුවර පෙරහැරේ අලි ඇතුන් ගෙන යෑම ගැන  කම්පාවන සත්වමිත්‍රයන් අලි පූට්ටුවා හා තවත් අලි ඇතුන් මරා දැමීම ගැන කතා කරන්නේ නැහැ. ඔවුන්ට ප්‍රශ්නය වී ඇත්තේ පෙරහැරේ ගෙන යෑමට තරම් අලි ඇතුන් කිහිප දෙනකු තවමත් ඉතිරි වී තිබීම ද? ඒ සතුන් ටිකත් මරා දැම්මොත් පෙරහැරට අලි ඇතුන් නැතිවී සත්වමිත්‍රයන්ගේ අවශ්‍යතාව ඉටුවේවි. මේ සත්වමිත්‍රයන් කුකුළන් හරකුන් මරා දැමීම ගැන කතා කරන්නේ නැහැ. සත්වමිත්‍රයන් මාංශ භක්‍ෂණයෙහි යෙදෙනවා ද කියන්න මා දන්නේ නැහැ.

කාලගුණ වෙනස පිළිබඳ ව බටහිර විද්‍යාඥයන් කියාවි. එයට හේතුත් කියාවි. හරිතාගාර ආචාරණය ආදිය පට්ටා ගසාවි. ඒත් සත්ව ඝාතන ගැන කාමාපරාධ ගැන කිසිවක් කියන එකක් නැහැ. සත්ව ඝාතන හා කාලගුණ වෙනස අතර සම්බන්ධයක් ඔවුන් දකින්නේ නැහැ. ඒගැන සම්පරීක්‍ෂණයක් කරන්න පුළුවන්ද කියා පඬියකු අපෙන් අසාවි. එය ආනුභාවික (එම්පිරිකල්) විද්‍යාව නොවේ යැයි කියාවි. එහෙත් මේ පඬියන්ට බටහිර භෞතික විද්‍යාවේ කියැවෙන වෙනත් විශ්ව, එකොළොස් හා වෑඩි මාන සහිත විශ්ව ආනුභාවික යැයි කියන්න පුළුවන් ද? බටහිර විද්‍යාව පට්ටපල් බොරු පමණක් නොව බටහිර විද්‍යාඥයන් කුහකයන් ද වෙනවා. මා කතා කරන්නේ මෙරට ඉන්න අය ගැන නො වේ. මෙරට බටහිර විද්‍යාඥයන් නැහැ. මෙරට ඉන්නේ විද්‍යාඥයන් ලෙස රඟපාන පිරිසක් පමණයි.

අද ලෝකයේ ම අධර්මිෂ්ටකම වැඩි වෙලා. ට්‍රම්ප් කාලගුණ වෙනස ගැන  බටහිර විද්‍යාඥයන් කියන හේතුවලට හිනා වෙනවා. ඔහුට යම් ඉවක් තියෙනවා. එහෙත් ඔහු ධර්මිෂ්ට පුද්ගලයකු නො වෙයි. ට්‍රම්ප් පමණක් නොව හිටපු ජනාධිපතිවරුන් විවිධ පිරිමි දේශපාලනඥයන්, චිත්‍රපටි නිෂ්පාදකයන් අධ්‍යක්‍ෂවරුන් කාර්යාල ප්‍රධානීන් ස්ත්‍රීන්ට සලකා ඇති ආකාරය ගැන තොරතුරු දැන් දැන් එරට අනාවරණය වෙනවා. ලංකාවේ ද එවැනි දේ සිදුවන බව නොදන්නවා නො වෙයි. ගැහැණුන් ආරක්‍ෂා කිරීමට සිදු වී ඇත්තේ පිරිමින්ගෙන් බව බොහෝ දෙනාට අමතක වෙනවා.

ආදි කාලයේ බැමිණිටියා සාය වැනි දේ නොතිබුණා ද කියා පඬියකු අහන්න පුළුවන්. එහෙත් දැන් මේ ඊනියා ස්වාභාවික ආපදා වෙන තරම් සංඛ්‍යාතියකින් එදා සිිදුවුණා ද කියා අහන්න පුළුවන්. පඬියා කියන්න පුළුවන් ඒ කාලයේ ජනමාධ්‍ය නොතිබුණු නිසා ඒ වාර්තා නොවන්න ඇත කියා. අද ජනමාධ්‍ය නිසාත් අපරාධ වැඩි වෙනවා. එය චක්‍රයක්. අපි අපි ඈත අතීතය පැත්තකින් තබමු. මෙරට පනහ පැනපු අය දන්නවා පසුගිය අවුරුදු පනහේ ඊනියා ස්වාභාවික ආපදා වැඩි වී තිබෙන ආකාරය.

ඊනියා ස්වාභාවික ආපදා වැඩි වීම ගැන පාලකයන් යම් ප්‍රමාණයකට වග කියන්න ඕන. ඒ අතර ම අප ඊට වඩා වග කියන්න ඕන. අද සමාජයේ පන්සිල් පද පහ නොව එක පදයක් රකින කී දෙනකු ඉන්නවා ද? මෙරට පමණක් නොවෙයි පිටරටත් තත්වය එහෙමයි. අද පෞද්ගලිකත්වය රජයනවා. බටහිර සමාජයේ විශේෂයෙන් ම එක්සත් රාජ්‍යවල තරගකාරීත්වයට සමාජයේ වැදගත්කමක් හිමි වෙනවා. මෙරටත් එහෙමයි. අද ඇත්තේ තරග හා මහාතරග. බටහිර ගැන යමක් දන්න අය තරකාරීත්වය ගැන විශේෂ උනන්දුවක් දක්වනවා. එහෙත් මෙරට විශිෂ්ටයන් නැහැ. ඩ්‍රීම් ස්ටාර් ඊනියා තරගකාරී ගැයුම් ඉදිරිපත් කරන අයගෙන් කී දෙනකුට ඊනියා ජාත්‍යන්තර තලයට යන්න පුළුවන් ද? මහා දාර්ශනිකයන් ලෙස මෙරට පෙනී සිටින අයට ලංකාවෙන් පිට කිසිම තැනක් තියෙනවා දඅපට විශිෂ්ටයන් වීමට නොහැක්කේ  බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි. එහෙත් අප අපේ චින්තනයක් ගැන උනන්දු නොවී බටහිර චින්තනය පසුපස යනවා. එහෙත් අපට එහි විශිෂ්ටයන් වන්නට බැහැ. බටහිර චින්තනය සුදු පිරිමි කේන්ද්‍රීය චින්තනයක්. එහි සත්ව කරුණාව ව්‍යාජයක්. එංගලන්තයේ අශ්ව රේස් (තුරග තරග) නරි දඩයම් සංවිධානය කරන අයගෙ අනුගාමික අනුකාරකයන් අපට පෙරහැරේ අලි ඇතුන් ගෙන යෑම ගැන බයිලා කියනවා. බටහිර අනුකාරකයන් සත්වොද්‍යාන පවත්වාගෙන යමින් පෙරහැරේ අලි ඇතුන් ගෙන යෑමට විරුද්ධ වන්නේ බටහිර හැරෙන්නට අනෙක් සංස්කෘතීන් නැති කිරීමට.

මෙරට පමණක් නොව ලෝකයේ ම ඊනියා ස්වාභාවික ආපදා වැඩි වීමට බටහිර චින්තනය හේතුවක්. අපත් අපේ පාලකයනුත් ඊනියා විද්වතුනුත් තව තවත් සත්ව කරුණාවෙන් චිකන් කනවා. අප කෑවත් නොකෑවත් කුකුළන් මරනවා ආදී බයිලා කියන්න දක්‍ෂ පඬියන් නම් ඉන්නවා. අපරාධ වැඩි  වීම හා ඊනියා ස්වාභාවික ආපදා අතර සහසම්බන්ධයක් තිබේ දැයි දැන ගැනීමට ඊනියා බටහිර විද්‍යාඥයකු ඉදිරිපත් වෙනවා ද?   


___________________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-11-30