Main Logo

Thursday 2 November 2017

සයිටම් හා බලය විමධ්‍යගත කිරීම




සයිටම් හා බලය විමධ්‍යගත කිරීම



සයිටම් ප්‍රශ්නය නිිදහස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක් නොවන බව මා එකල ම කිව්වා. නිදහස් අධ්‍යාපනය කියන්නෙ මොකක් ද කියලා මා කිව්වට බොහෝ දෙනා ඒ සත පහකටවත් ගණන් ගත්තෙ නැහැ. ඔවුන් හිතන් හිටියෙ ඊනියා නිදහස් අධ්‍යාපනයක් සඳහා ඔවුන් සටන් කරන බව. එහෙත් සයිටම්හි තිබුණෙ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය ඇතැම් රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලත් තියෙනවා.




කාලෝ ෆොන්සේකා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි දීමට වුවත් සූදානම් සීයා කෙනෙක්. ඔහු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය අඩු තරමෙන් ප්‍රශ්නයක් හැටියටවත් දැක්කෙ වෛද්‍ය පීඨ මණ්ඩල රැස්වීමක දී කොල්වින් ගුණරත්න ඔහුට ලුණු ඇඹුල් සහිත ව එය කියා දුන්නට පස්සෙ. ඒත් කාලෝ දන්නවා මාධ්‍ය වීරයකු වෙන විධිය. ඊයේ කාලෝ හොඳ ප්‍රකාශයක් කරලා තිබුණා. ඔහු කියා ඇත්තෙ රජයේ ආයතනවල රැකියා රජයේ වෛද්‍ය පීඨවල සිසුන්ට පමණක් සීමා වන්නේ නම් රජය ඉදිරිපත් කර ඇති විසඳුමට ඔහුගේ විරුද්ධත්වයක් නැති බව.



මෙය දිගින් දිගට විස්තර කළහොත් මේ ලිපිය ඒ සඳහා පමණක් යොදා ගන්න වෙනවා. ව්‍යවස්ථාව බලය බෙදීම ආදිය අද එයට වඩා වැදගත්. එහෙත් බොහෝ දෙනා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කෙළේ කුමක් සඳහා ද යන්න මාධ්‍ය බුද්ධිමතා වූ කාලෝගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා. නිදහස් අධ්‍යාපනය යනු බොහෝ දෙනාට රැකියා පිළිබඳ ප්‍රශ්නයක්. නිදහස් අධ්‍යාපනය නිසා තමන්ට ලැබෙන  රැකියා අන් අයට හිමිවේය කියන බය ඔවුන්ට තවමත් තියෙනවා.  උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් පිට වූ අයටත් කාලෝ ප්‍රතිපත්තිය අනුගමනය කෙළේ නම් අද විශ්වවිද්‍යාලත් ඇතුළු ව රජයේ ආයතනවල සේවය කරන එහි උපාධිධාරීනට කාගේ පිහිට ද? කාලෝ දන්නවා රාගම වෛද්‍ය පීඨයෙහි ඒ උපාධිධාරීන් ඉහළ ම සේවයක් කරන බව!



අපි පසුව සයිටම් ප්‍රශ්නයට දීර්ඝ ව අවතීර්ණ වෙමු. බලය බෙදීම ගැන අද කවුරුත් කතා කරනවා. ඒකාබද්ධ විපක්‍ෂයෙ අයත් කියනවා තමන් බලය බෙදීමට විරුද්ධ නැති බව. රනිල් ඒකාබද්ධ විපක්‍ෂෙ යෝජනා පිළිගෙන. අපට සංකල්ප පිළිබඳ යම්තාම් දුරකටවත් නිරවුල් අවබෝධයක් නැති කම බොහෝ ප්‍රශ්න අවුල් වීමට හේතුවක්. අප නිදහස් අධ්‍යාපනය කියන්නෙ මොකක් ද කියලා දන්නෙ නැතිව වගේ ම, ඒකීය රාජ්‍යය, බලය බෙදීම, පාර්ලිමේන්තු බලතල ආදිය ගැනත් හරිහැටි දන්නෙ නැහැ.



ඒකීය රාජ්‍යය ගැන බටහිර දේශපාලන විද්‍යාඥයන් එක එක මත ප්‍රකාශ කරනවා. මෙරට ඉන්න ඔවුන්ගෙ අඳ බාල ගෝලයො ගැරුවරයා හිටගෙන කරන විට ගෝලයා දුව දුව කරනවා යන්න අපට නැවත නැවතත් පසක් කරමින් පඬි කතා කියනවා. අප ඒකීය රාජ්‍යය ගැන ඉගෙන ගන්නෙ ලෝකයේ පළමු ඒකීය රාජ්‍යය බිහි කළ ගැමුණු රජතුමාගෙන්. අද යෙදා ගැනෙන වචනවලින් නම් ඒකීය රාජ්‍යයක විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලතල මුළුමනින් ම  රටක් හෝ රටක කොටසක් හෝ සම්බන්ධයෙන් එක් ආයතනයකට පමණක් හිමි විය යුතුයි.  ඒ බලතලවලින් කොටසක්වත්, අබමල් රේණුවක්වත් රටෙන් කොටසක් වෙනුවෙන්වත් වෙනත් කිසිම ආයතනයකට පවරන්න බැහැ.



ඒකීය රාජ්‍යයක් ගැන නිර්වචනය කලින් ලිපිවල දී ඇති. ඒකාබද්ධ විපක්‍ෂෙ අය බලය බෙදීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? ඔවුන් පඬියන් අනුගමනය කරමින් කියවනවා බලය බෙදීමට තමන් විරුද්ධ නොවන බව. රනිලුත් කියන්නෙ තමා ඒකීය රාජ්‍යය ආරක්‍ෂා කර ගනිමින් බලය බෙදන බව. මේ කතා අවසන් වන්නේ කොහොම ද? මහින්ද රාජපක්‍ෂ ඊයේ වන තුරු ව්‍යවස්ථා මණ්ඩල විවාදයට සහභාගි වී නැහැ. අද ඔහු මහා සංඝයා වහන්සේට හිස නමමින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ සමස්ත ක්‍රියාවලියෙන් ම ඉවත් වෙයි ද? දැන් තියෙන තත්වය අනුව ඔහු එසේ කරාවි යැයි හිතන්න බැහැ. ඔහු අද ආඳා මාළු ඉරටුවෙන් කනවා. මහින්ද ලෝක ඉතිහාසයේ තම ජයග්‍රහණය පාවාදුන් පළමු පුද්ගලයා ලෙස ඉතිහාසගත වේ ද?



මේ අතර අනුර දිසානායක සුපුරුදු පරිදි පඬි කතාවක් කියලා. ඔහු කියා ඇත්තේ මැතිවරණ ප්‍රකාශවල නොතිබුණත් පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පුළුවන් බව. මැතිවරණවල ඡන්දය දුන් අයටත් මරණීය දණ්ඩනය නියම කළ අනුරලා ඊනියා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් පෙනී සිටිනවා. අනුර තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. මැතිවරණ ප්‍රකාශවල නැති දෙයක් පාර්ලිමේන්තුවට කරන්න පුළුවන්. ඒත් ව්‍යවස්ථාවට එකඟ ව. ව්‍යවස්ථාවට විරුද්ධව යන්න පාර්ලිමේන්තුවටවත් බැහැ. ව්‍යවස්ථාව සංශෝධනය කරන්නත් පුළුවන් ව්‍යවස්ථාවට එකඟ ව.



මැතිවරණ ප්‍රකාශවල  තිබූ දෙයක් ජනතාව ප්‍රතික්‍ෂෙප කර ඇත්නම් ජනතාව එය ක්‍රියාත්මක කිරීමට වරමක් දී නැත්නම් එවිට පාර්ලිමේන්තුවට එය ක්‍රියාත්මක කරන්න බැහැ. අද ජනතාව නව ව්‍යවස්ථාවක් ප්‍රතික්‍ෂෙප කර තියෙනවා. නව ව්‍යවස්ථාවකට ජන වරමක් දී නැහැ. අනුර හිතන විධියට පාර්ලිමේන්තුවට ඕන දෙයක් කරන්න බැහැ. පාර්ලිමේන්තුවට වඩා ජනතා පරමාධිපත්‍යය වැදගත්. පාර්ලිමේන්තුව කරන්නෙ ජනතා පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක අධිකරණ බලතල ක්‍රියාතාමක කරන එක පමණයි. එහි අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමට විවිධ අධිකරණ ආයතන සංස්ථාපනය කරලා තියෙනවා. 



ජනතාව ප්‍රතික්‍ෂෙප කරපු දෙයක් පාර්ලිමේන්තුවට ක්‍රියාත්මක කරන්න බැහැ. අනුර මේ පළමු පාඩම පළමුවෙන් ඉගෙන ගත යුතුයි. අද ඒකාබද්ධ විපක්‍ෂෙ අය බලය විමධ්‍යගත කිරීම ගැන කතාකරන්න ඉස්සෙල්ල අපට කියනවා ද මේ මොන බලතල ද විමධ්‍යගත කරන්නෙ කියලා. ඒ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලතල වෙන්න බැහැ.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 නොවැම්බර් 02