Main Logo

Friday 16 June 2017

රනිල් එන්නේ මොකාට ද?


රනිල් එන්නේ මොකාට ද?



බටහිරයන් වැඩ කරන්නේ සැලසුමකට අනුව. ඇතැමුන් බටහිර කුමන්ත්‍රණ කීවාට එහි ඇත්තේ සැලසුම්. අපට සැලසුම් නැති නිසා අප බටහිර සැලසුම් කුමන්ත්‍රණ ලෙස සලකනවා. මේ දිනවල මා ගැමුණු මහරජ 2 හා මුතුකුඩ නාට්‍ය නරඹනවා. ගැමුණු රජු සැලසුම්වලට වඩා ශක්තිය පදනම් කර ගත්තා. එළාරටත් විශේෂිත සැලසුමක් තිබුණේ නැහැ. එළාර ගැමුණු රජු දුටුගැමුණු ලෙසත් තිස්ස කුමරු සද්ධාතිස්ස ලෙසත් සිංහලයන් අතර ප්‍රචලිත කිරීමට නම් සමත් වී තිබෙනවා. එහෙත් විහාර මහා දේවිය හා දශ මහා යෝධයන් දැනගෙන හිටියා එළාර පරාජය කළ හැක්කේ ගැමුණු කුමරුට බව.


සිංහලයන් එදා එළාරට රැවටුණේ නැහැ. පසුව රැවටුණා. ගැමුණු රජු අදටත් හැඳින්වෙන්නේ දුටුගැමුණු ලෙස. ඒ සද්ධාතිස්ස බලවත් වීම හේතුකොටගෙන. නාට්‍යය කෙසේ විකාශය වේ ද කියා මා දන්නේ නැහැ. එහෙත් පසු කලෙක ගැමුණු රජුටත් විහාර මහා දේවියටත් සාලිය කුමාරයටත් වැදගත් කමක් නොලැබෙන ලෙස තිස්ස කුමරු කටයුතු කර තිබෙනවා. ගැමුණු රජුට මෙරට යක්‍ෂ ජනතාවගේ සහාය ලැබුණා. එහෙත් විදේශයකින් පැමිණි යක්‍ෂ ජනතාවක් එළාරටත් තිස්ස කුමරුන්ටත් සහාය දෙන්න ඇති. යක්‍ෂ ජනතාව එකම සජාතීය ජනතාවක් ලෙස සලකන්න බැහැ. නාගයනුත් එහෙමයි. ඇතැම් නාගයන් වත්මන් දකුණු ඉන්දියාවේ දී දෙමළ වූවා. එයින් කියන්නේ නැහැ සියලු නාගයන් දෙමළ කියා. නාගයන් ඇසෑමයේත් ඉන්නවා. දෙමළ වෙල්ලාල ජාතිවාදී නායකයන් නම් උත්සාහ කරන්නේ සියලු නාගයන් දෙමළ බව කීමට. ඇතැම් මූසිලයන් හිතන්නේ සියලු යක්‍ෂයන් එකම සමජාතීය ජනවර්ගයක් බව. මේ මූසිලයන්ට කිය යුතු කරුණක් නම් මට මහලු වයසේ හැකිය වෙණ ගායනා පෙර සේ බව.



මුතුකුඩ නාට්‍යයේ සිංහලයන්ට මුහුණ දීමට සිදු වූයේ ඉංගිරිසින්ට. ඉංගිරිසින්ට මනා සැලැස්මක් තිබුණා. ඩොයිලි (ඩාඔයිලි) ශූර රාජ්‍යතාන්ත්‍රිකයෙක්. ඔහුට මනා සැලසුමක් තිබුණා. ඒ සැලසුම ඉදිරියේ සිංහලයන් පරාජය වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එළවීමට සිංහලයන් සුද්දන්ගේ ආධාරය පැතීමට එන තැනට ඩොයිලි කටයුතු කළා. නිළමෙලා අතර භේද ඇති කළා. මේ එකකු පැන්නීමට වෙනත් එකකු යොදා ගැනීමේ ප්‍රතිපත්තිය අවසන් වූණේ ඉංගිරිසින් සිංහල රාජ්‍යය යටත් කර ගැනීමෙන්. අද ඇතැමුන් යෝජනා කරනවා බටහිරට විරුද්ධව චීනුන් සමග එකතු වීමට. හොඳට තියෙයි.  එදා ඇතැමුන් හිතුවේ ඒ සිංහල ජාතියේ අවසානය කියා. එහෙත් අප අවසන් වුණේ නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතිය (සිංහල බුද්ධාගම) මෙරට ප්‍රධාන සංස්කෘතිය  බව 1892 දීත් ඉංගිරිසි ආණ්ඩුව පිළිගත්තා. ආරක්‍ෂාව සඳහා අබෞද්ධ සිද්ධස්ථාන ඇති කිරීමේ දී ආණ්ඩුකාරයාගෙන් විශේ’ෂ බලපත්‍රයක් ලබා ගැනීමට සිදු වූවා. රනිල්ට අනුව නම් ඒ නීතිය පැනවූ හැව්ලොක් ආණ්ඩුකාරයා ජාතිවාදියෙක්. ආගම්වාදියෙක්. සිංහල බෞද්ධ ජාතිවාදියෙක්. අද ඉන්නා විවිධ පඬියන්ට අනුවත් හැව්ලොක් ආණ්ඩුකාරයා සංහිඳියාවට අකුල් හෙලූ සිංහල බෞද්ධ ජාතිවාදයෙක්. ඔහු අත්අඩංගුවට ගැනීමට රනිල්ගේ නීති එදා තිබුණේ නැහැ. මෙරට අදත් හැව්ලොක් ක්‍රීඩා සමාජයක් නම් තියෙනවා. 



එහෙත් සිංහලකමත් බෞද්ධකමත් වෙන් කිරීමට ඕල්කට්තුමා කටයුතු කළා. එතුමා සිංහලකම නැති ජාත්‍යන්තර බෞද්ධයන් හෙවත් ඕල්කට් බෞද්ධයන් ඇති කළා. පසුව බෞද්ධකම නැති සිංහලයනුත් ඇති වුණා. අනගාරික ධර්මපාලතුමාටත් එය වෙනස් කරන්න බැරි වුණා. ඉංගිරිසින් 1892 නීතිය (ආඥා පනත) පැනෙව්වේ සිංහල බෞද්ධයන්ට වූ කරුණාවක් නිසා නො වෙයි. ඒ ඔවුන්ගේ සැලසුම්. ඔවුන් 1831 දී සිංහල බෞද්ධයට එරෙහිව මෙරට දෙමළ ජාතිවාදී දේශපාලනය බෞතීස්ම කළා. එහෙත් අවස්ථාව එනතුරු සිංහල බුද්ධාමට තැන දුන්නා. මෙරට ඕල්කට් බෞද්ධයන්ට තැන ලබා දීමෙන් පසු ඉංගිරිසින් 1892 නීතියට ගරු කෙළේ නැහැ. මේ සියල්ලට මුල ඕල්කට්තුමා යැයි මෙයින් කියැවෙන්නේ නැති බව මූසිලයන්ට කිව යුතුයි. 1915 වන විට සිංහල බෞද්ධයනට පෙරහැර පැවැත්වීමට බාධා ඇති කිරීමට මුස්ලිමුන් සමත් වුණා. එහෙත් 1892 නීතිය තවමත් වලංගුයි. රනිල් යටතේත් වලංගුයි. මෛත්‍රිපාල ඒ බව දන්නවා ද? ඒකාබද්ධ විපක්‍ෂය දන්නවා ද? සියල්ල දත් ජනමාධ්‍යවේදී වීරයන් දන්නවා ද?



බටහිරයන් මේ ආණ්ඩුව බලයට පත් කෙළේ ම සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විශේෂිත තත්වය නැති කර රට දෙකඩ කරන ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට. එයත් බටහිරයන්ගේ සැලැස්මක්. අද (ජූනි 16) නිව්ස්වීක් සඟරාවේ වැදගත් ලිපියක් තිබෙනවා. එහි කියැවෙන්නේ මුහුණු පොත මැතිවරණවල දී යොදා ගැනීම සම්බන්ධ ව. මුහුණු පොතේ අපේ දත්ත තිබෙනවා. අප යමකට කැමැත්ත (ලයික්) පළ කරන විට  යමක් බෙදා හදා ගන්නා (ෂෙයා) විට, අපේ ලිපි හා ප්‍රතිචාර මගින් අප පිළිබඳ දත්ත රාශියක් සකර්බර්ග් ළඟ තිබෙනවා. අපේ රුචි අරුචිකම් අපේ දෙමව්පියන්ට, කලත්‍රයාට වඩා හොඳින් ඔහු දන්නවා. අපේ ගෙවල් දොරවල් තියෙන තැන් ගූගල් දන්නවා. මුහුණු පොත කුඩා කණ්ඩායම්වලට කතා කරන ආකාරය වෙළෙඳ හා දේශපාලන දැන්වීම් පළ කරන ආකාරය දැන් අවුරුදු කිහිපයක සිට සැලසුම් කරනවා. අප ජීවත් වන්නේ දත්ත ලෝකයක. ප්‍රවාදවල වටිනාකම ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. අප අලුත් ලෝකයකට පා නගමින් ඉන්නවා. මෙය පටන් අරන් දැන් අවුරුදු අසූවක් පමණ වෙනවා. එහෙත් එය දැනෙන්නේ දැනුයි. මේ ඊනියා පශ්චාත්නූතනත්වය නො වෙයි. බටහිරයන් ප්‍රවාද ලෝකයෙන් දත්ත ලෝකයට මාරු වෙමින් සිටිනවා. අප ඒ බවක් නොදැන බලා ගෙන සිටිනවා. පඬි ප්‍රවාද කතා කියනවා.



2015 ජනාධිපතිවරණයේ දී මුහුණු පොත් තරුණයන් මහින්දට විරුද්ධව (මෛත්‍රිපාලට පක්‍ෂව නොව) ඡන්දය දුන් බව අප කියනවා. එහෙත් එය මුහුණු පොත යොදා ගෙන පිරිසක් මහින්දට විරුද්ධ කිරීමක්. තරුණයන්ගේ හා අනෙක් අයගේ රුචි අරුචිකම් දැනගත් පසු ඔවුන් මෙහෙයවන එක අමාරු දෙයක් නො වෙයි.  මෛත්‍රිපාල නොව රනිල් ඒ සැලැස්ම දැනගෙන ඉන්න ඇති.  අපට දැන් නිදහසක් ඇත්තේ ම නැති තරම්. මුහුණු පොත, ගූගල්, ඇමසොන් ආදී ආයතන අප පාලනය කරනවා. එහි අපේ දත්ත තිබෙනවා. විශේෂයෙන් ම ස්මාර්ට් ෆෝන් ගැන තිබෙන ආකල්ප නැති කර ගත්තේ නැත්නම් අප පාලනය කෙරෙන යාන්ත්‍රික මිනිසුන් බවට පත් වෙනවා. කතාවක් තියෙනවා ස්මාර්ට් ෆෝන් ඩසන්ට් මේක් යූ ස්මාර්ට් කියා. ස්මාර්ට් ෆෝන්වලින් අප ස්මාට් කිරීම පැත්තකින් තබා මැට්ටන් කරනවා. මේ පිළිබඳත් ලිපියක් මෙවර නිව්ස්වීක් සඟරාවේ තිබෙනවා.



රනිල් තම සැලැස්මේ ඉදිරියට ම යනවා. ඔහු නව ව්‍යවස්ථාව සම්පාදනය කර සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය නැති කරාවි. බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය, ඒකීය බව ආදිය වචන හරඹයකින් නැති කිරීම බටහිරයන්ගේ සැලැස්ම. රනිල් ඒ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. ජාතිවාදී ආගම්වාදී කතාවලට විරුද්ධව නීති පැනවීමට ඔහු සූදානම් වන්නේ ඔහුගේ ව්‍යවස්ථාවට විරුද්ධ ව කතා කිරීම උද්ඝෝෂණය කිරීම ආදිය නීතිය යොදා නැති කිරීමට. මේ නීතිය ක්‍රියාත්මක වනු ඇත්තේ ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධයනට විරුද්ධව. රනිල් සිංහල බෞද්ධ සංස්කෘතියේ නො වෙයි. ඔහු නාය යෑමට කියන්නේ නියාය (න්‍යාය) යෑම. රනිල් දන්නව ඇති න්‍යාය නාය යන බව. 



හකීම් මුස්ලිම් කඩයක් ගිනි තැබීමක් ගැන කීම රනිල්ගේ සංහිඳියාවට හොඳ වෙන්න ඇති. හකීම් කියන්නේ ඔහුට කවුදෝ ඒ බව කී බවයි. ඇමතිවරයකු කවුරුන්වත් කී නිසා එවැනි ප්‍රසිද්ධ ප්‍රකාශ කර රට ගිනි තියනවා ද? හකීම් රට ගිනි තියද්දි ඔහු අත්අඩංගුවට ගැනීමට ඊනියා සිවිල් (සිවල්) සාමාජිකයන් මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ නැත්තේ ඇයි? අප අමතක නොකළ යුතු කරුණ නම් රණවිරුවන්ට විරුද්ධව ඇති ඊනියා සාක්‍ෂිත් එවැනි කවුදෝ කී කතා බවයි. මේ ඉංගිරිසින්ගේ සැලැස්ම. සිංහල බෞද්ධයනට විරුද්ධව ඇත්තේ ඇසින් දුටු සාක්‍ෂි නො වෙයි. මේ චැනල් ෆෝ මැක්රෙලාගේ හකීම් ගණයේ සාක්‍ෂි. රනිල්ගේ ජාතිවාදී ආගම්වාදී නීති සම්මත වුවහෙත් ඒවා යොදා ගනු ඇත්තේ සිංහල බෞද්ධයනට විරුද්ධව. ඔහුගේ ව්‍යවස්ථාවට විරුද්ධව වචනයක් වුවත් කියනු ඇත්තේ සිංහල බෞද්ධයන්.



ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පළවා හැරීමට ඇතැම් නිළමෙලා ඉංගිරිසින්ට එකතු වූවා. තිස්ස විදේශිකයන්, විජාතිකයන් සමග එක් වී අවසානයේ ගැමුණු රජු මෙන් ම විහාර මහා දේවිය ද බලහීන කළා. මහින්ද එළවීමට බටහිරයන් මෛත්‍රිපාල යොදා ගත්තා. එනම් ඒ සඳහා මෛත්‍රිපාල බටහිරයන් හා ඉන්දියානුන් සමග එකතු වූවා. ශ්‍රී වික්‍රම රජුගේ හා මහින්දගේ වැරදි තිබෙන්න ඇති. එහෙත් ඔවුන් එළවීමට තීරණය කළත් එළ වූ ආකාරය වැරදියි. මෛත්‍රිපාල මේ වැරැද්ද නිවැරදි කරනවා ද? ඒ කළ හැක්කේ රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමෙන්. ආරම්භයක් හැටියට රවිට ශ්‍රී ලන්කන් ආදී ආයතන නො දීමෙන්. ලොතරැයි නොදී හිටියා නම් කොපමණ හොඳ ද? ඒකාබද්ධ විපක්‍ෂය රනිල් ඉවත් කිරීමට සියලු පෞද්ගලික කෝන්තර අමතක කර මෛත්‍රිපාලට සහාය දිය යුතුයි. මෛත්‍රිපාලත් එලෙස ම රාජපක්‍ෂලා සමග එකතු විය යුතුයි.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ජූනි 16