Main Logo

Wednesday 7 June 2017

සිංහල අනන්‍යතාව


සිංහල අනන්‍යතාව



සිංහල අනන්‍යතාව ගැන කතා කිරීම ඉතා වැදගත්. මෙය එක ලිපියකින් සාකච්ඡා කරන්න පුළුවන් එකක් නො වෙයි. සිංහල ජාතිය ඇති වුණේ කොහොම ද එය අනන්‍ය වන්නේ කෙසේ ද ආදී ප්‍රශ්න රාශියක් මෙහි තියෙනවා. ඒත් කාට හරි අහන්න පුළුවන් සිංහල අනන්‍යතාව ගැන කතා කරන්න මට තියෙන සුදුසුකම මොකක් ද කියලා. මා පුරාවිද්‍යාඥයකුවත්, ඉතිහාසඥයකුවත්, සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබඳ විශාරදයකුවත් නො වෙයි. එහෙම නම් මට තියෙන සුදුසුකම මොකක් ද? එක් අතකින් මා එක්තරා සිංහල මහාචාර්යවරයකු (සේවාර්ජිත) මෙන් නොව අනන්‍යතාව කියන්නෙ මොකක් ද කියන එකවත් දන්නවා. එහෙත් මගේ ප්‍රධාන සුදුසුකම මා පුරාවිද්‍යාව, ඉතිහාසය වගේ විෂයක් විශ්වවිද්‍යාලයක දී තබා පාසලේ ඉහළ පන්තිවලවත් හදාරා නො තිබීම. එසේ හදාරා තිබුණේ නම් මට බටහිරින් ලැබෙන සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර දැනුම අනුව ප්‍රශ්නය දිහා බලන්න වෙනවා. බටහිර විද්‍යාව ඉගෙන ගත් අයකුට ඉන් කැඩෙන්න පුළුවන්. ඒත් බටහිර සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර ඉගෙන ගත් අයකුට ඉන් කැඩෙන්න බැරි ගානයි.




සිංහල අනන්‍යතාව ගැන කතා කිරීමේ දී අපට යක්‍ෂ, නාග, රාක්‍ෂස, දේව ජනතාව අත් හරින්න බැහැ. අද ඇතැමුනට, විදේශික ජාතියකට හා ඔවුන්ගේ ඒජන්තයන්ට, අවශ්‍ය වෙලා තියෙනවා යක්‍ෂ ජනතාව ඉතිහාසයෙන් ඈත් කිරීමට. කලිනුත් වෙනත් අයටත් ඒ අවශ්‍යතාව තිබුණා. අභයගිරියේ යටපත් කිරීීමත් ඒ අවශ්‍යතාව උඩ සිදු වූවක්. සිංහල අනන්‍යතාව යම් දුරකටවත් රැකී තිබෙන්නේ යක්‍ෂ ගතිය (සංස්කෘතිය) නිසා. ඒ නැති වූ විට අප වෙනත් රටක ගැත්තන් වේවි.



අපේ රට අවුරුදු 7000කට පමණ ඉහත ඉන්දීය දේශය (රට නොවන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ) සමග යා වී තිබුණු බව කියැවෙනවා. එකල එක ම බිම් කඩක් ලෙස පැවතුණු ප්‍රදේශයක විසූ එහෙත් අද නම් දකුණු ඉන්දියාවේ වෙසෙන ජනයාගේ හා සිංහලයන්ගේ ජාන අතර යම් සම්බන්ධයක් තියෙනවා නම් ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඒත් ජාතියක් ජනවර්ගයක් හඳුනාගන්නා නිර්ණායක වන්නේ ජාන නො වෙයි. ඇතැම් වෛද්‍ය මහාචාර්යවරුන් ඇතුළු බොහෝ පඬියන් ජාතිය යන්න ජීව විද්‍යාවේ නිර්ණායක මත තීරණය කරන්න යන්නේ වැරදි අවබෝධයකින්. ජාතිය ගැන ඉගෙනීම බටහිර ජීව විද්‍යාවට හෝ බටහිර වෛද්‍ය විද්‍යාවට හෝ අයත් දෙයක් නො වෙයි. මිනිසුන් ජාති, ජනවර්ගවලට බෙදෙන්නේ සංස්කෘතිය, ජීවන රටාව, චින්තනය ආදී කරුණු මත. මේ එකක්වත් බටහිර විද්‍යා පීඨයක හෝ බටහිර වෛද්‍ය පීඨයක හෝ ඉගැන්වෙන්නේ නැහැ. වෛද්‍ය භෞතික විද්‍යාවත් (මෙඩිකල් ෆිසික්ස්) ඉගැන්වෙන සයිටම් ආයතනයේවත් ඉගැන්වෙන්නේ නැහැ.



අප ඉන්දිය දේශයත් සමග එකම බිම්කඩක් වශයෙන් පැවතෙද්දීත් අප හා දකුණු ඉන්දිය ජනතාව අතර වෙනස්කම් තියෙන්න ඇති. අද කේරළ ජනයා හා තමිල්නාඩු ජනයා අතර වෙනස්කම් තියෙන්නේ ඒ ප්‍රදේශ එකම බිම්කඩක් ව පැවතෙද්දී. අප්‍රිකාව පුරා විවිධ ගෝත්‍ර ඇත්තේ අදාළ ප්‍රදේශ එකම බිම්කඩක් ව පවතිද්දී. යුරෝපයේ විවිධ ජනවර්ග ඇත්තේත් එසේමයි. අවුරුදු 7000කට පමණ පෙර අප ඉන්දීය දේශයෙන් වෙන් වීමෙන් පසු අපේ අනන්‍යතාව තව තවත් හැඩ ගැහෙන්න ඇති. ඒ ගැන සැකයක් ඇති වෙන්න බැහැ. එහෙත් අප හා දකුණු ඉන්දීය ජනතාව අතර ජාන වශයෙන් පමණක් නොව සංස්කෘතික වශයෙන් ද සමානකම් ඇත්නම් ඒ ගැනත් පුදුම වෙන්නත් බැහැ. බොහෝ දෙනා නොසිතුවත් අපෙන් එහාට ගිය දේත් තියෙන්න පුළුවන්.

               

සිංහල අනන්‍යතාව හැඩ ගැස්සවීමට අප වෙන ම බිම්කඩක වීමෙන් පසුව බලපා ඇති ප්‍රධාන ම සාධකයක් වන්නේ බෙංගාල ඔඩෙස්සා ප්‍රදේශවලින් මෙරටට වූ සංක්‍රමණයි. අප වංග හා කලිඟු දේශ ලෙස හඳුන්වන්නේ මේ ප්‍රදේශයි. සිංහලයන්ගේ ජාන හා ඒ ප්‍රදේශවල ජනයහාගේ ජාන අතර විශාල සම්බන්ධයක් (25%ක පමණ) තිබෙන බව කියැවෙනවා. සිංහල සංස්කෘතිය හා වංග සංස්කෘතිය අතර සම්බන්ධකම් තියෙනවා. කාලිංගය ඇත්තේ වංගයට පහළින්. කාලිංග හා වංග සම්බන්ධකම් අපට ඉතා වැදගත්.

                 

මේ සංක්‍රමණ විජයට පෙර හා පසුව සියවස් දෙක තුනක් මුළුල්ලෙහි කෙරෙන්න ඇති. මේ කරුණු විස්තරාත්මක ව හැදෑරිය යුතුයි. රටින් පිට කෙරුණු විජය හා පිරිස ද  අර සාංක්‍රමණික පිරිස් ද සමග මෙහි එන්නට ඇති. කාලිංගය අපට අපේ අනන්‍යතාව හැඩ ගැස්සවීමේ දී අමතක කරන්න බැහැ. සුප්පා දේවිය වංග රටින් ලාට රටට පැන ගොස් ආපසු  පැමිණ දෙවැනි විවාහයක් කර ගෙන ඇත්තේ කලිඟු රටේ කුමරකු සමග. සිංහබාහුට යුවරජ තනතුර ලැබුණේත් කාලිංගයෙ. විජයට වංග හා ලාට සම්භවයක් තිබූ නමුත් මෙරටට පැමිණෙන්නට ඇත්තේ කාලිංගයෙන්. දැන් කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මා සිංහබාහුගේ පියා සිංහයකු බව පිළිගන්නේ ද යන්න. මේ පඬි ප්‍රශ්නවලට පිළිතුරු දී බොහෝ කල්. හැකිනම් සිංහබාහු ප්‍රවාදය ලිපිය සොයා ගෙන කියවන්න. අවුරුදු තිහක් තිස්සේ මා ලියු ලිපි මා ළඟවත් නැහැ.  කිසිම පඬියකු ඒ ලිපි ගැන කතා කළෙත් නැහැ. විද්‍යුත් ජනමාධ්‍ය ඒ අදහස් සතපහකට ගණන් ගන්නේ නැහැ. ඒ ලිපිවලින් රටට වැඩක් වී ඇති බවක් පෙනෙන්නේත් නැහැ.



මෙහි දී කිවයුතු කරුණු කිහිපයක් තිබෙනවා. එකක් ඇතැමුනට අනුව සිදුහත් කුමරු ඉපිද ඇත්තේ කාලිිංගයේ. එය එසේ නම් ශාක්‍ය වාංශිකයන් කාලිංගයේ ඉන්න ඇති. අශෝක රජු අවසන් යුද්ධය කෙළේ කාලිංගයත් සමග. ඔහු බෞද්ධ වුණේ ඉන් පසුව කියා කියනවා. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කාලිංගයේ වෙන්න ඕන. අශෝක රජු සමයේ මෙරටට බුද්ධ ශාසනය නැවතත් හඳුන්වා දීමේදීත් කාලිංගය වැදගත් වෙනවා. ඒ හඳුන්වා දුන්නේ තුන්වැනි සංගායනාවේ බුදුදහමත් සමග. අශෝක රජුට පෙර සිට ම මෙරටට වංගයෙන් හා කාලිංගයෙන් සාංක්‍රමණිකයන් පැමිණ ඇති බැවින් එරජුට පෙර මෙන් ම පසුවත් මෙරට සංස්කෘතිය ඒ අනුව හැඩ ගැසී තිබෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමග තවත් සංස්කෘතික ලක්‍ෂණ අපට එකතු වී තිබෙනවා. ලම්බකර්ණ වාංශිකයන් කාලිංගයෙන් පැමිණි ශක්‍ය වාංශිකයන්ගෙන් පැවත ආ අය විය හැකියි. 



විජයට පෙර හා පසුව පැමිණි සාංක්‍රමණික පිරිසෙන් (700 දෙනා පමණක් නොව) පැවත එන්නන්ගෙන් කොටසක් පණ්ඩුකාභය රජු දවස යක්‍ෂ ජනතාව සමග එක් වී අනෙක් කොටස පරාජය කර තිබෙනවා. පණ්ඩුකාභය කතාවෙන් කියැවෙන්නේ එයයි. පණ්ඩුකාභය රජුට ශාක්‍ය සම්භවයකුත් තියෙනවා. යක්‍ෂ ජනතාවට අධිබල තිබූ බවට වංසකතා සාක්‍ෂි දරනවා. මේ තමයි සිංහලයන්ගේ ආරම්භය. අවුරුදු තුන්දාහකට පෙර සිටි යක්‍ෂ ජනතාව ගැන හොයා බලන එක හොඳයි. එහෙත් ඒ ජනතාව හා සිංහලයන් අතර ඇති සම්බන්ධයත් සොයා බැලිය යුතුයි. එකල යක්‍ෂයන් හිටියා දැන් සිංහලයන් ඉන්නවා වැනි කතාවලින් ඇඟ බේරා ගන්න බැහැ. සිංහල සංස්කෘතියේ වංග කලිඟු ලක්‍ෂණ මෙන් ම යක්‍ෂ ලක්‍ෂණත් තිබෙනවා. එමෙන් ම නාග දේව රාක්‍ෂස ලක්‍ෂණත් තිබෙනවා. නාගයන් දකුණු ඉන්දියාවේ පමණක් නොව ඇසෑමයේ සිට මාගම දක්වා ඉඳ තිබෙනවා. ඇතැම් නාගයන් පසු කලෙක දෙමළ වූ පමණින් සියලු නාගයන් දෙමළ යැයි කියන්න බැගැ. ඇසෑමයේ ඉන්නෙත් දෙමළ ජනයා ද?



පණ්ඩුකාභයේ රජුගේ රාජ්‍යය අනුරාධපුරයට හා ඒ අවටට සීමා වුණා. නාග, අර්ධ නාග ආදීන් ගැමුණු රජු සමග මාගමින් අනුරාධපුරයට ඇවිත් සිංහල ජාතිය මෙන් ම සිංහල රාජ්‍යය ද විශාල කළා. සිංහල ජාතියත් සිංහල බෞද්ධ රාජ්‍යයත් දිවයින පුරා ම පැතිර ගියේ ඉන් පසුව. පසු කලෙක දහහතරවැනි සියවසේ පමණ මලබාරයෙන් මෙරටට පැමිණි සාංක්‍රමණිකයන් සිංහල ජාතියට තවත් ලක්‍ෂණ එකතු කළා. ඒ අය වැඩි වශයෙන් වත්මන් බස්නාහිර හා දකුණු පළාත්වල පදිංචි වුණ. සිංහලයන් පිරිසක් කේරළයේ පදිංචි වූ බවත් කියැවෙනවා. ඔවුන් එහි ඉලවර් යනුවෙන් හැඳින්වෙනවා. සිංහලයන්, බටහිර බෙංගාල ජනයා හා කේරළ ජනයා අතර සම්බන්ධකම් තිබෙනවා. දකුණු ආසියාවේ මාක්ස්වාදයට වඩා හිතවත් වූයේ මේ අය. අපට ඒ ගැනත් සොයා බැලිය හැකියි. 







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ජූනි 07