Main Logo

Saturday, 14 May 2011

බ්ලේක්ට නො රැවටෙමු යුද්ධයට සූදානම් වෙමු

පසුගිය දා ලංකාවට පැමිණි ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමෙින්තුවේ දකුණු අසියාව භාර සහකාර ලේකම් රොබටි බ්ලේක් ප්‍රසිද්ධියේ ලංකාව වර්ණනා කර ඇත. ඔහුට අනුව ලංකාව වැදගත් රටකි. සන්හිඳියාව ඇතිකිරීම සඳහා ලංකාව හොඳින් ක්‍රියාකරයි. එසේ කියන අතර ඔහු යුද්ධාපරාධ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් කිරීමට ලංකාව පියවර ගත යුතු යැයි ද පවසයි. ලංකාව ගැන ඇමරිකාව විශ්වාසයක් තබන බවක් මේ කිසිවකින් නො කියැවෙයි.   අපට අවශ්‍ය වන්නේ ඔහු අප්‍රසිි්ධියේ ජී එල් පීරිස් ඇමතිවරයාට කුමක් කීවේ ද යන්න ය. බ්ලේක් ලංකාවට පැමිණ කිලිනොච්චි යෑමෙන් පසුව තම මතය වෙනස්කර ලංකාව ගැන යහපත් සිතුවිලි ඇතිකර ගත්තේ යැයි සිතන්නේ ඔහුට රැවටුණු අයකු පමණ ය. ඔහු කිලිනොච්චියට ගොස් කවුරුන් හමුවූවේ දැයි අපි නො දනිමු. එහෙත් ඔහු ලංකාවට පැමිණියේ ලංකාවට එරෙහිව කරන ඊනියා ජාත්‍යන්තර යුද මෙහෙයුමකට පසුබිම සකස් කිරීමට ය. නන්දිකඩාල් කලපුවේ ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුව අප සිටින්නේ ඊනියා පශ්චාත් යුද අවධියක යැයි පඬියෝ කියති. පඬියන්ට කළ හැක්කේ බටහිර උගතුන් කියන යමක් ඔවුන්ගේ ඊනියා කතිකාවතක පුනරුච්චාරණය කිරීම පමණකි. ප්‍රභාකරන් සමග අපේ යුද්ධයක් නො තිබිණි. බටහිරයන්ගේ ආධාරයෙන් හා අනුග්‍රහයෙන් ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියට මෙන් ම හින්දු සංස්කෘතියට ද එරෙහිව කැරැල්ලක් ගසා උතුරු හා නැගෙනහිර පළාත්වල බටහිර ක්‍රිස්තියානි නූතනත්වය යටතේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කළේ ය. ඔහු ඉංගිරිසින් දහනවවැනි සියවසේ මුල්භාගයේ සිංහලයන්ට විරුද්ධව ආරම්භ කළ දෙමළ ජාතිවාදයේ විකාශයෙන් බිහි වූ ත්‍රස්තවාදී නායකයා විය. ඔහුගේ කැරැල්ල මැඩ පැවැත්වීම ලංකාණ්ඩුවෙි යුතුකමක් හා වගකීමක් විය. එය යුද්ධයක් ලෙස අර්ථදක්වන්නේ නම් ජ වි පෙ භීෂණ සමයෙහි ද මෙරට පැවතියේ යුද්ධයක් බව පිළිගතයුතු වෙයි. එහෙත් එය යුද්ධයක් ලෙස හඳුන්වන බටහිර උගතකු හෝ මෙරට පඬියකු හෝ නැත. ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් පසුව උදාවූ පශ්චාත් යුද සමයක් ගැන පමණක් ඔවුහු කියති. මෙය සිදුවන්නේ බටහිර බංකොළොත් ඊනියා පශ්චාත්නූතනවාදී දුනුම අනුව නම් කතිකාවතක ය. මෙරට පඬියන්ට අමතක වන දෙය නම් ඊනියා කතිකාවත් ද (ඩිස්කෝස් නමින් ඉංගිරිසියෙන් හැඳින්වෙන මේවාට අප බෞද්ධ සංස්කෘතික නම් යොදා නොගනිමින් යාතිකාවත යැයි කියමු.) සාපේක්‍ෂ බව ය. මේ තකතීරු පශ්චාත් යුද්ධ යාතිකාවතේ නිර්මාතෘවරු බටහිරයෝ ය. මෙය පශ්චාත් යුද සමයක් වනුයේ බටහිරයන්ගේ යාතිකාවතෙහි ය. එය ලෝකයේ අධිපතිවාදී යාතිකාවත වෙයි. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියෙහි (ආගමින් බෞද්ධ නොවන එහෙත් සංස්කෘතියෙන් සිංහලයන් වන්නෝ ද වෙති) අප දැන් පිවිස ඇත්තේ පූර්ව යුද්ධ සමයකට ය.

යුද්ධයට තව වැඩි කලක් නැත. අපට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනු ඇත්තේ ත්‍රස්තවාදී ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් ය. ඇමරිකාව තරමි ත්‍රස්තවාදී රටක් අද ලෝකයේ නැත. ඔසාමා බින් ලාඩන්ගේ ත්‍රස්තවාදය අපි අනුමත නො කරමු. එහෙත් බින් ලාඩන් ඝාතනය කිරීම සඳහා ඇමරිකාව වෙනත් ස්වෛරී රටක් වූ පකිස්තානයට බලයෙන් ඇතුල් විය. එය අමු අමුවේ ඊනියා ජාත්‍යන්තර නීතිය කඩා බිඳ දැමීමකි. බින් ලාඩන් මරාදමා ඇත්තේ අත් අඩංගුවට ගැනීමෙන් පසුව ය. බින් ලාඩන් ඇමරිකන් සෙබළුන්ට ප්‍රතිවිරෝධයක් දක්වා නැති බව පැහැදිලි ය. බිරිතානි බීබීසියේ හතරවැනි නාලිකාව අද බින් ලාඩන් ඝාතනය ගැන උනන්දුවක් දක්වන බව පෙන්වීමට උත්සාහ ගනියි. අප මේ බොරුවට ද නො රැවටිය යුතු ය. බටහිරයන් මානව අයිතිවාසිකම්වලට ගරු කරන බව පෙන්වීම මේ උත්සාහයේ අරමුණ වෙයි. එහෙත් සියල්ල අවසානයේ දී කියනුු ඇත්තේ ඇමරිකාව දැන් සිට ම කියන ආකාරයෙන් බින් ලාඩන් අත් අඩංගුවට ගැනීමට විරුද්ධවීම නිසා ඔහු භාතනය කිරීමට සිදු වූ බව ය. බින් ලාඩන් අවසාන මොහොතෙහි නිරායුධ ව සිට ඇත. එවැන්නකුගේ විරුද්ධතාවක් ආයුධ යොදා නොගනිමින් යටපත් කිරීමට ඇමරිකන් සුපිරි භටයන්ට නොහැකි වී යැයි අපි නො සිතමු. බින් ලාඩන්ගේ ත්‍රස්තවාදය අනුමත නොකළ ද නිරායුධ මිනිසකු අත් අඩංගුවට ගෙන මරාදැමීම පිළිබඳ ව බටහිරයන් හා මානව හිතවාදී පඬියන් කුමක් කියන්නේ දැයි දැනගැනීමට අපි පුළ පුළා බලා සිටින්නෙමු. එදා ප්‍රභාකරන් මියගියේ අත්අඩංගුවේ සිටිය දී බවට බොරු ප්‍රචාරයක් ගෙන යෑමට සිංහල විරෝධී ජනමාධ්‍ය උත්සාහ කළ බව අපි දනිමු. කෙසේ වෙතත් බින් ලාඩන් ඝාතනය ගැනත් ඉන් පෙර අවුරුදු දහයක පමණ කාලයක් තිස්සේ බින් ලාඩන් සෙවීමට ගිය ඇමරිකානුන් අතින් ඇෆ්ගනිස්තානයේ හා පකිස්තානයේ මියගිය දසදහස් ගණනක් වූ අහිංසක නිරායුධ සිවිල් වැසියන්ගේ ඝාතන ගැනත් සොයා බැලීමටත් කොමිසම් පත්කිරීමට ලංකාව පියවර ගතයුතු යැයි සිතමි. ඔසාමාගේ ත්‍රස්තවාදයට විරෝධය දක්වන අතර ම  ඔබාමාගේ ත්‍රස්තවාදයට ද අප විරුද්ධ විය යුතු ය.

බින් ලාඩන් ත්‍රස්තවාදියකු කළේ ඇමරිකාව ය. ඔවුහු රුසියාවට විරුද්ධව ඔහුට ත්‍රස්තවාදී පුහුණුවක් ලබා දුන්නෝ ය. එහෙත් පසුව ඊශ්‍රායලයෙහි ත්‍රස්තවාදී ක්‍රියාවලට එරෙහිව ඔහු එයට සහාය දුන් ඇමරිකාවට ද විරුද්ධ විය. ඇමරිකාව හා බටහිර රටවල් පලස්තීනයේ මුස්ලිම් ජනයාට විරුද්ධව හැකිනම් ඔවුන් නැතිකිරීමට බටහිර ආසියාවෙි ඊශ්‍රායලය ඇටවී ය. ඒ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යය තහවුරු කරගැනීමට ය. බටහිරයෝ (පළමුව ලන්දේසිහු දෙවනුව ඉංගිරිසිහු) සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව දෙමළ ජනයා ආනයනය කර දෙමළ ජාතිවාදය ඇතිකළහ. දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදී නායකයා වූයේ ප්‍රභාකරන් ය. ඔහුගේ ආධ්‍යාත්මික නායකයෝ හින්දු පූජකවරුන් නොව ක්‍රිස්තියානි/කතෝලික පූජකවරු වූහ. ප්‍රභාකරන් යොදාගනු ලැබුයේ ද බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය තහවුරු කර හැකිනම් සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකිරීමට ය. බටහිරයන් ප්‍රභාකරන්ට මුදල් හා ආයුධ සැපයූ නමුදු පසු කලෙක ප්‍රභාකරන් බටහිරයන්ට ද කරදරයක් විය. ඔහු තම සීමා නොදැන ක්‍රියා කළ උන්මන්තකයකු ලෙස බටහිරට පෙනී ගියේ යැයි සිතිය හැකි ය. බටහිරයන්ට ඔහු ලවා දෙමළ ජාතිවාදය ජයග්‍රහණය කරවීමට නොහැකි බව පෙනී යන්නට ඇත. එහි ප්‍රතිඵලය ලෙස නමිබියාර් හා පිල්ලෙයි වැන්නන් කෙතෙක් උත්සාහ කළ ද බටහිරින් ප්‍රභාකරන්ට ලැබුණු සහාය අඩුවන්නට ඇත. එහෙත් බටහිරයෝ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි තම අධිපතිවාදී ක්‍රියා අත් නොහළහ. ඔවුහු මහින්ද රාජපක්‍ෂ මහතාට නොයෙකුත් බලපෑමි කළහ. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන යෝජනා ඔවුහු ජනාධිපති තුමාට ඉදිරිපත් කළහ. මෙහි දී ඉන්දියාව ද බටහිරයන් සමග එකට කටයුතු කර ඇති බව පෙනී යයි. එහෙත් ජනාධිපතිතුමා බටහිරයන් ඉදිරිපත්කළ යෝජනාවලට එකඟ නො වී ය. අවසානයේ දී පරාජය වූයේ ප්‍රභාකරන් හා ත්‍රස්තවාදය පමණක් නොව බටහිරයන්ගේ හා ඉන්දියාවේ ද අවශ්‍යතාවන් ය. බටහිරයන් තමන් පරාජය වී ඇති බවත් මහින්ද රාජපක්‍ෂ මහතා තමන්ට වඩා දක්‍ෂ’යකු බවත් තේරුමි ගත්තේ ප්‍රභාකරන් මිය යෑමට ආසන්න මොහොතේ ය. එදා සිට ඔවුහු මහින්ද රාජපක්‍ෂ මහතාත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් දංගෙඩියට යැවීමට හා ආණ්ඩුව වෙනස්කිරීමට උත්සාහ කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ සරත් ෆොන්සේකා මහතා ලවා ඒ කරවීමට ය. සුදු කොඩි කතාව ඇරඹුණේ එලෙස ය. අපේ සංස්කෘතියට සාපේක්‍ෂව අදක්‍ෂයකු වූ රනිල් වික්‍රමසිංහ (ඔහු එංගලන්තයේ ඉපදිණි නමි අගමැති වන්නට තිබිණි) වෙනුවට සරත් ෆොන්සේකා ඉදිරියට පැමිණියේ එලෙස ය.

බටහිරයන් තම අවශ්‍යතා ඉටුකර ගැනීමට, එනම් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීමට, ප්‍රභාකරන්ගෙන් පසුව යොදා ගැනීමට බලාපෙරොත්තු වූයේ විසිරුණු දෙමළ ජනයා ය. එහෙත් ඔවුන්ට ප්‍රභාකරන් නැතිව පැවැත්මක් නො වී ය. අද ඇමරිකානුවන් හා ඉංගිරිසින් ප්‍රමුඛ බටහිරයෝ තුමූ ම ඒ සඳහා ඉදිරිපත් වී සිටිති. බ්ලේක් ප්‍රසිද්ධියේ කුමක් කීව ද, ඔහු පැමිණ ඇත්තේ යුද්ධයේ පිඹුරුපත් ද සමගින් ය. ඇතැමිවිට බටහිරයන් කිනමි ක්‍රමයකින් වුවත් තවත් ඊනියා ජාත්‍යන්තර කොමිසමක් පත්කිරීමට ඉඩ ඇත. ඔවුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දහතුනට එහා යන සංශෝධන ඉදිරිපත් කරනු ඇත්තේ ආක්‍රමණයක තර්ජන ද ඉදිරිපත් කරමිනි. ලංකාවෙි තෙල් හෝ වෙනත් එවැනි සම්පත් හෝ නැතිව අප ආක්‍රමණය කිරීමට ඇමරිකාවට හා යූරෝපයට ඇති අවශ්‍යතාව කුමක් දැයි පඬියන් ප්‍රශ්න කරනු ඇත. ඔවුන් ලෝකය දකින්නේ බටහිරයන් ඔවුන්ට දී ඇති දේශපාලන ආර්ථික ඇහෙනි. එහෙත් බටහිරයෝ තම සංස්කෘතික හා දේශපාලන (ආර්ථික නොවන) වුවමනාවන් පඬියන්ට නො කියති.   බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට සංස්කෘතික (ආධ්‍යාත්මික) වශයෙන් ඇති ප්‍රධාන අභියෝගය ථෙරවාද බෞද්ධ සංස්කෘතිය ය. බටහිරයන්ගේ ආක්‍රමණයකට අප අද සිට ම සූදානම් විය යුතු ය. ජනාධිපතිතුමා ආරක්‍ෂා කරගන්නා අතර රට ජාතිය ආගම (සසුන) ආරක්‍ෂා කරගැනීම අපේ කාර්යභාරය වෙයි. අපේ හමුදා ශක්තිය වර්ධනය කරගැනීමට ක්‍රියා කරන අතර අපි ආධ්‍යාත්මික වශයෙන් ද සන්නද්ධ විය යුත්තෙමු. එහි දී අපේ ගුරුවරයා අන් කිසිවකු නොව ගැමුණු කුමරු ය. එළාරට විරුද්ධව කළ සටන ආයුධවලින් පමණක් කළ සටනක් නො වී ය. එහි දී ආධ්‍යාත්මික ශක්තිය ද එතුමා යොදා ගත්තේ ය. ජාතියක් ලෙස ආධ්‍යාත්මික ශක්තිය වැඩිකර ගැනීමට අප කළ හැකි සෑම දෙයක් ම කළ යුතු ය. අඩුම තරමින් ජාතියේ විශාල පිරිසක් පන්සිල් රකින්නන් බවට පත්විය යුතු ය. අනුරාධපුර යුගය අපේ ස්වර්ණමය යුගය වූයේ අපේ ආධ්‍යාත්මික ශක්තිය ද ඒ යුගයේ ඉහළ මට්ටමක තිබූ බැවිණි. එකල රජ කුමරුවෝ ද භාවනා කළහ. රජවරු බෝසත්වරු වූහ. එළඹෙන සම්බුද්ධත්ව ජයන්තියට අපි අලුත් පැතිකඩක් එකතු කරමු. ජාතියේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීමට අපි අධිෂ්ඨාන කර ගනිමු.