Main Logo

Sunday 16 February 2014

ජෙනීවා පරදවමු -2


ජෙනීවා ප්‍රශ්නයක් වී ඇත්තේ මෙරට ඊනියා උගතුන්ට ය. බටහිර අධ්‍යාපනයක් ඉංගිරිසියෙන් හෝ සිංහලෙන් ලබා ඇති මේ උගත්තු බටහිරයන්ගේ බටහිර විද්‍යාව ඇතුළු පට්ටපල් බොරුවලින් මුළා වෙති. ඔවුන්ට තම ඊනියා උගත්කම පෙන්වීමට ද ජෙනීවා උදවු වෙයි. ජෙනීවාහි දී කුමක් වේ ද? ආර්ථික සම්බාධක පැණවීමට ඉඩක් වේ ද? ආදී ප්‍රශ්න මේ උගතුන්ගේ සාකච්ඡාවට භාජනය වෙයි. එහෙත් නියම ප්‍රශ්නයට උගතුන්ට මගහැරෙන්නේ ඔවුන් උගතුන් පමණක් වූ බැවිනි. ඔවුන්ට අනුව අද ඇත්තේ මානුෂික මෙහෙයුම්වල අවසාන සති දෙකෙහි මානව අයිතිවාසිකම් කඩවීම පිළිබඳ ප්‍රශ්නයකි. එහෙත් දෙමළ ජාතිවාදයට ඇතැම් දේ දෙන්නේ නම් මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ චෝදනා අස්කර ගැනීමට බටහිරයන් කැමත්ත පළකර ඇති බව ඔවුහු අමතක කරති. බටහිරයන්ට ඇත්තේ මානව අයිතිවාසිකම් කඩවීමේ ප්‍රශ්නයක් නොව සිංහල බෞද්ධ චින්තනය හා ඔවුන්ට අවනත නොවී කොටින් පැරද වූ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පැරදවීමේ  අභිලාෂයකි. අද එ ජා පක්‍ෂයේ කිරිඇල්ලත් ජ වි පෙ නව නායකයාත් බෙරිහන් දෙමින් කියන්නේ ජෙනීවා ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ ආණ්ඩුවේ වරදින් බවත් ජෙනීවා යෝජනා ආණ්ඩුවට මිස රටට විරුද්ධ ව නොවන බවත් ය. මේ අතර මාදුළුවාවේ සෝභිත හිමියන් පවසා ඇත්තේ මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට තමන්වහන්සේ එකඟ බවත් වරදක් කර නැත්නම් එවැනි පරීක්‍ෂණයකට බිය නොවිය යුතු බවත් ය. උන්වහන්සේ ජනාධිපතිවරණයේ දී පොදු අපේක්‍ෂක (අපේක්‍ෂකයන් වහන්සේ) බවට පත්වීමටත් කැමැත්ත පළකර ඇත. 

සෝභිත හිමියන් ජනාධිපතිවරණයේ දී තරග කළහොත් ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට විසිපහකට අඩුවන බැවින් ඒ ගැන කතා නොකර සිටීම වැඩදායක ය. එහෙත් ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණය ගැන කතා නොකර සිටීමට නො හැකි ය. මේ ජාත්‍යන්තරය යනු කවු ද? දෙමළ ජාතික සංධානයේ සිංහල විරෝධී ඊළාම්වාදී ප්‍රේමචන්ද්‍රන්ලා ද ඉල්ලා සිටින්නේ ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයකි. ඔවුහු මෙරට දී සිදු කෙරෙන පරීක්‍ෂණයකට විරුද්ධ වෙති. ඔවුහු ජනගනන හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට ද විරුද්ධ වෙති. ඒ ඔවුන් මෙරට රාජ්‍යයෙන් වෙන් වී ඊනියා ජාත්‍යන්තරයේ අනුග්‍රහය මත ඊළමක් පිහිටුවීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින බැවිනි. සෝභිත හිමියන්ට එවැනි අවශ්‍යතාවක් නැතැයි අපි තවමත් උපකල්පනය කරමු. එහෙත් ඊනියා ජාත්‍යන්තරය යනු ලෝක ජාත්‍යන්තරයක් නොව එංගලන්තය, ඇමරිකාව ආදී බටහිර රටවල් කිහිපයක ව්‍යාජ ජාත්‍යන්තරයකි. අප රටේ දෙමළ ජාතිවාදී ප්‍රශ්නය ඇති කළේ එංගලන්තය ය. එංගලන්තයත් ඇමරිකාවත් ඇතුළු ව්‍යාජ ජාත්‍යන්තරයට අවශ්‍ය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ලෝ පුරා පැතිරවීමට ය. එහි දී ඔවුන්ට සිංහල බෞද්ධ චින්තනය හා සංස්කෘතිය කුඩු පට්ටම් කර දැමීමට අවශ්‍ය වෙයි. ඔවුන් 1650න් පසු ගෙන් වූ දෙමළ වෙල්ලායන් ද දැන් බටහිර සිටින විසිරුණු දෙමළ ජනයා ද යොදා ගන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට හා චින්තනයට එරෙහි ව ය. මුළු මහත් දෙමළ ප්‍රශ්නය ම සිංහල බෞද්ධයනට එරෙහිව අධිපතිවාදී යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් ඇතිකරන ලද්දකි. අවාසනාවකට අද බටහිරයන් සිංහල බෞද්ධ චින්තනය සමග නැති භික්‍ෂූන්ගේ පල්ලි නිකායක් ද ඇතිකර සිංහල බෞද්ධ චින්තනයට විරුද්ධ ව එය යොදාගනු පෙනෙන්නට ඇත. ව්‍යාජ ජාත්‍යන්තරය පහළොස්වැනි සියවසේ සිට අද දක්වා ම නිරන්තරයෙන් මානව අයිතිවාසිකම් කඩකරමින් අපේ රණවිරුවන් අතින් සිදු වී යැයි කියන මානව අයිතිවාසිකම් කඩවීම් ගැන පරීක්‍ෂණ කළ යුතු යැයි කියන්නේ එ ජා ප හා ජ වි පෙ වැනි සිංහල බෞද්ධ විරෝධී පක්‍ෂ කියන ආකාරයට ආණ්ඩුවට විරුද්ධව නොව සිංහල බෞද්ධ චින්තනයට හා සංස්කෘතියට එරෙහි ව ය. ඉහත කී පක්‍ෂ ජෙනීවා චෝදනා ආණ්ඩුවට විරුද්ධව යැයි කියන විට ඔවුන් තැත්කරන්නේ එහි ඇති සිංහල බෞද්ධ විරෝධය වසා දැමීමට ය. ව්‍යාජ ජාත්‍යන්තරය පරීක්‍ෂණවලින් රටට හා සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමට බලාපොරොත්තු වෙයි. 

අනෙක් අතට අප නිවැරදි නම් පරීක්‍ෂණයකට  බිය විය නැතැයි යන්න සත්‍යයක් වුවත් එයින් ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට එකඟ විය යුතු බවක් ගම්‍ය නො වේ. අද අපේ ප්‍රධාන ම සතුරා එංගලන්තය ය. මෙරට කසිකබල් උගත්තු, විශේෂයෙන් ම ඉංගිරිසි උගත්තු එසේ කීම ගැන අසතුටු වෙති. එහෙත් එංගලන්තය අපේ ප්‍රධාන ම සතුරා බව අවබෝධ කරගන්නා තෙක් අපට දෙමළ ජාතිවාදය මුළුමනින් ම පැරදවිය නොහැකි ය. අප නොකළ වරදක් ගැන අපේ ප්‍රධාන ම සතුරා කිසිම සාක්‍ෂියක් නොමැතිව කෑ ගෑසූ පමණින් අප සතුරා විසින් ම කෙරෙන පරීක්‍ෂණවලට එකඟ විය යුතු ද? සතුරාගේ මෙරට නියෝජිතයන් වූ දෙදෙනකු වූ රායප්පු ජෝසෆ් හා සවුන්ද්‍රනායගම් යන බිෂොප්වරු ඇසින් දුටු සාක්‍ෂි ඇතැයි කියමින් රසායනික ප්‍රහාර හා සාමාන්‍ය වැසියන්ට බෝම්බ දැමීම් ගැන කතා කරති. අප ව්‍යාජ ජාත්‍යන්තර පරීක්‍ෂණවලට එකඟ විය යුත්තේ සාක්‍ෂිකරුවන් නැතිව කරන මෙවැනි අභූත චෝදනා මත පදනම් වී ද? අප කළ යුත්තේ රටට එරෙහිව එලෙස පදනම් විරහිත චෝදනා ඉදිරිපත්කරන බටහිරයන්ගේ අවශ්‍යතා ඉටුකරන්නන් අධිකරණය ඉදිරියට පැමිණවීම සඳහා නීති රීති සම්පාදනය කිරීම ය. අපේ නිවැරදිකම ප්‍රදර්ශනය කිරීමට යැයි කියමින් ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණවලට එකඟවන්නන් ද ඉටුකරන්නේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ අවශ්‍යතා ය. ආර්්ථික සම්බාධක පැණවීමට ජෙනීවා සමුළුවට නීතියෙන් ඉඩක් නැතිවුවත් බටහිරයන් අපට දඬුවම් කර අප මෙල්ලකිරීම සඳහාත් ආණ්ඩුව පළවා හැරීම සඳහාත් සිංහල බෞද්ධ සංස්කෘතිය පොඩි පට්ටම් කිරීම සඳහාත්  වක්‍ර ව ආර්ථික වශයෙන් හිරිහැර කරනු ඇත. අද ආණ්ඩුව පෙරළා දැමීමට ඊනියා වසන්ත මෙහෙයවීමට තරම් නායකත්වයක් මෙරට කිසිම විපක්‍ෂ කණ්ඩායමකට  හෝ දේශපාලන පක්‍ෂයකට හෝ නැති බව දත් කැමරන් තම එංගලන්ත අගමැතිකමට අමතරව ලංකාවේ විපක්‍ෂ නායක පදවිය ද තමන් අතට ගෙන ඇත. අද මෙරට දේශපාලනය ක්‍රියාත්මක වන්නේ ජෙනීවා, ලන්ඩන්, වොෂිංටන් නගරවල මිස කොළඹ නො වේ.  බටහිරයන් ලන්ඩන් හා වොෂිංටන් සිට පනවන වක්‍ර ආරථික සම්බාධක  ඊනියා උගතුන්ට ප්‍රශ්නයක් වනු ඇත. එහෙත් ඔවුහු (අඩුම තරමෙන් ඔවුන්ගේ දෙමවුපියෝ) දෙවැනි ලෝක යුද්ධය යනුවෙන් හැඳින්වෙන බටහිරයන්ගේ යුද්ධයේ දී සුද්දන් වෙනුවෙන්, සුද්දන්ගේ ලෝක ආධිපත්‍යය වෙනුවෙන්, බජිරි කෑවෝ ය. සුද්දන් වක්‍ර ව ආර්ථික වශයෙන් අපට හිරිහැර කළහොත් එයට මුහුණ දීමට අප සූදානම් විය යුතු ය. අපේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ඊනියා උගතුන්ට බජිරි කැවීමට අවශ්‍ය නම් අප එය ද කළ යුතු ය. (මතු සම්බන්ධයි) 


නලින් ද සිල්වා

2014-02-16