ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත මහාචාර්ය අශෝක අමරතුංග මහතා මා වචන හා වචන යන මැයෙන් පළකළ ලිපිය තම පෙබරවාරි 19 වැනි දින ලිපියෙන් මුළුමනින් ම බැහැර කරන්නේ එහි කිසිවක් පවසා නැති බව සඳහන් කරමිනි. මගේ ලිපියෙහි මා ප්‍රකාශ කළේ අමරතුංග මහතා වචනවල තේරුම නොදැන බොහෝ මහාචාර්යවරුන් හා නිවේදකයන් මෙන් වචනවලින් දමාගසන බවත් ඔහුට තමා කියන්නෙ කුමක් ද යන්න පිළිබඳ ව අවබෝධයක් නැති බවත් ය. මගේ ලිපියෙහි කිසිවක් නැති බව ඒ මහතා කියන්නේ නම් එයින් ද ප්‍රකාශ වන්නේ ඔහුට ඇතැම් ලිපියක් කියවා අවබෝධ කරගැනීමට තරම්වත් ශක්තියක් නොමැති බව ය.
ඉන්පසු ඒ මහතා විද්‍යාව යනුවෙන් ඇත්තේ එකක් ම පමණක් බවත් යුරෝපීය විද්‍යාඥයන් 15, 16, 17 වැනි සියවස්වල අතීතයේ පැවති විද්‍යාව පරිහානියට පත් වී නව විද්‍යාවක් ඇති වූ බව ලෝකයට පෙන්වීමට තැත්කරන බවත් ඒ නව විද්‍යාව “පැරණි විද්‍යාවට වඩා වෙනස් බව ද ක්‍රමවේදය තුළට රීතියකට යටත් වූ පර්යේෂණ ක්‍රම සහ ගණිතමය ක්‍රම ඇතුළු වී ඇති” බවත් ඔවුන් පෙන්වා දෙන බවත් සඳහන් කරයි. “ එහෙත් මේ තර්කය තමන් ලෝකයේ අන් ජාතීන්ට වඩා උසස් බව පෙන්වීමට කවදත් තැත් කරන ඔවුන්ගේ (යුරෝපයයන්ගේ) උපක්‍රමයක් පමණක් බව අප වටහා ගත යුතු ය” යනුවෙන් ද අමරතුංග මහතා පවසයි. මෙහි තර්කය යනුවෙන් කියැවෙන්නේ තර්කයකට නොවූවත් අමරතුංග මහතා කීමට තැත්කරන්නේ කුමක් දැයි අපට අවබෝධ කරගත හැකි ය.
අමරතුංග මහතාට අනුව “එක ම ඉන්ද්‍රිය පද්ධතියකට කළ හැක්කේ එක ම ආනුභූතික ක්‍රියාකාරකම් ය. එක ම ස්වභාවධර්මයක් පිළිබඳ ව ගවේෂණයක යෙදෙන්නේ එක ම ස්නායු පද්ධතියක් විසින් නම් ක්‍රමවේදය ද එකක් ම විය යුතු ය….. …. … .. විද්‍යාත්මක සාක්‍ෂි සංස්කෘතියේ බලපෑමට යටත් නොවිය යුතු ය. නිරීක්‍ෂකයාගේ සංස්කෘතික පසුබිම ඊට බලපාන බව තෝමස් කූන් නම් දාර්ශනිකයා ප්‍රකාශ කරයි” මෙයට පසුව දීරඝ පිළිතුරක් දීමට බලාපොරොත්තු වෙමි. එහෙත් දැනට කරුණු දෙකක් පමණක් සඳහන් කරමි. ආනුභවික ක්‍රියාකාරකම් මනසෙන් ස්වායත්ත නො වේ. මනසක් නොමැති ව කෙරෙන ආනුභවික ක්‍රියාව කුමක් ද? අමරතුංග මහතාගේ ප්‍රශ්නවලට මුල ඔහු මනසේ ක්‍රියාකාරීත්වය නො තැකීම ය. සම්මුති නොවන අර්ථයකින් මනසක් පමණක් නොව ඉන්ද්‍රිය පද්ධතියක් ද නැතත් සම්මුති වශයෙන් අපට ඒ කිසිවක් නොසලකා සිටිය නො හැකි ය. සංස්කෘතිය බලපාන්නේ ඉන්ද්‍රිය පද්ධතියට (පංචෙන්ද්‍රියයන්ට) නොව මනසට ය. දැනුම නිර්මාණය කෙරෙන්නේ මනසෙනි.
දෙවනුව කූන් නිරීක්‍ෂකයාගේ සංස්කෘතික පසුබිම ඊට බලපාන්නේ යැයි ප්‍රකාශ කරන්නේ යැයි අමරතුංග මහතා සඳහන් කරයි. මෙහි ඊට යනුවෙන් කියැවෙන්නේ කුමකට දැයි පැහැදිලි නැත. ඒ ඊනියා විද්‍යාත්මක සාක්‍ෂිවලට යැයි උපකල්පනය කරමු. එහෙත් මා දන්නා තරමින් කූන් එවැන්නක් කියා නැත. බටහිර විද්‍යාව හා සංස්කෘතිය අතර කිසියම් වූ ආකාරයක වුව සම්බන්ධයක් ඇතැයි කූන් ප්‍රකාශ කර ඇත්තේ කොතැනක දැයි සම්මානිත මහාචාර්යවරයා පුහුදුන් අපේ දැනුම වර්ධනය කිරීම සඳහාවත් ප්‍රකාශ කරන්නේ ද?
බටහිරයන් තම දැනුම උසස් බව පෙන්වීමේ අරමුණෙන් බටහිර විද්‍යාවේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ඇති බව මා කියන්නේ අද ඊයේ නොවන බව මගේ ලිපි හා පොතපත කියවා ඇති අය දනිති. ඊනියා පර්යේෂණ බුදුන්වහන්සේගේ කාලයේත් බමුණන් කර ඇති බව මා පවසා ඇත්තේ වරක් දෙවරක් නො වේ. එහෙත් එයින් කියැවෙන්නේ බටහිර විද්‍යාව හා අනෙක් දැනුම් අතර වෙනසක් නැති බව නො වේ. බටහිර විද්‍යාව අනෙක් දැනුම්වලින් වෙනස්වන්නේ එහි පදනම් චින්තනය හේතුවෙනි.
ඕනෑම දැනුමක් යම් චින්තනයක් මත පදනම් ව යම් සංස්කෘතියකට සාපේක්‍ෂව නිර්මාණය කෙරෙයි. එසේ නිර්මාණය කෙරෙන්නේ අවිද්‍යාව හේතුකොටගෙන ය. මා එලෙස සඳහන් කරන්නේ නිරාමාණාත්මක සාපේක්‍ෂතාවාදයෙහි සාරාංශය ය. මා විසින් දැනුමට එකතු කෙරී ඇති මූලික දැනුම එසේ කැටිකර දැක්විය හැකි ය. එය කූන් හෝ ෆෙයරාබන්ඩ් හෝ විසින් එකතු කෙරුණු දැනුමක් නො වේ. බටහිර විද්‍යාව පහළොස්වැනි සියවසේ බිහි වී ඉන් පසු වර්ධනය වූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙයි. බටහිර විද්‍යාව පට්ටපල් බොරු වන්නේ මේ චින්තනය මත පදනම් ව නිර්මාණය කෙරෙන වියුක්ත (abstract) ප්‍රවාද මනසෙන් මවාගැනීමටවත් නොහැකි එහෙත් මනසෙන් නිර්මාණය කෙරෙන, බුදුන් වහන්සේට අනුව නම් හුදු පඥ්ඤත්ති (පැනවීම්) වීම නිසා ය.
දැනුම් පද්ධතීන් අතර ඇති සමානකම් ලෙස අමරතුංග මහතා දකින්නේ බටහිරයන් පෙරදිග දැනුම් තම නව චින්තනය මත පදනම් ව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අවශෝෂණය කිරීමෙන් ලබාගත් ප්‍රතිඵල ය. අමරතුංග මහතා සඳහන් කර ඇති පරිදි නොව බටහිර ගණිතය හෝ බටහිර භෞතික විද්‍යාව හෝ මගේ ඒකාධිකාරයක් නො වේ. එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාල තුනක බටහිර ගණිතය, විශේෂ හා සාධාරණ සාපේක්‍ෂතාවාද සහ ක්වොන්ටම් භෞතිකය ඇතුළු බටහිර ප්‍රවාදාත්මක (සෛද්ධාන්තික – theoretical) භෞතික විද්‍යාව උගන්වා ඇති මා ඒ විෂයයන් පිළිබඳ යමක් දන්නේ යැයි අදාළ බලධාරීන් තීරණය කර ඇත. (විශ්වවිද්‍යාල දෙකකින් ම මා කොන් වී ගියේ අනධ්‍යයන හේතු නිසා බව මට මහාචාර්යකම රැක ගැනීමට නොහැකි වී යැයි ප්‍රකාශ කරන අමරතුංග මහතා පිළිගන්නේ දැයි මම නො දනිමි.) මා අමරතුංග මහතාගෙන් මෙතෙක් ඉල්ලා ඇත්තේ එක ම එක දෙයකි. මගේ දැනුම දියුණු කරගනු සඳහා තන්තුවාදය, කළු කුහර (බ්ලැක් හෝල්), සාපේක්‍ෂතාවාදය ආදිය පිළිබඳ දේශනයක් හෝ දේශන මාලාවක් හෝ පවත්වන ලෙස ය.
අද මම ඒ දේශන සඳහා තවත් කරුණු කිහිපයක් එකතු කිරීමට කැමැත්තෙමි. එකක් ගණිතය හා සම්බන්ධ ය. තවත් එකක් වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ ය. වෛදික ගණිතය හා බටහිර ගණිතය අතර ඇති සමානකම් කවරේ දැයි අමරතුංග මහතාගෙන් දැන ගැනීමට මම කැමැත්තෙමි. තවදුරටත් වෛදික ගණිතය බොහෝවිට සූත්‍රවලින් දැනුම ප්‍රකාශ කරන්නේත් එය බොහෝ විට වියුක්ත නොව සංයුක්ත (concrete) වන්නේත් බටහිර ගණිතය වියුක්ත වන්නේත් ඇයි දැයි දැනගැනීමට ද මම කැමැත්තෙමි.
වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධයෙන් මට අවශ්‍ය වන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව, ආයුර්වේදය හා පාරම්පරික සිංහල වෙදකම අතර ඇති සමානත්වය දැනගැනීමට ය. ඒ වෛද්‍ය ක්‍රම තුන ම එකක් යැයි අමරතුංග මහතා පවසන්නේ ද? එසේත් නැතහොත් ආයුර්වේදය හා සිංහල පාරම්පරික වෙදකම යන දෙකෙන් එකක් හෝ දෙක ම හෝ මිථ්‍යාවන් යැයි ඒ මහතා ප්‍රකාශ කරන්නේ ද? ශ්‍රී ලංකා (බටහිර) වෛද්‍ය පාලක සභාව දැනට දශක දෙකකට පමණ ඉහත දී කොළඹ විශ්වවවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක දී කොළඹ විශ්වවිද්‍යාලයේ (බටහිර) වෛද්‍ය පීඨයේ බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහතික ලත් මහාචාර්යවරුන්ට හා කථිකාචාර්යවරුන්ට දේශීය වෛද්‍ය ආයතනයේ ඉගැන්වීම තහනම් කළේ ය.
එකල අමරතුංග මහතා විශ්වවිද්‍යාල පද්ධතියේ සේවය කළේ දැයි නො දනිමි. එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන සභාවේ දී ද විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ දී ද වෛද්‍ය පාලක සභාව විශ්වවිද්‍යාල ස්වාධීනත්වයට එරෙහිව ගන්නා ලද යථොක්ත තීරණයට එරෙහිව සටන් කිරීමට අප කිහිප දෙනකුට සිදු විය. බටහිර වෛද්‍ය විද්‍යාව විසින් ආයුර්වේදය එයට සමාන හෝ පිළිගත හැකි හෝ වෛද්‍ය ක්‍රමයක් ලෙස නො පිළිගැනෙයි. බටහිරයන්ගේ උද්ධච්චකම ඇත්තේ බටහිරයන්ට පමණක් නො වේ.
එහෙත් අවාසනාවකට මේ උද්ධච්චකම අද ඇතැම් ආයුර්වේද වෛද්‍යවරුන් අතර ද දැකිය හැකි ය. ඔවුහු සිංහල පාරම්පරික වෛද්‍යවරුන්ට කුඩම්මාගේ සැලකිල්ල දක්වති. බටහිර වෛද්‍ය විද්‍යාවේ ආධිපත්‍යය කෙතරම් ද යත් අද නිදහස් සෞඛ්‍ය සේවය බටහිර වෛද්‍ය ප්‍රතිකාරකම්වලට පමණක් සීමා වී ඇත. එය අපේ සාකච්ඡාවට අදාළ නැතැයි අමරතුංග මහතා කීමට ඉඩ ඇත. එහෙත් ආණ්ඩුව ආයුර්වේද වෛද්‍ය සායනවත් පාරම්පරික සිංහල වෙදගෙවල්වත් ජනතාව සඳහා නොමිළේ පවත්වාගෙන යෑමට ආධාර නොකරන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට මෙන් පිළිගැනීමක් අනෙක් වෛද්‍ය ක්‍රමවලට නොමැති බැවිනි. ආයුර්වේදයට හා සිංහල පාරම්පරික වෙදකමට පිළිගැනීමක් නැත්තේ එහි ඊනියා විද්‍යාත්මක විධික්‍රමය නැති බවට මතයක් ඇතිකර ඇති බැවින් ද?
අවසාන වශයෙන් පසුව දිර්ඝ ව පිළිතුරු දෙන තෙක් අමරතුංග මහතා බටහිර සංගීතය, රාගධාරී සංගීතය, කර්ණාටක සංගීතය, සිංහල සංගීතය, චීන සංගීතය අතර වෙනසක් දකින්නේ දැයි පවසන්නේ නම් මැනවි. එහෙත් එය බටහිර විද්‍යාවෙන් ඈත තිබෙන්නේ යැයි කිවහැකි බැවින් එය අමරතුංග මහතාට බරක් කිරීමට මම උත්සාහ නො ගනිමි. කෙසේ වෙතත් ඉහත සඳහන් සියලු උදාහරණවලින් මා පෙන්වා දීමට තැත් කරන්නේ මනස විසින් නිර්මාණය කෙරෙන දැනුම් පද්ධතීන් එකිනෙකින් වෙනස් බව ය.
අපි දැන් නැවතත් පසුගිය සතියේ සාකච්ඡා කළ ප්‍රශ්න දෙකට ආපසු යමු. අවාසනාවකට දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු දීම තවත් පමා කිරීමට සිදුවෙයි. අපි ගෙදර යෑම හඳට යෑම හා පරළොව යෑම සමග මතුවෙන ආත්මවාදී ප්‍රශ්නය සාකච්ඡා කරමින් සිටියෙමු. මා යනුවෙන් පුද්ගලයකු නැති වුවත් එය මනසේ මායාවක් වුවත්, එය බුදුන් වහන්සේට ද අනුව පඤ්ඤත්තියක් (පැනවීමක්) මුසාවක් (එනම් බොරුවක්) වුවත් අපි ඒ සංකල්පය විවිධ අවස්ථාවල දී සාර්ථක ව යොදා ගන්නෙමු.
නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ද එසේ ම ය. එය සිතෙන් මවා ගැනීමටවත් නොහැකි පට්ටපල් බොරුවක් පමණකි. එය ද අපේ (නිවුටන්ගේ) පැනවීමක් (පඤ්ඤත්තියක්) පමණකි. පොළොවට වස්තු වැටෙන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිලිතුරක් අවශ්‍ය විය. ඒ පිළිතුර දුන්නේ නිවුටන් ය. අමරතුංග මහතා තම ලිපියකින් කියා තිබුණේ වස්තු වැටෙන්නේ පොළොවට ඇති ආකර්ෂණය නිසා බව ය. මේ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල අමරතුංග මහතා දක්වා ඇති පරස්පර අදහස් ඉඩක් ලද විගස උපුටා දක්වමි. ඒ මහතා වරක් ගුරුත්වාකර්ෂණය ඇතැයි කීවා පමණක් නොව ඒ ඇති බව තට්ටු දොළහක ගොඩනැගිල්ලකින පැන දැනගත හැකි බවත් කීවේ ය. එහෙත් පසුව ඔහු ගුරුත්වාකර්ෂණය දැනෙන දෙයක් නොවේ යැයි කීවේ ය.
පොළොවට වස්තු වැටෙන්නේ ඇයි ද යන ප්‍රශ්නයට විවිධ පිළිතුරු දිය හැකි ය. නිවුටන් හා අයින්ස්ටයින් සංකල්පීය වශයෙන් කිසිම සමානකමක් නැති පිළිතුරු දෙකක් දී ඇත. ඒ පිළිතුරු පැනවීම් (පඤ්ඤත්ති) පමණ ය. ඒවා පට්ටපල් බොරු ය. ඒ එක් බොරුවක්වත් සිතෙන් මවාගත හැකි නො වේ. නිවුටන්ගේ දුරෙහි සිදුවන ක්‍රියාව (action at a distance) සිතෙන් මබාගැනීමට අමරතුංග මහතාට හැකි ද? එසේත් නැතහොත් අයින්ස්ටයින්ගේ ස්ථානීය (local) අවකාශ කාල වක්‍රතාව (curvature) හා රීමාන් ආතානකය (Riemann Tensor) සිතෙන් මවාගැනීමට ඒ මහතාට හැකි ද? ඒ සංකල්ප පට්ටපල් බොරු වුවත් අපට ඒ ආධාරයෙන් හඳට රොකට්ටු යැවීමට, බුධ ග්‍රහයාගේ චලිතය විස්තර කිරීමට හැකි ය. මා නම් බොරුව යොදා ගෙන මට ගෙදර (ගෙදර කියන බොරුවට) යා හැකි නම් නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය නමැති පට්ටපල් බොරුව යොදා ගෙන හඳට රොකට්ටු යැවීම අරුමයක් නො වේ. අමරතුංග මහතා මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ලීලා සංඥාපනය ගැන සඳහන් කරයි. සංඥාපනයට අනුව විද්‍යාවන් තිබිය යුත්තේ එකකි. වික්‍රමසිංහගේ ලීලාව ගැන අපි පසුව කතා කරමු.
නලින් ද සිල්වා
2014-02-26
2014-02-26