Main Logo

Wednesday 22 May 2013

පුස්සෝ හා නිවටයෝ යනු කවරහුද?


ආරම්භයේ දී ම කිව යුත්තක් වෙයි. මා විදුසර පුවත්පතෙහි හෝ වෙනත් පුවත්පතක හෝ පළකරන ලිපියක් මෙරට බලපවත්නා නීතිය අනුව අයත්වන්නේ අදාළ පුවත්පත් ආයතනයට ය. ඒ ආයතනයේ අවසරයක් නොමැතිව ඒ ලිපි වෙනත් සඟරාවක, පුවත්පතක, වෙබ් අඩවියක හෝ වෙනත් තැනක පළකිරීම නීති විරෝධී වෙයි. එහෙත් මෙරට ඒ නීතිය කැඩීම වරදක් ලෙස නොසිතන බැවින් දෝ එක් එක් අය තමන්ට අවශ්‍ය ආකාරයට වෙනත් අය විසින් ලියනු ලැබ ඇති ලිපි පළකරති. මා විදුසරට ලියන්නේ දිර්ඝ ලිපි පෙළක් බැවින් ඉන් එක් ලිපියක් පමණක් සන්දර්භයෙන් පිට  පළකිරීමෙන් වන හානිය සුළුපටු නො වේ.

මෙය වඩාත් ම බැරෑරුම් වනුයේ ඒ ලිපි පළකර ඒවාට ප්‍රතිචාර දැක්වීමට ඉඩ සලසන වෙබ් අඩවවිල ය. අද ජාතික මතවාදයෙහි ඇතැයි කියන එක්තරා කසිකබල් වෙබ් අඩවියක් ඔවුන්ට අවශ්‍ය ඊනියා ප්‍රාඥයන් හුවා දැක්වීමටත් මා අවමානයට පත්කිරීමටත් මගේ ලිපි පළකර ඔවුන්ගේ ගෝල බාලයන්ට ඒවාට ප්‍රතිචාර දක්වා මා මුග්ධයකු, ලිපියක් ලියා ගැනීමට නොදත්තකු අන්‍යයනට අවමාන කරන්නකු හීන මානයෙන් පෙළෙන්නකු ආදී ලෙස හැඳින්වීමට අවස්ථාව ලබාදීමටත් කටයුතු කරයි. මේ කසිකබල් වෙබ් අඩවියේ ප්‍රතිචාර එකක් එකක් ගෙන ඒවාට නිසි පිළිතුරු සැපයිය හැකි නමුත් එය පුරුද්දක් කරගතහොත් මට වෙනත් කටයුත්තක් කරගැනීමට අවසර නොලැබෙනු ඇත. මේ වෙබ් අඩවිය තම නායකයාගේ ප්‍රකාශවලට ප්‍රතිචාර දැක්වීමට බොහෝ විට අවස්ථාව නො දෙයි.

මා ලිපි ලියන්නේ භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම දේශනා ශෛලිය අනුගමනය කරමිනි. ඇතැම් විට ලිපියක එකිනෙකට වෙනස් යැයි එකිනෙකට සම්බන්ධ නොවන්නේ යැයි සැලකිය හැකි  දේ සඳහන් වෙයි. උසස් පෙළ දක්වා හෝ උපාධිය දක්වා හෝ බටහිර දැනුම කටගාගත් අයකු සිතන්නේ ඒ ලිපිවල වැල්වටාරම් මිස බටහිර දන්ත වෛද්‍ය විද්‍යවේ හෝ වෙනත් බටහිර දැනුමක හෝ මෙන් “ ඒකාත්මික ව”   ලියන ලද්දක් නැති බව ය. එහෙත් ඔවුන් ඒ ලිපි තරමක් මහන්සියෙන් කියවන්නේ නම් මා සඳහන් කරන කරුණුවල සම්බන්ධයක් ඇති බව පෙනී යනු ඇත.

මේ කසිකබල් වෙබ් අඩවිය පළකරන සංවිධානයේ ද ඇත්තේ ගුණදාස අමරසේකර මහතා මෙන් ම මාක්ස්වාදය මෙරට ජාතික චින්තනයේ දර්ශනය විය යුතු යැයි විශ්වාස කරන්නවුන් ය. බටහිර විද්‍යාව ඉගෙනගත් මේ අයට බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කීම දරාගත නොහැකි බව ඔවුන් කියන කරන දෙයින් පැහැදිලි ය. මේ එක් අයකු දිනක් මා සමග පැවසුවේ එදින මා ලියා තිබූ ලිපිය නම් අනෙක් අයට දිරවාගත හැකි වන ලෙස ලියා ඇති බව ය. එයින් අදහස් වූයේ මා අනෙක් දිනවල ලියන ලිපි දිරවාගත නොහැකි බව ය. මොවුන්ට ඒ ඒ මිනිසුන්ගේ දැනුම යනු යම් චින්තනයක් මත පදනම් ව යම් සංස්කෘතියකට  සාපේක්‍ෂව නිර්මාණය කෙරෙන්නක් ය යන්න නො වැටහෙයි.

මේ කසිකබල් වෙබ් අඩවියට ප්‍රතිචාර දක්වා ඇති එක් අයකුට අනුව මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා කීර්තිමත් විද්‍යාඥයෙකි. ඔහු අද එංගලන්තයේ කුඩා විශ්වවිද්‍යාලයක් වූ බකිංහම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයක් දරන බව සැබෑ ය. එහෙත් ඔහු ලෝකයාට දුන් නව දැනුමක් නැත. ඔහු අඩුම තරමෙන් ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකයකුවත් නො වේ. එම සංගමයේ සාමාජිකත්වය ලැබෙන්නේ යම් තරමකින් වුව ද බටහිර විද්‍යාවේ කේන්ද්‍රයෙහි දැනුමක් එකතු කළ අයට ය. වික්‍රමසිංහ මහතා කරන්නේ ඔහුගේ ගුරුවරයා වූ ද සුප්‍රසිද්ධ තාරකා විද්‍යාඥවරයකු වූ ද රාජකීය සංගමයේ අධිසාමාජිකයකු වූ ද මහාචාර්ය ෆ්‍රෙඩ් හොයිල් මහතාගේ අදහස් අනුව ඇතැම් නිරීක්‍ෂණ කරමින්,  ගණනය කිරීම් මගින් බටහිර විද්‍යාවේ පරිධියෙහි ඇතැම් කරුණු එකතු කිරීම පමණ ය.

මහාචාර්ය වික්‍රමසිංහ මහතා එංගලන්තයේ විශ්වවිද්‍යාලයක මහාචාර්ය ධූරයක් දැරූ පමණින් මා කියන දේ අවලංගු නො වේ. මා කියා සිටින්නේ ලංකාවේ පමණක් දකුණු ආසියාවේ ද බටහිර විද්‍යාඥයන්ගෙන් ඉතා විශාල බහුතරයකට බටහිර විද්‍යාවෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කිරීමට නොහැකි බව ය. මේ විද්‍යාඥයන් බටහිර විද්‍යාවෙහි පරිධියෙහි කරන සෙල්ලම් එතරම් වැදගත් නැත.

එක් ප්‍රතිචාර දක්වන්නකු කියා තිබුණේ මට බටහිර ලෝකයෙන් සැලකීමක් නැති බැවින් මා බටහිර විද්‍යාවට විරුද්ධ වන බව ය. බටහිර විශ්වවිිද්‍යාලයකින් මට තරම් සැලකිල්ලක් ලැබුණු වෙනත් අයකු ලංකාවේ ඇතැයි නො සිතමි. සසෙක්ස් විශ්වවිද්‍යාලය තම නීති රීති වෙනස් කර මට අවුරුදු එකහමාරකින් ආචාර්ය උපාධිය සඳහා නිබන්ධය ඉදිරිපත් කිරීමට අවසර ලබා දුන්නේ ය. අඩුම තරමෙන් අවුරුදු දෙකක් යනතුරු (බොහෝ විට ඒ අවුරුදු තුනක් වෙයි) කිසිවකුට ආචාර්ය උපාධිය සඳහා නිබන්ධය ඉදිරිපත් කළ නො හැකි ය. එහෙත් සසෙක්ස් විශ්වවිද්‍යාලයෙහි සනාතන සභාව මා ආචාර්ය උපාධියක් සඳහා ප්‍රමාණවත් වැඩ කොටසක් කර ඇතැයි යන පදනමෙන් තම නීතිය මා වෙනුවෙන් පමණක් වෙනස් කළේ ය. එවැනි සැලකීමක් ලංකාවේ විශ්වවිද්‍යාලයකින් මට කිසි දිනෙක කෙරී නැත. 

අනෙක් අයට පුස්සන් නිවටයන් යැයි කියමින් මා පමණක් උගතකු යැයි කියන්නේ මානසික ප්‍රශ්නයක් නිසා බව තවත් අයකුගේ ප්‍රතිචාරය වෙයි. මා කිසි විටෙකත් මා උගතකු යැයි කියා නැත. මට වඩා උගත්තු මෙරට දුසිම් ගණනින් වෙති. මා නිවටයන් යැයි කියන්නේ බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම ඉදිරියෙහි වැඳ වැටෙන්නන්ට ය. මේ නිවටයෝ කිසිම වගවිභාගයකින් තොරව බටහිර විද්‍යාව පිළිගනිති. ඔවුහු බටහිරයන් අනුව යමින් අපේ දැනුම මිථ්‍යා යැයි කියති. මා පුස්සන් යැයි කියන්නේ බටහිර විද්‍යාවේ කිසිම වැදගත් දැනුමක් නිර්මාණය කරගැනීමට නොහැකි එහෙත් බටහිර විද්‍යාවේ නාමයෙන් මෙරට සමාජයෙහි වැදගත් තැනක් හිමිකරගෙන තම ආධිපත්‍යය අනෙක් අයට පැතිරවීමට කටයුතු කරන්නන්ට ය.

ආසනික් පිලිබඳ දැනුම අපට ලැබුණේ මිනිස් නොවන ප්‍රාණීන්ගෙන් යැයි විශ්වාස කිරීමට ප්‍රතිචාර දක්වන ඇතැම් පඬියෝ මැළිවෙති. ඔවුන් අපට කියන්නේ එසේ නම් අනෙක් ප්‍රශ්නවලට ද පිලිතුරු “ දෙවියන්ගෙන්” ලබාගන්නා ලෙස ය. මෙය ඊනියා යථාර්ථවාදීන් පෙට්ටියක ඇති මුදල් නෝට්ටුවක අංකය කියන ලෙස අභියෝග කිරීමට සමාන ය. බුදුන් වහන්සේට තරම් විවිධ හැකියාවන් තිබූ වෙනත් කිසිවකු ලෝකයේ ජීවත් වී නැත. එහෙත් උන්වහන්සේ අංක කියවීම් වැනි බාල වැඩ කිරීමට ඉදිරිපත් නොවූ සේක. උන්වහන්සේට අවශ්‍ය වූයේ ලෝක සත්ත්වයා සසරින් එතර කිරීමට මිස මුදල් නෝට්ටු අංක කියවීම වැනි බාලවැඩ කිරීමට නො වේ. බුදුන් වහන්සේ ලාභ ප්‍රයෝජන උදෙසා ප්‍රාතිහාර්ය පෑම ද භික්‍ෂූන් වහන්සේට තහනම් කළ සේක.

දේශපාලන බලය ගැනීම සඳහා ජාතිකත්වයට යොමු වී ඇති අයට ඒ නොතේරෙනවා විය හැකි ය. සිංහල බෞද්ධ දැනුම නිර්මාණය වන්නේ සිංහල බෞද්ධ චින්තනයෙහි සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂව නිවන් දැකීම අරමුණු කරගෙන ය. නිවනට අකුල් හෙළන දැනුමක් නිර්මාණය කිරීමට සිංහල බෞද්ධයනට අවශ්‍ය නො වේ. බටහිර වෛද්‍ය විද්‍යාවට දැනගත නොහැකි වූ රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතු දැනගැනීමත් රෝගයට ප්‍රතිකාර කිරීමත් නිවන අරමුණු  කරගත්තේ වෙයි. විපස්සක දෙවියන් නමින් හැඳින්වෙන අයගේ පාරමී පිරීමට ද එය ඉවහල් වෙයි.

මෙරට අද ඇත්තේ සිංහල බෞද්ධ සංවර්ධනයක් නො වේ. එවැනි සංවර්ධනයකට ජනතාව යොමුකිරීම තවමත් එතරම් පහසු නැත. එතෙක් කෘෂි රසායන කෘෂිකර්මයෙන් ඉවත්වීමට ජනතාවට උපදෙස් දීම සඳහා නම් විපස්සක දෙවියන් ඉදිරිපත් වී ඇත. අද ලංකාවේ අක්කර දහස් ගණනක වී ගොවිතැන් කෙරෙන්නේ මනුෂ්‍ය නොවන ප්‍රාණියකු වූ එතුමාගෙන් ලැබෙන උපදෙස් අනුව ය. ඒ ඉඩම් ප්‍රමාණය අක්කර ලක්‍ෂය ඉක්මවා යන තුරු අපි ඉවසිල්ලෙන් බලා සිටිමු.

ඇතැමුන්  තමන් ජාතිකවාදීන් යැයි කීව ද  තවමත් ඔවුන්ගේ දර්ශනය මාක්ස්වාදය ය. ඔවුන්ට අනුව මාක්ස්වාදය (බටහිර) විද්‍යාත්මක ය. අපට අනුව බටහිර විද්‍යාව යනු පට්ටපල් බොරුවකි. ඒ කුමක් වුවත් අපි ආධ්‍යාත්මික ව දැනුම නිර්මාණය කරගැනීමට අපට හැකිවනතුරු අපේ ප්‍රවාද නිර්මාණය කරමු. මාක්ස්වාදී ඊනියා ජාතිකවාදීන් තම ගෝලබාලයන් ලවා තම වෙබ් අඩවි මගින් අපට අපහාස උපහාස කරන්නේ ජාතික වූ දැනුමකට ඔවුන්ගේ ඇති අකමැත්ත ප්‍රදර්ශනය කරමිනි.

මේ වෙබ් අඩවියට නොතේරුණ ද  මාක්ස්වාදය කිසිම රටක මුල් බැස නොගත්තේ ඇයි ද යන්න හා මෙරට බටහිර විද්‍යාව මුල් බැස නොගත්තේ ඇයි ද යන්න අතර සම්බන්ධයක් ඇත. අප කලින් කියා ඇති පරිදි ඒ ප්‍රශ්නවලට පිළිතුර යා දෙක නොරත රත සමග පෑහීමක් නො වීම ය. මේ ඊනියා ජාතිකවාදීන්ගේ වීරයකු වූ චේ ගෙවාරාගේ ඊනියා ජාත්‍යන්තර විප්ලවය මොට වී ගියේ ද ඔහුගේ විප්ලවය දකුණු ඇමරිකානු සංස්කෘතියට අනුගත නො වීම නිසා ය.

මාක්ස්වාදය පදනම් වන්නේ කතෝලික චින්තනයෙහි ය. ෆැසිස්ට්වාදය ද කතෝලික චින්තනය මත පදනම් වෙයි. ඒ වාද, එසේත් නැත්නම් දැනුම් පද්ධති දෙකම බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට පටහැණි වෙයි. ඒ දැනුම් පද්ධති හා අදාළ සමාජ ක්‍රම පිළිබඳ කතන්දර ගොතනු ලැබුයේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට හා අනුරූප සමාජ ක්‍රමයට විකල්ප ලෙසිනි. මාක්ස්වාදීන් හා නට්සිවාදීන් අතර විශාල වෙනසක් නැත.

දකුණු ඇමරිකානු රටවල ඇත්තේ කතෝලික ආගම වුවත් සංස්කෘතියෙන් ඔවුහු යුදෙවු ක්‍රිස්තියානි වෙති. ඒ රටවල් මාක්ස්වාදයේ සාමූහිකත්වයට ආකර්ෂණය වන්නේ කතෝලික චින්තනයෙහි ද සාමුහිකත්වය ඇති බැවිනි. එහෙත් එපමණකින් මාක්ස්වාදය දකුණු ඇමරිකානු රටවල මුල් බැස නොගනියි. ඒ රටවල චාවේස් වැනි මාක්ස්වාදී සටන්පාඨ කියවන නායකයන් බිහිවීමට ඉඩ තිබුණ ද මාක්ස්වාදය පදනම් කරගත් ආර්ථිකයකට ඉඩක් නැත. චාවේස් වැන්නෝ  වැඩිම වුවහොත් දකුණු ඇමරිකානු ජාතිකවාදීහු වෙති.

කියුබාවේ ද තත්ත්වය එසේ ම ය. කස්ත්‍රෝ කියුබන් ජාතිකවාදියෙකි. ඔහුට අවශ්‍ය වූයේ තම රට යටත්විජිතවාදයෙන් මුදා ගැනීම ය. ඔහු බැටිස්ටාගේ පාලනයෙන් රට මුදාගත්තේ ය. ඇමරිකාව ඔහුට විරුද්ධ නොවන්නට ඔහු ලිබරල්වාදියකු වීමට ඉඩ තිබිණි.  ඇමරිකාව කස්ත්‍රෝ පාලනයට විරුද්ධ වීම හේතුවෙන් කියුබාව සෝවියට් දේශය දෙසට ඇදී ගියේ ය. එහෙත් මාක්ස්වාදය කියුබානු සංස්කෘතියට ආගන්තුක විය.  සෝවියට් දේශයේ කඩා වැටීමෙන් පසුව අද කියුබාව නැවතත් ලිබරල් රටක් බවට පත් වී ඇත. එය ලෝකයේ ඇති හොඳම ලිබරල් රටවල්වලින් එකක් වීමට ඉඩ ඇත.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය යනුවෙන් හැඳින්වෙන සංවිධානය කෙතෙක් වෑයම් කළ ද බටහිර විද්‍යාව ලංකාවේ ජනප්‍රිය කළහැකි නො වේ. බටහිර විද්‍යාව බිහිවන හා පැතිරෙන සංස්කෘතිය හා චින්තනය මෙරට නැත. කසිකබල් වෙබ් අඩවි පවත්වාගෙන යන්නන්ට චින්තනය පිලිබඳ කිසිම වැටහීමක් නැත.

2013-05-22

නලින් ද සිල්වා