Main Logo

Saturday, 18 May 2013

ඉඩම් බලතල හා ජනගහණ ව්‍යාප්තිය

උතුරේ ප්‍රශ්නය හුදු ඉඩම් බෙදීම පිළිබඳ ප්‍රශ්නයක් යැයි කියන්නෝ බටහිරයන්ගෙන් දේශපාලන විද්‍යාව ඉගෙන ගත් පුස්සෝ ය. මිනිසුන් යුද්ධ කරන්නේ ඉඩම් අල්ලා ගැනීමට පමණක් නොවන බව පසුගිය සියවස් ගණනාවක ඉතිහාසය සාක්‍ෂි දරයි. ඉඩම් කතන්දරය සියල්ල ආර්ථික ව්‍යුහයකට ඌනනය කිරීමට තැත්කරන්නන්ගේ ගෙතීමක් පමණක් වෙයි. මිනිස්සු විවිධ හේතු නිසා යුද්ධ කරගනිති. සැමුවෙල් හන්ටින්ග්ටන් තම සුප්‍රසිද්ධ කෘතිය මගින් බටහිරයන්ට කියා සිටියේ ෆුකුයාමා කී ආකාරයට නොවන බවත් ඉතිහාසය නිම වී නැති බවත් අනාගතයේ දී සභ්‍යත්ව ගැටුම්වලට සූදානම් විය යුතු බවත් ය. එහෙත් මෙරට ඇතැම් ජාතිකවාදියකු එය වැරදියට තේරුම් ගෙන එය සංස්කෘතියෙහි වැදහත්කම බටහිර පඬිවරයකු ද තේරුම් ගත් අවස්ථාවක් ලෙස හුවා දැක්වීමට කටයුතු කළේ ය. එහෙත් මුල් අවස්ථාවේ දී ම ඔහු නිවැරදි කර ගැනීමට අපට හැකි විය. එහෙත් එයින් කියැවෙන්නේ සංස්කෘතික ගැටුම් නොමැති බව නො වේ.

බටහිර ක්‍රිස්තියානි නූතනත්ව යටත්විජිතවායෙහි ආර්ථික හා දේශපාලන සංරචක මෙන් ම සංස්කෘතික සංරචකයක් ද වෙයි. බටහිරයන් අපේ රටවලට පැමිණියේ සංස්කෘතික ආධිපත්‍යය ද අප මත පැටවීමට ය. අද එය අධ්‍යාපනය මගින් මෙන් ම ජනමාධ්‍ය මගින් ද සිදුවෙයි. විශේෂයෙන් ම ඉංගිරිසිහු සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට හෝ එසේ නොහැකි නම් එය දුර්වල කිරීමට හෝ කටයුතු කළහ. අප දෙමළ ප්‍රශ්නය දකින්නේ ඒ සඳහා ලන්දේසීන්ගෙන් පසුව ඉංගිරිසින් විසින් නිර්මාණය කෙරී පෝෂණය කෙරුණු ප්‍රපංචයක් ලෙස ය. ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ ලංකාවේ දේශපාලන හා සංස්කෘතික නායකත්වය දෙමළ වෙල්ලාලයන්ට හිමිකර දීමට ය. සර්වජන ඡන්දයෙන් පසු එය කළ නොහැකි බව තේරුම්ගත් දෙමළ නායකයෝ හා ඉංගිරිසිහු අඩුම තරමෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ඊළමක් පිහිටුවීමට උත්සාහ කළහ. එහි දී ඔවුහු ඒ පළාත් දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික වාසභූමි යන සංකල්පය ඉන්දියාවත් සමග එකතු වී යොදාගත්හ. ඉඩම් ප්‍රශ්නය දෙමළ ජාතිවාදයට එකතු වූයේ ඒ අයුරෙන් ය. එසේ නැතිව ඉඩම් බෙදාගැනීමට නොහැකි ව ඒ කටයුත්ත කරගැනීම සඳහා දෙමළ ජාතිවාදීන් ඊළමක් වෙනුවෙන් සටන් කළා නො වේ. කෙසේ වෙතත් ඉනද්ියාවේ මැදිහත්වීමෙන් ඉඩම් බලතල පළාත් සභාවලට හිමිකර දීමට ජේ ආර් ජයවර්ධන මෙන් ම රනිල් වික්‍රමසිංහ ද සජිත් ප්‍රේමදාසගේ පියා වූ ආර්. ප්‍රේමදාස ද ක්‍රියාකළහ. එසේ නැතැයි සජිත් ප්‍රේමදාස කියන්නේ ද? පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇසීමට නොදන්නා ඔහු යොවුන් පාර්ලිමේන්තුවටවත් සුදුසු නො වේ. දැන් ත්‍රස්තවාදය නිම වී ඇති බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අවශ්‍ය දැයි රනිල් වික්‍රමසිංහ ඒ අතර අසයි. ඔහු ත්‍රස්තවාදය නැතිකිරීමට උදවු දුන් පුද්ගලයෙක් නො වෙයි. ඔහු ඊනියා සටන් විරාම ගිවිසුම් ආදිය මගින් ඊළමට මග කැපී ය. එහෙත් ඔහු කතාකරන්නේ තමා ත්‍රස්තවාදය නැතිකළ පුද්ගලයා ලෙස ය. ත්‍රස්තවාදය දැන් නැතිකර ඇති නමුත් නැවත එය ඇතිවීම වැළැක්විය යුතු ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අවශ්‍ය එබැවිනි. රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස ඇති එ ජා පක්‍ෂයට දෙවියන්ගේ ම පිහිට ය.

උතුරු පළාත් සභාවේ මැතිවරණය පැවැත්වීමට පෙර පොලිස් බලතල මෙන් ම ඉඩම් බලතල ද පළාත් සභාවලට අහිමි කරන ලෙස අපි කියා සිටිමු. නැති ප්‍රශ්නයකට ගෙන ආ ඊනියා විසඳුමක් වූ පළාත් සභා අහෝසි කළ යුතු ය. ඒ අහෝසි කරන තෙක් පළාත් සභාවලට හිමි කර දී ඇති පොලිස් හා ඉඩම් බලතල ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පළාත් සභාවලට අහිමි කරන ලෙස අපි ඉල්ලමු. විශේෂයෙන් ම උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වන මේ මොහොතෙහි එයට පළමු ඒ බලතල පළාත් සභාවලින් ඉවත් කළ යුතු ය. එයට හේතු ගණනාවක් වෙයි. ප්‍රධාන හේතුව වන්නේ උතුරේ හමුදා කඳවුරු පවත්වා ගෙන යෑම ය. යම් අයුරකින් උතුරු පළාත් සභාව බටහිරයන්ගේ හා ඉන්දියාවේ සහාය ඇතිව උතුරු පළාතේ හමුදා කඳවුරු ඇති ඉඩම් පවරාගතහොත් ඇතිවන තත්වය කුමක් ද? ලංකාණ්ඩුවට උතුරු පළාතේ හමුදා කඳවුරු පවත්වාගෙන යෑමට ඉඩක් ලැබේ ද? හමුදා කඳවුරු, ගුවන් හමුදා කඳවුරු ද ඇතුළුව, පවත්වාගෙන යා යුත්තේ පොළොවේ මිස අහසේ නො වේ. මේ අතර ඇතැම් මුස්ලිම් ඇමතිවරයකු උතුරු පළාතේ මුස්ලිම් ජනයා පදිංචි කරවන්නේ පළාත් සභා බලතල ද නැතිව ය. පළාත් සභාවලට ඉඩම් බලතල හිමිවුවහොත් සිංහලයන්ට උතුරු පළාත අහිමිවනු ඇත. උතුරු පළාතෙන් පන්නනු ලැබූ සිංහලයන් තවමත් එහි යළි පදිංචි කෙරී නොමැති බව ද සිහි තබාගත යුතු ය. පෘතුගීසීන් පැමිණෙන විට ද යාපනයෙහි බහුතරය වූයේ සිංහලයන් බව ද නැගෙනහිර පළාතේ දෙමළ ජනයා හෝ මුස්ලිම් ජනයා හෝ පදිංචි වී නොසිටි බව ද අවධාරණය කළ යුතු ය.

නන්දිකඩාල් යනු හුදෙක් ප්‍රභාකරන්ගේ හා දෙමළ ත්‍රස්තවාදයේ පරාජයක් පමණක් නො වේ. එය බටහිරයන්ගේ ද පරාජයකි. කස්ත්‍රෝට හා හෝ චිං මිං ට පසුව බටහිරයන්ට එවැනි පරාජයක් අත්කර දුන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා ය. බටහිරයන්ට ඒ මහතාගේත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේත් හිස් අවශ්‍ය වී ඇත්තේ ද එබැවිනි. එමෙන් ම නන්දිකඩාල් යනු මෙතෙක් දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇතිකරගත් සියළු ගිවිසුම්වල ද පරාජයකි. ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් දෙමළ ත්‍රස්තවාදය සටන් කළේ ඒ සියළු ගිවිසුම් ද වෙනුවෙනි. පොන්නම්බලම් රාමනාදන්ගෙන් පටන්ගත් සිංහල විරෝධී ගිවිසුම් වෙනුවෙන් ප්‍රභාකරන් පෙනී සිටියේ ය. අනෙක් අතට ඒ සියළු ගිවිසුම් ඊළම කරා යන මගෙහි අම්බලම් පමණක් විය. අම්බලමක සදාකාලික ව නැවතීමේ බලාපොරොත්තුවක් විශේෂයෙන් ම චෙල්වනායගම්ගෙන් පසු දෙමළ ජාතිවාදී නායකයන්ට නොවී ය. දැන් ටිකක් පසුව හුඟක් යන්න චෙල්වනායගම්ගේ සූත්‍රය විය. නන්දිකඩාල් සමග සියළු අම්බලම් ද කඩා වැටිණි. එබැවින් ද දහතුන්වැනි සංශෝධනය දැන් අවලංගු වෙයි. තීරණාත්මක ව අවසන් වූ “යුද්ධයකින්” පසු අතරමැදි ගිවිසුම් අවලංගු වනවා පමණක් නොව ඒ ගැන කිසි සාකච්ඡාවක් ද අවශ්‍ය නො වේ. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු චර්චිල් නාටිසිවාදීන් සමග සාකච්ඡා නො පැවැත්වී ය.

උතුරේ හා නැගෙනහිර දෙමළ ජනයා සිංහලයන් සමග සංහිඳියාවකට එළඹිය යුතු යැයි කියන්නෝ වෙති. මේ මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ඇතිකරගත් ඊනියා සංහිඳියාව අනුව කළයුත්තක් ලෙස බටහිරයෝ සලකති. මැන්ඩෙලා අවසානයේ දී බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ඊනියා සංහිඳියාවක් ඇතිකර ඔවුන්ගේ ද වීරයකු බවට පත් වී ඇති බව පැහැදිලි ය. අපට අවශ්‍ය දෙමළ හා මුස්ලිම් ජනයා ඉන්දියාවේ හෝ අරාබියේ හෝ පුරවැසියන් නොව ලංකාවේ පුරවැසියන් බවට පත්කිරීමටත් සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බව ඔවුන්ටත් අවබෝධ කිරීමටත් ය. සංස්කෘතීන් අතර ඇතිවන අවශෝෂණයට ආදියට කෙරෙන බාධා ද නැතිකළ යුතු ය. අප බටහිරයන්ට හා මෙරට ඔවුන්ගේ ගැත්තන්ට කියා සිටින්නේ අපට අවශ්‍ය ඊනියා සන්හිඳියාවක් නොව විදේශික බලපෑම්වලින් තොර සහජීවනයක් බව ය. අපට ලංකාවේ පුංචි රෝම හෝ පුංචි චෙන්නායි හෝ පුංචි අරාබි නැතිවාට සියළු සංස්කෘතීන්ගේ අනන්‍යතා රැකගත හැකි ය. අප ඒ සියළු අයට තේරුම් කර දිය යුත්තේ අද ලෝකය මත බලහත්කාරයෙන් පටවා ඇති ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තන හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව අප සියළු දෙනාම එක්විය යුතු බවත් බටහිරයන් මෙරට සුළුතර ජනකොටස් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව යොදා ගැනීමට කටයුතු කරන බවත් ය.

ලංකාවේ ඉඩම් බෙදීම පිළිබඳ තනි අයිතිය තිබිය යුත්තේ ලංකාණ්ඩුවට ය. පළාත් සභා අහෝසි කරන තෙක් වුවත් පළාත් සභාවලට ඒ සම්බන්ධයෙන් කිසදු අයිතියක් නොතිබිය යුතු ය. මෙරට කුමන ආකෘතියක් යටතේ වුව ද සිදුවන සංවර්ධනයක දී ජනතාව පදිංචි කිරීම පිලිබඳ අයිතිය ලංකාණ්ඩුවට තිබිය යුතු ය. එය ඒ ඒ ජනවර්ගයේ ඇමතිවරුන්ගේ ඕනෑ එපාකම් මත සිදුවිය නො යුතු ය. අද ඇතැම් ඇමතිවරුන් උතුරු හා නැගෙහිර පළාත්වල තම ජනවර්ගවලට අයත් ජනතාවට ඉඩම් ලබාදෙන බව රහසක් නො වේ. ඒ ක්‍රියා වහාම නැවැත්විය යුතු ය. ඉඩම් බෙදීමේ අයිතිය හා ජනතාව පදිංචි කිරීමේ කාර්යය ආණ්ඩුවට පමණක් පැවරීම පිලිබඳ ව බටහිරයන් හා ඔවුන්ගේ ගැත්තන් විරුද්ධ වනු ඇත. එයින් ජනගහණ ව්‍යාප්තිය වෙනස්වන බවට ඔවුන් කරුණු දක්වනු ඇත. එහෙත් මෙහි දී සැලකිල්ලට ගත යුත්තේ අද ලංකාවේ ජනගහණ ව්‍යාප්තිය ස්වාභාවික හේතු මත ම ඇතිවූවක් නොවන බව ය. විජය රජුගේ කතාවෙන් පටන් ගත්ත ද ජනගහණය එදා ද පැතිරී ගොස් ඇත්තේ ජනපද ඇති කිරීම මුල්කර ගෙන ය. පසු කලෙක වත්මන් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා ව්‍යාප්ත වී ඇත්තේ සෙනරත් රජු පෘතුගීසීන්ගේ අඩත්තේට්ටම්වලට ලක් වූ මුස්ලිම් ජනයා එම පළාතේ පදිංචි කරවීම නිසා ය. එය මුළුමනින් ම රජය මැදිහත් වී කරණ ලද්දකි. මෙරට මුස්ලිම් ජනයා අරාබීන්ගෙන් පැවත එන්නන් නොවන බව පැහැදිලි ය. අරාබි පිරිමින් සිංහල ස්ත්‍රීන් විවාහ කරගැනීමෙන් මෙරට මුස්ලිම් ජනයා ඇති වී නම් ඔවුන් කතාකළ යුත්තේ එක්කෝ සිංහල හෝ අරාබි හෝ බව අපි කලට ඉහත දී පෙන්වා දුන්නෙමු. මෙරට මුවර් මුස්ලිම් ජනයා භාරතයේ දකුණු දෙසින් සංක්‍රමණය වූ දෙමළ කතාකරන මුස්ලිම් ජනයාගෙන් පැවත එති. ඔවුන්ට මෙරට අවුරුදු දහසක් ඈතට යන ඉතිහාසයක් නැත. ලංකාවේ පැරණි ම මුස්ලිම් පල්ලිය තනා ඇත්තේ කවදා ද? යටත්විජ්ත සමයේ දී මෙරටට ගෙන්වනු ලැබ කොළඹ හා අවට පදිංචි කෙරුණු මැලේ මුස්ලිම් ජනයා අද වන විටත් සිංහල මුස්ලිම් බවට පත් වී ඇත. එය අගය කළ යුතු ය. උතුරු පළාතේ දෙමළ ජනයා මූලික ව ලන්දෙිසීන් විසින් දුම්කොළ වගාවට ගෙනෙන ලද්දන්ගෙන් පැවත එති. නැගෙනහිර පළාතේ දෙමළ ජනයා පදිංචි කරනු ලුබුයේ ඉංගිරිසින් විසිනි. ඉතා පැහැදිලිව උතුරු හා නැගෙනහිර පළාත්වල ජනගහණ ව්‍යාප්තිය බටහිරයන් විසින් තම දේශපාලන බලතල යොදා ඇති කළ යටත්විජිතවාදී ව්‍යාප්තියකි. ඒ ජනගහණ ව්‍යාප්තිය වෙනස් කිරීමට ලංකාණ්ඩුවට බලයක් නැතැයි බටහිරයන් කියන්නේ ඔවුන් තවමත් මෙරට යටත්විජිතවාදී පාලකයන් නිසා ද? සංවර්ධනය හා රටේ ආරක්‍ෂාව වෙනුවෙන් ජනගහණ ව්‍යාප්තිය වෙනස්කිරීමට හා ඉඩම් බෙදාදීමට ආණ්ඩුවට මිස වෙනත් කිසිවකුට අයිතියක් තිබිය යුතු නැත.
(13/05/12)

නලින් ද සිල්වා