බටහිර දැනුමෙන්වත් බටහිර ජීවන ක්‍රමයෙන්වත් අවසානයේ දී අපටවත් සෙසු ලෝකයාටවත් වන යහපතක් නැත. අප සමහර විට වත්මන් දැනුමෙන් හා තාක්‍ෂණයෙන් විශ්මයට පත්වනවා විය හැකි ය. එහෙත් බටහිර දැනුම හා ජීවන ක්‍රමය පදනම් වන චින්තනය මුළුමනින් ම මානව හා පරිසර විරෝධී වෙයි. එය දිගින් දිගට ම පැවතුණහොත් අවසානයේ දී ලෝකය විනාශ වීම හැරෙන්නට වෙනත් ප්‍රතිඵලයක් අත් නොවනු ඇත. මෙය ධනපති ක්‍රමයේ ප්‍රශ්නයක් නොවේ. ධනපති ක්‍රමය ද ජනිත වී ඇත්තේ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. අනෙක් අතට බටහිරයන් විසින් පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක් තිස්සේ නිර්මාණය කර ඇති දැනුම අද අවරට යමින් පවතියි. නව සංකල්ප, වැදගත් ප්‍රවාද අද බටහිර නිර්මාණය නො වේ. බටහිර දැනුමේ කඩාවැටීම පෙන්නුම් කරන ප්‍රධානම පද්ධතිය නම් ඊනියා පශ්චාත් නූතනවාදය යි. එතරම් දුර්වල ගරා වැටෙන පද්ධතියක් ඇතැම් විට ලෝක ඉතිහාසයෙහි ම බිහි වී නැතැයි සිතිය හැකි ය. එහෙත් මේ සියල්ලට විකල්පය මාක්ස්වාදය හෝ පශ්චාත් මාක්ස්වාදය හෝ නො වේ. මාක්ස්වාදය යනු ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් ආපසු කතෝලික චින්තනය වෙත යෑමට කරන ලද අසාර්ථක හා දුර්වල උත්සාහයක් පමණකි. ෆැසිස්ට්වාදය ද එලෙස ම කතෝලික චින්තනය වෙත යෑමට කරන ලද උත්සාහයකි. ෆැසිස්ට්වාදය මෙන් ම මාක්ස්වාදය ද කතෝලික රටවල් වූ ජර්මනිය ඉතාලිය ආශිත ව බිහිවීම පුදුමයට කරුණක් නො වේ. ඉතාලියේ ද එක්තරා කාලයක ශක්තිමත් කොමියුනිස්ට් ව්‍යාපාරයක් විය. මාක්ස් එංගලන්තය සමාජවාදී වෙතැයි අපේක්‍ෂා කළ ද එරට ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ඇංග්ලො සැක්සන් ප්‍රභේදයේ කම්කරු පක්‍ෂයෙන් එහාට හෝ මෙහාට (තමන් බලන ආකාරය අනුව) නො ගියේ ය. අපට බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙන් මිදිය හැක්කේ කසිකබල් මාක්ස්වාදයක් පසුපස යෑමෙන් නොව අපේ මගක් ගැනීමෙන් බව වටහා ගත යුතු ය. ජනරළ කණ්ඩායම මාක්ස්වාදී වීම ගැන මම සතුටු වෙමි. ඒ නිසා ම ඔවුන්ට පැවැත්මක් නැත.
අද බටහිර රටවලට ප්‍රශ්නවලට උත්තර නැත. ඔවුන්ට කළ හැක්කේ ප්‍රශ්න කළමනාකරණය කිරීම පමණකි. මෙයට ප්‍රධාන වශයෙන් ම දායක වූයේ ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇංග්ලො සැක්සන් සංස්කෘතියෙහි නායකත්වයට පැමිණි ඇමරිකාව ය. විශ්වවිද්‍යාලවල කළමනාකරණ පීඨවලට වැදගත් තැනක් ලැබුණේ පසුගිය වසර හැටක පමණ කාලයෙහි ඇමරිකාවෙහි ය. අද එංගලන්තයේ ද ඒ තත්වය දකින්නට ඇත. එදා විද්‍යා හා ශාස්ත්‍ර පීඨවලට හිමි වූ තැන කළමනාකරණ පීඨවලට ලැබී ඇත. ලංකාවේ ද මේ තත්වය ක්‍රමයෙන් උද්ගත වෙමින් පවති. එයින් කියැවෙන්නේ බටහිර අධ්‍යාපනයෙහි හා බටහිර විශ්වවිද්‍යාලවල කඩා වැටීම මිස අනෙකක් නො වේ.
බටහිර වෛද්‍ය විද්‍යාවට ඩෙංගු (පඬි බටහිර වෛද්‍යවරයකු එය ඩෙංගු නොව ඩෙංගි යැයි කියනු ඇත) සුව කිරීමට නො හැකි ය. ඔවුන්ට එය කළමනාකරණය කිරීමට හැකි ද යන්න ද ප්‍රශ්නයකි. පිළිකා රෝගීන්, දියවැඩියා රෝගින් රජරට වකුගඩු රෝගින් ගැන කතාකිරීම අනවශ්‍ය ය. දියවැඩියා රෝගීන් අසාධ්‍ය තත්වයට පත්වන්නේ ඉන්සියුලින් එන්නත් කිරීම නිසා ද? බටහිර වෛද්‍ය ශිෂ්‍යයකුට හෝ වෛද්‍යවරයකුට හෝ මේ සම්බන්ධයෙන් ඊනියා පර්යේෂණයක් කළ හැකි ය. රෝගියාට කුමක් වුවත් අඩුම තරමෙන් පර්යේ’ෂකයාට පර්යේෂණ පත්‍රිකාවක් හෝ කිහිපයක් හෝ ලැබෙනු ඇත. එහෙත් මේ රෝගවලට පාරම්පරික සිංහල වෙදකමේ ප්‍රතිකාර ඇත. සිංහල පාරම්පරික වෙදකම ආයුර්වේදය සමග පටලවා ගත යුතු නො වේ. සිංහල වෙදකම මෙන් ම ආයුර්වේදය ද දෙවියන්, බඹුන් නාගයන් සමග සම්බන්ධ වෙයි. ආයුර්වේදයටත් වඩා සිංහල පාරම්පරික වෙදකම මෙහි දීි විශේෂත්වයක් ගනියි. සිංහල වෙදකම සමග සම්බන්ධවන්නෝ බෞද්ධ දෙවිවරු ආදීහු ය. මේ දුනුම ලැබෙන්නේ ආධ්‍යාත්මිකව දියුණු තත්වයකට පත්වූවන්ට ය. ඇතැමුන්ට සෘජුව ම දෙවියන්ගෙන් බඹුන්ගෙන් හා නාගයන්ගෙන් (නාග ගෝත්‍රිකයන් නොව දෙවිවරුන් විශේෂයකි) දැනුම ලැබෙන අතර තවත් අයට නිසි ආධ්‍යාත්මික තත්වයට පත්වීමෙන් ඒ දැනුම ලබාගත හැකි ය. සිංහල නිල වෙදකම සම්බන්ධයෙන් මම මෙය අත්දැකීමෙන් ම දනිමි. මගේ අළුත්ම අත්දැකීම පසුගිය නත්තල් දිනයේ වැටී ආබාධ තත්වයකට පත්වීම නිසා ලබාගැනීමට හැකි විය. නිල වෙදකම දන්නා මහතකු මගේ නාඩි අල්ලා කීවේ කොඳු ඇට පේළියේ පහතින් කූඤ්ඤයක හැඩයට සුළු පිපිරීමක් සිදු වී ඇති බව ය. බටහිර වෛද්‍ය විද්‍යාව පිරික්සීම සඳහා මම එක්ස් කිරණ රූපයක් ද ලබාගත්තෙමි. එය බැලූ බටහිර විශේ’ෂඥ වෛද්‍යවරයා කීවේ ඒ රූපය අනුව නම් කිසි වරදක් දැකිය නො හැකි බව ය. එම රූපය මම දින කිහිපයකට පසුව සිංහල නිල වෙදකම ඉගෙන ගන්නා තරුණ බටහිර වෛද්‍යවරයකුට පෙන්වීමි. ඔහු කියා සිටියේ එකී රූපයෙහි පියවි ඇසට වරදක් නොපෙනන බව ය. පසුව ඔහු යම් ආධ්‍යාත්මික තත්වයකට පත්ව රූපය දෙස බලා කීවේ කූඤ්ඤයක හැඩයට සුළු පිපිරීමක් කොඳු ඇට පේළියේ පහත ස්ථරයක සිද වී ඇති බව ය. බටහිරයෝ අපට ආධ්‍යාත්මික ශක්තිය මිථ්‍යාවක් යැයි කියා අප ආධ්‍යාත්මික දියුණුවෙන් ඈත්කර ඔවුන්ගේ පුරාජේරු විද්‍යාව ඊනියා සත්‍ය යැයි කියමින් තම දේශපාලන ආධිපත්‍යය යොදා ගනිමින් අප මත පැටවූහ. දැනුම යනු අපෙන් තොරව පවත්නා ඊනියා වාස්තවික ලෝකයක් පිළිබඳ ව ඊනියා පර්යේෂණ මගින් ලබාගන්නා එකක් යැයි කියමින් අපව නොමග යවන පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතියෙන් මෙරටට සිදු වී ඇති සේවය කුමක් ද? තව තවත් බටහිරට ගැති වීම ද?
රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව කීවේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ය. මම ඔවුන් කවුදැයි නමින් හැරෙන්නට නො දනිමි. ඔවුන් සමග මගේ සෘජු සම්බන්ධයක් ද නැත. ඔවුන් සමග මගේ සියයට සියයක පෑහීමක් ද නැත. එහෙත් ඔවුන්ගේ දැනුම අති විශිෂ්ට බවට මට කිසිදු සැකයක් නැත. එමෙන් ම මට නොහැකි වුව ද ආධ්‍යාත්මික ව දියුණු අයට (පාරමි දම් පුරා ඇති අයට) දෙවියන්ගෙන් බඹුන්ගෙන් නාගයන්ගෙන් දැනුම ලබාගත හැකි බවට ද මට සැකයක් නැත. රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව ද ආසනික් එකතුවන්නේ කෘමිනාශක ඔස්සේ බව ද රජරට ප්‍රදේශවල ජලයේ කිවුල් බව හා පසෙහි ස්වභාවය එයට බලපාන බව ද දෙවියෝ අපට කියා දුන්හ. අපි ඒ අනුව රසායන විද්‍යාවෙහි කළ හැකි පර්යේෂණ කළෙමු. මා අවුරුද්දකට මඳක් වැඩි කාලයක් කැලණියෙහි සේවා දිගුවක් ලබාගත්තේ ද මේ පර්යේෂණ සඳහා අවශ්‍ය නිල ශක්තිය ලබා දීමට ය. අප ඒ පර්යේෂණ කළේ තමන් බටහිර විද්‍යාඥයන් යැයි සිතා සිටින නිවට පුස්සන්ගේ බලවත් විරෝධතාව මධ්‍යයෙහි ය. ඇතැම් මහාචාර්යවරියෝ ඇමතිවරුන් හමු වී අපට විරුද්ධව කරුණු කීහ. විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කිරීමට අවශ්‍ය උපකරණ නැතැයි කීහ. අප කළ පර්යේෂණයක් නැතැයි කීහ. මේ බොරුකාර පුහු අදක්‍ෂයන් හා අදක්‍ෂියන් පරාජය කිරීම අපට ප්‍රශ්නයක් නො වී ය. එහෙත් මා පීඨාධිපති නොවන්නට එසේ කිරීමේ හැකියාවක් නොතිබුණු බව ද පැහැදිලි ය. කෙසේ වෙතත් අද වන විට රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව තහවුරු වී ඇත. අද ඒ සඳහා ප්‍රතිකාර කිරීමට කිහිප දෙනෙක් පුහුණු කෙරෙති. බටහිර වෛද්‍ය විද්‍යාවට ඒ සඳහා ප්‍රතිකාරයක් නැති අතර අද දින දෙකකට එක් රෝගියකු මිය යන තත්වයට පත් වී ඇත. රෝගයට ප්‍රතිකාරයක් නොමැතිවා පමණක් නොව එය පාලනය කිරීමට ද නොහැකි බටහිර වෛද්‍ය විද්‍යාවට වැඩි කලක් සිංහල වෙදකමට අකුල් හෙලීමට නොහැකි වනු ඇත. අද බටහිර වෛද්‍යවරු ම රාශියක් නිල වෙදකමේ ප්‍රතිකාර ලබති.
වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායන බව තහවුරු වී ඇත. ඊනියා විද්‍යාත්මක කෘෂිකර්මය මිනිසුන් ජීවත් කරනු වෙනුවට මරා දමයි. අප කළ යුත්තේ මේ කෘෂි රසායන ගොවිකමෙන්, ඊනියා කෘෂිකර්මයෙන් විකල්ප සිංහල ගොවිතැනට හැකි ඉක්මණින් මාරු වීම ය. එයට විරුද්ධව ඊනියා කෘෂි විද්‍යාඥයෝ නොයෙකුත් චෝදනා කරති. කැෂි විද්‍යාඥයන්ගේ කර්මය ගැන දැනට අවුරුදු විසි පහකට පමණ පෙර අගමැති අයියා හෙවත් මුදියන්සේ තෙන්නකොාන් මහතා දිවයින බදාදා අතිරේකයට විශේෂ ලිපි පෙළක් ලිවී ය. අපි ඒ අදහස් ඇතුළත් වැඩිදුර අධ්‍යාපනයක් දෙවිවරුන්ගෙන් හා නාගයන්ගෙන් ලබා ගන්නෙමු. (මේවා මිථ්‍යාවන් යැයි කියන ඕනැම බටහිර ගැති නිවට පුස්සකු සමග වාද කිරීමට මම සූදානමින් සිටිමි.) නාගයෝ වැව් කර්මාන්තය හා ගොවිතෑන ගැන හසළ දැනුමක් ඇත්තෝ වෙති. පිලිපීනයේ ඊරි පර්යේෂණාතනයේ මෙහෙයවීමෙන් අපේ ගොවිතැන නැති කළේ කෙසේ දැයි අවුරුදු විසිපහකට පෙර ද අපි දැන සිටියෙමු. හෙළ ගොවිතැන ඉතා සරළ ය. එහි දී යොදා ගැනෙන්නේ සරළ විධි ක්‍රම ය. පොහොර සාදා ගැනීමට විශේෂ මහන්සියක් දැරිය යුතු නො වේ. අපේ පොහොර බටහිර සංකල්පයක් වන කොම්පෝස් පොහොර නො වේ. අපේ ගොවිතැන ඊනියා කාබනික ගොවිතැන ද නො වේ. කාබනික ගොවිතැනින් අපට ජීවත්විය හැකි නො වේ. බටහිරයන් කොම්පෝස් පොහොර අපට ලබා දී ඇත්තේ අප ඉන් අධෛර්යමත් කර අප බටහිර කෘෂිකර්මාන්තයෙහි ම රඳවා ගැනීමට ය. අපේ පොහොර නිපදවා ගන්නේ ශාඛ වලිනි. වෙල් යායකට ඒ පොහොර මහා පරිමාණයෙන් අවශ්‍ය නො වේ. එමෙන් ම විවිධ වර්ගවල ගොයම් අවශ්‍ය පරිදි උසින් පඳුරු දැමීම ආදී වශයෙන් හැසිරවීමේ ශක්තිය ද ඒ ඒ පොහොර වට්ටෝරුවලට ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය විසින් කරන ලද අත්හදාබැලීම්වලින් ඒ බව තහවුරු විය. අද ලංකාවේ විවිධ පළාත්වල මේ ගොවිකම සුළු පරිමාණයෙන් නමුත් සිදු කෙරේ. බටහිර දැනුම පසුපස නොගොස් අපේ දැනුමක් ඔස්සේ අපට මේ ජාතිය ස්වයංපෝෂිත කළ හැකි ය. කඩා වැටෙන බටහිරත් සමග කඩා වැටීමට මහාචාර්යවරුන්ට හා මහාචාර්යවරියන්ට ඉඩ දී අපි රට කරවමු.