Main Logo

Tuesday 28 February 2012

රනිල් වික්‍රමසිංහගේ භූමිකාව

රනිල් වික්‍රමසිංහ යනු බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම අනුව රටේ විරුද්ධ පක්‍ෂයේ නායකයා ය. ඔහු මහත් සේ අගය කරන එංගලන්තයේ නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව රැජිනගේ විරුද්ධ පක්‍ෂයේ නායකයා ය. රැජිනගේ විරුද්ධ පක්‍ෂ නායකයා කිනම් කරුණක දී වුවත් රැජිනට විරුද්ධ නො වෙයි. ඔහු එංගලන්තයේ හා ස්කොට්ලන්තය ආදී යටත්විජිතවල රැජිනගේ විරුද්ධවාදියා නො වේ. ඔහුගේ කාර්යභාරය වනුයේ තම රුජින හා රට ආරක්‍ෂා කරගනිමින් ආණ්ඩු පක්‍ෂයට විවේචනාත්මක සහාය ලබාදීම ය. රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට වඩා එංගලන්තය ගැන දනියි. පස්දුන්රටට වඩා මිඩ්ල්සෙක්ස් කවුන්ටිය (කෝරළය) ගැන දනියි. එක්සේසත් රටට වඩා එක්සත් රාජ්‍යය (යුනයිටඩ් කිංග්ඩම්) ගැන දනියි. ඒ ගැන අපේ ප්‍රශ්නයක් නැත. ඒ ඔහු හැදුණු වැඩුණු පරිසරයේ ප්‍රතිඵලයකි. එහෙත් ඔහු ලංකාවට විරුද්ධ වීම නම් ප්‍රශ්නයකි.

රනිල් වික්‍රමසිංහ ලංකාවේ පළමු විරුද්ධ පක්‍ෂ නායකයා නො වේ. මෙයට කලින් එක්සත් ජාතික පක්‍ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා ලංකා සමසමාජ පක්‍ෂයේ පමණක් නොව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ද නායකයෝ මෙරට විරුද්ධ පක්‍ෂයේ නායකයන් ලෙස කටයුතු කළහ. ඔවුන් අතරෙන් අමිර්තලිගම්ට පසුව ලංකාවට එරෙහිව කටයුතු කළ විරුද්ධ පක්‍ෂ නායකයා රනිල් වික්‍රමසිංහ ය. අමිර්තලිංගම් මෙන් ම රනිල් වික්‍රමසිංහ ද විරුද්ධ වන්නේ රටට ය. අඩුම තරමෙන් අමිර්තලිංගම් විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණ, වර්ජන ආදිය ගසා කෑමට උත්සාහ නො කෙළේ ය. එහෙත් කුප්‍රසිද්ධ ධවල පත්‍රිකාව හඳුන්වාදුන් රනිල් වික්‍රමසිංහ අද කිසිම ලජ්ජාවක් නැතිව තමන් නොදන්නා ඉසෙඩ් ලකුණු ගැන කතාකරමින් අවුලක් නිර්මාණය කිරීමට උත්සාහ කරයි.

රනිල් වික්‍රමසිංහ පරාජය වී ඇති මැතිවරණ සංඛ්‍යාව කෙතෙක් දැයි මම නො දනිමි. එය දැනුම මිනුම තරඟයකට නම් උචිත ප්‍රශ්නයක් යැයි සිතමි. ඔහු දිනන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ අභ්‍යන්තර නිලවරණ පමණ ය. එය ද ඒ පක්‍ෂයේ ව්‍යවස්ථාවත්, නායකත්වය සඳහා තරග වැදීමට තරම් සුදුසු පුද්ගලයකු ඒ පක්‍ෂයේ නොමැතිවීමත් හේතුකොටගෙන ය. රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන්නේ එ ජා පක්‍ෂයේ සාම්ප්‍රදායික ක්‍රිස්තියානි කතෝලික සංරචකය ය. රවි කරුණානායක, ජෝන් අමරතුංග ඒ සංරචකයේ අනෙක් ප්‍රධානියෝ ය. සජිත් ප්‍රේමදාස පන්සල්වලට ආධාර කරමින් රට වටේ ගිය ද ඔහු මෙහෙයවනු ලබන්නේ නැවත ඉපදුණු හෙවත් බෝර්න් අගේන් ක්‍රිස්තියානි ව්‍යාපාරය විසින් ය. රෝසි සේනානායක ඇත්තේ ඒ පාර්ශ්වයෙහි ය. කරු ජයසූරිය යනු රෝසි සේනානායකලා විසින් යොදාගනු ලබන ඉත්තකු පමණ ය. එ ජා පක්‍ෂයට අඩු තරමෙන් ශක්තිමත් ඕල්කට් බෞද්ධ නායකයකුවත් නැත. තිස්ස අත්තනායකලාගේ නායකකම ඇත්තේ නමේ පමණ ය. ඒ සියඹලාණ්ඩුව යන්නෙහි ආණ්ඩුව යන්න යෙදෙන ආකාරයට ය. අද එ ජා පක්‍ෂයේ ඇත්තේ සාම්ප්‍රදායික ක්‍රිස්තියානි පාර්ශ්වයේ හා බෝර්න් අගේන් පාර්ශ්වයේ නායකත්ව සටනකි. විවිධ සාම්ප්‍රදායික ක්‍රිස්තියානි කතෝලික නියාකවල පූජකවරු රනිල් වික්‍රමසිංහට සහාය දෙති. එහෙත් ඇමරිකාව මධ්‍යස්ථානය කරගත් බෝර්න් අගේන් ව්‍යාපාරයට මුදල්වලින් අගහිඟයක් නැත. පන්සල්වලට බෙදීමට තරම් මුදලක් ඔවුන්ට ඇත. ඒ ඔස්සේ ව්‍යාජ ජාතිකත්වයක් මවා පෑමට ද ඒ පාර්ශ්වය සමත් වෙයි.

කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් ලෝකයේ දැනට ත්‍රස්තවාදයක් පරාජය කිරීමට සමත් වී ඇති එකම ආණ්ඩුව බවට පත් වී සිටින මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව අද තාවකාලික අර්බුදයකට මුහුණ පා ඇත. ආණ්ඩුව ද එහි දී වරදකරුවකු වී ඇත. පළමුවෙන් ම නන්දිකඩාල් ජයග්‍රහණයත් සමග දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුව තිබිණි. අපට වුව ද එය ඒ අවස්ථාවෙහි මතක් නොවීම වරදක් වෙයි. නන්දිකඩාල් ජයග්‍රහණය යනු අවුරුදු සියයකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ දෙමළ ජාතිවාදී දේශපාලනය පරාජය කර ලැබූ ජයග්‍රහණයකි. එහි දී ඉන්දු ලංකා ගිවිසුම හා දහතුන්වැනි සංශෝධනය පමණක් නොව බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම ආදිය ද දේශපාලන වශයෙන් පරාජය විණි. හමුදා විසඳුම් යනු දේශපාලන විසඳුම් මිස අනෙකක් නො වේ. අවාසනාවකට ආණ්ඩුවවත් සිංහල ජනතාවවත් මේ කරුණ තවමත් නිසි ලෙස අවබෝධ කරගෙන නැත. ඇතැමුන්ට මතක්වන්නේ දැන් බොම්බ පිපිරෙන්නේ නැත යන්න පමණ ය. එහෙත් අවාසනාවක මහත බොහෝ දෙනකුට බෝම්බ පිපිරුණු වගක්වත් නැත. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දහතුන්වැනි සංශෝධනය දේශපාලනික ව පරාජය වී ඇතත් එය තවමත් නීතිය වෙයි. එය තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි කොටසකි. දහතුනට එහා ද යන කතාව අද කිසිසේත් ම අදාළ නැත. කතාකළ යුත්තේ දහතුන අහෝසි කිරීම හා එතෙක් දහතුනේ කෑලි ගැලවීම ය. එහෙත් බටහිරයෝ ද ඉන්දීය ඔත්තු සේවය ද එයට විරුද්ධ වෙති. අද මෙරට ඇත්තේ මේ ප්‍රශ්නය මිස වෙන එකක් නො වේ. සරත් ෆොන්සේකා නිදහස් කිරීම, ඉන්ධන මීළ වැඩිවීම, බස්ගාස්තු වැඩිවීම ආදිය මූලික ප්‍රශ්නය වසාගැනීමට යොදා ගන්නා එහෙත් ඒ ඔස්සේ රට බෙදීමට මග පාදන උප්පරවැට්ටි පමණ ය. රට බෙදීමට, ඊනියා බලය බෙදීමට අද කතාකරන සියල්ලෝ ම කිසියම් බටහිර මතවාදයක එල්බ ගත්තෝ වෙති.

මා මෙයින් අදහස් කරන්නේ ආණ්ඩුව ක්‍රියාකර ඇති ආකාරය මුළුමනින් ම නිවැරදි බව නො වේ. ආණ්ඩුවේ මැති අමැතිවරුන්ගේ පමණක් නොව උසස් නිලධාරීන්ගේ ද දුෂණ එමට ය. ඉංගිරිසි කාරයාගේ අධ්‍යාපනයක් ලබා ඇති නිලධාරීන් බොහෝමයකට රටේ ප්‍රශ්නවලට පිළිතුරු නැත. ඔවුන් කියන අන්දමට ක්‍රියාකරන ඇමතිවරු අමාරුවේ වැටෙති. අද රටේ ප්‍රශ්න බොහෝමයකට වගකිව යුත්තෝ නිලධාරීහු ද ඊනියා උගත්තු ද වෙති. තමන් කරන කාර්යයට සර්ලන ප්‍රමාණයට වඩා ඉහළ වැටුපක් හා වරප්‍රසාද ලබන මොවුහු ප්‍රශ්න අවුල් කරති. ඉන්ධන මිළ ඉතා අධික ප්‍රමාණයකින් ඉහළ දැමීම අනුමත කළ හැක්කක් නො වේ. එහෙත් පෞද්ගලික බස් හිමියන් හා ඇතැම් ප්‍රදේශවල, විශේ’යෙන් ම මීගමුවේ හා ඉන් උතුරේ ධීවර ජනතාව උසිගන්වන්නවුන් ක්‍රියා කරන්නේ ජනතාව කෙරෙහි පතළා වූ මහා කරුණාවකින් නො වේ. මේ උද්ඝෝෂණ පිටුපස ඉන්නා පුද්ගලයෝ කොටි පරාජය කිරීමට ද විරුද්ධ වූහ. එ ජා පක්‍ෂය හා ඇතැම් ආගමික පූජකවරුන් කොටි වෙනුවෙන් පෙනී සිටි අන්දම අපට අමතක නො වේ. එදා හමුදා මෙහෙයුම්වලට සමච්චල් කළෝ අද උද්ඝෝෂණ පිටුපස වෙති. රනිල් වික්‍රමසිංහ තොප්පිගල ගැන කී කතා රවි කරුණානායකගේ පාමංකඩ හා මැදවච්චි ගමන් අමතක කිරීමට මෙරට ජනතාව මැරී ඉප දී නැත. බෝර්න් අගේන් ව්‍යාපාරයට එය අමතක වී ඇත්නම් ඒ ගැන පුදුමයක් ද නැත.

රනිල් වික්‍රමසිංහට මෙන් ම එවැනි වෙනත් අයට ද සරත් ෆොන්සේකා සිරගත කෙරී ඇත්තේ ඔහු ජනාධිපති පදවියට තරග කළ බැවිනි. එසේ නම් පළමුවෙන් ම සිරගත කළ යුතුව තිබුණේ 2005 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ ය. සරත් ෆොන්සේකා හමුදාපති ලෙස සේවයක් කළ ද හමුදා මෙහෙයුම් අවසාන වීමෙන් පසු ඔහු සුදු කොඩි කතාවක් මගින් පළමුවරට ප්‍රභාකරන් විසින් කොටුකරගෙන සිටි දෙමළ ජනයා ඝාතනය කිරීම ගැන කතාවක් පතුරුවා හැරියේ ය. සියල්ල ආරම්භ වූයේ එතැනිනි. ඔහු සිරභාරයට ගත යුතු යැයි අප යෝජනා කළේ ජනාධිපතිවරණ ව්‍යාපාරය පැවති සමයේ දී ම ය. අද සරත් ෆොන්සේකා නිදහස කිරීමට රනිල් වික්‍රමසිංහ කැමති වේ යැයි සිතිය නො හැකි ය. එහෙත් සරත් ෆොන්සේකා නිදහස් කිරීම ගැන කතාකරන බෝර්න් අගේන් කණ්ඩායමට හා අනෙක් අයට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට විකල්පයක් ඉදිරිපත් කිරීමට ය. එදා මෙන් ම අද ද එංගලන්තයට හා ඇමරිකාවට අවශ්‍ය (නෝර්වේ යනු හුදු ඉත්තකු පමණක් බව අපි එදා ද කීවෙමු) මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමත් ඒ මහතාත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් හමුදා නිලධාරින් කිහිප දෙනකුත් ඊනියා යුද්ධ අපරාධ සම්බන්ධයෙන් දංගෙඩියට යැවීමටත් ය. ඉන්ධන මිළ වැඩිකිරීමට විරුද්ධව ධීවර ජනතාව මෙහෙයවන අයගේ අවශ්‍යතාව ද එයම ය. මේ උද්ඝෝෂකයන් ලවා පොලීසිය හා හමුදාව ප්‍රකෝප කිරීමට අවශ්‍ය වී ඇත්තේ කොටින්ට උදවු දුන් අයට ම ය. රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස මානව අයිතිවාසිකම් ගැන කතාකරන්නේ ජේ ආර් ජයවර්ධන හා ප්‍රේමදාස යුග අමතක කරමින ද? රනිල් වික්‍රමසිංහ අහිංසක දෙමළ ජනයා ලක්‍ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක් මිනිස් පළිහක් ලෙස යොදාගත් ප්‍රභාකරන් කැඩූ මානව අයිතිවාසිකම් ගැන නිහඬ ය. ඒ සම්බන්ධයෙන් පාකියසෝතිලා ද බ්ලේක් ලා ද පිල්ලේ ලා ද නිහඬ වෙති. ඒ අහිංසක ජනයා කොටින්ගෙන් මුදාගත් රණවිරුවන්ට මානව අයිතිවාසිකම් කැඩීම ගැන චෝදනා කරති. රනිල් වික්‍රමසිංහ චැනල් ෆෝ ගැන කතාකරන්නේ අවසිහියෙන් විය නො හැකි ය. දැනට බටහිරයන්ගේ සියළු උපක්‍රම අතේ පත්තු වී ඇත. මේ අවස්ථාවේ දී බටහිරයන් ඇතැම් හමුදා නිලධාරීන් මුදලට ගැනීමට සෑරසෙන බව ද කියැවෙයි. ඒ රටට විරුද්ධව ඊනියා මානව අයිතිවාසිකම් කැඩීම ගැන බොරු සාක්‍ෂි දීමට ය. ඒ අතර රනිල් වික්‍රමසිංහ ඒ සියළු දෙනාට ම එහා ගොස් රටට විරුද්ධව වැඩ කිරීම ආරම්භ කර ඇත. ඔහු අද එංගලන්ත රැජිනගේ විරුද්ධ පක්‍ෂයේ නායකයා ලෙස එංගලන්ත ආණ්ඩුව සමගින් ක්‍රියා කරයි. ඔහු මෙරට විරුද්ධ පක්‍ෂ නායකයා නො වේ. ඔහු එංගලන්තයේ ඇංග්ලිකන් ආණ්ඩුව සමග එක් වී ක්‍රියා කරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා දංගෙඩියට යවා හැකිනම් ඔහු බලයට පත් වී එංගලන්තයට හා ඇමරිකාවට අවශ්‍ය ආකාරයට සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධව ක්‍රියා කිරීමට ය.