Main Logo

Wednesday 31 January 2018

මුහුණු නැති මුහුණු පොතේ දේශපාලනය


මුහුණු නැති මුහුණු පොතේ දේශපාලනය


ඇතැමුන් කාලය වෙබ් අඩවියේ පළවන මගේ ලිපි මුළුමනින් ම හෝ කොටස් වශයෙන් හෝ මුහුණු පෙතේ පළ කරනවා. මෙය මට හිසරදයක්. ඒවාට ප්‍රතිචාර දක්වන්නන්ට පිළිතුරු දීමට මට වෙලාවක් හෝ උනන්දුවක් හෝ නැහැ. මගේ ලිපි හෝ ඉන් කොටස් හෝ පළ කරන අයත් ප්‍රතිචාර දක්වන්නන්ට නිසි පිළිතුරු දෙන්නේ නැහැ. අන් සියල්ලන්ටත් වඩා ජාතිකවාදීන්ට මා රුස්සන්නේ නැති බවත් ඔවුන් මා කියන දෙයක් විශ්වාස නොකරන බවත් ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පැහැදිලියි. මගේ ලිපි මුළුමනින් ම හෝ කොටස් වශයෙන් හෝ මුහුණු පොතේ පළ කිරීමෙන් වළකින ලෙස මා ඉල්ලා සිටිනවා. එපමණක් නොව තම ලිපිවල මගේ නමවත් සඳහන් නොකරන මෙන් ඉල්ලනවා. නම සඳහන් කිරීමට තරම් දෙයක් මගෙන් රටට ජාතියට ආගමට සිදු වී නැහැ.

මා ත්‍රස්තවාදී කොටි සංවිධානය පරාජය කළ යුතු බව හා කළ හැකි බව කියා ඇති බව දැනගත් එක් පඬි පෝතකයකු කිව්වේ එකක් හරි ගියාට අනෙක් ඒවා හරි බවක් කියැවෙන්නේ නැහැ කියලා. මා දේශපාලන අනාවැකි රාශියක් කියා තිබෙනවා. එහෙත් හරි ගිහින් ඇත්තේ එකක් පමණයි. එකක්වත් හරි යෑම ගැන මට සතුටු වන්න පුළුවන්. එහෙත් වෙනත් අයත් තමන් එසේ කී බව කියනවා. 

මා ඇතැම් ලිපි පළකරන්නේ කිනම් අරමුණකින් ද කියාත් ඔවුන් ප්‍රශ්න කරනවා. මට ඇත්තේ එකම එක අරමුණයි. ඒ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයෙන් හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් මිදීමයි. එය ඊනියා අධිරාජ්‍ය විරෝධයට හෝ ධනපති විරෝධයට හෝ වඩා පළල්. ඊනියා අධිරාජ්‍ය විරෝධීන් හා ධනපති විරෝධීන් බොහෝ විට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයෙහි දාසයන් හා වහලුන්. ඔවුන් බටහිර ක්‍රිස්තියානි දැනුමේ නිවට අනුකාරකයන්. ඔවුන්ට බටහිර යුරෝපයෙන් හා පොදුවේ බටහිරින් තොර ලෝකයක් නැහැ. මාක්ස්ට ලෙනින්ට ට්‍රොට්ස්කිට තිබුණෙත් නැහැ.

මා ඩීල් කරුවකු ලෙස දකින අයත් ඉන්නවා. එක්තරා ජනමාධ්‍ය ප්‍රධානියකු මා හැඳින්වූයේ ගේම්කාරයකු ලෙසයි. එසේ කියන ගමන් ඔහු මහින්දට මෙන් ම රනිල්ටත් සේවය කරනවා. ඔවුන් කලක් මෛත්‍රිපාල පසුපස ගියා. මෛත්‍රිපාල හමුවුණා. අද ඔවුන් එළියේ ම මෛත්‍රිපාලට විරුද්ධයි. මා කිසිවකුට සේවය කරන්නේ නැහැ. කිසිවකුට කඩේ යන්නේත් නැහැ. මට හංගන්න දෙයක් නැහැ. මා විවෘතයි. මහින්ද ජාතිකත්වය සමග සිටිනතාක් මා ඔහුට ආධාර කළා. එහෙත් ඔහු අතිනුත් වැරදි වූවා. එසේ වැරදි වූ බව ඔහු පිළිගත්තත් මහින්දවාදීන් පිළිගැනීමට කැමති නැහැ. මේ සමහර වැරදි මා කියා ඇති. ඔහු අද රනිල් ඉවත් කිරීමට කටයුතු කරනවා ද? ඔහු මෛත්‍රිපාල සමග ඇති වෛරය අත්හරිනවා ද? එමෙන් ම මෛත්‍රිපාලත් තමන් මහින්ද කෙරෙහි ඇති වෛරය අත්හරිනවා ද?

රනිල් ඉවත් කර මහින්ද අගමැති කළ යුතු යැයි මා කීවේ 2015 මුල දී ම. මට දිනය මතක නැහැ ඒ ගැන අප සම්මන්ත්‍රණයක් ද පැවැත් වූවා. ජනමාධ්‍ය එය වාර්තා කෙළේ නැහැ. එකල පළාත් පාලන ආයතන මැතිවරණයක් ගැන කිසිවකු හිතාවත් තිබුණේ නැහැ. වත්මන් මැතිවරණය රනිල් ඉවත් කිරීමට යොදා ගන්නා පාටක් මට පෙනෙන්නේ නැහැ. රනිල්ට වඩා මෛත්‍රිපාල නරකයි. මෛත්‍රිපාලට වඩා රනිල් නරකයි වැනි ප්‍රකාශ හුදු වාගාලාප පමණයි.

මැතිවරණයෙන් පසු රනිල් කෙසේ වෙතත් මෛත්‍රිපාල ඉවත් කිරීමටත් සම්භාවිතාවක් තියෙනවා. ඒ දෝෂාභියෝගයක් මගින්. ඒ ගැනත් මා කලකට ඉහත කිව්වා. දැන් සමහරුන් ඒ ගැන කතා කරනවා. එහි දී වඩා වැදගත් වන්නේ කරු ජයසූරියයි. මෛත්‍රිපාල ඉවත් කෙරුණොත් තාවකාලික ජනාධිපති වන්නේ අගමැති. ඉන්පසු පාර්ලිමේන්තුව 2020 ජනවාරි වන තෙක් ජනාධිපති කෙනෙකු තෝරාපත් කර ගනීවි. ඒ කවුද කියා කියන්න ඕන නැහැ. එහෙම වුණොත් බලා ගන්න පුළුවන් රනිල් ද මෛත්‍රිපාල ද වඩා නරක කියා.

ඇතැම් දාර්ශනිකයන්ට අනුව කළ යුත්තේ ආණ්ඩුව තුනෙන් දෙකේ බහුතරයක් ගැනීම වැළැක්වීමයි. ඒ කරන්නේ මෛත්‍රිපාල ජනාධිපති ලෙස තබාගෙන ද නැද්ද? තුනෙන් දෙක වැළැක්වීමට අඩුම තරමෙන් තවත් විසි දෙනකු ඒකාබද්ධ විපක්‍ෂයට ගත යුතුයි. සල්ලි කෝටි ගණනින් විසි වෙන ලෝකයක එසේ කළ හැකි නම් හොඳයි. කිසිදාක ප්‍රායෝගික දේශපාලනයක නොයෙදි ජාතිකවාදී දාර්ශනිකයන් නිකම් කටමැත දොඩවන බවක් පෙනෙනවා. ඔවුන් හුදු පඬිපෝතකයන් පමණයි. රනිල් ඉවත් කෙළේ නැත්නම් ව්‍යවස්ථාව සම්මත කර ගනීවි. එවිට තුනෙන් දෙක බලා ගන්න පුළුවන්. මා මෙහි සඳහන් කරන අය බොහෝ දෙනකු ආචාර්ය උපාධි ලත් අය. ඇතැමුන් මහාචාර්යවරු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රනිල් ඉවත් කිරීමට හැකියි. එහෙත් ඒ ජනාධිපතිට පමණයි. මා අහගෙන සිටියා පොහොට්ටුවේ ලේකම් නීති විශාරදකයකු යැයි කියන එහි සභාපති ඉදිරියේ කියනවා ජනාධිපතිට එවැනි බලතල නැහැ කියා. අගමැති ඉල්ලා අස්විය යුතුලු. ජනාධිපතිට අදාළ බලතල ඇත්තේ කිනම් වගන්තිවල දැයි මා පෙන්වා දී තිබෙනවා. ඒ මෙයට අවුරුදු තුනකට පමණ පෙර. ජනමාධ්‍යයෙන් ඒ කිසිවකට ප්‍රචාරයක් දුන්නේ නැහැ.

ජනාධිපතිට එවැනි බලතල නැත්නම් ඔහු රනිල් අගමැති ලෙස පත් කෙළේ කෙසේ ද? දි මු ජයරත්න තම ඉල්ලා අස්වීමේ ලිපිය දී තිබුණා ද? එලෙස රනිල් පත් කිරීම නීත්‍යානුකූල නො වේ නම් එකල පාර්ලිමේන්තුවේ විශාල බහුතර බලයක් තිබුණු සංධානය කිසිවක් නොකර සිටියේ ඇයි? ඔවුන් අඩු තරමෙන් රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා ද? රනිල් පත් කිරීම ව්‍යවස්ථා විරෝධී නම් මෛත්‍රිපාලට එරෙහි ව දෝෂාභියෝගයක් ගෙන ඒමට සංධානය කටයුතු නොකළේ ඇයි? පොහොට්ටුවේ සභාපති හා ලේකම් ඒ ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා ද? අද ඔවුන් කටයුතු කරන්නේ රනිල් අගමැති ලෙස තවදුරටත් තබා ගැනීමට බොරු නීති තර්ක ගෙන ඒම දඑදා රනිල්ට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා නම් පළාත් පාලන මැතිවරණය තියෙන්ත තිබුණෙ මෙයට කලින්.     

මා මෙවැනි දේ කියනවාට මුහුණු පොතේ බොහෝ මහින්දවාදී පඬිපෝතකයන් විරුද්ධයි.  මේ පඬිපෝතකයන් අතර ජනරොද කණ්ඩායමේ ප්‍රධානීන් ද ඉන්නවා. ඔවූුන්ට මා විශ්වාස නැහැ. ඔවුන් මට අනුරාධපුරයේ දේශනයට ආරාධනා කිරීම ගැන කණගාටු වෙනවා ඇති. ඇතැම් පඬි පෝතකයන්ට අනුව මට ඇත්තේ දේව පිස්සුවක්. ඔවුන්ට ඇත්තේ විද්‍යා පිස්සුවක් ද? දෙවියන් ඉන්නවා යැයි කී විට එක්තරා කථිකාචාර්ය පඬියකු අසා තිබුණේ ක්‍රිස්තියානි මුස්ලිම් දෙවියන් ද ඉන්නවා ද කියා. ඒ ආගම්වල දෙවියන් ගැන කියන්නේ නැහැ. දෙවියන් හා දෙවියන් වහන්සේ වෙනස් බවවත් ඒ  පඬියා දන්නේ නැහැ.  ඔවුන්ට මා පිළිතුරු නොදන්නේ බැරි කමකට නොවෙයි. එය කාලය කා දැමීමක් පමණක් නිසයි.

මා පුවත්පත්වල හා විද්‍යුත් මාධ්‍යයවල  විශාල පිරිසක් සමග වාද කර තිබෙනවා. මුහුණු පොත එයට වෙනස්. එහි වාද ඇත්තේ නැහැ. යන්ැන කොහෙද මල්ලෙ පොල කතා එහි බහුලයි. මුහුණු පොතේ අය එතරම් වැදගත් දෙයක් කරන බවක් පෙනෙන්නේ නැහැ. මා මින් පසු මුහුණු පොත කිසි ලෙසකින්වත් පරිශීලනය කරන්නේ නැහැ. එයට පිවිසෙන්නේවත් නැහැ. මගේ ජීවිතයේ කළ ලොකුම මෝඩකම මුහුණු නැති මුහුණු පොතට පිවිසීමයි. එහි ඉන්නා පඬිපෝතකයන් බොහෝ අුසූ පිරු තැන් ඇති අය. ඔවුන් රනිල් ද මෛත්‍රිපාල ද එකට ඉවත් කිරීමට මුහුණු පොතේ ප්‍රතිචාර දක්වනවා.       


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-31