Main Logo

Thursday 25 January 2018

දේශපාලන රංගන

දේශපාලන රංගන


මේ ආණ්ඩුව නීත්‍යානුකූල නැහැ කියලා අද ඒකාබද්ධ විපක්‍ෂය කියනවා. ඔවුන් එහෙම කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ මොන වගන්තිය මත පදනම් වෙලා ද කියලා කියන්නෙ නැහැ. තමන් නීතිඥයකු බව නිතර මතක් කරන නිතර මාධ්‍ය සාකච්ඡා පවත්වන ඊනියා පක්‍ෂ නායකයකුවත් අපට කියන්නෙ නැහැ ආණ්ඩුව නීත්‍යානුකූල නොවන්නෙ මොන වගන්තිය යටතේ ද කියලා.

ඒ අතර අද ඇත්තේ දේශපාලන රංගනයක් කියලා පොදුජන පෙරමුණේ අය කියනවා. අද රඟ දැක්වෙන්නෙ අපි තරහයි කියන නාටකයලු. රනිල් මෛත්‍රිපාල ගැටුම ගැන බැසිල් මොනවා කිව්වත් මහින්ද කිහිප වරක් ම  අගමැති ජනාධිපති සීතල යුද්ධයක් ගැන කිව්ව. අයියයි මල්ලියි රංගනයක යෙදෙනවා ද? කොහොමටත් දේශපාලනයෙ තියෙන්නෙ අපි තරහයි නාට්‍යවලට වඩා අපි යහලුයි කියන නාට්‍ය.

ඒකාබද්ධ විපක්‍ෂෙ කී දෙනෙක් මේ ආණ්ඩුවට එකතු වෙන්න ගියා ද? රනිල් ඔවුන් ගත්තෙ නැති නිසා ඔවුන් ඒකාබද්ධ විපක්‍ෂෙ ඉඳන් අපි යහලුයි කියනවා. ඒ අතර සජිත් රනිල් එක්ක යහලුයි කියනවා. ඔය දෙපැත්තෙම කී දෙනක් තමන් යෙහොවාගෙ සාක්‍ෂිකරුවන්, නැවත උපන් ක්‍රිස්තියානීන් වෙලා බෞද්ධයන් හැටියට පෙනී ඉන්නවා දකී දෙනෙක් සිංහල බෞද්ධයන්ට විරුද්ධ වෙමින් සිංහල බෞද්ධයන් එක්ක යහලුයි කියනවා ද

දේශපාලනඥයන්ට පැයක්වත් සංගත ව කරුණු කියන්න බැහැ. ඡන්දදායකයනුත් පරස්පරවලට හොඳට පුරුදුයි. ඔවුන් ඇරිස්ටෝටලීය න්‍යායෙ නැති බව පැහැදිලියි. පරස්පර තියෙන්නෙ ඇරිස්ටෝටලීය න්‍යායෙ මිස චතුස්කෝටික න්‍යායෙ නො වෙයි. මෙරට සියල්ලන් ම පාහේ චතුස්කෝටික න්‍යාය වැරදි පැත්තෙන් අනුගමනය කරනවා.

මහින්ද කියන විධියට ම රනිල් මෛත්‍රිපාල ගැටුමක් තියෙනවා. ඒ ගැටුම සමනය කරන්න ඇතැමුන් කටයුතු කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයෙ උසස් ම නිලධාරියකු ඒ අතර ඉන්නවා. ඔහු බෙදුම්වාදියෙක්. චන්ද්‍රිකා වෙනුවෙන් කොටි නායකයකු බලන්න ඇපල් අරගෙන රෝහලට ගියා. ඔහුට මේ ඊනියා ජාතික ආණ්ඩුව පවත්ව ගෙන යන්න ඕන. ඒ මේ ආණ්ඩුවෙන් නව ව්‍යවස්ථාවක් ගෙනල්ල රට බෙදන්න පාර කපන්න යන නිසා. ඒ නිසා ඔහු ගැටුම් සමනය කිරීමේ ලේකම් ලෙසත් වැඩ කරනවා. අද වැනි දවසක තමයි කොටි දළදා මාළිගාවට පහර දුන්නෙ. ඒ කාලෙත් නොයෙකුත් ගැටුම් සමනය කරන්න රනිලුත් චන්ද්‍රිකාත් ගෝලයනුත් කටයුතු කළා.

රනිල් මෛත්‍රිපාල ගැටුම තීව්‍ර කරන්න කටයුතු නොකර එය රංගනයක් ලෙස හැඳින්වීමේ අවසාන ප්‍රතිඵලය වන්නේත් ගැටුම සමනය වීම. මෛත්‍රිපාලට ජනබලයක් නැහැ. ඔහුට විධායක බලය තිබුණට වැඩක් නැහැ. ඒ ක්‍රියාත්මක කිරීමට ඔහුට ජනබලය නැහැ.  ඔහුට ලැබුණෙ එ ජා ප, මුස්ලිම් කොංග්‍රස් හා දෙමළ ජාතික සංධාන ඡන්ද. ඔහුගේ ඡන්ද පදනම හා ප්‍රතිපත්ති අතර වෙනසක් තියෙනවා. රනිල් මෛත්‍රිපාල ගැටුම තීව්‍ර නොකිරීමේ ප්‍රතිඵලයක් වන්නේ මෛත්‍රිපාල රනිල් ආණ්ඩුව රනිල්ගේ නායකත්වයෙන් තව දුරටත් පවත්වා ගෙන යෑමට කටයුතු කිරීම. එවිට බැසිල්ලාට කියන්න පුළුවන් තමන් රංගනයක් කියලා කිව්ව දේ හරි කියලා. එහෙම නම් මහින්ද සීතල යුද්ධයක් ගැන කිව්ව එක වැරදි වෙන්න ඕන. 

මේ ආණ්ඩුව නීත්‍යානුකූල නැහැ කියලා මා කියන්නෙ බොහෝ කලක ඉඳන්. ඒ අද ඒකාබද්ධ විපක්‍ෂය කියන ආකාරයට නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂය කියන්නෙ එ ජා ප - ශ්‍රී ල නි ප ගිවිසුම දැන් කල් ඉකුත් වෙලා නිසා ඊනියා ජාතික ආණ්ඩුව නීත්‍යානුකූල නැහැ කියලා. සභාග ආණ්ඩු හදන්න ගිවිසුම් අනිවාර්ය නැහැ. කොහොමටත් මේ ඊනියා ජාතික ආණ්ඩව හදලා තියෙන්නෙ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ. ඒ අදාළ වගන්තිය දහනවවැනි සංශෝධනයෙ තියෙන්නෙ පහත සඳහන් ආකකාරයට.

“ 46 (5) ඃ (4) වන අනු ව්‍යවස්ථාවේ කාර්යය සඳහා ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේ ය. ”  

මෙහි වැදගත් වචන වන්නේ පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්‍ෂ යන්නයි. එ ජා පෙරමුණ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගත් පිළිගත් දේශපාලන පක්‍ෂයයි. ඒ ගැන වාදයක් නැහැ. ඒ පක්‍ෂය ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගෙන ඇත්තේ ශ්‍රි ල නි පක්‍ෂය සමගයි. ශ්‍රී ල නි පක්‍ෂය මැතිවරණ කොමිසම විසින් පිළිගැනී ඇතත් පාර්ලිමේන්තුවේ නැහැ. මෛත්‍රිපාල ජනාධිපති ධුරයට තරග කෙළෙත් ශ්‍රී ල නි පක්‍ෂයේ නියෝජිතයා ලෙස නො වෙයි. ඔහුට එබැවින් මුල දී ශ්‍රී ල නි ප සභාපතිකම පක්‍ෂ ව්‍යවස්ථාවෙන් ලැබුණේ නැහැ. පක්‍ෂ සභාපතිකම පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැණිව මුල දී මහින්ද ලබා දුන් නිලයක්. අද පාර්ලිමේන්තුවේ කිසිවකුවත් ශ්‍රී ල නි ප නියෝජනය කරන්නේ නැහැ. ඔවුන් මැතිවරණය තරග කෙළේ සංධානය නියෝජනය කරමින්. වෙනත් වචනවලින් කියනවා නම් අද ජනාධිපති ධුරය හෝ මන්ත්‍රී ධුර හෝ දරන්නේ ශ්‍රි ල නි පක්‍ෂය නියෝජනය කරන්නන් නො වෙයි. ඔවුන් ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයන් වෙන්න පුළුවන්. එය වෙන ම කරුණක්. එ ජා පෙ ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවා ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ නැති පක්‍ෂයක් සමග. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනවවැනි සංශෝධනයට විරුද්ධයි. ඒකාබද්ධ විපක්‍ෂය කියා පක්‍ෂයකුත් අද පාර්ලිමේන්තුවේ නැහැ. කතානායක ඒ බව දන්නවා. එහෙත් ඔහු ශ්‍රී ල නි පක්‍ෂය පාර්ලිමේන්තුවේ නැති බව නොදන්න ගානට ඉන්නවා. ඒ තමයි කතානායක රඟ පෑම. ඒකත් රංගනයක්.  


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-25