Main Logo

Monday 29 January 2018

චන්දන ජයරත්න මා හා දෙවියෝ




චන්දන ජයරත්න මා හා දෙවියෝ


මගේ ද නෛතික ශිෂ්‍යයකු වූ මහාචාර්ය චන්දන ජයරත්න ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති ධුරයට පත්වෙලා. පළමුවෙන් ම ඔහුට සුබ පතනවා. ඔහුට ඒ තනතුරට පත්වීමට හරි මහාචාර්ය තනතුරකට පත්වීමට හරි මගෙන් ආධාරයක් නොලැබෙන්න ඇති. මා සිසුන්ට ඉගැන් වූ දෙයක් නැති බවයි එකල කොළඹ විශ්වවිද්‍යාලයේ බොහෝ දෙනා කිව්වෙ. ඔවුන් කිව්වෙ මා දේශපාලනය කළා මිසක් ගණිතයවත් භෞතික විද්‍යාවවත් ඉගැන්නුවෙ නැහැ කියලා. එකල උපකුලපති ජී එල් පීරිස් මගෙන් ඇහුවෙ ජාතික චින්තනය උගන්නන්නෙ ඇයි කියලා.

අද ජී එල් පීරිස් දේශපාලන පක්‍ෂයක සභාපති. ඔහු ජාතික වීරයෙක්. අපට හැමදාම වගේ ඔහු රූපවාහිනියේ දැක ගන්න පුළුවන්. ඔහුට ජනමාධ්‍යයේ ඉතා වැදගත් තැනක් ලැබෙනවා. ඔහු මහින්ද රාජපක්‍ෂගෙ ප්‍රධාන සෙනෙවියෙක්. ඔහු චන්ද්‍රිකා සමගත් ප්‍රේමදාසත් සමගත් උන්න කොටි සමග සාකච්ඡා කිරීමට උපදෙස් දුන්න බුද්ධිමතෙක්. අද මහින්දත් එක්ක ඉන්නවා. රෑ වැටුන වළේ දවල් වැටෙන්න එපා කියමින් රට වටේ යනවා.

සමාජය, ජනමාධ්‍ය, දේශපාලනඥයන් පමණක් නොවෙයි මුහුණු පොතේ පඬි පෝතකයන් ද මා උදේට මේ ලිපිය පමණක් ලියන්නකු බවට පත් කරලා. මුහුණු පොතේ එක් පඬි පෝතකයකුට අනුව මා මහින්ද හා මෛත්‍රිපාල එකතු විය යුතු ය කියන ඩීල් කාරයකු පමණයි. ඩීල් එකෙන් මට ලැබෙන වාසිය ඔහු කියා තිබුණේ නැහැ. සමහරවිට මා කෙරෙහි වූ අනුකම්පාවෙන් නොකියන්න ඇති. මේ ලිපිය දෙසියකට වඩා කියවන්නේ නැහැ. මට හමුවන ඇතැමුන් මගෙන් අහන්නේ මා දැන් නිහඬ ඇයි කියලා. මා නිහඬ නැහැ. එහෙත් මගේ ශබ්දය පිට වන්න දෙන්නෙ නැහැ. ජනමාධ්‍යවේදීන් අති විශාල බහුතරයකට මා රුස්සන්නේ නැහැ.

චන්දන කොළඹ විශ්වවිද්‍යාලයෙ භෞතික විද්‍යා විශේෂ උපාධියට ඉගෙන ගත්තා. මට මතක හැටියට ඔහු මා තාරකා විද්‍යාව, විද්‍යුත්චුම්බක වාදය, තරල ගතිකය ආදී විෂය ගැන පැවැත් වූ දේශනවලට සහභාගි වුණා. එහෙත් ඔහුට මා කිසිවක් උගන්වන්න නැතිව ඇති. මා කොහොමටත් දක්‍ෂ ගුරුවරයෙක් තබා ගුරුවරයකුවත් නො වෙයි. ඔහුට මගෙන් ඉගෙන ගන්න දෙයක් තිබෙන්න නැතිව ඇති. ඔහු මගේ සිසුවකු වන්නේ නෛතික අර්ථයකින් පමණයි. ඔහු නෛතික ව කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු වූවා. මා ජී එල් පීරිස් ප්‍රමුඛ පාලක මණ්ඩලය විසින් අස්කරනු ලබන තුරු නෛතික ව ඒ විශ්වවිද්‍යාලයේ ගුරුවරයකු වූවා.

එහෙත් චන්දන හා මා අතර යම් සමානකමක් තියෙනවා. ඔහුත් මාත් දෙවියන් ඉන්න බව විශ්වාස කරනවා. ඔහු මටත් එහා ගොස් මට දැන ගැනීමට ලැබෙන ආකාරයට දෙවියන් සමග සන්නිවේදනය කරනවා. ඔහුට මට වඩා ආධ්‍යාත්මික ශක්තියක් තියෙනවා. ඔහු මා මෙන් නොව භාවනා කරනවා, ජනතාවට බුදුදහම උගන්වනවා. මාත් බුදුදහම ගැන කියනවා. බුදුදුහම උගන්වන්නෙ නම් නැහැ. මා කිසිම දෙයක් උගන්වන්නෙ නැහැ. මා ගුරුවරයකු වන්නෙ නමට හා ගමන් බලපත්‍රයට (පාස්පෝට්) පමණයි. මුහුණු පොතටත් මා කියා ඇත්තේ ගුරුවරයකු බවයි. ඒත් නිල වශයෙන්. මා කියන්නේත් මට තේරෙන බුදුදහමක් හා බුද්ධාගමක් මිස අශෝක බුද්ධාගම නො වෙයි. අශෝක බුද්ධාගමේ බහුතරය මා කියන දේට විරුද්ධයි. විශේෂයෙන් ම යක්‍ෂ ජනතාව ගැන කියන දේට විරුද්ධයි.

දෙවියන් විශ්වාස කරන චන්දන ජයරත්න ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති. ඊනියා විද්‍යාඥයන් දෙවියන් විශ්වාස කරන්නේ නැහැ. දෙවියන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන බව ඔවුන් කියාවි. චන්දන දෙවියන් හා විද්‍යාව ගැට ගහන්නෙ කොහොමද කියලා මා දන්නෙ නැහැ. මට නම් ඊනියා ගුරුත්වාකර්ෂණ බලය හිතළුවක් පමණයි. එයත් පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. දෙවියන් සමග ගනුදෙනු කරන අය ඉන්නවා. ඒත් මුලු ලෝකයෙන් ම ගුරුත්වාකර්ෂණය දැනී ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ ගුරුවරයකුට පමණයි.

ගුරුත්වාකර්ෂණය ගැන නිව්ටන්ට පෙරත් ඇතැමුන් කතා කර තිබුණා. එමෙන් ම ගුරුත්වාකර්ෂණ බලය පෙන්වීමට නිව්ටන්ට හැකි වුණෙත් නැහැ. මා මේ සියල්ල ගැන ලියා තියෙනවා. එහෙත් පඬි පෝතකයන් ඒ කිසිවක් දන්නේ නුැහැ. අපේ රටවල තිබූ විද්‍යාව ගැනත් මා ලියා තියෙනවා. චන්දන සහභාගි වූ දේශනවලත් අවුරුදු තිහකට පමණ පෙරත් මා පෙරදිග ගණිතඥයන් හා විද්‍යාඥයන් ගැන කියා තියෙනවා. එහෙත් කිසිවකු ඒ කිසිවක් ගැන කියන්නෙ නැහැ. චන්දනවත් කියන්නේ නැහැ. එයට හේතුව මා කිසිවක් උගන්වා නැති වීමත් කිසිවකු මගෙන් කිසිවක් ඉගෙන නොගැනීමත්. මුහුණු පොතේ පඬි පෝතකයන් නම් මේ කිසිවක් අසාවත් නැහැ. ඔවුන්ට මා ඩීල් කාරයකු පමණයි. ඔවුන් තවමත් මා ජාතිද්‍රෝහියකු කියා කිව්වේ නැහැ. ඒත් එසේ කියන දිනය වැඩි ඈතක නොවන බව මා දන්නවා.

ඒ කොහොම වුණත් බොහෝ දෙනා ඉගෙන ගත්තේ නැති වුවත් මා කියන ඇතැම් දේ හොඳින් අහගෙන ඉන්නවා. මා දෙවියන් ගැන කතා කර ආසනික් කෘෂිරසානික වකුගඩු රෝගයට ප්‍රධාන හේතුවක් බව කී විට ඊනියා විද්‍යාඥයන් පොලු අමෝරා ගෙන ආවා. මාත් දැන් අවුරුදු පනහකට ආසන්න කාලයක ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ යාවජීව සාමාජිකයෙක්. එහෙත් ආසනික් කතාවෙන් පසු සංගමයේ හිටපු සභාපතිවරයෙක්, චන්දනගේ පුරෝගාමියෙක්, විද්‍යාභිවර්ධන සංගමයෙන් මා අස්කිරීමට උත්සාහ කළා. මා සමග එකට වැඩ කළ මහාචාර්යවරියන් දෙදෙනකුට විද්‍යාඥයන් ලෙස සැලකීම ප්‍රතික්‍ෂෙප කිරීමට තර්ජනය කළා. මා ඔවුන්ට අභියෝග කළා හැකිනම් මා සංගමයෙන් අස්කරන ලෙස. ඒ සභාපතිවරයා සංගමයේ ව්‍යවස්ථාවවත් කියවලා නැහැ.

මට ප්‍රශ්නය වී ඇත්තේ දෙවියන් ඉන්න බව සම්මුති වශයෙන් පවතින බව විශ්වාස කරන මා  සාමාජිකත්වයෙන් අස්කිරීමට විද්‍යාභිවර්ධන සංගමයේ කෙරුමන් උත්සාහ ගත්තේත් දෙවියන් සමග සන්නිවේදනය කරන චන්දන එහි සභාපති ලෙස පත්කර ගත්තේත් ඇයි ද යන්නයි. මා චන්දනත් අස්කිරීමට කටයුතු කළ යුතු යැයි මින් කිසිවිටකත් කියන්නේ නැහැ. එහෙත් මේ වෙනස මට තේරෙන්නේ නැහැ. 


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-29