Main Logo

Wednesday 3 January 2018

චීන කොඩිය හා ලස්සෙට කොඩිය

චීන කොඩිය හා ලස්සෙට කොඩිය


චීනා හම්බන්තොට වරාය අත්පත් කර ගත් බව පෙන්වන කොඩිය ප්‍රදර්ශනය කරලා. මේ කොඩි ඉස්සීම බටහිරයන්ගේ පුරුද්දක්. පිටරටක්, රාජ්‍යයක් තම රජු වෙනුවෙන් අත්පත් කර ගැනීමෙන් පසු තම කොඩිය අදාළ රටේ ඔසවා එරට දැන් තමන් යටතේ ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට ඔවුන් පුරුදුව සිටියා. දැනුත් එසේ කරනවා. හඳට ගිය ඇමරිකන් එක්සත් රාජ්‍ය අජටාකාශගාමීන් එහි තම කොඩිය එසෙව්වා. දැන් කවුරු හරි අහන්න  බැරි නැහැ ඔවුන් ඇත්තට ම හඳට ගියා ද කියා. ඒ කොහොම වුණත් මට අහන්න තියෙන ප්‍රශ්නය දැන් හඳ අයිති කාට ද යන්නයි. හඳත් ඇමරිකන් එක්සත් රාජ්‍යවල ම කොටසක් ද? හඳ සාක්කි කියන එකක් නැහැ. අනාගතයේ දී හඳේ අයිතිය වෙනුවෙන් ලෝක යුද්ධයක් ඇති වන්න පුළුවන් ද?

1815 මාර්තු මාසෙ මහනුවර මඟුල් මඩුවෙ ඉංගිරිසින් කුරුස කොඩිය එසෙව්වා. එය කතිර කොඩිය ලෙස හඳුන්වන අය එසේ කිරීම වැරදියි. ඒ කොඩියෙ තියෙන්නෙ කුරුස තුනක් මිස කතිර තුනක් නො වෙයි. එහි ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක් තියෙනවා. වාරියපොළ සුමංගල හාමුදුරුවො කුරුස කොඩිය බිම දාලා සිංහ කොඩිය එසෙව්වා. කාට හරි අහන්න පුළුවන් අපට එකල ජාතික කොඩියක් තිබුණ ද කියලා. ගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳලා අප ජාතික කොඩියක් තිබුණා. ඒ විතරක් නොවෙයි ප්‍රාදේශීය කොඩිත් තිබුණා. සමහරු හිතන්නෙ අපට කොඩි ලැබුණෙත් බටහිරයන්ගෙන් කියලා. අපේ කොඩි එකල සෘජුකෝණාස්‍රාකර කොඩි වුණෙ නැති එක නම් හැබෑව. අපේ කොඩි බොහොම කලාත්මකයි. සමහරු කොඩි කියන්නෙ සෘජුකෝණාස්‍රාකාර කොඩිවලට පමණයි.

කලකට ඉස්සර ලස්සෙට කොඩිය දැමීමක් තිබුණා. ඒ කොඩිය දැම්මෙ තුරග තරගවලින් දිනුවට පස්සෙ අද කොළඹ විශ්වවිද්‍යාලෙ කාර්යාලය පිහිටලා තියෙන කොලේජ් හවුස් බිමේ කියලා කියනවා. කොලේජ් හවුස් ගොඩනැගිල්ල  හදල තියෙන්නෙ චාල්ස් හෙන්රි ද සොයිසාගෙ පුතා වූ තොමස් හෙන්රි ආතර් ද සොයිසා. ඔවුන් තුරග තරගවල දී ආණ්ඩුකාරයාගෙ කුසලාන දිනුවට පස්සෙ ඒ බිමේ ලස්සෙට කොඩිය දැම්මා කියලා කියනවා. ඒ තමන් කුසලාන දිනූ බව ලෝකෙට ප්‍රකාශ කිරීමට. ඒත් ඔවුන්ට එය ගෙදරට මරගාතයක් නොවෙන්න ඇති.  රෙජිනා වලව්ව නමින් වූ ඒ ගොඩනැගිල්ල 1921 පිහිටුවන ලද විශ්වවිද්‍යාල ආයතනයේ ගොඩනැගිල්ලක් වෙලා කොලේජ් හවුස් වුණා. ඔය ගොඩනැගිල්ල ඇතුළෙ තමයි ජ වි පෙ භීෂණ කාලෙ කොළඹ විශ්වවිද්‍යාලෙ උපකුලපති ස්ටැන්ලි විජේසුන්දර මරා දැම්මෙ. විශ්වවිද්‍යාලයට නම් පහුගිය අවුරුදු සියයකට ආසන්න කාලෙ දී ලස්සෙට තියා දාහටවත් කොඩියක් දාගන්න බැරි වුණා. හැබැයි තව අවුරුදු තුනකින් ලොකු උත්සවයක් පවත්වලා අවුරුදු සියය සමරාවි. ඒ උත්සවයෙ ප්‍රධාන අමුත්තා කවුරු වේවි ද?

ඒකෙ ප්‍රධාන අමුත්තා කවුරු වුණත් හම්බන්තොට චීන කොඩිය එසවීමට මුල් වුණෙ රනිල්. මෛත්‍රිපාල ඒක පත්තරෙන් දැන ගන්න ඇති. මහින්දගෙ කාලෙ චීනයට විරුද්ධ වුණු රනිල් අද චීනය පසුපස යනවා. රනිල් තමයි අගමැති ලෙස හම්බන්තොට වරාය චීනයට අවුරුදු අනූනවයකට බදු දෙන්න මුල් වුණෙ. චීනය අපට කොටි ත්‍රස්තවාදි කාලෙ උපකාර කළ එක ඇත්ත. ඒත් චීනය අපේ හිතවත් මිතුරෙක් වෙන්න  බැහැ. මිතුරකු නම් රනිල් හිටියත් ඔවැනි උගුලක අප හසු කරන්නේ නැහැ.

චීනය යටත්විජිත ගොඩනගන්නෙ බටහිර ක්‍රමයට නො වෙයි. ඔවුන් කෙළේ කප්පම් රාජ්‍ය ඇති කිරීම. ජපානය, කොරියාව වගේ රටවල් චීනයේ කප්පම් රාජ්‍ය වුණා. ලංකාවත් දැන් චීනයේ කප්පම් රාජ්‍යයක් වේගෙන යනවා. කෝට්ටේ යුගයේ දී චීනය සිංහල රජකු එරටට ගෙන ගිය බව කියනවා. ඒ රජුගෙන් පැවත එන්නන් අද චීනයේ ඉන්න බව කියැවෙනව. කිසිම රටක් අපට ආධාර කරන්නෙ නිකම් නො වෙයි. ඔවුන්ගෙ ප්‍රධාන අරමුණ තමන්ට ආධාර කර ගැනීම.

චීනය පෙරේදා චීන කොඩිය ඔසවලා අපේ කොඩිය තරමක් පහතට ඇද දමලා අනෙක් කොඩි මට්ටමට. අපේ රටේ ම ඉඳගෙන චීනය අපට කරන මදිපුංචිකම් එහෙමයි. කලකට පෙර  චීනුන් මෙරටට පැමිණියේ දත් බඳින්නන් ලෙස. එහෙත් දැන් ඔවුන් එන්නේ අපේ දත් ගැලවීමට. අපේ කොඩියත් අනෙක් කොඩි මට්ටමේ ම තිබිය යුතු යැයි මහා පළල් මනසක් ඇති ඊනියා උගතකුට තර්ක කරන්න පුළුවන්.

චීනය කොඩි දමන්නේත් අපේ කොඩිය පහතට දමන්නෙත් හම්බන්තොට මුහුදෙන් ද විශාල ප්‍රමාණයක් අත්කර ගෙන. ආණ්ඩුවටවත් සම්බන්ධන්ගෙ විරුද්ධ පක්‍ෂයටවත් අනුරගෙ විපක්‍ෂයටවත් ඒ ගැන ගානක් නැහැ. සම්බන්ධන් ලංකාවේ විපක්‍ෂ නායක ද නැත්නම් යාපනයේ හා තිරිකුණාමලයේ පමණක් නියෝජිතයෙක් ද? ඔහු හම්බන්තොට තියෙන්නෙ කොහේ ද කියලා දන්නවා ද?

ආණ්ඩුව නම් කියන්නෙ තමන් ජාත්‍යන්තරය ජය ගත් බව. ඒත් අපට පේන්නෙ ජාත්‍යන්තරය ආණ්ඩුව ජයගෙන ඇති බවයි. අද හම්බන්තොට විතරක් නොවෙයි පළාත් හතක් ම විජාතිකයන්ට බදු දීලා තියෙන්නෙ. උතුරු පළාත සුමන්තිරන්ටත් නැගෙනහිර පළාත හකීම්ටත් භාර දෙන්න යනවා. මේ එකක්වත් පළාත් පාලන ආයතන මැතිවරණයෙ දී කතා කෙරෙන්නෙ නැහැ. චීන කොඩිය ගැන කතා කරන්න සුමංගල හාමුදුරුවන් වහන්සේ නමක නැහැ. එය රූපවාහිනි නාළිකාවල විනාඩියක්වත් කතා වුණෙ නැහැ. එහි දේශපාලනය ගැන කතා කළොත් ඒ ඉන්දියාව පමණයි. ඒ ඔවුන්ගේ යහපතට මිස අපේ යහපතට නො වෙයි. අපි ලෝකෙට ප්‍රකාශයට ලස්සෙට කොඩිය දාගෙන.                


______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-03