Main Logo

Tuesday 23 January 2018

මෛත්‍රිපාල උදවු ඉල්ලන්න ඕන කාගෙන් ද?

මෛත්‍රිපාල උදවු ඉල්ලන්න ඕන කාගෙන් ද?


මෛත්‍රිපාල හොරු අල්ලන්න ඔවුන්ට දඬුවම් කරන්න රනිල්ගෙන් උදවු ඉල්ලලා. තම අත ශක්තිමත් කරන ලෙස මෛත්‍රිපාල රනිල්ට කියලා. මෛත්‍රිපාල මේ ප්‍රකාශයෙන් කියන්නෙ කුමක් ද? ඔහු ශක්තිමත් නැති බව නම් පැහැදිලියි. ඔහු ජනාධිපති වුණෙ එ ජා ප ඡන්දවලින්. සිංහල බෞද්ධ ඡන්දවලින් නම් නො වෙයි. ඒ කියන්නෙ නාගරික සිංහල බෞද්ධ ඡන්ද ටිකක් ඔහුට නොලැබුණා කියන එක නො වෙයි. විශේෂයෙන් ම මුහුණු පොත ඇසුරු කරන නගරවල ජීවත්වන සිංහල බෞද්ධ තරුණ තරුණියන් යම් පිරිසක් මෛත්‍රිපාලට ඡන්දය දුන්නා. අවුරුදු එකහමාරක් පමණ මුහුණු පොත ඇසුරු කළ මට තේරෙන දෙයක් තමයි එහි ඉන්න අතිවිශාල පිරිසක් අප්‍රබුද්ධයන් බව. ඔවුන් සොයන්නෙ ඊනියා කෙටි කෑම, ක්‍ෂණික කෑම ආදිය පමණක් නොවෙයි ක්‍ෂණික දැනුම.

ක්‍ෂණික දැනුම අන්තිම භයානක දෙයක්. අන්තර්ජාලයෙන් පොදුවේ ගත් කළ ක්‍ෂණික දැනුම ලබා දීමත් කරනවා. කල්පනා කිරීම අඩු කිරීමත් පොදුවේ ගත් කල අන්තර්ජාලයෙන් සිදු වෙනවා. අද බොරු ඉක්මන් කමක් ජීවිතවලට ලබා දී තියෙනවා. එය බටහිරින් කෙරෙන්නක්. අවුරුදු පනහකට පමණ පෙර මුලින් ම එංගලන්තයට ගිය මට ඇති වුණු ප්‍රශ්නයක් වුණෙ මිනිසුන් (ගැහැණුන් හා පිරිමින්) මෙතරම් ඉක්මණින් ඇවිදින්නෙ ඇයි ද යන්නයි. ඔවුන්ට කාලය කියන්නෙ ඉතා වටිනා දෙයක්. ගලාගෙන යන පවතින දෙයක්. කාලය රන් හා සමානය කියන එක ඔවුන්ගේ කියමනක්. අපේ ගම්වල පාසල්වල බාල්කවල ඒ පාඨය ලිව්වෙ ඉංගිරිසි කාරයන්ගෙ වුවමනාවට. අපට දැන් හිතන්නෙ ගැමුණු රජ්ජුරුවන්ගෙ කලයෙ ඉඳන් ඒ පාඨය තියෙනවා කියලා. අපේ කාලය ප්‍රඥප්තියක් පමණයි.

අපේ අප්පමාදො අමතපදං කියන එක, එය සිංහල නොව පාළි පාඨයක් බව ඇත්තයි, වෙනත් අරුතකින් කී දෙයක්. අපට සංසාරය කියන සංකල්පය තියෙනවා. ඒ කල්ප ලක්‍ෂ ගණනින්, මිලියන බිලියනවලින් නොව, කියැවෙන්නක්. කල්පය ගැන කියන විට මට කතාවක් මතක් වෙනවා. එය නොකියාම බැහැ. පසුගිය දා මා හමුවීමට පැමිණි සංජීව තෙන්නකෝන් නමැති තරුණයකු, ඔහු මුහුණු පොතේ නැහැ, කල්පය ගැන අපේ සාහිත්‍යයේ තියෙන කතාවක් ඇසුරෙන් තවත් කතාවක් ගොතලා. කල්පයක් කියන එක සඳහන් වෙන එක් ආකාරයක් අනුව යොදුනක් දිග පළල උස භාජනයක් වසර සියයකට එක් වරක් අබ ඇටයක් දැම්මොත් පිරෙන්න යන කාලය කියලත් කියනවා. දැන් මුහුණු පොතේ ප්‍රතිචාර දක්වන අය තම තමන් දන්නා කල්ප ගැන කියලා තමන්ගෙ වැදගත් කම පෙන්නාවි.

අර තරුණයා යම් භාජනයක් ගෙන එහි ඇසිරිය හැකි අබ ඇට කොපමණ දැයි ගණන් කර තිබෙනවා. ඉන්පසු ඔහු සාමාන්‍ය ඒකීය ක්‍රමයට අනුව භාජනයේ පරමාව ඝන යොදුනක් නම් එහි තිබිය හැකි අබ ඇට ප්‍රමාණය ගණනය කර එය සියයෙන් වැඩි කර තිබෙනවා. ඒ අවුරුදු සියයකට එක් අබ ඇටයක් දමන බැවින්. එවිට ලැබුණු සංඛ්‍යාව ඇවගාර්ඩෝ සංඛ්‍යාවට ආසන්න වශයෙන් සමානයි. මේ කරුණෙන් මට ග්‍රෑම් මෝලය යන සංකල්පය ගැන අමුතුවෙන් හිතන්න පුළුවන් වුණා. මා හිතන්නේ ඒ තරුණයා විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට ප්‍රමාණවත් වන අයුරින් උසස් පෙළ සමත් වී නැහැ. ඔහුට එතරම් කලබලයක් තිබුණෙත් නැහැ.

කොහොමටත් කල්ප ගණන් සංසාරයේ සැරිසරන අපට කාලය රන් හා වටින්නේ නැහැ. ඒත් දැන් එහෙම වටිනවා කියලා හිතාගෙන නොඉවසිල්ලෙන් කටයුතු කරනවා, රිය පදවනවා, අනතුරු වැඩි කර ගන්නවා. අප අතර තිබුණෙ ඉක්මන් කොටයි කියන අදහස. ඇමරිකාවට (මහාද්වීපයට) පළමුවෙන් යුරෝපීයයන් ගිය අවස්ථාවේ ස්වදේශිකයන්ට ඇති වී තිබෙන ප්‍රශ්නයක් නම් ඒ විදේශිකයන් කාලය (වෙලාව) ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ ඇයි ද යන්න. බටහිරයන්ට ඔරලෝසුව නැතිව බැහැ. අද අත් ඔරලෝසු පමණක් නොව ස්මාර්ට්ෆෝන් ඔරලෝසුත් තියෙනවා. අපටත් ඒ සියල්ල බටහිරයන්ගෙන් ලැබෙනවා. 

මෛත්‍රිපාලට ඡන්දය දුන් තරුණයන් අර බටහිර කාලයෙන් හිස් නරක් කර ගත් අය. ඔවුන් ඉක්මන් විසඳුම් සෙව්වා. ඔවුන් හොරු අල්ලන්න ගියා. හොරු ඇල්ලිල්ල පොඩි කාලෙ කරන හොරා පොලිස් සෙල්ලම (මෙයත් අපට පුරුදු කෙරුණු සෙල්ලමක් අපට පොලීසි තිබුණෙ නැහැ) වගේ කෙටි කාලයකින් කරලා මහන්සි නිවා ගන්න පුළුවන් එකක් නො වෙයි. දේශපාලන හොරු ඇල්ලිල්ල කාටවත් අවශ්‍ය එකක් නො වෙයි. ඒක නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තවත් ටිකක් හොයනව වගේ වැඩක්. ඒකට බොහෝ කල් යනවා. අපේ ජීවිත කාලයත් ඉක්මෙන්න පුළුවන්.

බටහිරයන් හා ඉන්දියාව මෛත්‍රිපාල පත් කර ගත්තෙ හොරු අල්ලන්න නො වෙයි. මහින්ද  පරද්දන්න රනිල්ට තනිව ම බැරි නිසාත් සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවශ්‍ය වූ නිසාත්. මෛත්‍රිපාල එහි දී ඉත්තකු වුණා පමණයි. ඔහුට හොරු අල්ලන්න කාගෙන්වත් උදවු ලැබෙන එකක් නැහැ. ඔහු අද කළ යුත්තේ හොරු අල්ලන්න එක් එක් අයගෙන් උදවු ඉල්ලන එකක් නො වෙයි. සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කැස කවන සිංහල බෞද්ධ විරෝධී රනිල් ඉවත් කිරීමට උදවු ඉල්ලීම. රනිල් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ නියෝජිතයෙක් නො වෙයි. ඔහු යුදෙව්  ක්‍රිස්තියානි සංස්කෘතියේ ජීවත් වන්නෙක්.

මෛත්‍රිපාලට තමන් ගැන නිසි අවබෝධයක් නැහැ. පොළොන්නරුවේ ගල් විහාරය අසළින් පාසල් ගිය ඔහු හා කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ සිට අතේ දුරින් පිහිටි පාසලට ගිය රනිල් අතර තියෙන්නෙ නොපෑහෙන වෙනසක්. මෛත්‍රිපාල ඒ වෙනස මෙන් ම තම ගැමි තරුණකමත් අවබෝධ කරගෙන දේශපාලනයේ යෙදිය යුතුයි. ඔහුටත් මහින්දට මෙන් ම අවසානයේ දී ලැබෙන්නේ සිංහල බෞද්ධ ඡන්ද. මෛත්‍රිපාල රට කිරීමට උදවු ඉල්ලන්න ඕනෙ කාගෙන් ද කියන එක පැහැදිලියි.       


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-23