Main Logo

Monday, 4 September 2017

මේ සරත් රාජ්‍යාරක්‍ෂාවට තර්ජනයක්  


මේ සරත් රාජ්‍යාරක්‍ෂාවට තර්ජනයක්



සරත් ෆොන්සේකා ගැන මා බොහෝ දේ කියා තිබෙනවා. 2010 ජනාධිපතිවරණ සමයේ දී ඔහු සිරභාරයට ගත යුතු යැයි මා යෝජනා කළා. පළමුවෙන් ම එසේ කෙළේ කුරුණෑගල දී මහින්දට පක්‍ෂව පැවැත් වූ රැස්වීමක දී. ඒ ජනාධිපතිවරණයේ දී ම එක් රුපවාහිනී සාකච්ඡාවක දී මා කියා සිටියා සරත් ෆොන්සේකාට එරෙහි ව එක්සත් රාජ්‍යයෙහි ප්‍රාන්තයක යුද අපරාධ පිළිබඳ නඩුවක් පවරා තිබූ බවත් එය ඒ වන විට අස්කර ගෙන ඇති බවත්. නඩුව අස්කර ගැනීම හා ඊනියා පොදු අපේක්‍ෂකයා වීම අතර සම්බන්ධයක් නැතැයි නොසිතිය යුතු බවත් මා ඒ සාකච්ඡාවේ දී පවසා සිටියා. 




සරත් ෆොන්සේකා සුදු කොඩි ගැන කතා කර පළමු පාවා දීම කළා. මේවාට පාවා දීම් කියන්නත් බැහැ. ඇත්ත සිද්ධියක් සතුරන්ට හෙළිදරව් කිරීම පාවා දීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. සරත් ෆොන්සේකා මෙහි දී කරන්නේ බටහිරයන්ට අවශ්‍ය ආකාරයට බොරු කතා ගෙතීම. සුදු කොඩි කතාව තමන්ට අසන්න ලැබුණේ ජනමාධ්‍යවේදියකුගෙන් බවයි සරත් ෆොන්සේකා පැවසුවේ. ඔහු ඒ කතාව ඇත්ත ද බොරු ද කියාවත් සොයා බැලුවේ නැහැ. ඔහු ඒ කතාව පසුව රැස්වීම් දෙකක දී ම කිව්වා. මගේ මතකය අනුව අම්බලන්ගොඩ දී හා රත්නපුරේ දී.



එදා සරත් ෆොන්සේකා සිරභාරයට ගත යුතු යැයි මා කියද්දී බොහෝ දෙනා විරුද්ධ වුණා. ජනාධිපතිවරණය අවසන් වන තුරු මහින්ද කිසිවක් කළේ නැහැ. එය ප්‍රජාතන්ත්‍රවාදය නමින් කෙරුණක් ද කියන එක ගැන මතයක් නැහැ. කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් පසුව සරත් ෆොන්සේකා සිරභාරයට ගැනුණා. අද සරත් ෆොන්සේකා තම නිලධාරීන් ගැන බොරු කතා කියනවා. ජගත් ජයසූරිය කරන්නාගොඩ ආදී නිළධාරීන් මානව හිමිකම් කඩ කළ බව ඊනියා යුද්ධාපරාධ කළ බව කීමට ඔහු සූදානම්.



2010 ජනාධිපතිවරණය දිනවල මා ඒ සරත් හා මේ සරත් නමින් ලිපියක් ලිව්වා. ඒ ලිපිය මා ළඟ නැහැ. එහෙත් එය මහින්දගේ ජනාධිපතිවරණ කටයුතු මෙහෙය වූ පුද්ගලයන් යොදා ගත් බව මට මතකයි. ජනාධිපතිවරණයෙන් පසු ඔවුන් ඒ ලිපිය කුණු කූඩයට දැම්මා. සරත් ෆොන්සේකා හිර ගෙදරට ගියා. සරත් ෆොන්සේකා කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව හමුදා මෙහෙයවූවා. ඔහු දක්‍ෂ හමුදා නිලධාරියෙක්. එහෙත් ඔහු අදක්‍ෂ දේශපාලනඥයකුවත් නො වෙයි. ඔහුට දේශපාලනය බැහැ. 2010 දී බටහිරයන් රනිල් හා එකතුව ඔහු මහින්දටත් රටටත් විරුද්ධව යොදා ගත්තා. අදත් යොදා ගැනෙනවා. ඔහු ඒ බවක් දන්නා බව පෙනෙන්නට නැහැ.



සරත් ෆොන්සේකාට මහින්ද ගැන මෙන් ම ඇතැම් ත්‍රිවිධ හමුදා නිලධාරීන් ගැන වෛරයක් ඇති බව පැහැදිලියි. මේ සිංහල බෞද්ධ රටක් වුවත් බොහෝ අයගේ මමත්වය ඉතා අධිකයි. ඒ නිසා ම වෛරයත් වැඩියි. වෛරය හා කෝපය කියන්නේ දෙකක්. කෝපය ක්‍ෂණික වන්නත් පුළුවන්. වෛරය දීර්ඝ කාලීන වෙන්න තිබෙන ඉඩකඩ අධිකයි. පාසල් කාලයේ ඇති කරගත් වෛරත් ඇතැමුන් මරණය දක්වා ම ගෙන යනවා. මූසිලට ගුත්තිල පඬිතුමා ගැන ඇති වූ වෛරය තවමත් ඇති. ඒ අවසන් වීමෙන් පසු ඔහුට පසේ බුදු කෙනකු වීමට පුළුවන්.  අවාසනාවකට අද රට ක්‍රියාත්මක වන්නේ වෛරය මතයි.



සරත් ෆොන්සේකා තම වෛරය පිරිමසා ගැනීමට හමුදා නිලධාරීන්ට එරෙහි ව බටහිරයන් පවරන නඩුවල බොරු සාක්‍ෂි දීමට සූදානම්. ඔහු අද බටහිරයන්ගේ ඉත්තෙක් පමණයි. බටහිරයන්ට අවශ්‍ය ඔවුන්ගේ අනුග්‍රහයෙන් හා ආධාරයෙන් ක්‍රියාත්මක වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ මහින්දට, ගෝඨාභයට හා රණවිරුවන්ට දඬුවම් කිරීමයි. ඒ සඳහා ඔවුන් ආණ්ඩුව යොදා ගන්නවා. බටහිරයන් තම වෑයම අත්හැර නැහැ. ඔවුන් මේ ආණ්ඩුව පිහිටුවා ගත්තේ මහින්දට ගෝඨාභයට හා රණවිරුවන්ට දඬුවම් කිරීමටත් සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමටත්. ඒ මිස හොරු ඇල්ලීමට නො වෙයි. හොරු කතාව තරුණ තරුණියන් හා වැඩිහිටියන් බවට පත් වීමට නොහැකි වූවන් රැවටීමට යොදා ගත් සටන්පාඨයක් පමණයි.



මෛත්‍රිපාල ඊයේ කැම්බල් පිටියේ දී කළ කතාව වැදගත්. එහෙත් ඔහු තමා කියන්නේ කුමක් දැයි අවබෝධ කරගෙන ඇති බවක් පේන්න නැහැ. බටහිරයන් ක්‍රියා කරන්නේ රාජ්‍ය ලෙස පමණක් නොවයි. මෛත්‍රිපාල සඳහන් කළ රාජ්‍ය නොවන සංවිධානත් බටහිරයන්ගේ ම ආයතන. රණවිරුවන්ට දඬුවම් කරන්න අද මැදිහත් වන්නේ බටහිරයන්ගේ සංවිධාන. ජගත් ජයසූරියට විරුද්ධව ක්‍රියාත්මක වන සූකා දරුස්මාන් කමිටුවේත් හිටියා. ඔවුන් හුදු පුද්ගලයන් නො වෙයි. ඔවුන් බටහිර රාජ්‍යවල නියෝජිතයන්. බටහිර රාජ්‍ය අපට දී ඇති සහන මොනවා ද? ජී එස් පී+ ද? එයින් කියක් ලැබෙනවා ද? මෛත්‍රිපාල තමා කෙසේ සිතුවත් රාජපක්‍ෂවරුන් හා රණවිරුවන් නිදහස් කරගෙන නැහැ. බටහිර රාජ්‍ය අද සුකාලා මගින් ක්‍රියාත්මක වෙනවා. බ්‍රසීලය නොවන්න ජගත් ජයසූරිය එහි දී කොටු කර ගන්න තිබුණා. අතුරුදහන් වූවන් පිලිබඳ පනත සම්මත වේය යන බලාපොරොත්තුවෙන් සුකාලා ක්‍රියාත්මක වන්න ඇති. ඒ සම්මත වුවහොත් රණවිරුවන්ට විරුද්ධව මුහුදින් එතෙර රටවල නඩු පවරන්න පුළුවන්. දැනටමත් ඉන්ටරපෝල් ආයතනය මගින් ජගත් ජයසූරිය රටින් පිටමං කරවීමට එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රියාත්මක වෙනවා (ජගත් ජයසූරිය සිද්ධිය ලිපිය කියවන්න). මෛත්‍රිපාල කළ යුත්තේ අතුරුදහන් වූවන් පිළිබඳ පනත අතුරුදහන් කිරීමයි. ඔහු මෙරට ජනාධිපති බව රනිල්ට හා චන්ද්‍රිකාට වැටහෙන අයුරින් ක්‍රියා කළ යුතුයි.



සරත් ෆොන්සේකා අමාත්‍ය ධුරයෙන් අස්කරන්න මෛත්‍රිපාලට පුළුවන්. ඒ සඳහා රනිල්ගෙන් විමසන්න ඕන නැහැ. අවශ්‍ය නම් රනිල්වත් අස්කරන්න පුළුවන්. සරත් ෆොන්සේකා අස්කළ යුත්තේ අමාත්‍ය මණ්ඩලයේ ඊනියා සාමූහික වගකීම කඩා ඇති නිසා නො වෙයි. මේ ආණ්ඩුවේ එවැනි සාමූහික වගකීමක් නැහැ. විජේදාස රාජපක්‍ෂ අස් කෙළේ සාමූහික වගකීම කඩ කිරීම නිසා නො වෙයි. බැඳුම්කර කොමිසමෙන් රනිල් බේරා ගැනීමට. අප ජනතාවට වැරදි අවබෝධයක් දිය යුතු නැහැ විජේදාස අස් කෙළේ ඊනියා සාමූහික වගකීමක් කඩ කළ නිසා කියා.



සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පැරදුණු පසු පිටරට ගිය වත්මන් හමුදාපතිටත් සිද්ධ වෙලා තියෙනවා සරත් ෆොන්සේකාගේ මානව හිමිකම් කඩවීම් කතාවට විරුද්ධ වීමට. හමුදාපතිවරයකුගේ වගකීම එයයි. එහෙත් සරත් ෆොන්සේකා  ඉටු නොකරන්නේත් ඒ වගකීමයි. ජගත් ජයසූරිය එකල ඊනියා යුද අපරාධ කෙළේ නම් සරත් ෆොන්සේකා හමුදාපති ලෙස එයට විරුද්ධව කටයුතු නොකෙළේ ඇයි? ඒ සිදු විණි යැයි කියන යුද්ධාපරාධවලට එකල හමුදාපති ලෙස ඔහු ද වග කිව යුතුයි. ඔහු ඒ පිළිබඳ එදා කිසිවක් නොකර අද ජගත් ජයසූරියට විරුද්ධව බොරු සාක්‍ෂි දෙන්න සූදානම් වන්නේ තම හමුදාපති යුතුකම් ගැන කිසිම තැකීමක් නැතිව. හිටපු හමුදාපතිවරයකු ලෙස බටහිර අවශ්‍යතාවලට සූකාලාගේ හා රනිල්ලාගේ දොළ දුක වෙනුවෙන් තම හමුදා නිලධාරීන්ට විරුද්ධව බොරු සාක්‍ෂි දීමට ඉදිරිපත් වන අයකු තව දුරටත් ඇමතිවරයකු ලෙස සිටීම රාජ්‍යාරක්‍ෂාවට තර්ජනයක්. රාජ්‍යාරක්‍ෂක ඇමති ධුරය දරන්නේත් මෛත්‍රිපාලයි. ඔහුට ජනාධිපති ලෙස රාජ්‍යාරක්‍ෂාවට තර්ජනයක් වූ සරත් ෆොන්සේකා ඇමති ධුරයෙන් අස්කළ හැකියි. මෛත්‍රිපාල ජගත් ජයසූරිය වෙනුවෙන් පමණක් නොව රට වෙනුවෙන් ද පෙනී සිටිමින් ඇමති සරත් අස්කළ යුතුයි.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.






නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 04