Main Logo

Friday 29 September 2017

මංගලගේ කරුණාව  


මංගලගේ කරුණාව





මංගල සමරවීරට රොහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ පුදුම කරුණාවක් ඇති වෙලා. ඔහුගේ කරුණාව සරණාගතයන්ට ද එසේත් නැත්නම් වෛරය භික්‍ෂූන් වහන්සේට ද යන්න ප්‍රශ්නයක්. ඇතැමුනට අවශ්‍ය බෞද්ධයනට පහර ගැසීම බව ඉතා පැහැදිලියි. සිද්ධියෙන් පැය හතළිස්අටක් ගතවීමට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයකු අනියමින් බෞද්ධයනට පහර ගසමින් ආණ්ඩුවට ප්‍රශංසා කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ලෝකයේ තබා ලංකාවේවත් බෞද්ධයනට එකතු වීමට නොහැකී නිසා ජාත්‍යන්තර සංස්ථාපන සුපිරිව්‍යුහය තම යුදෙව් ක්‍රිස්තියානි පදනම සඟවමින් බෞද්ධයනට පහර දෙනවා. මංගල කියන්නෙ චන්ද්‍රිකා වගේ ම මේ සුපිරිව්‍යුහයේ ඉතා ම කුඩා දැත්තක් පමණයි. ඔහු ජෙනීවාහි දී ලංකාවට විරුද්ධ යෝජනාවක් ගෙන ඒමට ලංකාවේ ම සහාය දුන් දැත්ත.
 



රොහින්ග්‍යා සරණාගතයන් ලංකාවේ ඉන්නේ එක්සත් ජාතීන්ගේ මානව අයිතිචාසිකම් කොමිසම යටතේ බව පැවසෙනවා. අප එය පිළිගන්නවා. එහෙත් අපට ප්‍රශ්න ගණනාවක් ම තියෙනවා. පළමුවෙන් ම මේ සරණාගතයන් ලෙස හැඳින්වෙන පිරිස අතර ත්‍රස්තවාදීන් ඉන්නවා ද? ට්‍රම්ප් රටවල් හතකින් තම රටට පැමිණෙන පිරිස් සඳහා දැඩි නීති පනවලා. ඇතැම්විට ඒ නිසා ඇතැම් පවුල්වල සාමාජිකයන්ට එකතු වීමත් ප්‍රශ්නයක් වෙලා. ට්‍රම්ප් ඒ සියල්ල කරන්නේ තම රටේ ආරක්‍ෂාව වෙනුවෙන්. මේ ආණ්ඩුවට අපේ රටේ ආරක්‍ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. රණවිරුවන්ට හිරිහැර කරමින් බුද්ධි අංශය දුර්වල කරන්නේ එබැවිනුයි.



ත්‍රස්තවාදීන් රටට ඇතුල් වීම  වැළැක්වීමත් ට්‍රම්ප් සැලකිල්ලට ගන්නවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඒ රටවල් හතෙන් පැමිණෙන අය ගැන කණගාටුවක් ඇති කර ගත යුතු යැයි මා කියන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය යැපෙන්නේ එක්සත් රාජ්‍යයෙන්. එක්සත් ජාතීන්ගේ සංවිධානය අද කරන්නේ කඩා වැටෙන ජාත්‍යන්තර සුපිරිව්‍යුහය ආරක්‍ෂා කිරීමට යමක් කිරීම පමණයි. මේ සුපිරිව්‍යුහය කඩා වැටෙන බව ට්‍රම්ප් දන්නවා. ඒත් එක්සත් රාජ්‍යයේත් සමහරු ඒ බව දන්නේ නැහැ. අද කඩා වැටෙන්නේ සුපිරිව්‍යුහය පමණක් නොවෙයි. ඊනියා ජාතික රාජ්‍ය ද කඩා වැටෙමින් පවතිනවා.



බටහිර රටවල ජාතික රාජ්‍ය කඩා වැටීම වෙන ම කතා කළ යුතුයි. එහෙත් ඒ රටවලට තනි සංස්කෘතියක් ඇති කර ගැනීම යන්න අද තදින් බලපානවා. පසුගිය දා පැවති ජර්මන් මැතිවරණයෙන් මර්කල්ගේ පක්‍ෂය ජයගත් නමුත් බහුතරයක් ලැබුණේ නැහැ. එහි ජාතිකවාදී පක්‍ෂයක් මැතිවරණයේ දී සියයට දහතුනකපමණ ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් බව මෙරට ජනමාධ්‍ය  අමතක කළා. ඊනියා බහු සංස්කෘතික බොරුව ඒ රටවල තවදුරටත් ගෙන යන්න බැහැ. චීනය අවුරුදු දෙදහසකට වඩා රාජ්‍යයක් ලෙස පවතින්නේ එහි විවිධ ජනවර්ග හන් ජනවර්ගයේ සංස්කෘතියට, සභ්‍යත්වයට අනුගත වූ නිසා. මේ ගැන බොහෝ දෙනා ලියා තියෙනවා. මාටින් යක් ඉන් ප්‍රධානියෙක්. චීන රාජ්‍යය හැඳින්වෙන්නේ ජාතික රාජ්‍යයක් ලෙස නොව සභ්‍යත්ව රාජ්‍යයක් ලෙස. සභ්‍යත්ව රාජ්‍යය යන සංකල්පය නිර්මාණය වී ඇත්තේ ජාතික රාජ්‍යය යන්නට ප්‍රතිපක්‍ෂව. මෙරට ඇතැමුන් සුපුරුදු පරිදි මේ සංකල්පය වැරදි කොණින් අහුලා ගෙන.



රොහින්ග්‍යා මුස්ලිමුන් මෙරට සරණාගතයන් ලෙස ජීවත් වී නැහැ. එක්සත් ජාතින්ගේ සංවිධානය ඔවුන් නවතා ගෙන සිටි තැන් නිසි අයුරින් පවත්වාගෙන ගොස් නැහැ. අදාළ නිවෙස් සරණාගත කඳවුරු බව දැන සිටියේ කවු ද? ආණ්ඩුව ඒ බව කාහටවත්, ජනතාවට, කියා තිබුණා ද? ආණ්ඩුවේ අදාළ නිලධාරීන්වත් ඒ බව දැන සිටියා ද?  නොඑසේ නම් ඒ නිවෙස්වල සිටියවුන් පිළිබඳ විවිධ මත පැතිර යෑම පුදුමයක් නො වෙයිි. ආණ්ඩුව ඒ පිළිබඳ සියලු තතු ප්‍රසිද්ධ කර තිබුණා නම් මේ සිද්ධිය ඇති වන්නේ නැහැ.



ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් මේ කාරණයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ ගන්නා බව පැහැදිලියි. ඔවුන් මේ  මියන්මාරයෙන් පැන ආ පිරිස මෙහි සදාකාලික ව ම නවත්වා ගැනීමට උත්සාහ කරන්නේ නම් අප පුදුම විය යුතු නැහැ. මේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය යටතේ අද වැදගත් වන්නේ ගොඩ වැඩි කර ගැනීම. විශේෂයෙන් ම අෂ්රොෆ්ගෙන් පසුව මුස්ලිම් ජාතිවාදය මෙරට දේශපාලනයෙහි ක්‍රියාත්මක වෙනවා. දැන් සිංහල මරික්කාර්ලා දේශපාලනයෙහි නැහැ.



ආණ්ඩුවට මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් ලෙස මෙහි ඉන්න රොයින්ග්‍යා වැසියන් ගැන සම්පූර්ණ විස්තර තියෙනවා ද? කී දෙනකු පැමිණියේ ද ඔවුන් අද ඉන්නේ කොහේ ද කියා තොරතුරු දැනගැනීම පනත යටතේ දැනගන්න පුළුවන් ද? මේ සිද්ධිය ඇති නොවී නම් ඒ අයට කුමක් සිදු වීමට තිබුණා ද? ඔවුන් වෙනත් රටකට ගෙන යන බව අද ආණ්ඩුව කියනවා. මේ සිද්ධිය ඇති නොවී නම් සමහර විට ඒ අය මෙරට නිත්‍ය පදිංචිකරුවන් වීමටත් ඉඩ තිබුණා. අදටත් ඒ අය ගැන විමසිල්ලෙන් සිටීමට මෙරට සියලු වැසියන් ක්‍රියා කළ යුතු යැයි සිතනවා. මේ ආණ්ඩුව සතපහකට විශ්වාස කරන්න බැහැ.



බෞද්ධයන් මිනීමරුවන් හෝ හිංසකයන් හෝ නො වෙයි. බෞද්ධ අප ඉතිහාසයේ ඕනෑවටත් වඩා බැට කෑ තියෙනවා. එක්සත් ජාතින්ගේ සුදු මහත්වරුන් මුස්ලිම් ජනයාට බෞද්ධ රටවල දී අනුකම්පා කළාට ක්‍රිස්තියානි කතෝලික රටවල දී අනුකම්පා කරන්නේ නැහැ. ඒ රටවල ඔවුන්ට වැදගත් වන්නේ රටේ ආරක්‍ෂාව. එත් බටහිරයන් බෞද්ධ රටවල ආරක්‍ෂාව තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ.



අප බටහිරයන්ට මෙන් ම මුස්ලිමුන්ට ද මතක් කළ යුතු කරුණක් තිබෙනවා. මුස්ලිමුන් මෙරටට පැමිණියේ දහහතරවැනි සියවසේ වත්මන් කේරළයේ සිට. ඔවුන් එසේ පැමිණියේ ඇයි දැයි සොයා බලනවා නම් හොඳයි. ඉතිහාසය හදාරන්නන්ට එය වැදගත් මාතෘකාවක් වේවි. ඒ පැමිණි මුස්ලිමුන් සිංහලයන් විසින් ආරක්‍ෂා කෙරුණා. ඒ මුස්ලිමුන්ට හිරිහැර අඩත්තේට්ටම් කෙරුවේ පළමුව පෘතුගීසීන්. දෙවනුව ලන්දේසීන්. බටහිර ක්‍රිස්තියානීන් එසේ කළ ඒ සියලු අවස්ථාවල දී සිංහල බෞද්ධයන් මුස්ලිමුන් රැක ගත්තා. මුස්ලිමුන් අද වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කරවනු ලැබුයේත් සිංහල රජවරුන් විසින්.



අද රොහින්ග්‍යා මුස්ලිමුන් ගැන වගකීම ඉංගිරිසින් භාරගත යුතුයි. ඒ  බව මා කලින් කියා ඇති. ඒ පිරිස ගෙන යා හැකි හොඳම රට එංගලන්තයයි.  මංගලට හා ඔහු වැනි ඊනියා මානවහිතවාදීන්ට සැබෑ මානව දයාවක් ඇත්නම් ඒ මුස්ලිමුන් හැකි ඉක්මණින් එංගලන්තයට ගෙන යෑමට කටයුතු කළ යුතුයි. 





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 29