ආගම දහම හා සංස්කෘතිය - 4
ආගම හා දහම යනු එකක් නොව දෙකක් බව මා මුල සිට ම කියා ඇති දෙයක්. අද
අප ආගම යන වචනය යොදා ගන්නේ ඉංගිරිසි රිලිජන් යන්නෙහි පරිවර්තනයක් ලෙස. රිලිජන්
යන්න යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි යොදා ගැනෙන්නක්. එබැවින් අද ආගම යන්න
යෙදෙන්නේ ඒ අර්ථයෙන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික පසුබිමකයි. බුද්ධාගම හා
බුදුදහම යනු දෙකක් බව කාහට වුවත් පිළිගැනීමට සිදුවෙනවා.
රිලිජන් යන ඉංගිරිසි වචනය බිඳී එන්නේ රෙලිජිඕ යන ලතින් වචනයෙනි.
රිලිජන් යන්න බටහිර සංකල්පයක්. මැක්ස් මුලර්ට අනුව එකී ලතින් වචනයෙන් කියැවෙන්නේ
දෙවියන් කෙරෙහි වූ ගරුත්වයක් භක්තියක්. එය විශ්වාසයස මත බැඳී තිබෙනවා. ඇදහීමක්
යන්න ද එහි අඩංගුයි. දෙවියන් සමග ලෝක නිර්මාණය යන අදහස ද තිබෙනවා. 1800ට පමණ පෙර බෞද්ධයා (බුඩිස්ට්) හින්දුවරයා (හින්ඩු) ආදී වචන භාවිතා වී නැහැ.
මේ වචන ඉංගිරිසින්ගේ නිර්මාණ. රිලිජන් යන්න සමග වතාවත්, භක්තිය ඇදහීම බැඳී තිබෙනවා.
රිලිජන් යන්න ආගම ලෙස පරිවර්තනය වූයේ කවර කලක ද කියා කියන්න බැහැ. 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙහි සඳහන් වන්නේ
රිලිජන් ඔෆ් බුද්ධො කියායි. එහි බුඩිසම් යන්නක් සඳහන් වන්නේ නැහැ. කෙසේ වුවත්
සිංහල පිටපතෙහි බුද්ධාගම හා දේවාගම යනුවෙන් සඳහන් වෙනවා. ඉන් කියැවෙන් රිලිජන්
යන්නට ආගම යන්න එකල භාවිතා වූ බවයි. එහෙත් ආගම යන්න බුදුදහම සම්බන්ධයෙන් යොදා ගත හැකි ද යන්න ප්‍රශ්නයක් වී ඇති බව
පැහැදිලියි. බුුදුදහමෙහි ලෝකය මැවූ දෙවියකු ගැන කියැවෙන්නේ නැහැ. එහි ඇදහිල්ලක් ද
නැහැ. බුදුදහම ආගමක් ද දර්ශනයක් ද ආදී වශයෙන් විවාදයක් පැවතුණේ රිලිජන් යන්නෙන්
කියැවෙන්න ආගම ලෙස පරිවර්තනය කිරීමේ ප්‍රශ්නයක් තිබූ බැවිනුයි. එය ඉංගිරිසි උගතුන්ගේ ප්‍රශ්නයක්.
බුදුදහම ජීවන ක්‍රමයක් ලෙස හැඳින් වූ අය ද සිටියා.
මෑතක් වන තුරුම සිංහල බෞද්ධයන් ක්‍රිස්තියානින් හා කතෝලිකයන්
හැඳින්වූයේ ආගම්කරයන් ලෙසයි. ඒ කලකට ඉහත බෞද්ධයන් තමන් ආගමක් අදහන්නන් ලෙස නොසෑලකූ
බැවිනුයි. ක්‍රිස්තියානින් හා කතෝලිකයන් අනෙක් අය අන්‍යාගමිකයන් ලෙස හඳුන්වා නැහැ.
අන්‍යාගමික යන්න පසුව බෞද්ධයන් තමන් ආගමක්, එනම් බුද්ධාගම අදහන්නන් ලෙස සැලකීමට පුරුදු වීමෙන් පසුව ඇති වූ ව්‍යවහාරයක්.
අන්‍යාගමික යන්න අද වැඩියෙන් යොදා ගැනෙන්නේ බුද්ධාගම්කාරයන් වූ බෞද්ධයන් විසින්.
විශේෂයෙන් ම දේශපාලනඥයන් මහා සංඝ රත්නයෙන් හා අන්‍යාගමික පූජකතුමන්ලාගෙන් අවසර
ගන්නවා.
මුලින් ම ආගම යන්න ප්‍රාග් බෞද්ධ වචනයක්. ආගම යන්නෙහි තේරුම වෙතට
පැමිණි යන්නයි. ඉන් කියැවෙන්නේ සම්ප්‍රදායෙන් පරම්පරාවෙන් තමන්ට ලැබුණු දේ. එහි
විශ්වය පිළිබඳ කරුණු හා වෙනත් කරුණු ඇතුළත් වෙනවා. එහි වේද මෙන් ම වේද නොවන දැනුම්
ද ඇතුළත් වෙනවා. ඇතැම් විට වේදයට විරුද්ධ දේ ද ඇතුළත් වෙනවා. එහි ඇදහීම් ද තියෙන්න
පුළුවන්.
එක් එක් ආගම කොටස් හතරකට බෙදා තිබෙනවා. ඒ ඥාන පාද, යෝග පාද, ක්‍රියා පාද හා චර්යා පාද යනුවෙන්. ඥාන පාද යනු දාර්ශනික ආධ්‍යාත්මික
හා යථාර්ථය විමුක්තිය ආදිය පිළිබඳ දැනුමයි. යෝග පාදයෙහි ඇත්තේ යෝග අභ්‍යාස,
ශාරීරික හා මානසික විනය පිළිබඳ කරුණු. ක්‍රියා
පාදයෙහි ඇත්තේ වත් පිළිවෙත්, සිද්ධස්ථාන ප්‍රතිමා ආදිය නිර්මාණය
කිරීම ආදිය පිළිබඳ කරුණු. චර්යා පාදයෙහි සඳහන් වන්නේ හැසිරීම, පූජා ආදිය සම්බන්ධ කරුණු.
ආගම් සම්ප්‍රදායෙන් පරම්පරාවෙන් තමන් වෙතට මුලින් පැමිණියේ කීමෙන් හා
අසා සිටීමෙන්, ශ්‍රැතියෙන්. පසුව පාඨ ග්‍රන්ථ මගින්
පැමිණියා, ලැබුණා. මේ ආගම යන සංකල්පය බුද්ධ කාලයට
වඩා පැරණියි. බුදුදහමටත් ඒ වචනය පැමිණ තිබෙනවා. ඒ එකල තිබූ සංස්කෘතිය සමග. බුදුන්
වහන්සේත් ආගම යන වචනය යොදා ගෙන තිබෙනවා. අංගුත්තර නිකායෙහි හෝ වෙනත් තැනක හෝ ආගම
යන වචනය යොදා ගෙන ඇත්තේ ඉහත සඳහන් ප්‍රාග් බෞද්ධ අර්ථයෙන්.
බටහිරයන් අපේ රටවලට පැමිණි පසු ඔවුන්ගේ අර්ථයෙන් රිලිජන් යන්නක් මෙහි
දැක්කේ නැහැ. දැක්කේ ඇසුවේ ආගම යන වචනය. එය රිලිජන් නොවූවාට ඔවුන්ට ඒත්තු ගිය
ආකාරයට රිලිජන් යන්නට සුදුසු වචනය වූයේ ආගම යන්නයි. ඔවුන් ලංකාවේ දී ක්‍රිස්තියානි
හා කතෝලික ආගම්වලට මුල දී ආගම යන චචනය යොදන්න ඇති. ක්‍රිස්තියානිය හා කතෝලික යන්න
සිංහලයනට ආගම් වූයේ එලෙසෙනුයි. ක්‍රිස්තියානීන් අපට ආගම් කරයන් වුණා. පසුව ආගම යන
වචනය බුදුදහම ආශ්‍රිත ක්‍රියාකාරකම්වලටත් යොදා ගෙන තිබෙනවා. ඉන්පසු අපත් බුද්ධාගම්
කාරයන් වී තිබෙනවා.
එලෙස අපට ආගම යන්න රිලිජන් යන්නෙහි පරිවර්තනයක් මිස ප්‍රාග් බෞද්ධ හෝ
බෞද්ධ සාහිත්‍යයෙහි තිබෙන ආගම නො වෙයි. කවුරුන් නමුත් අප අද ආගම යන්න යොදා ගන්නේ
අංගුත්තර නිකායෙහි ආගම යන්න යෙදී තිබෙන ආකාරයෙන් කියා කියනවා නම් එය සම්පුර්ණයෙන්
ම පාඨකයන් නොමග යැවීමක්. එහෙම නැත්නම් තම අවුල් මනසින් කරන්නක්. අංගුත්තර නිකායෙහි
ආගම හා ධර්මය යන වචන දෙක ම යෙදී තිබෙනවා. අප දැනුත් ආගම ධර්මය ගැන කතා කරනවා. ආගම
යනු ප්‍රාග් බෞද්ධ අර්ථයෙන් අපට සම්ප්‍රදායෙන් ලැබුණු දේ. ධර්මය යනු බුදුන් වහන්සේ
දෙසූ ධර්මයයි. මෙයින් පැහැදිලි වන කරුණ අද අර්ථයෙන් වුවත් බුද්ධාගම (ආගම යන වචනය යොදා ගන්නේ නම්) හා බුදුදහම යන්න දෙකක් බව.
ආගම යන්නෙන් අද කියැවෙන්නේ සංස්කෘතියක්. එයට පාඨ ග්‍රන්ථ අටුවා ටීකා
වත් පිළිවෙත් සිද්ධස්ථාන ප්‍රතිමා ආදිය වන්දනා මාන මේ සියල්ල අයත් වෙනවා. ඒ
අර්ථයෙන් සිංහල බුද්ධාගම යන්න සංස්කෘතියක්. අප බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමට කතා
කරන්නේ මේ සංකල්ප ගැන පැහැදිලි අවබෝධයක් නැතිව. ආගම යන්න අද ක්‍රිස්තියානි
සංස්කෘතියේ අර්ථයෙන් යොදා ගත්තත් එය වැරදියි. අද ආගම යන්න ප්‍රාග් බෞද්ධ අර්ථයකින්
කිසිසේත් ම යෙදෙන්නේ නැහැ. බුද්ධාගම ආගමක් ද දර්ශනයක් ද යන්න බටහිර ඇසින් ලෝකය දෙස
බලන බෞද්ධ උගතුන් තනා ගත් එකක්. බුද්ධාගම (ආගම යන වචනය යොදා ගන්නේ නම්) ජීවන ක්‍රමයක්
යන්න වඩා නිවැරදියි. අප බෞද්ධයන් වූයේ අපේ ජීවන ක්‍රමයෙන්. අපේ හැදියාවෙන්. වෙනත්
වචනවලින් කියන්නේ නම් සංස්කෘතියෙන්. සිංහල බුද්ධාගම යනු සිංහල බෞද්ධ සංස්කෘතියයි.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 සැප්තැම්බර් 15