පනස්හය ඉදිරියට ගෙන යෑම
අද සැප්තැම්බර් විසිහයවැනි දා. බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරී අදට වසර
පනස්අටක් වෙනවා. ඒ සම්බන්ධයෙන් හොරගොල්ලේ හරි වෙන කොහේ හරි පින්කමක් පැවැත්වෙනව ද
කියලා මා දන්නේ නැහැ. චන්ද්‍රිකා නම් අම්මයි තාත්තයි කරපු වැඩට බණින නිසා ඇය
මොකුත් කෙරුවත් වැඩක් නැහැ. මෛත්‍රිපාල, මහින්ද, දුමින්ද, අමරවීර, නිමල් සිරිපාල, ජී එල්, ඩලස් ආදී දැවැන්තයන් බණ්ඩාරනායක මහතා සමරනව ද?
අදින් වසර විසිඅටකට ඉහත 1989 දී ශ්‍රී ල නි පක්‍ෂයට වැලේ වැල් නැතිව සිටිය දී මහින්ද රාජපක්‍ෂ
බණ්ඩාරනායක සමරු කමිටුවේ සභාපති වුණා. ඔහුට බණ්ඩාරනායක සමරු දෙසුම් මාලාවක් ආරම්භ
කිරීමට අවශ්‍ය වුණා. එහෙත් ඒ භීෂණ සමයෙහි ඒ සඳහා කථිකයකු සොයා ගැනීම ඉතා අසීරු
කරුණක් වුණා. අවසානයේ දී මහින්ද මට ආරාධනය කළා. ඒ මගේ ඇති වැදගත් කමකට වඩා වෙනත්
අයකු නැති නිසා. මා එයට එකඟ වුණා. දේශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී
පැවැත්වුණා.
මා එහි දී පනස්හයේ දරුවෝ යන මැයෙන් දේශනයක් පැවැත්තුවා. ඒ දේශනය
පසුවදනක් සහිත ව චින්තන පර්ෂදයෙන් මුද්‍රණය කෙරුණා. මා හිතන්නේ නැහැ අද එය මිළ දී
ගත හැකිය කියලා. කොහොමටත් සකර්බර්ග් දරුවන්ට පනස්හයේ දරුවන්ගෙන් වැඩක් නැහැ. සකර්බර්ග් දරුවන්ට අප මැන්ටල් පමණයි. පනස්හයේ
දරුවෝ කියන යෙදුම භාෂාවට එකතු වුණේ ඒ දේශනයට පස්සෙ. මහින්දට ඒක මතක ද දන්නෙ නැහැ.
අද මහා පඬිවරු දේශපාලන විචාරකයන් ලෙස ඔහු වටා සිටිනවා. මහින්ද මේ ලිපි කියවන්නෙ නැහැ.
දැන් හැත්තෑහතේ දරුවන් ජනවාරි අට දරුවන් ආදී වශයෙන් විවිධ දරුවන්
ඉන්නවා. අද බොහෝ දෙනෙක් සකර්බර්ග් දරුවන්. කොහොමටත් පනස්හයේ දරුවන්ට මොකද වෙලා
තියෙන්නෙ. මහින්දත් පනස්හයේ දරුවෙක්. පනස්හයේ දරුවන් දේශනයෙහි මා නූතන ඉතිහාසය
කොටස් තුනකට බෙදුවා. නූතන ඉතිහාසය ඇරඹෙන්නෙ 1833 දි. 1833 අපට වැදගත්. ඒ අවුරුද්දෙ තමයි
කෝල්බෘක් කැමරන් යෝජනා ක්‍රියාත්මක වීම ඇරඹුණෙ. ඒ ඉංගිිරිසින් කියන විධියට නම්
කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ. මෙරට අනුකාරකයන් ද කියන්නෙ කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ
කියලා.
ඒවා ඊනියා ප්‍රතිසංස්කරණ නො වෙයි. මෙරට තිබූ ආර්ථිකය, දේශපාලනය හා සංස්කෘතිය නිල වශයෙන් වෙනස් කිරීම
ඇරඹුණෙ 1833 දී. අප ඒවාට ප්‍රතිසංස්කරණ කියන්නෙ අහවල් දේකට ද? 1833 තමයි දෙමළ ජාතිවාදය දේශපාලනික ව බෞතීස්ම
කෙරුණෙ. අප කෙතරම් කිව්වත් ඒ බව කිසිවකු පිළිගන්නේ නැහැ. ප්‍රභාකරන් ඔහුගේ සීයලා
බාප්පලා හා මස්සිනාලා කෘතියොත් මේ දෙමළ ජාතිවාදයේ අරාම්භය ගැන සඳහන් වෙනවා. ඒත්
චන්ද්‍රිකා විතරක් නොවෙයි ජාතිකවාදීන් බොහෝ දෙනකු ද කියන්නේ දෙමළ ජාතිවාදය ඇතිවුණෙ
1956 දී කියලා.
ඒ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමත් සමගය කියලයි ඒ අය සෘජුව හරි ව්‍යංගයෙන්
හරි කියන්නෙ. අද දෙමළත් රාජ්‍ය භාෂාව වෙලා. ජාතික ගීය දෙමළෙනුත් ගැයෙනවා. ඒක නිල
වශයෙන් ම ව්‍යවස්ථාවට ඇතුල් කරන්න ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු
වාර්තාවෙන් යෝජනා වෙනවා. ඒත් දෙමළ ජාතිවාදය නැතිවෙන්නෙ නැහැ. ජාතිකවාදීන්ටත් ඒ
පිළිබඳ නිසි අවබෝධයක් නැහැ.
මා ඊයේත් අහගෙන හිටියා එක් ජාතිකවාදියකු කියනවා බටහිර රටවල් දෙමළ
ජාතිවාදී විසුරුණු දෙමළ ජනයා විසින් නොමග යැවෙන බව හා රාජ්‍ය නොවන නඩය ඒ විසුරුණු
දෙමළ ජනයා විසින් නඩත්තු කෙරෙන බව. මෙය බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන අර්ථයෙන්
නොවූවත් පට්ටපල් බොරුවක්. දෙමළ ජාතිවාදය 1833ත් නඩත්තු කෙරුණෙ එංගලන්තයෙන්. අදත් නඩත්තු
කෙරෙන්නෙ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවලින් හා ඉන්දියාවෙන්. ඒ මගේ හුදු හිතිවිල්ලක්
නො වෙයි. මා එය සාක්‍ෂි සහිත ව පෙන්නල දීල තියෙනවා. ඒත් ඒ බව පිළිගන්න පනස්හයේ
දරුවන්වත් කැමති නැහැ. සකර්බර්ග් දරුවන් ගැන මොනව කියන්න ද? ඔවුන් හැමෝට ම දෙමළ ජාතිවාදය ඇරඹුණෙ 1956 දි, 1972 දී (ජනරජ ව්‍යවස්ථාව), 1983 දි (ඊනියා කළු ජූලිය) ආදී වශයෙන් කියන එක පහසුයි. රාජ්‍ය නොවන නඩය ඒ
බව සමාජයට කා වද්දලා. දෙමළ ජාතිවාදීන් මෝටර් රථවල ශ්‍රී අකුරට මිසක් ඉංගිරිසි
අකුරුවලට තාර ගෑවේ නැහැ. එදා ඉංගිරිසි අකුරු දෙකයි . අද ඉංගිරිසි අකුරු
තුනයි.
ඒත් 1956 වගේ අවුරුදුවලින් කියන්නෙ දෙමළ
ජාතිවාදය ඇරඹුණෙ සිංහලයන්ගෙ වරදින් කියලා. රාමනාදන් හා අරුණාශලම් සොහොයුරන් සිංහල
විරෝධී දෙමළ ජාතිවාදීන් නො වේ ද? ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ මුළු ලංකාවේ ම නායකයන්
වීමට. 1912 වන විට ඒ බැරි බව ඔවුන් තේරුම් ගත්තා.
අරණාශලම් හින්දු මහා සභාව (සභෙයි) පිහිටුවා ගත්තෙ ඊට පස්සෙ. එදා සිට එල් ටී ටී ඊ
සංවිධානය දක්වා ගත වූයේ වසර හැටක් පමණයි. නන්දිකඩාල් කලපුවේ දී ඒ සියල්ල දේශපාලනික
ව පරාජය කෙරුණා. ඒ බව ජාතිකවාදීන් බොහෝ දෙනකුටත් තේරෙන්නෙ නැහැ. ඒ නිසා තමයි ඔවුන්
දෙමළ ජාතිවාදීන් යුද්දෙන් ගන්න බැරි දේ ව්‍යවස්ථාවෙන් ගන්න යනවා කියලා මැසිවිළි
නගන්නෙ.
අද දෙමළ ජාතිවාදීන්ට ලංකාවෙ නායකත්වය දෙන්නෙ රනිල්. රනිල් යුදෙව් ක්‍රිස්තියානි
සංස්කෘතියෙ නියෝජිතයෙක්. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය ගැන මා පනස්හයේ දරුවෝ
දේශනයේත් සඳහන් කළා. අද සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතාමත් භයානක යුගයක පසුවෙනවා. අද
මහානායක හාමුදුරුවන්ටත් ඊනියා බෞද්ධ සමාජවාදීන්ගෙ වෙබ් අඩවිවල ප්‍රසිද්ධියේ
බණිනවා. නව ව්‍යවස්ථාව තමයි සිංහල බෞද්ධ සංස්කෘතියට එල්ල කෙරී ඇති මිසයිලය. අප එයට
මුහුණ දෙන්නේ කෙසේ ද? පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි මාරු කිරීමෙන්
ද? ඩීල් මගින් ද? පනස්හය ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද? ධර්මපාලතුමා අනුගමනය කරමින් අද කියන්නට ඇත්තේ
සිංහලයනි නැගිටිව්. නාගදීපය බේරාගනිවු කියලයි.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 සැප්තැම්බර් 26