Main Logo

Sunday 24 September 2017

අපේ වගකීම


අපේ වගකීම



අද රට අපේ ඉතිහාසයේ ඉතාමත් ම භයානක අවස්ථාවට පත් වී තියෙනවා. මේ නිවට ආණ්ඩුව  පත්කරගන්න මොන යම් විධියකින් හරි සම්බන්ධ වුණු හැම දෙනෙක් ම මෙයට වග කිව කියන්න ඕන. මේ ආණ්ඩුව පත් කළෙ බටහිරයන් හා ඉන්දියාව. බටහිර ඔත්තු සේවා වගේ ම ඉන්දියාවෙ රෝ ඔත්තු සේවයත් එයට මුල් වුණා. ජා හෙ උරුමයෙ පඬියන් මොන යුග පෙරළි කතා කිව්වත් ඔවුන් අවසානයේ දී රෝ ඔත්තු සේවයේ නිවට ඉත්තන් වුණා පමණයි. ජ වි පෙරමුණ එ ජා පක්‍ෂයේ ශාඛාවක් පමණයි. ජ වි පෙ හා දෙමළ ජාතික සංධානය මේ නිවට ආණ්ඩුවෙ කිහිළි කරු දෙක. අප හැමදාමත් කී පරිදි චම්පක රණවක එ ජා පාක්‍ෂිකයකු වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.




බටහිරයන් හා ඉන්දියාව මේ නිවට ආණ්ඩුව පත්කර ගත්තෙ ප්‍රධාන වශයෙන් ම කරුණු දෙකක් සඳහායි. එක් අතකින් ගතහොත් ඒ කරුණු දෙක ම මූලික කරුණකින් ගලා එන්නක්. ඒ මූලික කරුණ අන් කිසිවක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම, බැරි නම් දුර්වල කිරීම. පෘතුගීසීන් ලංකාවට පැමිණි දා සිට ම ඒ කරුණ ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාවත් විටින් විට ඒ වැඩේට හවුල් වෙනවා. ඉන්දියාව බුද්ධාගමට සලකන්නෙ බොරුවට. බමුණන් සමස්තයක් ලෙස එදත් අදත් බුදුදහමට විරුද්ධයි. සියළු බුද්ධාගම්වලටත් විරුද්ධයි. බමුණන් මහායානය හරහා යම් යම් විකෘතීන් කළා. අද ඉන්දියාවෙ මහායානයත් නැහැ. එය චීනය තිබ්බතය වගේ රටවල විවිධාකාරවලින් පවතිනවා. කලින් සඳහන් කළ  මූලික කරුණෙන් ගලා එන කරුණු දෙක සිංහල බෞද්ධ විරෝධි නව ව්‍යවස්ථාවක් සම්පානය කිරීම හා රණවිරුවන්ට දඬුවම් කිරීම.



සිංහල බෞද්ධ සංස්කෘතිය, ඒ කියන්නෙ සිංහල බුද්ධාගම රැකගන්න රනිල් ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඔහු සංස්කෘතියෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි. ඔහුගේ පියා ආගමෙනුත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි. ඔහුගේ බාප්පා ඇංග්ලිකන් ක්‍රිස්තියානි බිෂොප්වරයකු ව සිටියා. චන්ද්‍රිකාගේ සීයා මහමුදලි සහ ලංකාවේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සභාවෙ ප්‍රධානියෙක්. බණ්ඩාරනායක මහතා එයින් කැඩුණත් එතුමාගේ දුවලට කැඩෙන්න බැරි වුණා. චන්ද්‍රිකා වඩා ආඩම්බර වන්නෙ දෙමව්පියන් ගැන නොව සීයා ගැන. ඇය දෙමව්පියන්ට දොස් කියන අතර සීයා හදපු පල්ලි ගැන ආඩම්බර වෙනවා. ඇගේ පුතා සිංහලයකු වීම ගැන කණගාටු වෙනවා. 



මෛත්‍රිපාල පොළොන්නරුවෙ ගොවි පවුලක අයෙක්. ඒත් ඔහුට සිංහල බෞද්ධකමට වඩා පුද්ගලිකත්වය වැදගත්. ඔහු තමාට කෙණෙහිළිකම් කිරීම ගැන ඇතැම් රාජපක්‍ෂලා සමග බද්ධ වෛරයකින් පෙළෙනවා. ඔහුට විතරක් නොවෙයි ශ්‍රී ල නි ප වෙනත් අයටත් කෙණෙහිළිකම් කෙරුණා. එහෙත් සිංහල බෞද්ධකමක් ඇති අයකුට දැන් ඒ කෙණෙහිළිකම් වෙනුවෙන් පළිගැනීමට අවස්ථාව නො වෙයි. මෛත්‍රිපාල කල්ලියේ පමණක් නොව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමකුටත් සිංහල බෞද්ධකමක් නැහැ. ඔවුන් බොහෝ දෙනා තුට්ටු දෙකේ බොරු සමාජවාදීන්. ඔවුන්ට වැදගත් ඊනියා සමාජවාදී කතා පමණයි. මේ ඇතැමකු යෙහෝවාගේ සාක්‍ෂිකාරයන්. ඔවුන් පළාත් සභා තවත් ශක්තිමත් කරන්න ඇප කැප වෙලා.



මේ නව ව්‍යවස්ථාවෙන් කෙරෙන්නේත් පළාත් සභාවල බලය වැඩි කිරීම. එමගින් සිංහලයන්ට උතුරු හා නැගෙනහිර පළාත්වල පරමාධිපත්‍යය තවදුරටත් අඩු කිරීම. දැනටත් ඒ පළාත්වලින් පිට ජීවත්වන සිහලයන්ගේ පරමාධිපත්‍යය හීන වෙලා. ඒ දහතුන්වැනි සංශෝධනයෙන්.  දහතුනත් සමග අපේ ඒකීය භාවය නැති වුණා. අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීයබව හා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම නිකම් වචනවලට පමණක් සීමා වෙලා. සම්බන්ධන්ලා සුමන්තිරන්ලා ඒ බව දන්නවා. ඒකීය බව වචනයෙන් ප්‍රකාශ කරමින් සහසන්ධීය රාජ්‍යයක් ඇති කිරීමට ඔවුන් බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආධාරයෙන් කටයුතු කරනවා.



පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඊනියා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව ඉතා භයානයකයි. සම්බන්ධන්ලාගේ අවශ්‍යතා ඉන් මොනවට පැහැදිලි වෙනවා. ලෝකයේ කොහේවත් අනාගමික රාජ්‍යය නැහැ. ව්‍යවස්ථාවේ කුමක් තිබුණත් ඉන්දියාවේ තියෙන්නේ හින්දු රාජ්‍යයක්. ලිඛිත ව්‍යවස්ථාවක් නැතිවත් එංගලන්තයේ  තියෙන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක්. සම්බන්ධන්ට ඕන කරන්නෙ ව්‍යවස්ථාවෙනුත් බුද්ධාගම අතුගා දාන්නයි. ව්‍යවස්ථාවෙන් ම සහසන්ධීය රාජ්‍යයක් ලබා ගන්නයි.



මෛත්‍රිපාල ඒකට ඉඩ දෙනවා ද? පෞද්ගලික කෝන්තර නිසා රට ජාතිය ආගම පාවා දෙනවා ද? මෛත්‍රිපාලට ඇතැමුනට මෙන් නොව බොරු සමාජවාදයකට වඩා සිංහල බෞද්ධකමක් තියෙනවා. ඔහු ඒ සිිංහල බෞද්ධකමට වඩා ජනාධිපතිකම ඉහළින් සලකනවා ද? ඔහු මිය යෑමට කැමති රනිල්ගේ හා චන්ද්‍රිකාගේ නිවට සේවකයයකු ලෙස ද? නැත්නම් ඔවුන්ට විරුද්ධව කටයුතු කර රටේ සිංහල බෞද්ධකම රැකගත් සිංහලයකු ලෙස ද?



මෛත්‍රිපාල කුමක් කළත් ඒකාබද්ධ විපක්‍ෂය නව ව්‍යවස්ථාව පෑරදවීමට කුමක් කරන්නේ ද? ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබා නොදීම බොහෝ විට සිහිනයක් වන්න පුළුවන්. ඒකාබද්ධ විපක්‍ෂයේ කී දෙනකු අවසානයේ දී ව්‍යවස්ථාවට පක්‍ෂ වේ ද? එහි සිටින සිංහල බෞද්ධ විරෝධී බොරු සමාජවාදීන් යෙහොවාගේ සාක්‍ෂිකරුවන් කාට සාක්‍ෂි කියාවි ද? ඔවුන් සහ මෛත්‍රිපාලගේ කල්ලියේ සිංහල බෞද්ධ විරෝධීන් ඩොලර්වලට ගැනීම එතරම් අපහසු කාර්යයක් නො වෙයි. රනිල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත්තේ කිසිම සැකයකින් තොරව තුනෙන් දෙක ගැනීමට පුළුවන් නම් පමණයි. බැරි නම් ඔහු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ජනමත  විචාරණයකට ඉදිරිපත් කර භීෂණයෙන් එය සම්මත කර ගැනීමට උත්සාහ කරාවි. ව්‍යවස්ථාව සම්පාදනය වන්නේ ඊනියා ව්‍යවස්ථාදායක මණ්ඩලයකින් බව අමතක නොකළ යුතුයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගත්තත් නැතත් ව්‍යවස්ථාව ජනමත විචාරණයකට යොමු කරන්න සිද්ධ වේවි. එහිත් ගැටළු නැතිවා නො වේ. රනිල්ට උපදෙස් දෙන්නේ බටහිරයන් හා ඉන්දීය බමුණන්.



කොහොමටත් අප ජනමත විචාරණයක් පැවැත්වුවහොත් එහි දී නව ව්‍යවස්ථාව පැරදවීමට  කටයුතු කළ යුතුයි. එය පහසු කටයුත්තක් ලෙස නො සැලකිය යුතුයි. අර හැට දෙලක්‍ෂයෙන් යම් ප්‍රමාණයක් නව ව්‍යවස්ථාවට පක්‍ෂ වේවි. අද අප කළ යුත්තේ වෙනත් ප්‍රශ්නවලට වඩා ව්‍යවස්ථාව පැරදවීමට හැකි විර්යයයෙන් කටයුතු කිරීමයි. අප කොන්දේසි විරහිතව ව්‍යවස්ථාව පැරදවිය යුතුයි. බැඳුම්කරය වැදගත් වුවත් එය දිය වීමට විශාල ඉඩකඩක් තියෙනවා. ව්‍යවස්ථාව පරදවා ආණ්ඩුව ගෙදර යැව්වොත් බැඳුම්කර මගඩින්ට ද දඬුවම් දිය හැකියි. රණවිරුවන් ද සිංහල බුද්ධාගම ද ආරක්‍ෂා කර ගත හැකියි.           





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 24