Main Logo

Wednesday 6 September 2017

නව ව්‍යවස්ථාවක් එපා, දහතුනත් එපා  


නව ව්‍යවස්ථාවක් එපා, දහතුනත් එපා



දහතුනෙන් එහාට යෑමට දෙන්නේ නැහැ කියන එක අද ඇතැමුන්ගේ සටන් පාඨයක් වෙලා. නව ව්‍යවස්ථාවක් එපා යනුවෙන් මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ උන්වහන්සේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරන නිසා නො වෙයි. සිංහල බෞද්ධයන්ගෙන් අති විශාල පිරිසක් දහතුන අනුමත කරන්නේ නැහැ. ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වූ බොහෝ දෙනා ද දහතුන ප්‍රතික්‍ෂෙප කරනවා. අද දහතුනට පක්‍ෂව කතාකරන්නන් සමහර දෙනකු තමන් ජාතික ව්‍යාපාරයෙහි ද ඉන්න බව පෙන්වීමට උත්සාහ දරනවා. දහතුනට පක්‍ෂ අය එදා ඉන්දු ලංකා ගිවිසුමටත් පක්‍ෂ වුණා. වර්ධරාජ පෙරුමාල්ගේ ආණ්ඩුවේ ඇමතිකම් දරා හෝ නොදරා හෝ රනිල් නිසා යහපාලනයේ තැනක් ගැනීමට බැරුව ජාතික ව්‍යාපරයෙහි පතාක යෝධයන් බවට පත් වී ඇති පිරිස් ද දහතුන වෙනුවෙන් කතා කරන බව පේනවා.  ජාතික ව්‍යාපාරයෙහි ඇතැමුනට මොවුන් පෙනෙන්නේ යෝධයන් ලෙසයි. තමන් අඟුටුමිට්ටන් වූ පමණින් ජාති ද්‍රෝහීන් ජාතික ව්‍යාපාරයෙහි යෝධයන් බවට පත් කිරීම හෙළා දැකිය යුතු වෙනවා. 
     



අද දහතුන තබාගත යුතු යැයි කියන්නකුට ජාතිද්‍රෝහියකු කීම හැර වෙන කීමට දෙයක් නැහැ. ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණය වීමෙන් පසු අද ජාතික ව්‍යාපාරයෙහි විවිධ පුද්ගලයන් දැකගත හැකියි. චන්ද්‍රිකා සමයෙහි දී පැකේජය වෙනුවෙන් මංගල සමග අවලම් තවලම් ගිය අයත් අද ජාතික ව්‍යාපාරයට රිංගා ගෙන. ජාතික ව්‍යාපාරයෙහි එකල කටයුතු කළ අය ගැන අද ජාතික ව්‍යාපාරයෙහි ඉන්නා අයටත් ජනමාධ්‍යවේදීන්ටත් කිසිම හැඟීමක් නැහැ. ජාතික හෙළ උරුමයේ පූර්වගාමි සංවිධානවල අය ද මංගලගේ මැතිවරණ ව්‍යාපාරවල කටයුතු කළ බව බොහෝ දෙනා දන්නේ නැහැ.



දහතුනෙන් මෙරට ඒකීය භාවය නැති වුණා. අද ව්‍යවස්ථාවේ ඒකීය භාවය ඇත්තේ නමට පමණයි. මා මේ බව කිහිප වතාවක් ම කියා ඇති. මේ සම්බන්ධ ශ්‍රෙෂ්ඨාධිකරණ නඩු තීන්දුව අනුව 154 G(2) (b), 154 G(3) (b) වගන්ති වෙනස් කළ යුතුව තිබුණත් ජේ ආර් ජයවර්ධන එසේ කෙළේ නැහැ. මේ වගන්ති වලින් හා තවත් වගන්තිවලින් ජනතාවගේ පරමාධිපත්‍යය නැති වී ගියා. අද පළාත් සභා මැතිවරණ කල් දැමීමට විරුද්ධව පළාත් සභා ක්‍රියාත්මක වන්නේ මේ වගන්ති අනුවයි. මැතිවරණ කල් දැමීම අනුමත නොකළත් ඒ වගන්ති අනුව ක්‍රියාත්මක වීමෙන් පළාත් සභා තහවුරු වීම අනුමත කරන්න බැහැ. අද සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාර සියල්ල දහතුන රැක ගැනීමට කටයුතු කරනවා. දහතුනෙන් ඔබ්බට නැහැ යන සටන් පාඨයෙහි තේරුම දහතුන රැක ගනිමු යන්නයි.



දහතුන ගෙන ආවේ කිනම් ප්‍රශ්නයක් විසඳන්නට ද? බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ඉන්දියාව දහතුන අප මත බලයෙන් පැටෙව්වා. එය ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍ය ඇති කිරීමට යොදා ගත් ක්‍රමයක් අප මත පැටවීමක්. මෙරට ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් නැහැ. ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විය යුතු විශේෂිත තත්වය නැති කිරීම පමණයි. ඊනියා බහු සංස්කෘතික කතා මගින් සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය නැති කර තිබෙනවා. ඉන්දියාවේ මෙන් නොව මෙරට ජනවර්ග ඒ ඒ පළාත්හි සංකේන්ද්‍රීය වී නැහැ. අද දෙමළ ජනයාගෙන් සියයට හැටක් පමණ ජීවත්වන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට.



දෙමළ ජනයාට ඊනියා අසාධාරණයක් වී නැහැ. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය කුමක් දැයි තවමත් කිසිවකු කියා නැහැ. සිංහල බෞද්ධ විරෝධී පඬියන් දශක තුනක් පමණ තිස්සේ මේ ප්‍රශ්නය කුමක් දැයි සොයමින් ඉන්නවා.  උතුරු හා නැගෙනහිර පළාත්වලට බලතල විමධ්‍යගත කිරීමෙන් (අනෙක් පළාත්වලට ද සමගින්) ඒ පළාත්වලින් පිට ජීවත්වන සියයට හැටක පමණ දෙමළ ජනයාගේ ඇතැයි කියන ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ කෙසේ ද? දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්න ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනයාට පමණක් ද?  මේ පළාත් දෙක පිහිටුවන ලද්දේ ලංකාව පළාත් නවයකට බෙදූ 1889 අවුරුද්දේ. සුද්දන් පිහිටු වූ ඒ  පළාත් දෙක අවුරුදු දහස් ගණනක් තිස්සේ දෙමළ ජනයාගේ ඊනියා නිජභූමි වූයේ කෙසේ ද? වත්මන් උතුරු පළාතේ දෙමළ ජනයා බහුතරය වීමට පටන් ගත්තේ 1650න් පසුව ලන්දේසීන් කෝරමණ්ඩල වෙරළෙන් දුම්කොළ වගාව සඳහා වෙල්ලාලයන් ආනයනය කිරීමෙන් පසුව. විශේෂයෙන් ම එකල යාපන අර්ධද්වීපයේ සිටි සිංහලයන් දෙමළ සංස්කෘතියට අවශෝෂණය කිරීමෙන් පසුව. නැගෙනහිර පළාතේ දෙමළ ජනයා පදිංචි කරනු ලැබුයේ දහනවවැනි සියවස අගභාගයේ ඉංගිරිසින් විසින්. පෘතුගීසීන් ලංකාව ආක්‍රමණය කරන කාලයේදීත් යාපන අර්ධද්වීපයේ බහුතරය සිංහලයන්. ආර්ය චක්‍රවර්ති රජවරු දෙමළ නො වෙයි. දෙමළ කතා කළ පමණින් යමකු දෙමළ ජනවර්ගයට අයත් වන්නේ නැහැ. 1560 පෘතුගීසීන් හා ආර්ය චක්‍රවර්තීන් අතර වූ ගිවිසුම ඇත්තේ සිංහලෙන් හා පෘතුගීසි භාෂාවෙන්. ආර්ය චක්‍රවර්තීන් යනු සිංහල රජවරුන්ට කප්පන් ගෙවූ පිරිසක්. එකල මුළු රටේ ම රාජ්‍ය භාෂාව, එවැනි සංකල්පයක් එදා තිබුණත් නැතත්, සිංහල.  යාපනයේ තිබුණේ කප්පන් රාජ්‍යයක් මිස ස්වෛරී රාජ්‍යයක් නො වෙයි.



සම්බන්ධන්ලා දන්නවා ව්‍යවස්ථාවේ ඒකීය යන්න බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම ආදිය වචන පමණක් බව. දහතුනෙන් පසු  ව්‍යවස්ථාව සන්ධීය හෙවත් ෆෙඩරල්. ඒ බව ජාතික ව්‍යාපාරයේ ඇතැමුන් පිළිගන්නේ නැහැ. අද සම්බන්ධන්ලා උත්සාහ කරන්නේ සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීමට. නව ව්‍යවස්ථාවක් පමණක් නොව දහතුනත් අවශ්‍ය නැහැ. අද ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය දහතුන නෛතික වශයෙන් ඉවත් කිරීමට. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දහතුනත් දේශපාලනික ව පරාජය වුණා. එය නෛතික ව රඳවා ගනු ලබන්නේ බටහිරයන් විසින්. ඔවුන් එහි දී විසුරුණු දෙමළ ජනයා හා රාජ්‍ය නොවන සංවිධාන හා ජාතික ව්‍යාපාරයට රිංගා ගත් සිංහල බෞද්ධ විරෝධීන් යොදා ගන්නවා.



ජෙනීවා බිල්ලා පෙන්වා දහතුන තබා ගැනීමට සිංහල බෞද්ධ විරෝධීන් උත්සාහ ගන්නවා. දෙමළ ජනයාගේ ඊනියා මානව අයිතිවාසිකම් කඩ වී ඇත්තේ කෙසේ දැයි පෙන්වන ලෙස අප අභියෝග කරනවා. මුළු ලෝකය ම ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයකට යට කළ අය අද මෙරට සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයක් (ඒ සංකල්පයත් ක්‍රිස්තියානි) ගැන කතා කරනවා. ජෙනීවාහි දී සිංහල බෞද්ධ අයිතිවාසිකම් පාවා දුන් අයත් අද ජාතික ව්‍යාපාරයේ පතාක යෝධයන් වෙලා. ජෙනීවා යන අයට දහතුන අවශ්‍ය නැහැ යනුවෙන් තර්ක කිරීමට පුහුණුවක් ලබා දිය යුතුයි. සිංහල බෞද්ධ විරෝධීන් ජෙනීවා යැවීම පහුගිය ආණ්ඩුවත් කළ තදබල වරදක්.



අද ලංකාව පමණක් නොව ලොව ම පාලනය කෙරෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයෙන්. ඒ බව ඇතැම් සුපිරි බෞද්ධයන්ටත් තේරෙන්නේ නැහැ. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික අධිපතිවාදීන් ලංකාවේ දී සිංහල බෞද්ධ සංස්කෘතිය හැකි නම් නැති කිරීමට බැරි නම් දුර්වල කිරීමට දෙමළ ජාතිවාදය හා සිංහල බෞද්ධ විරෝධී ව්‍යාජ දේශපාලන විචාරකයන් යොදා ගන්නවා.           







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.






නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 06