විස්සට මුහුණ දීම
ඊයේ පළ වූ ලිපිය මා සිතූ පරිදි ම වැඩි දෙනකුගේ අවධානයට යොමු වී නැහැ.
සමහර විට එය ඊනියා නැගලා යන මාතෘකාවක් නොවන්න පුළුවන්. ඒ වුනත් මා පොරොන්දු වූ
පරිදි එහි ඉතිරි කොටස මෙහි පළ කරනවා. මේ කතාවත් බොහෝ දෙනාට ප්‍රියජනක නොවිය
හැකියි. විශේෂයෙන් ම සෙංකෝලය උස්සන් දුවන දේශපාලනඥයන්ට හා ඒ අය අගය කරන්නන්ට මෙහි
දැක්වෙන අදහස් කාලීන නොවන්න පුළුවන්. විස්ස මගින් ආණ්ඩුව පෙරලන්නට උත්සාහ කරන අයට
ද මේ ප්‍රතිගාමී අදහස් විය හැකියි.
අද විසිවැනි සංශෝධනය, එනම්
පළත් සභාවල මැතිවරණ කල්දැමීම සඳහා වූ පනත,
පළාත් සභාවලට යොමුකර තිබෙනවා. එය යොමු කර ඇත්තේ 154 G (2) (b) , 154 G (3) (b) වගන්ති යටතේ. මේ වගන්ති අනුව පළාත් සභා පිළිබඳ ඇතැම් තීරණ ගැනීමේ
දී පළාත් සභා විමසිය යුතුයි. එහි දී පළාත් සභා එකක් හෝ වැඩි ගණනක් හෝ විරුද්ධ
වුවහොත් අදාළ පනත් සම්මත කර ගත හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන්. අද
විසිවැනි සංශෝධනය පළාත් සභා දෙකකින් සම්මත
වී නැහැ. එබැවින් දැන් විසිවැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ
තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය වෙනවා. එය ලබා ගැනීම ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙන්න
පුළුවන්. ඒ නිසා විසිවැනි සංශෝධනය නැවතත් අදාළ පළාත් සභා දෙකට යොමු කිරීමට ආණ්ඩුව
තීරණය කරලා .
මෙහි දී ඒකාබද්ධ විපක්‍ෂය හා මෛත්‍රිපාල කල්ලිය ක්‍රියා කළ යුත්තේ
කෙසේ ද? මා මෙහි විස්තර කරන කිසිවක් ඔවුන්ගේ
අවධානයට යොමු වන්නේ නැහැ. ජනමාධ්‍යවේදීන් යැයි කියා ගන්නා අය ඒවාට ප්‍රචාරයක්
දෙන්නේත් නැහැ. ඔවුන්ට අනුව මා අනෙක් අය සමග වාද විවාදවලට පටලැවෙන්නෙක් පමණයි,
කිසිම නිර්මාණාත්මක අදහසක් නැත්තෙක්. මේ ලිපිය
තුන්සීය දෙනකුවත් කියවන්නේත් නැහැ. ඒ කියවන අයගෙනුත් බොහෝ දෙනකු මෙයට එකඟ වන එකක්
නැහැ.
විසිවැනි සංශෝධනයට විරුද්ධ වූ පමණින් ආණ්ඩුව පෙරලන්න බැහැ. පළාත්
සභාවල එයට විරුද්ධ වුවහොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය වෙනවා. එය
නොලැබුණෙහොත් විස්ස සම්මත වන්නේ නැහැ. එයින් පළාත් සභා මැතිවරණ කල් දැමීම නම්
වළකීවි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙසත් ප්‍රකාශ කිරීමට පුළුවන් වේවි.
එහෙත් එමගින් පළාත් සභාවල බලයත් තහවුරු වෙන බව බොහෝ දෙනකුට අමතක වෙනවා. මෙරට
ස්වෛරීභාවය, එහි ව්‍යවස්ථාදායක සංරචකය (කොටස)
පාර්ලිමේන්තුවට නැති බව තහවුරු වෙනවා.
ව්‍යවස්ථාවේ 154 G (2), G(3) වගන්ති නීතිය අනුව සම්මත වී නැහැ. ඒ
වගන්තිවලින් ජනතාවගේ ස්වෛරීභාවය නැතිවන බව එකල ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්
බහුතරයක් (පස්දෙනකු) තීරණය කළා. එවිට ඒ වගන්ති සම්මත වීම සඳහා ජනමත විචාරණයක්
පැවැත්විය යුතුයි. එහෙත් ජේ ආර් වංචනික ව එය කෙළේ නැහැ. මා දි අයිලන්ඩ් පුවත්පතට
ලියූ ලිපියෙන් තර්ක කෙළේ ඒ වගන්ති නීත්‍යානුකූල ව සම්මත වී නැති බවයි. මා හිතන්නේ
කල් ඉකුත් වී නැත්නම් අදත් ශ්‍රෙෂ්ඨාකරණය ඉදිරියේ විස්ස සම්බන්ධයෙන් නඩුවක් දමා ඒ
වගන්ති ජනතා පරමාධිපත්‍යයට එරෙහි බවට කරුණු දැක්විය හැකි බවයි.
අද අවශ්‍ය වන්නේ නන්දිකඩාල් කලපුවේ දී දේශපාලනික ව පරාජය වූ දහතුන
නෛතික ව පරාජය කිරීමයි. මේ එයට අවස්ථාවයි. එහි දී වනසුන්දර, පාරින්ද රණසිංහ ඇතුළු විනිසුරුවන් පස්දෙනා දුන්
තීන්දුවත් උපයෝගී කර ගන්න පුළුවන්. නඩුවක් පැවරීමට තිබූ කාලය ඉකුත් වී ඇත් ද කියා
කියන්න බැහැ. එහෙත් ඒ සඳහා ජනමතයක් සකස් කිරීමට, නව ව්‍යවස්ථාවට විරුද්ධව ජනතාවට කරුණු කීමට ඒ අවස්ථාවක් කර ගත
හැකියි. වෙනත් කිසිවක් නොකළත් 154 G(2), G(3) වගන්ති ව්‍යවස්ථාවෙන් ඉවත් කළ හැකි නම්
එයත් ජයග්‍රහණයක්. ජනමාධ්‍ය හා දේශපාලනඥයන් වෙනත් දේට දෙන ප්‍රචාරය ජනතාවගේ
ස්වෛරීභාවය රැක ගැනීමට නොදෙන්නේ ඇයි?
පළාත් සභා මැතිවරණ කල් දමා නමුත් ඒ අදාළ වගන්ති ඉවත් කිරීමට හැකි නම්
එසේ කළ යුතු යැයි මා විශ්වාස කරනවා. අපේ ප්‍රමුඛතා කවරේ දැයි අප හඳුනා ගත යුතුයි.
අපට අවශ්‍ය පළාත් සභා මැතිවරණය ද, දහතුන,
අඩු තරමෙන් එහි ඇතැම් වගන්ති, ඉවත් කිරීම ද? විස්ස පරාජය කිරීම යනු දහතුන තහවුරු කිරීමක්. විස්ස පරාජය කර දහතුනත්
ඉවත් කළ හැකි නම් එය කළ යුතුයි. එසේ කිරීමට නොහැකි නම් කළ යුත්තේ කුමක් ද? දහතුනේ අදාළ වගන්ති ඉවත් කිරීමේ ක්‍රමයක් තිබේ
ද? ඒ වගන්ති ඉවත් කිරීමට නොහැකි නම් කළ
යුත්තේ කුමක් ද? මේ ප්‍රශ්න ගැන පුළුල් සාකච්ඡාවක්
සමාජයේ ඇති වන්නේ නැහැ. එයට ඊනියා ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය පාලකයන් වග කියන්න
ඕන. ඔවුන්ට අවශ්‍ය තම ජනප්‍රියතාව වැඩි කර ගැනීම පමණයි. ඔවුන් ද දේශපාලනඥයන්
වැනියි.
අද ඒකාබද්ධ විපක්‍ෂයේ උපදේශකයන් වැඩි පිරිසක් දහතුනට පක්‍ෂයි. ඒ
උපදේශකයන් විශාරද දේශපාලන විචාරකයන් කියා ඒකාබද්ධ විපක්‍ෂය සිතනවා. ඔවුන්ට අමතක වන
කරුණ නම් මේ උපදේශකයන් ඇතැම් කරුණු සම්බන්ධයෙන් කටුස්සන් මෙන් පාට මාරු කරන බව.
මෙය කටුස්සන්ට කරන නිග්‍රහයක් වන්නට පුළුවන්. මේ උපදේශකයන් ඉහත දී දහතුනේ ආරක්‍ෂකයන්
වූ බවත් ඔවුන් ඒ අදහස වෙනස් කර ගෙන නැති බවත් අවධාරණය කළ යුතුයි.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
නලින් ද සිල්වා
2017 සැප්තැම්බර් 02