Main Logo

Thursday 7 September 2017

මේ ආණ්ඩුව මෙන් ම ව්‍යවස්ථාවත් අසමත්  


මේ ආණ්ඩුව මෙන් ම ව්‍යවස්ථාවත් අසමත්



මේ ආණ්ඩුව අසමත් බව බොහෝ දෙනා දන්නවා. ආණ්ඩුව වැඩ බැරි ටාසන්ලාගෙන් පිරුණු එකක්.  ආණ්ඩුව මොන පුරසාරම් දෙඩුවත් එයට මුදල් නැහැ. ජාත්‍යන්තරය ජයගත් බව කීවත් ඔවුන්ගෙන් ලැබෙන ආධාරයක් නැහැ. ජී එස් පී + යනු ආණ්ඩුවේ ඇත්තන්ගේ ම බසින් නම් ළුෑණු බිකක් පමණයි. එයින් පරිප්පු කොපමණ ප්‍රමාණයක් ගත හැකි ද කියා ඉන්දියාවෙන් ඇසිය යුතුයි. ආණ්ඩුව පත් කර ගැනීමෙන් ජනතාව නම් හොඳ පරිප්පුවක් දිනපතා කනවා.




මේ අතර ඇතැමුන් කියන්නේ ආණ්ඩුව අසමත් වුණාට ව්‍යවස්ථාව, රාජ්‍යය සමත් කියා. එවැන්නක් කිව හැක්කේ ඊනියා දේශපාලන විද්‍යාඥයකුට පමණයි. ඔවුන් තමන් දේශපාලනඥ විද්‍යාඥයන් බව පවසමින් පුරසාරම් දොඩන්නේ මහත් උජාරුවකින්. ඔවුන්ට දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධි ඇති. එහෙත් එපමණකින් ඔවුන් දේශපාලන විද්‍යාඥයන් වන්නේ නැහැ. මා දන්නා තරමින් මෙරට දේශපාලන විද්‍යාඥයන් නැහැ. දේශපාලන විද්‍යාඥයන් තබා කිසිම ආකාරයක බටහිර විද්‍යාඥයන් නැහැ. මෙරට ඊනියා විද්‍යාඥයකු නිර්මාණය කළ සංකල්පයක්, ප්‍රවාදයක් ගැන දන්නා අයකු වේ ද? ඔවුන්ගෙන් ඇතැමකු බටහිර රටවල පහසුකම් ඇති ආයතනවල වැඩ කළත් ඔවුන්ගෙන් නිර්මාණය වන අලුත් දෙයක් නැහැ.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රාජ්‍යය නො වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැතිව වුවත් රාජ්‍යයක් තිබිය හැකියි. එහෙත් රාජ්‍යයක් නැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පැවැත්මක් තිබිය හැක්කේ වියුක්ත ව පමණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුණ රාජ්‍යයක වුවත් එහි ව්‍යවස්ථාවට අමතර ව තවත් අංග තියෙනවා. ඒ සෑම අංගයක් ම ව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ නැහැ. රාජ්‍යයක සංස්කෘතිකාංග ද තියෙනවා.



මෙරට අද පවතින්නේ දහනව වතාවක් සංශෝධනය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. දැන් විසිවැනි වතාවටත් සංශෝධනය කෙරෙන්න යනවා. එයින් පළාත් සභා මැතිවරණ කල් දැමීමට උත්සාහ කෙරෙනවා. එයට විරුද්ධව පළාත් සභා ක්‍රියා කරන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මත පදනම් වෙලා. පළාත් සභාවලට අදාළ පනත යොමු කෙරෙන්නේත් දහතුන මත පදනම් වෙලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ වගන්ති වූ 154 G (2) (b), 154 G (3) (b) ගැන මේ ලිපිවල කිහිප වතාවක් ම කතා කර තිබෙනවා.



ඉහත කී වගන්ති නිසා අද අපට ඇත්තේ සන්ධීය (ෆෙඩරල්) ව්‍යවස්ථාවක් බව පැහැදිලියි. ඒ නිසා අපේ රාජ්‍යය ද ෆෙඩරල් රාජ්‍යයක් වෙනවා. අද මෙරට පාර්ලිමේන්තුවට පළාත් සභා පිළිබඳ ඇතැම් දේ සාමාන්‍ය ඡන්දයකින් වෙනස් කරන්න බැහැ. අර වගන්තිවලින් කියැවෙන්නේ එහි දී එක් පළාත් සභාවක් වුවත් විරුද්ධ වන්නේ නම් පාර්ලිමේන්තුවට අදාළ පනත සම්මත කර ගැනීමට තුනෙන් දෙකක ඡන්දය අවශ්‍ය බව. වෙනත් අයුරකින් කියන්නේ නම් පාර්ලිමේන්තුවට අදත් ඇතැම් පනත් තනියම සම්මත කර ගන්න බැහැ.



රටේ ව්‍යවස්ථාදායක බලය තිබිය යුත්තේ පාර්ලිමේන්තුවටයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවනි වගන්තියෙන් කියැවෙනවා. එහෙත් දහතුන් වැනි සංශෝධනය නිසා ඒ බලය පාර්ලිමේන්තුවට පමණක් නැහැ. රටක ව්‍යවස්ථා සම්පාදන බලය  ආයතන එකකට වඩා අයත් නම් ඒ ව්‍යවස්ථාව ඒකීය ව්‍යවස්ථාවක් වන්නේ නැහැ. මෙරට ව්‍යවස්ථාවේ ඒකීය බව නමට සඳහන් වුවත් ප්‍රායෝගික ව එසේ වන්නේ නැහැ. මේ ව්‍යවස්ථාව අසමත් ව්‍යවස්ථාවක්. ඒක සමත් ව්‍යවස්ථාවක් කියන්නේ ම වංචාවට. අදත් මේ රට සන්ධීය බව නොකියන ඊනියා දේශපාලන විද්‍යාඥයන් ආණ්ඩුව පමණක් අසමත් බව කියන්නේ වංචාවට. ඔවුන් තමයි ජෙනීවා හි දී මුලින්ම සන්ධීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටියේ.



අද ඒ අය ම ව්‍යවස්ථා විරෝධී රැස්වීම්වල සමත් රාජ්‍යයක්, සමත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටිනවා. මේ අය පෙනී සිටින්නේ සන්ධීය රාජ්‍යයක් හා දහතුන වෙනුවෙන්. ඔවුන් සිංහල අන්තවාදයක් ගැනත් කතා කරනවා. මෙරට සිංහලත්වය වෙනුවෙන් පෙනී සිටින්නන් දන්නවා මෙරට ජීවත්වන්නේ සිංහලයන් පමණක් නොවන බව. ජාතිකවාදීන් කිසි දිනෙක  සිංහල නොවන්නන් සිංහලයන් බවට පත් කිරීමට කටයුතු කර නැහැ. මෙරට ප්‍රශ්නය සියයට විසිපහක් පමණ අසිංහලයන් ජීවත්වීම නොව සිංහල බෞද්ධ සංස්කෘතියට (සිංහල බුද්ධාගමට) හිමි විය යුතු විශේෂත්වය නො දීම. අනගාරික ධර්මපාලතුමාට අවශ්‍ය වූයේත් සිංහල බුද්ධාගමට හිමි විශේෂත්වය ලබා දීම. එහෙත් එය සාර්ථක වූයේ නැහැ. ඉදිරියට පැමිණියේ ඕල්කට්තුමාගේ ජාත්‍යන්තර බුද්ධාගම නගා සිටුවීමේ ව්‍යාපාරය. අද එංගලන්තයේ පළවන ලංකාවෙබ් අඩවිය ධර්මපාලතුමාගේ ව්‍යාපාරය හෑල්ලුවට ලක්කර එහි දොස් දක්වමින් ඕල්කට් ව්‍යාපාරය ඔසවා තැබීමට කටයුතු කරනවා. කෙසේ වෙතත් ධර්පාලතුමා ලංකාව අත්හැර යන තුරු ම ඕල්කට් ව්‍යාපාරයෙන් එතුමාට පහර දුන්නා. අදත් ඇතැමුන් පහර දෙනවා.



ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉහත සඳහන් කරුණු තේරුම් නොගතහොත් ඊයේ එළිදැක්වුණු එළිය සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් වීමට ඉඩ තිබෙනවා. අද අවාසනාවකට රාජපක්‍ෂවරුන් වටා සිංහල බෞද්ධ විරෝධී දහතුනට පක්‍ෂ සන්ධීයවාදීන් ගොනු වෙමින් සිටිනවා. 2015 පරාජයටත් මේ සිංහල බෞද්ධ විරෝධීන් එක් හේතුවක් වුණා. 2015 දී පැරදුණේ සිංහල බෞද්ධ ඡන්ද අඩුවීීමෙන් මිස මුස්ලිම් ඡන්ද අඩුවීමෙන් නො වෙයි. අද මහින්ද රාජපක්‍ෂ පිළිගන්නවා 2015 මැතිවරණයේ දී පරාජය වීමට හේතුවක් වූයේ වෙන ම පක්‍ෂයකින් තරග නොකිරීම බව. රාජපක්‍ෂවරුන්ට නව ව්‍යවස්ථාව පරාජය කළ හැක්කේ දහතුනත් පරාජය කිරීමෙන්. අසමත් ව්‍යවස්ථාවේ ඇතැම් අංග පරාජය කළ යුතුමයි. ආණ්ඩුව අසමත් ව්‍යවස්ථාව සමත් යන්න සිංහල බෞද්ධ විරෝධීන්ගේ කූට සටන් පාඨයක් පමණයි.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.






නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 07