Main Logo

Sunday 17 September 2017

රනිල්ගේ සූසැට බර


රනිල්ගේ සූසැට බර



අප මෙතෙක් කල් අසා තිබුණේ සූසැට බරණින් සැරසී වැස්සේ තෙම් ගෙන ගිය විසාකාව ගැන. සූසැට බරණත් තරමක බරක් වෙන්න ඇති. ඒත් පොතක පතක සඳහන් වන්නේ නැහැ ඒවාහි බර කොච්චර ද කියලා. ඒ කාලෙ හිටපු බමුණෙක්වත් ඒ බර හොයා ගන්න උනන්දුවක් දක්වලා නැහැ. බමුණොත් බටහිර උගතුන් විද්‍යාඥයන් තරමට ම නැති වුණත්  තරමක් වියුක්ත ව හිතපු පිරිසක්. ඔවුන් ගණිතයටත් (බටහිර ගණිතයක් ඒ කාලෙ තිබුණෙ නැහැ. තිබුණෙ වෛදික ගණිතය) උනන්දුවක් දැක්වූවා. කාන්තාවන්ගෙ සූසැට මායම් ගැන කිව්වෙත් බමුණො. සිංහලයන් බමුණු මත ප්‍රතික්‍ෂෙප කළා.




ඒත් දැන් බමුණු මත රටේ ප්‍රචාරය වෙනවා. ඒවා පිටිපස්සෙ ඉන්දියාවෙ රෝ බමුණො ඉන්නවා. රෝ, ඉන්දියාවෙ විදේශ අමාත්‍යාංශය, ජනමාධ්‍ය බමුණු තිප්පළවල්. මෛත්‍රිපාල බලයට පත්කරන්නත් මේ විවිධ බමුණන් බටහිර බමුණන් එක්ක කටයුතු කළා. මහින්ද හොරා කිව්ව. රනිල් ක්ලීන් කිව්වා. ඩ්‍රයි ක්ලීන් ද මොන ක්ලීන් ද කියලා කිව්වෙ නැහැ. ඒ බලයට පත් කිරීම මේ රටේ පඬියන්ගෙ, ජ වි පෙරමුණේ හෙළ උරුමයේ වැඩක් නො වෙයි. ඔවුන් ඒකෙ දී ඉත්තන් වුණා පමණයි. ඒත් ඔවුන් කියන්නෙ ආණ්ඩුව, රනිල් යොදා ගත්ත බටහිරයන්ගෙ වචනවලින් නම් රාජපක්‍ෂ රෙජිමය, පෙරළුවෙ තමන් කියලා. කටුස්සා කිව්වලු අලින්නෙ අපේ වැඩ කියලා. දැන් කටුස්සො මේ ආණ්ඩුවට බනින්න පටන් අරන්. කටුස්සො කොහොමත් ඉපදිලා තියෙන්නෙ පාට මාරු කරන්න. චාල්ස් ඩාවින් කටුස්සන්ගෙ විකාශය ගැන මොකවත් කියලා තියෙනව ද කියලා අර කැනඩාවෙ එංගලන්තයෙ ඉන්න බටහිර විද්‍යා දාසයන්ගෙන් අහන්න ඕන. ඒ ඒක් දාසයෙක් කැලණිය විශ්වවිද්‍යාලෙට කිව්වෙ පිරිවෙන් විශ්වවිද්‍යාලෙ කියලා. ඒ සමහර දාසයන් ඉගෙන ගත්තෙ උප කුලපතිිකම් කෙරුවෙ එකල විද්‍යොදයෙ. ඒක පිරිවෙන් ද නැද්ද කියලා රනිල්ගෙන් අහන්න ඕන.



ඒත් රනිල්ට ඕවට උත්තර දෙන්න වෙලාවක් නැහැ. එයා බරින් මිරිකිලා. එයාට සූසැට බරක් තියෙනවා. සූසැට බරණින් නැති වුණත් රනිල් සූසැට බරින් මිරිකිලා. විසාකාවට තිබුණෙ තමන්ගෙ සූසැට බරණ. බමුණො එහෙම නෙවෙයි කියලා නැහැ. ඒ කොහොම වුණත් රනිල්ට තියෙන්නෙ වෙනත් අයකුගෙ බරක්. අනුන්ගෙ බර කරට ගන්න රනිල්ට වෙලා. ඒක නොගෙන හිටිය නම් ඉවරයි. ඒත් රෝ හා බටහිර බමුණන් ඒකට ඉඩ දුන්නෙ නැහැ. මහින්දගෙ බර රනිල්ගෙ පිටට දැම්ම. රනිල්ට දැන් බර දැනෙනවා. ඒ බර අර පිටි මුට්ට කර ගහන්න යෝජනා කරන දාසයන්ගෙ ගුරුත්වාකර්ෂණ බර වගේ ද දන්නෙ නැහැ. ගුරුත්වාකර්ෂණය කියා එකක් නැහැ. ඒත් පිටි මුට්ටවල තෙරපුම දැනෙනවා. පිටි මුට්ට කරගහන අයට ගුරුත්වාකර්ෂණය දැනෙන්නෙ (ඉන්ද්‍රිය ගෝචර) නැහැ. අවකාශ කාල වක්‍රතාව දැනෙනව ද දන්නෙ නැහැ. පිටට පොලු පහරක් දුන්නත් ගුරුත්වාකර්ෂණයක් නැතිවත් දැනෙනවා. මේ දාසයන්ට බටහිර විද්‍යාඥයා කියන්නෙ කවුද කියලා තේරෙන්නෙ නැහැ. මා බටහිර විද්‍යාඥයා කියලා කියන්නෙ බටහිර විද්‍යාවෙ නව සංකල්පයක්, ප්‍රවාදයක් බිහිකළ අයකුට මිසක් කාගෙ හරි අදහසක් අනුව ඊනියා පර්යේෂණ කළ හෝ ගණනය කළ හෝ අයකුට නො වෙයි.



රනිල්ගෙ සූසැට බර ණය බර. රනිල් ගිය ගිය තැන කියන්නෙ ණය බර ගැන. ඒක ලොකු බරක් වෙන්න ඕන. නැත්නම් රනිල් කීයකටවත් ඔය බර ගැන කියන්නෙ නැහැ. රනිල් ඒ බර කියන්නෙ කිලෝ ග්‍රෑම්වලින්වත් රාත්තල්වලින්වත් නොවෙයි. ඩොලර්වලින්. ඩොලරය කියන්නෙත් වියුක්ත පට්ටපල් බොරුවක්. ඒත් අද ලෝකෙ ම පාලනය කෙරෙන්නෙ මේ පට්ටපල් බොරුව යොදා ගෙන. පාසල් සිසුන් දන්නවා කිලෝග්‍රෑමයකට රාත්තල් කීය ද කියලා කියන්න. අපි දන්නවා ඩොලරයට රුපියල් කීය ද කියලා කියන්න. ඒ බන්දුල ගුණවර්ධන අපට ඒ ගැන දිනපතා ටියුෂන් දෙන නිසා. කිලෝග්‍රෑමයකට තියෙන රාත්තල් ගණන වෙනස් වෙන්නෙ නැහැ. අර පැරීසියෙ තියෙන ඒකක වෙනස් වෙන්නෙ නැහැ.



ඒ වුණාට රුපියල එහෙම නො වෙයි. ඩොලරයට තියෙන රුපියල් ගණන දිනපතා වෙනස් වෙනවා. අද අර බ්‍රෙට්න්වුඩ් ගිවිසුමත් නැහැ. රත්තරන් සංචිතය පට්ටපල් බොරුවක් වෙලා. ඩොලරය ලෝකය පාලනය කරන්නෙ ඉතාම වියුක්ත විධියකට. සල්ලි දෙයියන්නෙ මල්ලි කියන එක මට තේරුණෙ පහුගිය දවස්වල. දෙවියොත් (තිස්තුන් කෝටියක් දෙවියන් නො වෙයි) සල්ලිත් දෙකම වියුක්තයි. එතන තියෙන වියුක්ත සහෝදර කමක්. කොහොමත් බන්දුලට අනුව ඩොලරයට සාපේක්‍ෂව රුපියල් ගණන වැඩිවෙනවා. ඒත් අගය බහිනවා. ඒක රුපියලට සාපේක්‍ෂව ඩොලරයේ අගය නගිනවා කියලත් කියන්න පුළුවන්. අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකුවෙ හිටපු ලොක්ක ඒක ගැන මොනව කියනවා ද දන්නෙ නැහැ. එයාගෙ බෑණ නම් මුකුත් කියන්නෙ නැහැ. ගාමිණී මාරපන කියන්නෙ බෑණගෙන් ඇහුචට උත්තර දෙන්න බැඳිලා නැහැ කියලා.



රනිලුත් බෑණ කෙනෙක්. ලෙහෙසි පහසු මිනිහෙකුගෙ නොව ජේ ආර්ගෙ. දැන් ජේ ආර් කොහෙද දන්නෙ නැහැ. ඒ කොහොම වුණත් බෑණට තියෙන්නෙ මහින්දගෙ බර. මහින්ද ගත්ත කියන ණය රනිල්ට බරක් වෙලා. රනිල් මේ ණය ගැන කියන්නෙ බිලියනවලින්. සූසැට බර වෙන මොනවයින් කියන්න ද? ඒත් පුදුමය බිලියන ගාණ මහින්දගෙ කාලෙට වඩා දැන් වැඩියි. ඒක වැඩිවුණෙ කොහොමද කියලා රනිල් කියන්නෙ නැහැ. අර බැඳුම්කරයෙ පාඩුව සූසැට බරට වැඩි ද අඩු ද? කාට හරි අලාභයක් වෙන කොට වෙන අයකුට ලාභයක් වෙනවා. බැඳුම්කරයෙ ලාභය කාට ද? අර්ජුන්ලාට ද? එ ජා පක්‍ෂෙට ද? ඒ සියල්ලන්ට ද? නැත්නම් වෙනත් කාටවත් ද?



රනිල්ගෙ සුසැට බර ගැන අපට කණගාටුයි. අනෙක් එක මේ කර ගහන්නෙ මහින්දගෙ බරකට. අර රෝ බමුණන් මොන තරම් අපරාධයක් කරලා ද? ඔවුන් තමයි මහින්දගෙ බර රනිල්ගෙ පිටට දැම්මෙ. මහින්ද නම් බර තිබුණත් මොනව හරි වැඩක් කළැයි කියමුකො. දෙමළ ත්‍රස්තවාදය පරාද කළ එකෙ වටිනාකම ඩොලර්වලින් නම් කීය ද? රෝ බමුණන්ට කියන්න පුළුවන් ද? රනිල් සූසැට බර කර තියාගෙන නාහෙන් අඬනවා මිසක් කරන වැඩේ මොකක් ද? බටහිර හා රෝ බමුණන්ට කඩේ යෑම ද? 





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 17