Main Logo

Tuesday 22 January 2013

ද්‍රව්‍යවාදී හෝ විඥානවාදී හෝ නොවීම

ඇතැමුන්ට අනුව මම බෞද්ධයෙක් නො වෙමි. ඔවුන් එසේ කියන්නේ මනසෙහි ඊනියා වාස්තවික පැවැත්මක් මා ප්‍රතික්‍ෂෙප කරන බැවිනි. මම සාපේ්ක්‍ෂතාව පිළිගනිමි. අවශ්‍ය නම් අයකුට මා සාපේ්ක්‍ෂතාවාදියකු යැයි කිව හැකි ය. තවත් දුරගොස් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු යැයි කිව හැකි ය. ඒ දාර්ශනිකව ය. එසේ වුවත් තමන් බෞද්ධයන් යැයි කියාගන්නා අය මෙන් ම මම ද මතු දිනයක නිවන් අවබෝධ කරගැනීමට උත්සාහ කරමි. මා නිවන් අවබෝධ කරගත් දිනයක මගේ මනසට කුමක් සිදුවේ ද? නිවන් අවබෝධයෙන් කලක් ගත වී පිරිනිවන් පානා අවස්ථාවේ දී මනසට කුමක් සිදු වේ ද? නිවන් අවබෝධයෙන් පසු මා යන්නෙන් කෙනකු ගැන කිව හැකි ද?

මනසක් පවතින්නේ යැයි කී විට එය නිරපේක්‍ෂව පවතින්නේ ද නැත් ද යන ප්‍රශ්නයට ද පිළිතුරු දිය යුතු ය. මනස නිරපේක්‍ෂව වාස්තවිකව පවතින්නේ යැයි කියන්නෝ ද්‍රව්‍යවාදී විඥානවාදියෝ වෙති. පසුගිය සතියේ් අපේ ප්‍රවාද ලිපියෙහි මාතෘකාව විඥානවාදී ද්‍රව්‍යවාදීහු ලෙස සඳහන් වී තිබුණේ මුද්‍රණ දෝෂයකිනි. එය ද්‍රව්‍යවාදී විඥානවාදියෝ යනුවෙන් නිවැරදි විය යුතු ය. මා දන්නා තරමට බෞද්ධයෝ ද්‍රව්‍යවාදී විඥානවාදීන් තබා විඥානවාදීහුවත් නො වෙති.

පෙර දවස විඥානවාදීන් ලෙස හඳුන්වනු ලැබූ ගුරුකුලයක් තිබූ බව සැබෑ ය. එලෙසින් ම පුද්ගලවාදීන් ආදී වශයෙන් ද ගුරුකුල බෞද්ධයන අතර විය. ශාස්වතවාදීන් උච්ඡෙදවාදීන් ආදී වශයෙන් විවිධ දාර්ශනික කුල පෙර දවස තිබී ඇත. විඥානවාදීන් යනුවෙන් හඳුන්වනු ලැබූ ගුරුකුලයක් පැවතුණු පමණින් සියළු බෞද්ධයන් විඥානවාදීන් නොවන්නේ ඔවුන් පුද්ගලවාදීන් නොවන අයුරින් ම ය.

ජාතිකවාදීන් අතර සිටින මගේ විරදේධවාදීන්ට අවශ්‍ය වී ඇත්තේ ජාතික ව්‍යාපාරයෙන් මා ඉවත්කිරීම ය. ඒ සඳහා ඔවුහු කළහැකි සියල්ල කරති. බලය ලබාගැනීම මගේ ජාතිකවාදී දේශපාලයට අයත් නොවූවත් බොහෝ ජාතිකවාදීන්ට බලය ලබාගැනීමේ ව්‍යාපෘති වක්‍රව හෝ සෘජුව ඇත. ඔවුන්ට මා හිසරදයකි. මා කියන කරන කිසිම දෙයක ගෞරවයක් මට ලබා නොදීමට ඔවුහු කටයුතු කරති. අසංඛ්‍යෙය කල්පවලින් මැනෙන සංසාර චක්‍රයක අවුරුදු හැත්තෑවක අසූවක කාලයක් යනු ගෞරවයක් ලබාගැනීමට තරම්වත් කාලයක් නො වේ.

අනෙක් අතට මිනිසුන් වැඩ කළයුත්තේ ගෞරව අපේක්‍ෂාවෙන් නො වේ. පෘථග්ජනයන් ලෙස ගෞරවයක් ලැබෙන්නේ නම් එයින් සතුටක් ලබීම එක් දෙයකි. කෙසේ වෙතත් අප යමක් කරන්නේ ම එයින් සතුටක් ලැබෙන බැවිනි. එයට ගෞරවයක් තබා පිළිගැනීමක්වත් නොලැබුනත් එය ප්‍රශ්නයක් නොවිය යුතු ය. ප්‍රශ්න ඇතිකර ගැනීම ම සංසාරය දික්කර ගැනීමකි. ගෞරව අපේක්‍ෂාවෙන් සංසාරය දික්කර ගැනීම නොමනා ක්‍රියාවකි. එසේම අනෙක් අයකුට ලැබිය යුතු ගෞරවය නොදී තමා ම ඒ ගෞරවයට හිමිකම් කීම ද සසර දික්කර ගැනීමකි.

මා බෞද්ධයකු නොවන්නේ ය යනුවෙන් ප්‍රචාරයක් ගෙන යෑමට හැකි නම් මා ජාතික ව්‍යාපාරයෙන් ඉවත්කිරීමට ඇති හැකියාව ද වැඩි ය. එයින් අවසාන වශයෙන් ගත්කල වාසියක් අත්වන්නේ ජාතික ව්‍යාපාරයට නොව ජාතිකත්වයට විරුද්ධ වන්නන්ට ය. එහෙත් තාවකාලිකව ජාතිකත්වය දඩමීමා කරගනිමින් දේශපාලන වශයෙන්් බලයට පත්වීමට උත්සාහ දරන්නන්ට ද වාසියක් වනු ඇත.

අප විසින් හඳුන්වා දෙනු ලැබ ඇති දර්ශනයක් වෙයි. ඒ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයයි. ඒ අනුව දැනුම යනු නිර්මාණය කෙරෙන්නක් මිස සොයාගනු ලබන දෙයක් නො වේ. දැනුම නිර්මාණය කෙරෙන්නේ නිරීක්‍ෂකයන් විිසිනි. නිරීක්‍ෂකයන් යනු මිනිසුන් පමණක් නො වේ. සියළු ප්‍රාණීහු නිරීක්‍ෂකයො වෙති. එසේ නිර්මාණය කෙරෙන දැනුම නිරීක්‍ෂකයාගේ මනසට, ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්කෘතියට සාපේක්‍ෂ ය.

නිරීක්‍ෂකයන් හෙවත් සත්ත්වයන් දැනුම නිර්මාණය කරන්නේ අනිත්‍ය, දුක්ඛ අනාත්ම අනවබෝධය හේතුකොටගෙන ය. නිවන් අවබෝධ කිරීමෙන් පසුවත් දැනුම නිර්මාණය නොකෙරුණත් දැනුම ඇත. දැනුම නැතිවන්නේ පරිනිර්වාණයත් සමග ය. දැනුම නිර්මාණය කරන්නේ නිරීක්‍ෂකයා යැයි කීව ද එසේ කෙරෙන්නේ නිරී’ක්‍ෂකයාගේ මනස විසිනි. මනස දැනුම නිර්මාණය කිරීමේ දී ඇතැම් විට පංචෙන්දියයන්ගේ ද සහාය ලබාගනියි.

මෙය දැනුම පිළිබඳ අපේ ප්‍රවාදය වෙයි. වෙනත් ආකාරයකින් කිවහොත් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂව අප විසින් දැනුම පිළිබඳ නිර්මාණය කෙරී ඇති දැනුම ය. එසේත් නැත්නම් දැනුම පිළිබඳ ව අප විසින් ගොතනු ලැබ ඇති කතාව ය. මේ කතාවේ හෙවත් ප්‍රවාදයේ තවත් වැදගත් කොටසක් ඉතිරි වී ඇත. තමන් බුදුදහමේ ආරක්‍ෂකයන් ලෙස සිතා සිටින කිහිප දෙනාගේ විවේචනයට භාජනය වී ඇත්තේ ඒ ඉතිරි කොටස ය.

ඉතිරි කොටසෙන් කියැවෙන්නේ මනසේ පැවැත්ම පිළිබඳ ව අප විසින් නිර්මාණය කෙරී ඇති දැනුම ය. සියල්ල පවතින්නේ සාපේක්‍ෂව ය. නිරපේක්‍ෂව වාස්තවිකව නිරීක්‍ෂකයාගෙන් ස්වායත්තව පවත්නා කිසිවක් නැත. එහි තේරුම සියල්ල නැත යන්න නො වේ. පැහැදිලිව ම සියල්ල ඇත යන්න ද ඉන් නො කියැවෙයි. යමක් පවතින්නේ යමකට සාපේක්‍ෂව ය යන්න පමණක් ඉන් කියැවෙයි.

අපේ දැනුම සංකල්ප හා ඒ ඇසුරෙන් ගොඩනගාගන්නා ප්‍රවාදවලින් සමන්විත වෙයි. මේ දැනුම ශූන්‍ය වෙයි. එනම් සංකල්පීය දැනුම ශූන්‍ය වෙයි. අප විසින් නිර්මාණය කෙරෙන සංකල්ප මනසට සාපේක්‍ෂ ය. එහි නිරපේක්‍ෂ බවක් නැත. කිසිවක් නිරපේක්‍ෂව නොපවතියි. සෑම දෙයක් ම, එනම් පවතින්නේ යැයි අප සිතන සෑම දෙයක් ම මනසට සාපේක්‍ෂ වෙයි.මෙය පටිච්ච සමුප්පදායට පටහැණි නො වේ. එහි කියැවෙන්නේ යමක්් ඇත්නම් එවිට තවත් යමක් ඇත යන්නත් යමක් නැත්නම් එවිට තවත් යමක් නැති බවත් ය.

බෞද්ධයන්ට මනස ප්‍රධාන ය. එහෙත් අපට මනස තවත් ඉන්ද්‍රියයක් වෙයි. අනෙක් ඉන්ද්‍රිය පහෙන් එකකටවත් මනස නමැති ඉන්ද්‍රිය නොමැතිව ක්‍රියාත්මක විය නො හැකි ය. මනස හැරෙන්නට අනෙක් සියල්ල පවතින්නේ මනසට සාපේක්‍ෂව ය. ඒ සියල්ල මනසේ නිර්මාණ වෙයි. නැවතත් අවධාරණය කළ යුතු කරුණ නම් සියල්ල මනසෙහි නිර්මාණ වේය යන්නෙන් සියල්ල නැත යන්න ගම්‍ය නොවන බව ය.

අනෙක් සියල්ල, එනම් සංකල්පීය ලෝකය නිර්මාණය කෙරී ඇත්තේ මනස විසින් නිසා මනස නොමැතිව ඒ එකක් වත් සංකල්ප ලෙස නොපවතියි. පුටුව යන්න අපේ සංස්කෘතිය තුළ මනස විසින් නිර්මාණය කෙරී ඇති සංකල්පයකි. එය වාස්තවික නො වේ. එය නිරපේක්‍ෂ නො වේ. එය මනසට සාපේක්‍ෂව පමණක් පවතියි. පුටුව පමණක් නොව අනෙක් සියළු සංකල්ප ගැන ද කිව හැක්කේ එපමණකි.

දැන් ප්‍රශ්නය වනුයේ මනස පවතින්නේ කාහට සාක්‍ෂෙව ද යන්න ය. එය තවත් සුපිරි මනසකට සාපේක්‍ෂ වන්නේ යැයි සිතමු.එවිට සිදුවන්නේ ප්‍රශ්න වෑළක් ඇසීමකි. එයින් නිශ්චීිත පිළිතුරක් නො ලැබෙයි. ඒ අනෙක් ස්වභාවික යැයි සිතන සංකල්ප සත්තකින්ම පවතින්නේ ද? ඒවා පවතින්නේ සුපිරි මනසට සාපේක්‍ෂව ද? සුපිරි මනස යනු කුමක් ද? මේ ප්‍රශ්න වැලට අප දෙන පිළිතුරු වාස්තවික පවතින සුපිරි මනසක් ගැන කියන්නේ ද?

මේ ප්‍රශ්න වැළට පිළිතුරු දුන්නත් ඉන් ගැලවීමක් නැත. ප්‍රශ්න වැළෙන් හා පිළිතුරුවලින් ගොඩ ඒමක් මනස මනසට සාපේක්‍ෂ යැයි සැලකීමෙන් සිදු වෙයි. අනෙක් සංකල්ප මෙන් ම මනස ද පවතින්නේ මනසට සාපේ්ක්‍ෂව ය. මනසක් යනුවෙන් කිවහැකි දෙයක් නැත. කෙටියෙන් කිවහොත් මනසට සාපේක්‍ෂ නොවන මනසක් නැත. මනස ද ඇත්තෙහි මනසෙහිම ය. මනස ද මනසෙහි මවා ගැනීමක් පමණකි.

වෙනත් වචනවලින් කිවහොත් මනසක් යනුවෙන් කිවහැකි කිසිවක් නැත. ඇත්තේ මනසක් නොව නැති මනසකි. මනසක් නැති තැන අපි මනසක් ඇතැයි ගනිමු. එය පුටුවක් නැති තැන පුටුවක් ඇතැයි ගැනීමට සමාන වෙයි. පුටුව නැතැයි ගැනීම හා සියල්ල නැතැයි ගැනීම අතර වෙනසක් වෙයි. පුටුවක්, ආදී වශයෙන් කිසිවක් නැති වුවත් එසේ වන්නේ සංකල්පීය වශයෙනි. එබැවින් සියල්ල නැතැයි ගැනීම හා පුටුවක් නැතැයි ගැනීම අතර වෙනසක් ඇත.

සියල්ල නැතැයි ගැනීම මෙන් ම සියල්ල ඇතැයි ගැනීම ද වැරදි ය. එහෙත පුටුවක් ඇතැයි ගැනීම පමණක් වුවත් වැරදි ය. පුටුවක යනුවෙන් දෙයක නැත. පුටුව යන සංකල්පය ශූන්‍ය වෙයි. පුටුවක් යනුවෙන් පමණක් නොව මනසක් යනුවෙන් දෙයක් ඇතැයි ගැනීම වුවත වැරදි ය. අප ඇතැයි යනුවෙන් ගන්නේ නැති මනසකි. නැති පුටුවකි.

අද ඇතැමුනට ප්‍රශ්නයක් වී ඇත්තේ මනස යනුවෙන් දෙයක් නොමැති යැයි අප විසින් පවසනු ලැබීම ය. මනස ද මනසෙහි ම නිර්මාණයකි. මනස නිර්මාණය කෙරෙන්නේ මනස විසිනි. මනස යනුවෙන් යමක් ඇතැයි ගන්නේ ම මනස ය. නැති මනසක් ඇති මනසක් ලෙස ගැනීම ම සියළු ප්‍රශ්නවලට මුල ය. නැති මනසක් ඇතැයි ගැනීම නිසා ම අපි දැනුම නිර්මාණය කරමු. සංසාරයේ සැරිසරමු.

නැති මනස නැති මනසක් බව අවබෝධ වූ විට දැනුම නිර්මාණය ද නවතියි. එහෙත් එතෙක පැවති දැනුම නැති වී නො යයි. ඒ දැනුම එසේ ම පවතින අතර අළුතෙන් දැනුම් නිර්මාණය නවතියි. දැනුම නිර්මාණය නැතිවීම යනු නිවන් අවබෝධය ය. දැන් ප්‍රශ්නය වනුයේ නැති මනස නැති මනසක් බව අවබෝධ කරගන්නේ කවු ද යන්න ය. එය කිසිසේත්ම මනස විය නො හැකි ය.

නැති මනස නැති මනසක් බව අවබෝධ කර ගත යුත්තේ නැති මනස විසින් බව පැහැදිලි ය. එසේ නොවුනහොත් මනසේ නිරපේක්‍ෂ පැවැත්මක් ඇතැයි පිළිගැනීමට සිදුවෙයි. යමකු මනසින් නිවන් අවබෝධ කරගැනීමට සිතන්නේ නම් එය තව තවත් ප්‍රශ්නවලට තුඩු දෙනු ඇත.

දැන් ප්‍රශ්නය වනුයේ ඉහත සඳහන් කරුණු ප්‍රකාශ කිරීම නිසා ම මා බෞද්ධයකු නොවන්නේ කෙසේ ද යන්න ය. ඉහත සඳහන් කරුණු ප්‍රකාශ කිරීම හේතුකොටගෙන මා බෞදධයකු නොවන්නේ කෙසේ ද? විඥානවාදීන් පුද්ගලවාදීන් ආදීන් බෞද්ධයන් වීමටත්් නිර්මාණාත්මක සාපේක්‍ෂවාදීන් යැයි හැඳින්වෙන්නන් අබෞද්ධයන් වීමටත් හේතුව කුමක් ද?

ඉතා පැහැදිලිව මෙහි ඇත්තේ දේශපාලන ප්‍රශ්නයකි. එසේ නොවන්නට කළ යුතුව තිබුණේ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදීන් ද වැඩිම වුවහොත් තවත් බෞද්ධ ගුරු කුලයක් ලෙස හඳුනාගැනීම ය. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදීහු බෞද්ධයන් වනු පමණක් නොව ඔවුහු විඥානවාදීහු හෝ ද්‍රව්‍යවාදීහු ද නො වෙති.