Main Logo

Monday 24 December 2012

දෝෂාභියෝගයෙහි ආශිර්වාදය


අගවිනිසූරුවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය රටට ආශිර්වාදයක් වී ඇත. තෝල්ක මුදලිගේ සිට විනිසුරු දක්වා අවශ්‍ය අය සාමාන්‍ය මිනිසුන් අපහාසයට ලක්කරමින්, ඔවුන් බිය කරමින් පවත්වාගෙන ගිය උසාවිවල ව්‍යාජ ගාම්භීරත්වය දැන් හෙළිදරවු වෙමින් ඇත. ඇතැම් නීතිඥයන් හා විනිසුරුවන් හරස් ප්‍රශ්න ඇසීමේ දී හා ප්‍රශ්න කිරීම්වල දී සාක්‍ෂිකරුවන්ට කරන අපහාස උපහාස උසාවිවලට ගොස් ඇති සැවොම දනිති. අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තෝරාගත් කමිටුවෙන් ඉවත් වූයේ ඇයට අපහාස කළ බව පවසමිනි. උසාවි යන මහජනයා ඒ පූර්වාදර්ශය අනුගමනය කළහොත් බොහෝ උසාවිවල වැඩකරගෙන යෑමට නොහැකිවනු ඇත. එපමණක් නොව උසවියට අපහාස කිරීමේ වරදට බොහෝ දෙනකුට සිරබත් කෑමට සිදුවනු ඇත. කචිචේරියේ ඒජන්ත හාමුදුරුවන් ඉවත්කිරීමට මහජනයාට හැකිවුව ද උසාවියේ නඩුකාර හාමුදුරුවන් ඉවත්කිරීමට ඔවුන්ට නොහැකි විය. පන්සලේ හිසකෙස් නැති හාමුදුරුවන්ට මිනිසුන්ගේ ඇත්තේ ගෞරවයක් වුවත් බොරු කොණ්ඩ පැළඳි නඩුකාර හාමුදුරුවන්ට ඇත්තේ ගෞරවයක් නොව බයකි. ඒ බය යටත්විජිත සමයේ ඇතිකරන ලද බියකි. ශිරානි බණ්ඩාරනායක මහත්මිය අධිකරණය දේශපාලනීකරණයට ලක් කලෙන් මේ බය දැන් අඩුවෙමින් පවතී. ඇය ජයවේවා භංගවේවා කාරයන්ට උසාවි පරිශ්‍රය ලබාදුන්නා ය. උසාවි පරිශ්‍රයේ දී භික්‍ෂූන් වහන්සේ ලවා සෙත්පතා ගත්තා ය. පක්‍ෂපාතී නීතිඥයන්ට ජනමාධ්‍ය සාකච්ඡා සඳහා උසාවි පරිශ්‍රය ලබාදුන්නා ය. ඇය උසාවිය හා එහි දොරටු ලාභ ජනප්‍රියතාව සඳහා යොදා ගත්තා ය. ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ බමුණු කුලය නියෝජනය කරති. නීතිඥයන් අපක්‍ෂපාතී නැති බව දෝෂාභියෝගයෙන් පෙන්නුම් කෙරිණි. බණ්ඩාරනායක මහත්මිය විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරියක ලෙස සේවය කරද්දී දෙමළ ජාතිවාදයට පක්‍ෂ ලිපි ලියා ඇත. ඇය අවුරූදු තිස්අටක තරම් අඩු වයසක දී ශ්‍රෙෂ්ඨාධිකරණයට පත්කරනූ ලැබුයේ ශ්‍රී ල නි ප දෙමළ ජාතිවාදයට පක්‍ෂපාත ස්ථාවරයකට යොමුකළ චන්ද්‍රිකා කුමාරතුංග විසිනි. නීතිඥයන්ගේ පක්‍ෂග්‍රාහී බව ඔවුන්ගේ තර්ක හුදෙක් තම වාසිය සඳහා පමණක් යොදා ගැනෙන බව දෝෂාභියෝගයේ දී කාහටත් දී දැකගත හැකි විය. උසාවිය යනු බමුණු කුලයේ අවසන් බළකොටුව ය. ජේ ආර් ජයවර්ධන විසින් හෑල්ලු කෙරුණු ඒ බලකොටුව අද කඩාවැටෙමින් පවතී. ඒ ගැන මගේ අසතුටක් නැත. බයිබල් සම්ප්‍රදායේ වාක්‍යයකින් කියන්නේ නම් හිරකරුවෝ ද, විනිසුරුවෝ ද, නීතිඥයෝ ද මනුෂ්‍යයෝ වෙති.

එ ජා පක්‍ෂයෙන් විනිසුරුවන්ට විරුද්ධව මේ ව්‍යවස්ථාව හා ඒ වෙනුවෙන් ම පනවනු ලැබූ ස්ථාවර නියෝග යටතේ දෝෂාභියෝග ගෙන ආවිට උසාවියේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්න නොනැඟූ බටහිරයන්ට, රාජ්‍ය නොවන සංවිධානවලට, බමුණු කුලයට, හා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් බමුණු කුලයට පැන ගැනීමට වෑයම් කරන්නන්ට අද නීතියේ දෙවොළ මතක් වී ඇත්තේ ඇයි? එයට හේතුව මෙය පුද්ගලයකුට එරෙහිවූ දෝෂාභියෝගයක් පමණක් නොවන බව ඔවුන්ට වැටහීම ය. ශ්‍රී ල නි පක්‍ෂයේ මොන දුර්වලකම් තිබුණත් මෙරට බමුණු කුලයට එරෙහිව සටන් කර ඇත්තේ ඒ පක්‍ෂය පමණකි. මාක්ස්වාදී පක්‍ෂ ද කටයුතු කරන්නේ අධිරාජ්‍ය හා ධනේශ්වර විරෝධී වුව ද බටහිර ගැති බමුණු කුලයෙහි ය. ශ්‍රී ල නි පක්‍ෂයට ලිබරල් හා මාක්ස්වාදී සම්ප්‍රදායයන් බලපාන නමුත් එහි මුල් ඇත්තේ බමුණු ආධිපත්‍යයකට ඉඩක් නැති සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ය. ශී්‍ර ල නි පක්‍ෂයේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලැබෙන ආණ්ඩුවලට බමුණු කුලය ද, නිදහස් අධ්‍යාපනය මගින් එයට පැනගැනීමට උත්සාහ කරන සමාජ හිණි පෙතේ ඉහළ නගින්නවුන් ද, මාක්ස්වාදීන් ද, රාජ්‍ය නොවන සංවිධාන ද, බටහිර බලවේග ද, කෙටියෙන් නම් සියළු විජාතික බලවේග විරුද්ධ වන්නේ එබැවිනි. ශ්‍රී ල නි පක්‍ෂයේ එවැන්නන් නැතිවා නොවේ. එහෙත් ඒ පක්‍ෂයට ඡන්දය දෙන්නෝ බෞද්ධ වුවත් නැතත් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූවෝ ය. දෝෂාභියෝගය ගෙන ආවේ දිවිනැගුම පණත සම්බන්ධ තීන්දුව නිසාවත් ඉසෙඩ් ලකුණුු තීන්දුව නිසාවත් නො වේ. අද දෝෂාභියෝගය පිටුපස ඇත්තේ බටහිර අනුග්‍රහය ලබන උද්ධච්ඡ බමුණන් ජනතා බලය ප්‍රතික්‍ෂෙප කිරීම ය. ශ්‍රී ල නි ප ක්‍රියාකාරීත්වය හා සාමාන්‍ය ජනතා අපේක්‍ෂා අතර ප්‍රතිවිරුද්ධතා නැතිවා නො වේ. අපට අපේම වූ දැනුමක් තවමත් නොමැතිවීම හා තිබෙන දැනුම මිථ්‍යා ලෙස පිළිකෙව් කිරීමට බටහිර අධ්‍යාපනයෙන් ලැබෙන රුකුල මේ ප්‍රතිවිරුද්ධතාවල මුල වෙයි. සිවිල් සේවය ඉංගිරිසින් විසින් පිහිටුවන ලද්දේ ඉංගිරිසින්ගේ අනුකාරක පරිපාලනයක් ස්ථාපිත කිරීමට ය. අපට කළ හැකිවූයේ සිවිල් සේවය අහෝසි කර සිවිල් සේවකයන් අනුකරණය කරන තුන්වැනි ගණයේ අනුකාරකයන් පරිපාලකයන් ලෙස පත්කර ගැනීම පමණ ය. විශ්වවිද්‍යාලවල ද මේ තත්වය දැකගත හැකි ය. එහි කිසිම සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ නිර්මාණය නොකළ අනුකාරකයන් වෙනුවට දැන් ඇත්තේ අනුකාරකයන් අනුකරණය කරන තුන්වැනි ගණයේ අනුකාරකයන් ය. මෙරට පාසල් ද එබඳු ය. ප්‍රභූ යැයි සම්මත පාසල් පිහිටුවනු ලැබුයේ එංගලන්තයේ පෞද්ගලික පාසල් අනුකරණය කරමිනි. මධ්‍ය මහා විදුහල් පිහිටුවනු ලැබුයේ ඒ අනුකාරක පාසල් අනුකරණයෙනි.

ඉංගිරිසින් මෙරට සිටි සමයෙහි දී උගතුන්ට සෘජු අනුකාරක අධ්‍යාපනයක් හා පුහුණුවක් ලැබිණි. මෙරට ප්‍රභූ පාසල්වල ප්‍රථම විදුහල්පතිවරු බටහිර ජාතිකයෝ වූහ. එකල අනුකාරකයෝ පළමු ගණයේ (සෘජු) අනුකාරකයෝ වූහ. 1948න් පසු අනුකරණය සඳහා මෙරට ඉංගිරිසින් සිටියේ මඳ වශයෙනි. ඉන් පසු බිහිවූයේ අනුකාරකයන් අනුකරණය කළ තුන්වැනි ගණයේ (වක්‍ර) අනුකාරකයන් ය. අවාසනාවකට මේ තත්වය බෞද්ධ පාසල් ඇතිවීමේ දී ද පසුව මධ්‍ය මහා විදුහල් ඇති කිරීමේ දී ද කල්තබා ම සිදු වී තිබිණි. කන්නන්ගර මහතා පළමු මධ්‍ය මහා විදුහල් පිහිටුවීමේ දී ප්‍රභූ යැයි සම්මත පාසල්වලින් බිහි වූ විදුහල්පතිවරුන් තෝරාගෙන ඔවුන්ට උපදෙස් දී ඇත්තේ තමන් ඉගෙන ගත් පාසල් වැනි පාසල් බිහිකිරීමට ය! සුද්දන්ගේ කාලයට සාපේක්‍ෂව කඩා වැටීම ඇරඹුණේ තුන්වැනි ගණයේ අනුකාරකයන් බිහිවීම නිසා මිස අධ්‍යාපන මාධ්‍යය ඉංගිරිසිය වෙනුවට සිංහල වීම නිසා හෝ ද්විභාෂික පරම්පරාවක් නැතිවීම නිසා හෝ නො වේ. සුද්දන්ගේ ක්‍රමය පවත්වාගෙන යා හැක්කේ ඔවුන් හරිහැටි අනුකරණය කිරීමෙනි. ඒ සඳහා සුද්දන් ජීවමාන ව ඇසුරු කරන පළමු ගණයේ අනුකාරකයන් සිටිය යුතු ය. අනුකාරකයන් අනුකරණය කරන්නන්ට සුද්දන්ගේ ක්‍රමය පවත්වාගෙන යෑමට නො හැකි ය. එවිට සුද්දන්ට සාපේක්‍ෂව කඩා වැටීමක් සිදුවේ. පාර්ලිමේන්තුවේ මේ කඩා වැටීම සිදු වී බොහෝ කල් ය. අධිකරණය ද මේ කඩාවැටීමට භාජනය නොවූවා නො වේ. එහෙත් බොරු කොණ්ඩ හා ලෝගුවලින් කඩාවැටීම සඟවා ගෙන සාමාන්‍ය ජනයා බිය වැද්දීමට හැකි විය. දෝෂාභියෝගයත් සමග බොරු කොණ්ඩ ගැලවී යෑම ඇරඹුණි. එහෙත් අවාසනාවකට අපට අපේ ම වූ දැනුම, ආයතන නැත. එබැවින් කඩාවැටී ඇති, කඩාවැටෙන පාර්ලිමේන්තුව, විශ්වවිද්‍යාල, පරිපාලනය, අධිකරණය තව තවත් සාපේක්‍ෂව කඩා වැටෙනු බලා සිටීමට අපට සිදු වී ඇත. ඉංගිරිසි හා තොරතුරු තාක්‍ෂණය ඉගැන්වීමෙන් මේ කඩා වැටීම වැළැක්විය නො හැකි ය. අනෙක් අතට සුද්දන්ගේ ආයතන ද කඩාවැටෙන මෙකල අපි අගාධයට ම යමු. එසේ නොයෑමට නම් අපේ ම වූ දැනුමක් හා ආයතන අපට අවශ්‍ය වෙයි.

දෝෂාභියෝගයේ නෛතික බව ගැන ද යමක් කිව යුතු ය. 104 (ඇ) ව්‍යවස්ථාව අනුව ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කෙරෙන්නේ උසාවි විසින් නොව පාර්ලිමේන්තුව විසිනි. පාර්ලිමේන්තුව එහි දී වෙනත් කරුණු අතර ව්‍යවස්ථාවෙන් පිළිගැනෙන උසාවි, විනිශ්චය සභා හා ආයතන මගින් අධිකරණ බලය ක්‍රියාත්මක කරයි. අගවිනිසුරුවරිය 107 (1) යටතේ ජනාධිපතිතුමා විසින් පත්කෙරෙයි. ඇය ඉවත්කළ හැක්කේ 107 (2) යටතේ ජනාධිපතිතුමාට ය. එහෙත් ඒ සඳහා පූර්ව අවශ්‍යතාවක් ලෙස පාර්ලිමේන්තුව එතුමියගේ විෂමාචාර ක්‍රියා හෝ නුසුදුසු බව හෝ සාධනය වීම මත ජනාධිපතිතුමා ඇමතිය යුතු ය. 107 (2)න් පැහැදිලි වන්නේ දෝෂාභියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවත් ජනාධිපතිතුමාත් එකට ගත්විට ව්‍යවස්ථාවේ 104 (ඇ) අනුව පිළිගැනෙන අධිකරණ බල සහිත ආයතන බව ය. මෙහි දී පාර්ලිමේන්තුවට අගවිනිසුරුවරිය වැරදිකාරිය බව සාධනය වී ඇති බව තීරණය කළ හැකි නමුදු තීන්දු දීමේ බලය නැත. ඒ බලය ඇත්තේ ජනාධිපතිතුමාට ය. තීරණය හා තීන්දුව වෙන් කෙරී ඇත. 107 (3) යටතේ පාර්ලිමේන්තුවට නීතිය හෝ ස්ථාවර නියෝග හෝ මගින් එකී ඇමතීමකට අවශ්‍ය යෝජනාව සම්මත කිරීමේ පිළිවෙළ, විෂමාචාරය හෝ නුසුදුසු බව හෝ අන්වේෂණය (විමර්ෂණය) කර සාධනය කිරීම පිළිබඳ අවශ්‍ය සියළු දේ සැලසිය හැකි ය. මෙහි වැදගත් කරුණ වන්නේ නීතිය මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ ඒ කළ හැකි වීම ය. ඒ අවශ්‍ය දේ 1984 දී එ ජා ප ආණ්ඩුව පැනවූ ස්ථාවර නියෝග 78 (අ) මගින් සැලසෙයි. 78 (අ) (2) යටතේ කථානායකතුමා චෝදනා පිළිබඳ අන්වේෂණය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තෝරාගත් කමිටුවක් පත්කළ යුතු ය. ඒ අනුව කමිටුවට ද අධිකරණ බලතල ඇති බව ව්‍යවස්ථාවෙන් පිළිගැනෙයි. 78 (අ) (4) යටතේ ඒ කමිටුවට පුද්ගලයන්, ලිපි ලේඛන, වාර්තා ආදිය කැඳවීමට බලය ඇත. මෙහි සාක්‍ෂි විභාගයක් ගැන නො කියැවෙයි. විවිධ උසාවි, කම්කරු විනිශ්චය සභා ආදිය අන්වේෂණයෙහි දී විවිධ අයුරින් කටයුතු කරයි. සාක්‍ෂි විභාග නොමැති උසාවි ද ඇත. 78 (අ) (6) යටතේ කමිටුව සාමාන්‍යයෙන් මසක් ඇතුළත තම සොයාගැනීම් පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය. සොයාගැනීම් යන්නට වැරදිකරුද නැත් ද තීරණය කිරීම ද අඩංගු බව කිවයුතු නො වේ. කමිටු වාර්තාව දෙසැම්බර් 8 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. 78 (අ) (1) යටතේ පාර්ලිමේන්තුවට ජනවාරි 8 වැනි දා වන තෙක් අදාළ යෝජනාව සම්මත කරගත නො හැකි ය. එදිනට පසු පැවැත්වෙන විවාදය අවසානයේ දී පාර්ලිමේන්තුව ජනාධිපතිතුමාට යෝජනාව භාරදෙනු ඇත. අගවිනිසුරුවරිය චෝදනා එකකට හෝ කිහිපයකට හෝ වැරදිකාරිය යැයි පාර්ලිමේන්තුව තීරණය කළත් ඇය ඉවත්කිරීමට ජනාධිපතිතුමා ව්‍යවස්ථාව අනුව බැඳී නැත. එය පාර්ලිමේන්තවේ යෝජනාව හෝ තෝරාගත් කමිටුවේ වාර්තාව හෝ නොසලකා හැරීමක් හෝ පාර්ලිමේන්තුව අභිබවා යැමක් හෝ කමිටුවේ සාමාජිකයන් කෙරෙහි විශ්වාසයක් නැතැයි කීමක් හෝ නො වේ. තීන්දුව දෙන ජනාධිපතිතුමා දඬුවම් පැමිණවීමේ දී තමාට ඉදිරිපත් කෙරී ඇති යෝජනාව හැදෑරිය යුතු ය. එතුමා ව්‍යවස්ථාවේ සඳහන් නොවූවත් ස්වාධීන කමිටුවක් පත්කිරීමට යන්නේ අවශ්‍ය උපදෙස් ලබාගැනීමට බව පැහැදිලි ය. විදේශිකයන් සහිත කමිටුවක් පත්කළ යුතු යැයි කියන්නෝ පරමාධිපත්‍යය පාවා දෙන්නෝ ය. ආණ්ඩු පක්‍ෂය ක්‍රියාකර ඇත්තේ ව්‍යවස්ථාවට එකඟව ය. අගවිනිසුරුවරිය නම් කමිටුවෙන් ඉවත්වීමෙන් 78 (අ) (5) යටතේ චූදිතයාට චෝදනා විසාධනය කිරීමට ඇති අයිතිය පැහැර හැර ඇත. කලින් ම දෝෂාභියෝගය සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම් ඉදිරිපත් වූ විට ඇය විනිසුරුවන් පත්කරන බැවින් අගවිනිසුරු ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු වූවා ය.