මේ තීරුව පමණක් නොව මා අනෙක් ලිපි ද ලියන්නේ කාගේවත් වුවමනාවට නොව මගේ වුවමනාවට ය. එය ජනතාවගේ වුවමනාව යැයි ප්‍රකාශ කරමින් දේශපාලනඥයන් මෙන් බොරු කීමට ද මම අකමැත්තෙමි. එහෙත් ජනතාවගෙන් බහුතරයක්, විශේෂයෙන් ම නූගත් යැයි කියන අය මා සමග එකඟවන්නේ යැයි සිතීමට මම කැමැත්තෙමි. එමෙන්ම එයින් මා සිතන අයුරෙන් රටට වැඩක් වන්නේ යැයි ද මම කල්පනා කරමි. ඇතැමුන් සිතන්නේ අප ආණ්ඩුවට කඩේ යන බව ය. එහෙත් ආණ්ඩුවේ බලගතු ඇමතිවරුන් සිතන්නේ එසේ නො වේ. පසුගියදා එක් ඇමතිවරයකු කියා ඇත්තේ අප කෘෂිරසායන ද්‍රව්‍යවල ආසනික් ඇති බව කීවේ ප්‍රීමා සමාගමෙන් මුදල් ලබාගැනීමෙන් පසුව බව ය. අප ප්‍රීමා සමාගම සමග එකතු වී සම්මන්්ත්‍රණ පැවැත්වූ බව ද ඔහු කියා ඇත. ප්‍රිමා සමාගමේ අවශ්‍යතාව පරිදි ජනතාවට පාන් කැවීම සඳහා ඒ සමාගමෙන් මුදල් ගෙන අප ආසනික් කතාව කී බව ඔහු දරණ මතය බව පැහැදිලි ය. එහෙත් අප ප්‍රීමා සමාගමෙන් තබා ආණඩුවෙන්වත් පෞද්ගලිකව සත පහක් ලබාගෙන නැත. අදාළ පරීක්‍ෂණ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ප්‍රතිපාදන ලැබී ඇත. එහෙත් ඒ අතරට අපේ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන්ගේ පෞද්ගලික මුදල් ද ඒ සඳහා සුළුවෙන් නමුත් වියදම් වී ඇත. අප ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රීමා සමාගෙන් මුදල් ලබාගත් අය නම්කරන ලෙසත් රටට විරුද්ධව අප කණ්ඩායමේ කිසිවකු ක්‍රියාකර ඇත්නම් ඒ තැනැත්තන්ට විරුද්ධව මෙ රටේ බලපානන නීතිය යටතේ නඩුපවරන ලෙසත් ය. යමකු රටට විරුද්ධව විදේශ හෝ විජාතික හෝ බහුජාතික හෝ ආයතනයකින් හෝ වෙනත් ආයතනයකින් හෝ මුදල් ලබාගෙන ඇත්නම් රටේ නීතිය අනුව දිය හැකි උපරිම දඬුවම ලබාදිය යුතු ය. වැරදි කර ඇත්නම් අප එහි විපාක මේ භවයේ දී හෝ වෙනත් භවයක දී විඳිය යුතු ය. මගේ නම් කැමැත්ත හැකි නම් මේ භවයේ දී ම ඒ විඳීම ය. නැතිවන්නට කිසිවක් නැති මට ජීවිතය ද නො වටියි. කල්ප ල’’’’ක්‍ෂ ගණනාවක් සසර සැරිසරන බව දන්නා අයට මේ භවයේ අවුරුදු හැත්තෑව හෝ අසූව හෝ සසරෙහි නොගිණිය හැකි තරමේ කාල පරිච්ඡෙදයකි. දැනට අවුරුදු විස්සකට විසිපහකට පමණ පෙර චින්තනය සංකල්පය වර්ධනය කිරීමේත් දරුවන් හදාවඩාගැනීමේත් අභියෝගය තිබුණු බැවින් එකල ජීවත්වීමේ යම් අවශ්‍යතාවක් තිබුණ ද දැන් ඒ සියල්ල බොහෝ දුරට සම්පූර්ණ වී ඇති බැවින් දඬුවමක් ලෙස වෙනත් භවයකට මාරුවීම මට ප්‍රශ්නයක් නො වේ.
අපේ චින්තනය, එනම් සිංහල බෞද්ධ චින්තනය මත පදනම් ව පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයක් තිසසේ බටහිර දැනුමෙන් ස්වායත්ත ව අප ගොඩනගාගත් සංකල්ප හා ප්‍රවාද රාශියක් අප සතුවෙයි. ඒ ප්‍රවාද අතර ආසනික් ප්‍රවාදය ද වෙයි. රජරට වකුගඩු රෝගයට හේතු වනුයේ කෘෂිරසායනික ද්‍රව්‍යවල ඇති ආසනික්, කුඹුරු පස, හා කිවුල් ජලය බව අපි ප්‍රකාශ කරමු. සහල්වල ද ආසනික් ඇත. එහෙත් බත් කෑ පමණින් අපි නො මැරෙමු. ඒ බව මා කලකට පෙර අපි බත් කමු යනුවෙන් ලියූ ලිපියක ද සඳහන් කළෙමි. අපට අවශ්‍ය වන්නේ බත් කෑම ප්‍රචලිත කිරීම මිස පාන් කෑමට ජනතාව යොමු කිරීම නො වේ. අපට අවශ්‍ය වන්නේ වස විස නැති ආහාර අනුභවයට සැලැස්වීම මිස කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතය එක් රැයකින් නතර කිරීම නො වේ. අපේ උත්සාහය ක්‍රමයෙන් ගොවි ජනතාව කෘෂිරසයන ද්‍රව්‍යවලින් ඉවත් කර දේශීය පාරම්පරික ගොවිතැනට ඔවුන් යොමු කිරීම ය. දේශීය පාරම්පරික ගොවිතැන යනු බටහිර කාබනික පොහොර භාවිතය ද නොවන බව අවධාරණය කළ යුතු ය. ආණ්ඩුව 2013 අයවැයෙන් කාබනික ගොවිතැනට අතහිත දීමට පියවර ගෙන ඇති නමුත් දේශීය පාරම්පරික ගොවිතැන නගා සිටුවීමට එතරම් දෙයක් කර නොමැති බව කණගාටුවෙන් වුව ද සඳහන් කළ යුතු ය. දේශීය පාරම්පරික ගොවිකම හා දේශ’ීය පාරම්පරික වෙදකම ඉතා දියුණු බව ආණ්ඩුවට පැහැදිලි කර දෙන උගතුන් හෝ නිලධාරීන් හෝ අතේ ඇඟිලි සංඛ්‍යාවට පමණවත් ඇතැයි නො සිතමි. ආණ්ඩුව අපේ උපදෙස් ගණන් නොගන්නා බව ද ඇතැම් ඇමතිවරුන්ට අනුව අප අන්තවාදී කලබලකාරී පිරිසක් බව ද අපි දනිමු. එහෙත් දේශීය ගොවිතැන හා දේශීය වෙදකම නගා නොසිටුවා අපට කිසි දිනෙක නිදහස් විය නොහැකි බව මේ අවස්ථාවේදීත් අවධාරණය කළ යුතු ය.
අපේ අධ්‍යාපනයේ හෙළ ගොවිකමට හෝ හෙළ වෙදකමට හෝ තැනක් නැත. එයට හේතුව අධ්‍යාපනය භාර ඇමතිවරුන්ට හා නිලධාරීන්ට ඒ පිළිබඳ විශ්වාසයක් නොමැති වීම ය. අප දන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව හා බටහිර කෘෂිකර්මය ගැන ය. අපේ අධ්‍යාපන බලධාරීහු අපේ දැනුම මිථ්‍යා යැයි සිතති. අප දෙවියන්ගෙන් දැනුම ලබාගත්තේ යැයි කී කල ඔවුහු අපට සිනහසෙති. අප බටහිර විද්‍යාව යනු පට්ටපල් බොරුවක් යැයි ලියන විට ඒ ලිපි පුවත්පත්වල පළවීම නැවැත්වීමට ඇතැම් බටහිර වෛද්‍යවරු පුවත්පත් සංස්කාරකවරුන්ට බලපෑම් කරති. එයින් නොනැවතී ඔවුහු තර්ජනය කරති. මේ වෛද්‍යවරුන්ට අපි අභියෝගයක් කරමු. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් ය යන යෝජනාව සම්බන්ධයෙන් පාණදුරා වාදය මෙන් දින ගණනාවක් මු්‍රළුල්ලේ පැවැත්වෙන විවාදයකට අපි ඒ මහතුන්ට ආරධනා කරමු. හිටපු ප්‍රසිද්ධ වෛද්‍ය මහාචාර්යවරයකු එවැනි විවාදයකට කැමැත්ත පළකර ඇත. එහෙත් අවාසනාවකට ඒ මහතා පොපර්ගෙන් පසුව ඊනියා විද්‍යාවේ දර්ශනය පිළිබඳ ලියැවී ඇති පොතපත කියවා නොමැති බව පැහැදිලි ය. අදාළ පොතපත කියවීමට යම් කාලයක් ලබාදීමට අප සූදානම් ය. මෙහි දී සිතට එන තවත් නම් අතර අප ආසනික් ගැන දේව දැනුම ගැන කියන විට ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ හා වෙනත් තැන්වල අපට විරුද්ධව නොයෙකුත් ප්‍රචාර ගෙන ගිය අයගේ නම් වේ. අප ඊනියා විද්‍යාත්මක ක්‍රමයට විරුද්ධව යන්නේ යැයි කියමින් විද්‍යාභිවර්ධන සංගමය මට අපහාස කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් ද කළේ ය. අපේ කණ්ඩායමේ මහාචාර්ය ප්‍රියානි පරණගම හා මහාචාර්ය මාලා අමරසිංහ මහත්මීන් මා සමග වැඩකිරීම නොනැවැත්වුවහොත් ඔවුන් විද්‍යාඥවරියන් ලෙස සැලකීමට නොහැකි වන බව ද ඒ සංගමය ප්‍රකාශ කළේ ය. එහෙත් ඒ සංගමය තවමත් ඒ ගැන තීරණයක් ගෙන නොමැති බව පැහැදිලි ය. එපමණක් නොව මම තවමත් ඒ් සංගමයේ යාවජීව සාමාජිකයෙක්මි. ඔවුන් ලවා ඊනියා විද්‍යාඥයකු ලෙස කියාගැනීමට තරම් ආශාවක් මට නැත. බටහිර අර්ථයෙන් උගතකුවත් නොවන මට විද්‍යාඥයා යන්න වටිනාකමක් ඇති පදයක් නො වේ. කෙසේ වෙතත් ඉතා ඉක්මණින් බටහිර විද්‍යාව පිළිබඳ විවාදය පැවැත්වීමට අපට හැකිවේවා යන්න අපේ පැතුමයි. අවශ්‍යතාවක් වේ නම් අප ප්‍රිමා සමාගමෙන් මුදල් ලබාගෙන ඇතැයි කියන ඇමතිවරුන්ට හා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව කෘෂිකර්මය දන්ත වෛද්‍යවිද්‍යාව ඉංජිනේරු විද්‍යාව ආදිය හදාරා ඇති විද්වත් ඇමතිවරුන්ට ද ඊනියා කීර්තිමත් විද්‍යා ලේඛකයන්ට ද විවාදයට සහභාගි විය හැකි ය. අපට විරුද්ධව කණ්ඩායමක් ලෙස විවාදයට එළඹියත් බටහිර විද්‍යාව යනු පට්ටපල් බොරුවකි යන මැයෙන් කෙරෙන විවාදයක යෝජක පක්‍ෂ කණ්ඩායමට අයත්වන්නේ මා පමණ ය.
අද මෙරට අධ්‍යාපනයේ දැනුමේ ආධිපත්‍යය දරන්නෝ බටහිර උගත්තු ය. මේ උගත්තු ප්‍රාමාණිකයෝ වෙති. අඩු තරමෙන් ඔවූහු එසේ යැයි සැලකෙනු ලැබෙති. ඔවුන්් විනිශ්චය කෙරෙන්නේ කවුරුන් විසින ද? බටහිරයන් අපට දී ඇති විවධ ධුරාවලීන්හි ඉහළින් ම සිටින කොටස් ගැන විනිශ්චයක් දීමේ දී ප්‍රශ්න පැනනගියි. මේ අය ඇතැම්විට අධිකරණය ඉදිරියට ගෙනගිය හැකි නමුත් අධිකරණයේ ඉහළින් ම සිටින අය ගැන විනිශ්චයක් දෙන්නේ කවු ද? බටහිරයන්ගේ කසිකබල් ප්‍රජාතන්ත්‍රවාදයේ දී මෙවැනි ප්‍රශ්න පැන නගියි. මා දැන් ආණ්ඩුව වෙනුවෙන් කතාකරන්නේ ඇමතිවරුන්ට හෝ ආණ්ඩුවට ඇති ආදරයක් නිසා නොව අද මෙරටට වඩාත්ම යෝාග්‍ය මේ ආණ්ඩුව නිසා ය. බටහිරයන් මේ ආණ්ඩුව වැට්ටවීමට කටයුතු කරන බව අපි දනිමු. ඒ සඳහා ඔවුහු නොයෙකුත් වසන්ත යොදාගනිති. අරාබි වසන්තය, කටුනායක වසන්තය, අධ්‍යයන වසන්තය ඉන් සමහරකි. අද විජාතික බලවේග පකිස්තාන වසන්තයක් නිරාමාණය කිරීමට උත්සාහ දරයි. අධිකරණය හා විධායකය අතර විරසකයක් ඇතිකිරීමට ගත් උත්සාහය අද අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් බවට පත්වෙමින් ඇත. ප්‍රශ්නය වනුයේ පාර්ලිමේන්තුවට අගවිනිසූරුවරියට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට හැකි ද යන්න ය. එසේ නොහැකි බව පවසන නීතිඥයෝ එමට වෙති. එහෙත් මට ප්‍රශ්න කිහිපයක් වෙයි. මම නීතිඥයෙක් නො වෙමි. එහෙත් පුරවැසියකු ලෙස මේ ප්‍රශ්න නැගීමේ අයිතියක් මට ඇතැයි සිතමි. ඉහළ ඉසාවිවළ විනිශ්වයකාරවරුන් හා විනිශ්චයකාරවරියන් ඔවුන් ඒ තනතුරුවලට නුසුදුසුවන අයුරෙන් ක්‍රියාකර ඇත්නම් ඔවුන් ඉවත්කර්න්නේ කෙසේ ද යන්න ය. වෙනත් ආයතනවල නිලතල දර්න්නන් ඒ තනතුරුවලට නුසුදුසුු වූවිට ඔවුන් සම්බනධයෙන් ක්‍රියකරන පිළිවෙත් වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නම් ඉහළ උසාවි දෙකෙහි විනිසූරුවන් ඒ තනතුරු දැරීමට යම් හේතුවක් නිසා නුසුදුසු යැයි සැලකෙන විට පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට 107 වැනි ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා ඇත. අද ඇතැම් නීතිඥයන් අභියෝග කරන්නේ මේ ව්‍යවස්ථාව ය. පාර්ලිමේන්තුවට එවැනි ඉඩක් නොමැති නම් අදාළ විනිසූරුවන්ගේ ක්‍රියාකලාප පාලනය කීිරීමේ හැකියාවක් නොමැතිවනු ඇත. 107 වැනි ව්‍යවස්ථාව ඉතා පැහැදිලි ය. ඒ දෝෂාභියෝග යෝජනාව ගෙන ඒමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය ද ඒ ව්‍යවස්ථාවෙහි ම විස්තර කර ඇත. 107 (3) ව්‍යවස්ථාව මෙරට උත්තරීතර නීතිය නොවේ යැයි කිසිවකුට තරක කළ හැකි නො වේ. ඒ ව්‍යවස්ථාවට අනුව එවැනි දෝෂාභියෝගයක දී අනුගමනය කන ක්‍රියා පිළිවෙත පාර්ලිමේන්තුවට නීතිය මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ සම්පාදනය කළ හැකි ය. එහි දී ස්ථාවර නියෝග මගින් පහසුකම් සැපයීම ද නීතියට එකඟ වේ යැයි සිතිය හැකී ය. එහෙත් මේ සියල්ල මට සාපේක්‍ෂ මගේ නිගමන ය. බටහිර භෞතික විද්‍යාව ද වාස්තවික හා නිරපේක්‍ෂ නොවන විට බටහිර නීතිය ගැන කියනුම කවරේ ද? එබැවින් උගත් නීතිඥවරුන් ඔවුන්ට සාපේක්‍ෂව වෙනත් නිගමනවලට එළඹෙනු ඇත. මගේ ප්‍රශ්නය මේ සාපේක්‍ෂතාව පිළිබඳව ම ය. නෙවිල් සමරකෝන් මහතාට එරෙහිව දෝෂාභියෝග යෝජනාව ගෙන ආවේ අදාළ ස්ථාවර නියෝග ද නැතිව ය. ඒ නියෝග සකස් කරනු ලැබයේ දෝෂාභියෝග යෝජනාව ගෙන ඒමෙන් පසුව ය. එදා ඒ ගැන නීතිඥ මහතුන් කතා’ නොකළේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. නීතිඥ මහතුන එදා නිෂ්ශබ්ද වූයේ එකල තිබූ ආණ්ඩුවට සාපේ’ක්‍ෂව ද? නීතිඥයන්ගෙන් ඉතා වැඩි දෙනා බටහිර ගැති නම් ඒ ගැන පුදුම නො වෙමි. එදා තිබුණු ආණ්ඩුව බටහිරයන්ගේ උකුළේ නැටවුණු විජාතික ආණ්ඩුවකි. අද තිබෙන්නේ බටහිරයන්ට විරුද්ධව ගොස් ප්‍රභාකරන් පැරද වූ ආණ්ඩුවකි. 107 එදා නීතිය වීමටත් අද නීතිය නොවීමටත් වෙනත් හේතුවක් වේ ද? අනෙක් අතට උසාවිවලට වඩා පාර්ලිමේන්තුව බලවත් වෙයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අනුව පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවට ය. එහෙත් ජනතාව තම පරමාධිපත්‍යය වෙනත් ආයතන මගින් ක්‍රියාත්මක කරයි. ව්‍යවස්ථාදායක පරමාධිපත්‍යය ක්‍රියාත්මක කෙරෙන්නේ පාර්ලිමේන්තුව මගිනි. අධිකරණ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන්නේ ද පාර්ලිමේන්තුව මගිනි. එහි දී පාර්ලිමේන්තුව උසාවි ඔස්සේ ඒ ක්‍රියාත්මක කරනුමුත් බලය ඇත්තේ පාර්ලිමේන්තුවට ය.