Main Logo

Monday 31 December 2012

ලෝක විනාශයට ආසිරි

මායාවරුන්ගේ එක් දින දර්ශනයක් අල්ලා ගෙන විශාල පිරිසක් භීතියට ලක්කරමින් කිහිප දෙනකු විසින් අලෙවි කරන ලද ලෝක විනාශ නාටකය අවසන් වී ඇත. ඒ නැටු නාටකය ම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ප්‍රතිඵලයකි. මායාවරුන්ට තිබී ඇත්තේ අපට මෙන් ම චක්‍රීය චින්තනයකි. ඔවුන්ට ග්‍රහවස්තු හා වෙනත් අභ්‍යාවකාශ වස්තු ගැන මනා අවබෝධයක් තිබී ඇත. චක්‍රිය චින්තනයෙහි ආරම්භයක් හෝ අවසානයක් හෝ නැත. 2012 දෙසැම්බර් 21න් අවසන් වන්නේ ඔවුන්ගේ එක් දින දර්ශනයකි. තවත් දින දර්ශනයක් ඉන් පසුව ආරම්භ වෙයි. බටහිරයන්ගේ චින්තනය ඒක රේඛීය වෙයි. එහි ආරම්භයක් හා අවසානයක් ඇත. ලෝකය මැවීමක් හා විනාශයක් බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි වෙයි. 2012 දෙසැම්බර් 21න් අවසන් වන දින දර්ශනය දුටු බටහිරයන්ගෙන් ඇතැමෙක් ඔවුන්ට සුපුරුදු ආකාරයට එය ඔවුන්ගේ චින්තනයට අනුව විග්‍රහ කළහ. බටහිරයන් පොදුවේ තම උද්ධච්ඡභාවය අනුව (එසේ නොමැති අය ද ඇත) වෙනත් චින්තන නොතකන බැවින් මායා දින දර්ශනයේ 2012 දෙසැම්බර් 21 දුටුවේ තමන්ගේ චින්තනයට අනුව ලෝක විනාශයක් ලෙස ය. බටහිරයන් කිහිප දෙනකු ලෝක විනාශය ලෝ පුරා පතුරා හැර මුදල් ඉපයුහ. ඔවුහු නාටකය අවසාන වන විට මායාවරුන්ට තවත් දින දර්ශනයක් ඇති බව කීමට පටන් ගත්හ. එමගින් ඔවුහු සිද්ධිය සම්බන්ධයෙන් තම අත් පිසදාගත්හ. එහෙත් මායාවරුන්ට අනුව 2012 දෙසැම්බර් 21 යනු තම චක්‍රීය ලෝකයෙහි එක් යුගයක අවසානය හා තවත් යුගයක ආරම්භයක් පමණකි.

සෑම වසරකම දෙසැම්බර් 21 සූර්යයා තම වාර්ෂික ගමනෙහි උත්තරායනය අරඹන දවස ය. (සූර්යයයාට පොළොව වටා තම දෛනික ගමන හැරෙන්නට වාර්ෂික ගමනක් ද වෙයි. සූර්යයා පොළොව වටා ගමන් නොකරන්නේ යැයි කියන පඬි කතා මම ගැරඬි හැවක් මෙන් දණ්ඩෙන් ගෙන විසිකරමි.) දෙසැම්බර් 21 න් පසුව උත්තරාර්ධගෝලයට අඳුරු කාලය ක්‍රමයෙන් අඩුවෙයි. පෙර කල මිසරයේ වැසියන් මිත්‍ර නමින් හැඳින් වූ හිරු දෙවි පුදන කළ මිත්‍ර දෙවියන්ගේ උපන් දිනය ලෙස සැලකුවේ දෙසැම්බර් 21 ය. පසුව රෝම අධිරාජ්‍යයෙහි ක්‍රිස්තුන් වහන්සේගේ උපන් දිනය ලෙස දෙසැම්බර් 25 ගැණුනේ දෙසැම්බර් 21 ඇසුරෙනි. ඔවුහු නත්තලෙන් සතියකින් පසු ඔවුන්ගේ අවුරුද්ද ඇරඹූහ. ජනවාරිය නම් කෙරී ඇත්තේ ජේනස් (ජානුස්) දෙවියන් නමිනි. ඔහුට මුහුණු දෙකක් ඇතැයි කියැවෙයි. ඒ එක් මුහුණක් පරණ අවුරුද්දට හා අනෙක් මුහුණ අළුත් අවුරුද්දට හැරවුණා විය හැකි ය. රෝමයන්ට මුහුණු දෙකේ සංකල්පය ලෑබුණේ කාගෙන්දැයි කිව නො හැකි ය. කෙසේ වෙතත් හිරු දෙවි පුදන්නන්ට දෙසැම්බර් 21 වැදගත් දවසකි. හිරු දෙවියන්ට ද සම්බන්ධයක් ඇති සමනළ සිරිපා නැගීම ඇරඹෙන්නේ සීතල වුවත් උඳුවප් පොහෝ දින ය. (අපේ උත්සව චන්ද්‍රයා සමග ද සම්බන්ධ වෙයි. සිංහලයන් ජීවත්වන්නේ, අඩුම තරමෙන් එකල ජීවත්වූයේ, දෙවියන් බුදුන් ගැන විශ්වාස කළ ඉර හඳ පායන ලෝකයක ය.) සබරගමුවේ සිරිපා අඩවියේ ද මුහුණු දෙකේ කතාව ප්‍රචලිත ය. ඒවා අතර සම්බන්ධයක් ඇතත් නැතත් පැරණි මිසරය හා හෙළය අතර නම් සම්බන්ධකම් තිබී ඇත. කෙසේ වෙතත් දෙසැම්බර් 21 යනු අවසානයක් සනිටුහන් කරන්නක් නොව එක් වසරක් (යුගයක්) අවසන් වී තවත් වසරක් (යුගයක්්) අරඹන දිනයකි. 2012 දෙසැම්බර් 21 මායාවරුන්ගේ චක්‍රීය දින දර්ශනයෙහි එක් යුගයක් අවසන් වී තවත් යුගයක් ඇරඹෙන දිනයකි. මේ බව අප කලකට පෙර කී නමුදු එය කිහිප වාරයක් කීමට නොහැකි වූ බැවින් දෝ ජනතා අවධානයෙන් ගිළිහිණි.

දැන් ප්‍රශ්නය වන්නේ අවසන් වන්නේ කිනම් යුගයක් ද ඇරඹෙන්නේ කිනම් යුගයක් ද යන්න ය. එය මේ දිනවල අලුත්කඩේ දී දැකගත හැකි ය. මායාවරුන් අලුත්කඩේට පැමිණ නැතිවුවත් අප මෝහනයට පත්කළ, අප බිය කළ බටහිර නීතියේ අධිකරණ මායාව, බොරු කොණ්ඩ හා ලෝගු සමග ගැලවෙමින් ඇත. මේ අවසන් වෙමින් පවතින්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව යුගය ය, බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ය. එහෙත් තවමත් වත්මන් සමාජය සිංහල බෞද්ධ චින්තනය හා සංස්කෘතියත් එහි නිපැයුණු දැනුමත් නො පිළිගනියි. ඒ පිළිගන්නා තෙක් අපට නිදහසක් නැත. අනුරාධපුර යුගයෙන් පසු මෙරට බමුණු කුලයක් බිහිවිණි. අද ඇත්තේ එය නොව ඉංගිරිසින් විසින් ස්ථාපිත කෙරුණු බමුණු කුලය ය. එහි ඉංගිරිසින්ගෙන් වරප්‍රසාද ලත්තවුන් හා ධන හිමියන් මෙන් ම අධ්‍යාපනය ආධාරයෙන් ඉහළ නිලතලවලට පැනගත් අය ද සමස්තයක් ලෙස ගත්කල වෘත්තිකයෝ ද වෙති. බටහිර අධ්‍යාපනයක් තරමක්වත් ඉහළට ලබාගත් බොහෝ දෙනා ද බලා සිටින්නේ සමාජ හිණිමගේ ඉහළට නැග මේ බමුණු කුලයට පැන ගැනීමට ය. ඒ අය අතර කිහිප දෙනකු බමුණු කුලයට විරුද්ධ වීම හේතුවෙන් එම වර්ගීකරණය අවලංගු නො වේ. අද මේ බමුණු කුලය ආවාහ විවාහ මගින් ද සම්බන්ධ වී ඇත. මෙකී බමුණු කුලය ආරම්භ වී අවුරුදු දෙසියයකට ආසන්න ය. එය මෙරට සමාජයේ ශකිතිමත් බලවේගයකි. බමුණු කුලය සමස්තයක් ලෙස ගත්කල බටහිර දැනුම සිිරිත් විර්ත් අනුකරණය කරයි. නීතිඥ, වෛද්‍ය, ඉංජිනේරු ආදී බටහිර වෘත්තීන් ද පරිපාලන සේවය ද, විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යයන් ද වැදගත් යැයි ඉහළින් සලකයි. ඔවුහු බටහිර දැනුම හැරෙන්නට වෙනත් දැනුම් ගැන විශ්වාසයක් නො තබති. බමුණු කුලයට විරුද්ධ ඇතැම්හු ද දැනුම සම්බන්ධයෙන් බටහිරට ගැතිවෙති. විශේෂයෙන් ම බටහිර විද්‍යාව සත්‍ය හෝ සත්‍යය කරා ළඟා වන්නේ යැයි හෝ සලකති. ආණ්ඩුව ශ්‍රී ල නි ප වුවත් බමුණු කුලයට කළ හැකි බොහෝ දේ වෙයි. අධිරාජ්‍ය විරෝධී සටන් පාඨ කීව ද බොහෝ මාක්ස්වාදීහු ද, රාජ්‍ය නොවන සංවිධානවල විවිධ නිලතල දරන්නෝ ද බමුණු කුලයට අයත් වෙති.

පනස්හයේ දී බමුණු කුලය සෙළවුණා මිස බිඳ නොවැටිණි. බමුණු කුලය පිටුපස ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ය. ඒ තවමත් බලවත් ය. බමුණු කුලයට පැවැත්මක් ඇත්තේ බටහිර නූතනත්වයට පින්සිදුවන්නට ය. බටහිර නූතනත්වය වැටුණු කල බමුණු කුලය සී සී කඩ වී යනු ඇත. කලින් මේ තීරුවේ සඳහන් වූ අන්දමට බටහිර නූතනත්වයට, කෙටියෙන් බටහිරයන්ට රිදෙන කාර්යයන් කිහිපයක් මේ ආණ්ඩුවෙන් සිදු වී ඇත. ප්‍රභාකරන් පැරදවීම ඉන් ප්‍රධාන කාර්යය ය. මෙරට බමූණු කුලයේ ඇත්තන් මුදලින් හෝ වෙනත් ආකාරයෙන් හෝ බිලි බා ගැනීම බටහිරයන්ට සුළු කාර්යයකි. මේ ආණ්ඩුව තවමත් ඉටු කරන්නේ මුළුමනින් ම පොදු ජනයාට අවශ්‍ය දේ නො වේ. සිංහල ගොවිකම හා සිංහල වෙදකම නගා සිටුවීමට ආණ්ඩුවෙන් කාර්යයක් නො කෙරෙන තරම් ය. එහෙත් බමුණු කුලය තමන්ට ඉඳහිට වුවත් පහර දෙන ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ ආණ්ඩුවලට විරුද්ධ ය. ශ්‍රී ල නි පක්‍ෂය හා බටහිර ක්‍රිස්තියානි නූතනත්වය අතර කිසිදා හොඳහිතක් නො තිබිණි. අද ශ්‍රී ල නි ප අනුගමනය කරන්නේ බටහිර සංවර්ධන ප්‍රතිපත්තියක් වුවත් බටහිරයෝ මේ ආණ්ඩුව විශ්වාස නො කරති. බටහිරයන්ට අවශ්‍ය කුල්ලෙන් හෝ පොල්ලෙන් හෝ ආණ්ඩුව වැට්ටවීම ය.

ආණ්ඩුව අගවිනිසුරුවරියට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආවේ බටහිරයන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරන බමුණු කුල අධිකරණය පොදු ජනයාගේ නියෝජිතයන්ට හිස නොනැමීමට ගත් තීරණය නිසා යැයි සිතමි. ඉසෙඩ් ලකුණ හෝ දිවිනැගුම හෝ එහි දී බල නො පෑවේ ය. මින් පෙර ද මේ ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ ම දෝෂාභියෝග ගෙනැවිත් ඇති නමුත් එයට විරුද්ධව බමුණු කුලයවත් බටහිරයන්වත් නැගී නොසිටි බව අපි දනිමු. ඒ දෝෂාභියෝග ගෙන ආවේ ද බමුණු කුලය විසින් ම ය. එය බමුණු කුලයේ එතරම් වැදගත්කමක් නැති අභ්‍යන්තර ප්‍රශ්නයක් විය. අද එසේ නො වේ. දෝෂාභියෝගය පොදු ජනයා හා බමුණු කුලය අතර ප්‍රශ්නයක් බවට පත් වී ඇත. බමුණු කුලයට එදා නොපෙනුණු දුර්වලකම් අද ස්ථාවර නියෝගවල පෙනෙන්නේ එබැවිනි. ආණ්ඩුව වැට්ටවීමට සුදුසු අවස්ථාවක් එනතුරු බලා සිටින බටහිරයෝ ද බමුණු කුලය දිරි ගන්වමින් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බයිලා කියති. පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ලංකාව ඉවත්කරන බව කියති. එහෙත් ආණ්ඩුව අද වන විට මේ ඊනියා ජාත්‍යන්තර බලවේග වේ හුඹසක් බව දනියි. ආණ්ඩුව බමුණු කුලයේ වෘත්තීයකයන් නම්මා ගැනීමට යැයි කියමින් අවසානයේ දී කුමක් කරාවි දැයි අපි නො දනිමු. එහෙත් වැටුප් දීමනා ආදිය වැඩිකිරීමෙන් හෝ සහන සලසා දීමෙන් හෝ බමුණු කුලය නම්මා ගැනීමට ආණ්ඩුවට නො හැකි ය.

මේ සියල්ල හා ලෝක විනාශය අතර ඇති සම්බන්ධය කුමක් ද? මේ අවුරුදු පන්සියයක කාලයක් තිස්සේ ලොවට අඳුරුතම යුගය ලබා දුන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩාවැටෙන කාලය ය. ඉන්ද්‍රිය පිනවීම, පෞද්ගලිකත්වය, ආදිය මුල්කරගත් බටහිර නූතනත්වය අද කඩා වැටෙමින් ඇත. එය දැනට අවුරුදු හැත්තැපහක් පමණ කාලයක් තිස්සේ සිදුවෙමින් පවතියි. එහි මුල්ගල් වූ යථාර්ථය, වාස්තවිකත්වය අද නූතනවාදීන්ගේ ඔළුගෙඩිවලට සීමා වී ඇත. අධියථාර්ථවාදය, ක්වොන්ටම් භෞතිකය, බටහිර ගණිතයෙහි ගර්ඩ්ල් ප්‍රමේයය, පශ්චාත්නූතනවාදය ආදිය මේ කඩාවැටීම සලකුණු කරයි. එපමණක් නොව නන්දිකඩාල් ජයග්‍රහණය ද ලොව වැඩිවෙන සමාජ අපරාධ ද බටහිර නූතනත්වයේ කඩාවැටීම පිළිබිඹු කරයි. අද මේ ආණ්ඩුවට අවශ්‍ය නම් ඊනියා ජාත්‍යන්තරය නොසළකා සිටිය හැකි ය. ආණ්ඩුව කෙලින් ඉන්නේ නම් බටහිරයන්ට කළ හැකි ඉටිගෙඩියක් නැත. ආණ්ඩුව ඒ බව වටහාගෙන ඇතැයි සිතමි. 2012 යනු මේ කඩා වැටීමේ සංක්‍රමණීය කාල පරිච්ඡෙදයෙහි මැද විය හැකි ය. කෙසේ වෙතත් 2012 දෙසැම්බර් 21 යුගයක් අවසන් වී තවත් යුගයක් ඇරඹීම සංකේතවත් කරයි. දැන් අඳුර ක්‍රමයෙන් මැකී යා යුතු ය. බටහිරයන් හා ඔවුන්ගේ ආශිර්වාදයෙන් හා අනුග්‍රහයෙන් විවිධ රටවල පවත්වාගෙන යන අනුකාරක බමුණු කුල හා පොදු ජන බලවේග අතර සටන නොනැවතී ඉදිරියට යයි. දෝෂාභියෝගය ද එහි කොටසක් වෙයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට ඉදිරියක් නැත. එහෙත් අවාසනාවකට විකල්ප චින්තනයක් පිළිගැනී ද නැත. අද මුළු ලෝකය ම ඇත්තේ මේ ගන්ධබ්බ අවස්ථාවෙහි ය. අප රට එහි දී විශේෂ වන්නේ විකල්ප චින්තනයක් අප සතු බැවිනි. එහෙත් ආණ්ඩුව ඒ බව වටහාගත් බවක් නො පෙනෙයි. ආණ්ඩුව බමුණු කුලයට තදින් පහර දෙනු වෙනුවට ඔවුන් නම්මා ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙයි. එයින් කිසිදා සාර්ථක ප්‍රතිඵල නොලැබෙනු ඇත. පොදු ජන අවශ්‍යතාව අලුත්කඩේ වේවා පේරාදෙණියේ වේවා බමුණු කුලය පැරදවීම ය. ලෝක විනාශය හෙවත් ක්‍රිස්තියානි නූතනත්වය කඩාවැටීම සිදුවන්නේ පිටතින් පැමිණෙන උල්කාපාත ආදිය නිසා නො වේ. (බාහිර සාධක, බල ගැන කතාකිරීම බටහිර චින්තනයේ නිව්ටෝනීය ලක්‍ෂණයකි.) එය සිදුවන්නේ අභ්‍යන්තර හේතු නිසා ය. නූතනත්ව යුගය විනාශ වී අඳුර පළවා හැර බිහිවන වැඩි දෙනා පන්සිල් රකින ආධ්‍යාත්මික ශක්තියෙන් යුත්, සිංහල බෞද්ධ සාමුහිකත්වය පදනම් කරගත් නව යුගයකට ආසිරි පතමු.