Main Logo

Monday, 24 December 2012

බමුණු කුලයට ඉඩ දෙමු ද?

අගවිනිසුරුවරිය මින් පසු පාර්ලිමේන්තු තෝරාගත් කමිටුව ඉදිරියේ පෙනී නොසිටීමට තීරණය කර ඇත. දෝෂාභියෝගයෙන් ඉවත් වී ඇති ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අගවිනිසුරු ලෙස තාවකාලික ව කටයුතු කළ නොහැකි ය. ජනතාවගේ පරමාධිපත්‍යය රැකීමට ජනාධිපතිතුමාට ව්‍යවස්ථාවේ 109 වගන්තිය යටතේ වැඩබලන අගවිනිසුරුවරයකු පත්කිරීමට සිදුවෙයි. ඇය දෝෂාභියෝගයට ඉදිරිපත් වූ දිනයේ සිට ම ක්‍රියාකර ඇත්තේ නීත්‍යානුකූල මග අත්හරිමින් දේශපාලන මාවතකට අවතීරණ වෙමිනි. ඇය නිවැරදි නම් එසේ කළ යුතු නො වේ. ඇයගේ නීතිඥයෝ තෝරාගත් කමිටුවට යැවූ පිළිතුර මාධ්‍යයට ලැබෙන්නට සැලැස්වූහ. ඇයට පක්‍ෂ නීතිඥයෝ ජයවේවා භංගවේවා ආදී සටන්පාඨ කීහෂ පොල් ගැසුහ. ඇය උසාවි සංකීර්ණයේ සාමාන්‍ය දොරටුවෙන් පාර්ලිමේන්තුවට ගියේ ලාභ ජනප්‍රියත්වයක් සඳහා ය. තම නිවසේ දී නොව උසාවි පරිශ්‍රයේ දී සෙත්පැතීමට ඇය ඉඩ දුන්නා ය. තෝරාගත් කමිටුවට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වු අවස්ථාවේ දී ඇය තමාගේ නඩුව තමාම විභාග කරගත නොයුතු ය යන්න මගහැර පෙත්සම් විභාගයට තමන්ට අවශ්‍ය විනිසුරුවන් පත්කළා ය. ඒ අවස්ථාවේ ඇය කළ යුතුව තිබුණේ අගවිනිසුරු ධුරයෙන් හා අධිකරණ සේවා කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම ය. ඉන්පසු තමාගේ නිදහසට කරුණු කීමට විනිසුරුවන් කොළඹට කැඳෙව්වා ය. එය විනිසුරුවන්ගේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් නොවූවත් ප්‍රතිඵලයෙහි වෙනසක් නොවිණි. අද ඇය කියන්නේ තමන්ට පිළිතුරු දීමට කල් නොදුන් බවත් තෝරාගත් කමිටුව තමාට විශ්වාස නැති බව ය. කමිටුව කියන්නේ දින 22ක් ම ඒ සඳහා දී ඇති බව ය. චෝදනා සමග බැංකු ගිණුම් හා අදාළ ලියකියවිලි භාරදීමෙන් පසුව පමණක් කමිටුවෙන් ඉවත් වීමට ඇය තීරණය කළේ ඇයි? ඇයට පිළිතුරු නැති නිසා ද? පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ කමිටුව ක්‍රියාකරන්නේ කෙසේ දැයි ඇය මුල සිට ම දැන සිටියා ය. කමිටුව අපක්‍ෂපාත නැත්නම් ඇය මුල දී ම ඒ බව කියා ඉවත් නොවූයේ ඇයි? පැහැදිලිව ම ඇය යම් දේශපාලන බලවේගයක් නියෝජනය කරන්නී ය. ඇය විසින් නියෝජනය කෙරෙන්නේ රජය පෙරළීමට කැසකවන ඇයට පෞරුෂයක් ලබාදෙන බමුණු කුලය ය. දෝෂාභියෝගයට විරුද්ධ වන්නේ මෙරට අස්ථායී කිරීමට වෑයම් කරන විදේශීය හා විජාතික බලවේග ය. දෙමළ ත්‍රස්තවාදය, බෙදුම්වාදය පිටුපස සිටි කොටස් දෝෂාභියෝගයට විරුද්ධ ය. රාජ්‍ය නොවන සංවිධාන, මහරාජලා හා බටහිර තානාපති කාර්යාල, කුප්‍රකට බීබීසිය ආදිය නැවතත් එකට පෙළ ගැසි සිටිති.

තවමත් මෙරට ඇත්තේ බමුණු කුලය නියෝජනය කරන යටත්විජිතවාදී අධිකරණයකි. හොඳට හෝ නරකට හෝ බමුණු කුලයේ ඒජන්ත හාමුදුරුවන් කච්චේරියෙන් පන්නා දැමීමට අපි සමත් වීමු. එහෙත් තවමත් නඩුකාර හාමුදුරුවෝ උසාවියේ වැඩ වසති. මෙරට හාමුදුරුවන් වැඩ වාසය කළ යුත්තේ පන්සලේ පමණකි. ව්‍යාජ හාමුදුරුවරු යටත්විජිතවාදී බමුණු කුලයේ හාමුදුරුවරු වෙති. සැබෑ හාමුදුරුවන්ට බොරු කොණ්ඩ තබා හිසකෙස්වත් නැත. විශේෂ කමිටුවට නීතිය පිළිබඳ අවබෝධයක් නැතැයි කියන අයට මතක් කළ යුත්තේ නීතිය නිල වශයෙන් නොහැදෑරූ ඒජන්ත හාමුදුරුවරුන් ද ඇතැම් අවස්ථාවල නඩු ඇසූ බව ය. ඒජන්ත හාමුදුරුවන් නැති කළ ද අපට පැරණි එක්සේසත් රාජ්‍යයේ තිබූ පරිපාලනය, එනම් විමධ්‍යගත පරිපාලනය, ගොඩනගා ගැනීමට නොහැකි වී ඇත. එයට හේතුව උගතුන් ය. මෙරටට වැඩිම හානියක් වී ඇත්තේ බමුණු කුලයෙන් හා බටහිර අධ්‍යාපනය ඔස්සේ බමුණු කුලයට පැන ගැනීමට කටයුතු කරන මෙරට සංස්කෘතියෙන් යමක් ඉගෙන නොගන්නා මෙරට දැනුම මිථ්‍යා යැයි කියන අනුකාරක උගතුන් අතින් මිස නූගතුන් යැයි කියන දේශපාලනඥයන් අතින් නො වේ. දෝෂාභියෝගයට විරුද්ධවන්නෝ බමුණු කුලයේ බමුණෝ ය. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව, මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්දයෙන් පරාජයකළ නොහැකි බව දන්නා බටහිර බලවේග බමුණු කුලය හා එක් වී විවිධ වසන්තවලින් ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරයි. ඔවුන් උදා නොවූ සරසවි ඇදුරන්ගේ වසන්තයෙන් පසු දැන් අලුත්කඩේ වසන්තයකට හැරී ඇත. අගවිනිසුරුවරියට ශක්තිය ලැබෙන්නේ මේ බලවේගවලිනි. ඒ දෝෂාභියෝගයේ ඇතුල් පැත්ත ය.

දෝෂාභිගියෝගයට පිටපැත්තක් ද වෙයි. අපට පෙන්වන්නේ ඒ පිටපැත්ත ය. බටහිර අධ්‍යාපනයක් ලත් ඇතැම් උගතුන් මුළා වී ඇත්තේ පිටපැත්තට ය. ඒ පසුපස ඇත්තේ බලය වෙන්කිරීමක් ඇතැයි සිතමින් අධිකරණයට පුර්ණ අධිකරණ බලතල තිබේ යැයි පතුරවන මිථ්‍යාව ය. පාර්ලිමේන්තුව අධිකරණ බලතල අතට ගෙන ඇතැයි උගත්තු කියති. එහෙත් සිදුවන්නේ අධිකරණය පාර්ලිමේන්තුවට බාධා කිරීම ය. එංගලන්තයේ මධ්‍යකාලීන වැඩවසම් රජුට විරුද්ධව බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ඔස්සේ විප්ලවයක් කළ ධනේශ්වරයට එය සම්පුර්ණ කර ගැනීමට නොහැකි විය. ධනේශ්වරයට විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය තමන් අතට ගැනීමට නොහැකි විය. රජු රාජ්‍යයේ ප්‍රධානියා විය. විනිසුරුවරු සාමි මන්ත්‍රී මණ්ඩලය ලෙස පාර්ලිමේන්තුවේ ම කොටසක් වී ලැගුම් ගත්හ. ඊනියා බලය වෙන්කිරීම ගැන බටහිර දේශපාලන විද්‍යාඥයන්ට සංකල්ප හා ප්‍රවාද ගෙතීමට සිදුවූයේ ධනේශ්වර විප්ලවය අසම්පුර්ණ වූ නිසා ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි ප්‍රවාදාත්මක ව බලය වියුක්ත ව වෙන් කෙරෙන නමුත් ප්‍රායෝගිකව සංයුක්ත ව එසේ නො සිදුවෙයි. එංගලන්තයේ අසම්පුර්ණ වූ විප්ලවය සම්පුර්ණ කිරීමට ප්‍රංශයේ හා ඇමරිකාවේ උත්සාහ ගැණිනි. ජනතාව නමින් වියුක්ත සංකල්පයක් (සංකල්ප වර්ගීකරණය පිළිබඳ ව මේ දිනවල විදුසර පුවත්පතෙහි පළවන ලිපි කියවන්න) නිර්මාණය කෙරී පරමාධිපත්‍යය ජනතාවට හිමි කෙරිණි. අපට මිනිසුන් පෙනෙන නමුත් ජනතාව නො පෙනෙයි. අවශ්‍යතාවක් වුවහොත් ජනතාවට විරුද්ධව නඩු පැවරිය හැකි ද? ජනතාව සභාවකට කැඳවිය හැකි ද? ජනතාව ඉන්ද්‍රිය ගෝචර නො වෙයි. එය සරල රේඛාවක් වැනි සිතෙන්වත් මවාගත නොහැකි, බෞද්ධ සංස්කෘතියෙහි කියැවෙන අයුරෙන් නම් පඤ්ඤත්තියක්, පැනවීමක් පමණකි. ජනතාවක් ගැන සංයුක්තව ඉන්ද්‍රිය ගෝචර වශයෙන් දන්නා අයකු නැත. වියුක්ත ජනතාවකට පරමාධිපත්‍යය පැවරීම තරම් කපටි කමක් තවත් නැත. එහෙත් ඇමරිකාවේ දී එය කරනු ලැබිණි. ජේ ආර් ජයවර්ධන ඇමරිකන් හා ප්‍රංශ ව්‍යවස්ථා මිශ්‍ර කර අච්චාරු ව්‍යවස්ථාවක් තනා, වියුක්ත ජනතාවකට පරමාධිපත්‍යය ලබා දී, සංයුක්තව පරමාධිපත්‍යය තමා වෙත ම ප්‍රායෝගික ව තබා ගත්තේ ඇමරිකන් ජනාධිපතිවරුන්ටත් වඩා බලය අත්පත් කර ගනිමිනි. එහෙත් මේ ව්‍යවස්ථාව වෙනස් කරන තෙක් අපට ඒ අනුව කටයුතු කිරීමට සිදු වෙයි.

අපේ ව්‍යවස්ථාවෙහි ද පරමාධිපත්‍යය ඇත්තේ අද සංයුක්ත මිනිසුන් බවට පත්වෙමින් සිටින වියුක්ත ජනතාවකට ය. ඒ ව්‍යවස්ථාව අනුව වුව ද (වියුක්ත) ජනතාවගේ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කෙරෙන්නේ පාර්ලිමේන්තුව විසිනි. එපමණක් නොවේ. එකී ජනතාවගේ අධිකරණ බලය ද ක්‍රියාත්මක කෙරෙන්නේ පාර්ලිමේන්තුව විසිනි. ඒ බව ව්‍යවස්ථාවෙහි 4 (ඇ) වගන්තියෙහි සඳහන් වෙයි. එහෙත් පාර්ලිමේන්තුව බොහෝ අවස්ථාවල මේ බලය ව්‍යවස්ථාවට හා නීතියට එකඟ ව පිහිටුවනු ලබන හෝ පිළිගැනෙන හෝ උසාවි, විනිශ්චය සභා, ආයතන මගින් ක්‍රියාත්මක කරයි. මෙහි දී වැදගත් කරුණු දෙකක් කියැවෙයි. එකක් පාර්ලිමේන්තුව වියුක්ත ජනතාවකට වඩා උත්තරීතර බවෙන් අඩුවුව ද උසාවියට වඩා උත්තරීතර බවෙන් වැඩි බව ය. උසාවි මගිින් ක්‍රියාත්මක කෙරෙන්නේ පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරිය යුතු වූ ජනතාවගේ අධිකරණ බලය යි. බල වෙන් කිරීමේ දී පාර්ලිමේන්තුව, විධායකය හා අධිකරණය යනුවෙන් ත්‍රිත්වයක් ගැන කියවුණත් ව්‍යවස්ථාවෙහි අධිකරණය පාර්ලිමේන්තුවට වඩා පහළින් වෙයි. දෙවැනි කරුණ වනුයේ උසාවි හා විනිශ්චය සභාවලට අමතරව ආයතන මගින් ද පාර්ලිමේන්තුවට අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැකි බව ය. දෝෂාභිගියෝගය විමසීම සඳහා 107 (3) වැනි වගන්තිය යටතේ පිහිටුවා ඇති පාර්ලිමේන්තුවේ තෝරාගත් කමිටුව එවැනි ආයතනයක් වනු පමණක් නොව එය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78 (අ) යටතේ ක්‍රියා කිරීම ද ව්‍යවස්ථාවේ 107 (3) යටතේ නීත්‍යානුකූල වෙයි. ඒ සම්බන්ධයෙන් විමසීමට කිසිම උසාවියකට බලයක් නොමැත. එයට හේතුව ශ්‍රෙෂ්ඨාධිකරණයට බලය ඇත්තේ පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති කෙටුම්පත් පනත් පිළිබඳ විනිශ්චය දීම සඳහා මිස නීතිය බවට පත් වූ පනත් ගැන විනිශ්චය දීම සඳහා නොවීම ය. ව්‍යවස්ථාවේ 80 (3) වගන්තියේ ඒ බව සඳහන් වෙයි. එබැවින් රටේ උපරිම නීතිය වූ ව්‍යවස්ථාවවත් එහි 107 (3) වගන්තියවත් ඒ යටතේ සම්මත කෙරී ඇති පාර්ලිමේන්තුවේ 78 (අ) ස්ථාවර නියෝගවත් විනිශ්චය කිරීමට, විමසීමට කිසිම උසාවියකට අධිකරණ බලයක් නැත. 78 (අ) (6) ස්ථාවර නියෝගයට අනුව තෝරාගත් කමිටුව මසක් ඇතුළත දී පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය. ඒ කාලය සුදුසු යැයි හැඟෙන හේතුවක් නිසා දිර්ඝ කළ හැක්කේ පාර්ලිමේන්තුවට ය. අගවිනිසුරුවරිය හුදෙක් කල්මැරීම සඳහා කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලන්නේ නම් පාර්ලිමේන්තුව එයට ඉඩ දේ යැයි සිතිය නො හැකි ය. ව්‍යවස්ථාව මෙන් ම ස්ථාවර නියෝග ද එ ජා පක්‍ෂය විසින් සම්මත කරගනු ලැබූ දේ ය. අගවිනිසුරුවරිය විමසුමට පෙනී සිටිය යුත්තේ ඒ නියෝග යටතේ ය. ඇය වෙනුවෙන් අලුත් නියෝග පැනවීම සම්ප්‍රදාය හා රීති විරෝධී ය. ස්ථාවර නියෝග 78 (අ) (8) යටතේ පාර්ලිමේන්තු කමිටුවේ කටයුතු අගවිනිසුරු පිළිබඳ අවසාන තීන්දූව පාර්ලිමේන්තුවට දන්වන තුරු ප්‍රසිද්ධියට පත්කළ නොහැකි ය. එය පසුව වෙනස්කළ යුතු යැයි මම සිතමි. එහෙත් අද කිසිවකුට නිරීක්‍ෂක මට්ටමෙන්වත් කමිටුවේ කටයුතුවලට සහභාගි වීමට නො හැකි ය. එසේ නිරීක්‍ෂකයන් ලෙස සහභාගිවීමට පොදුරාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමක් හා නීතිඥ සංගමය විශේෂ අවසර ඉල්ලා ඇති බව වාර්තා වෙයි. දෝෂාභියෝගය පිළිබඳ නීතිඥයන්ට පමණක් එවැනි අවසරයක් නොදිය යුතු ය. බටහිර නූතනත්වයෙහි ඒ ඒ ක්‍ෂෙත්‍රයෙහි විශේෂඥයන්ට විශේෂ අවස්ථා සැපයෙන නමුත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී නො වේ. නීතිය නීතිඥයන්ට පමණක් භාර නොදිය යුතු ය. නීතිඥ සංගමයට විශේෂ අවසරයක් දෙන්නේ නම් ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමයට ද ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අනෙක් අයට ද ඒ අවසරය ලබාදිය යුතු ය.

ඒ කෙසේ වුවත් කලින් සඳහන් කළ අයුරින් දෝෂාභියෝගය යට ඇත්තේ දේශපාලනයකි. අපේ ප්‍රශ්නයකට පොදුරාජ්‍ය මණ්ඩලය මැදිහත් වන්නේ ඇයි? අමෙරිකාව ඒ පිළිබඳ අවධානය යොමු කරන්නේ ඇයි? බටහිරයන්ගේ අවශ්‍යතාව වී ඇත්තේ දෙමළ ත්‍රස්තවාදය පැරද වූ මහින්ද රාජපක්‍ෂ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා දංගෙඩියට යැවීම ය. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කරනතාක් ඔහු දංගෙඩියට යැවීමට නොහැකි ය. එබැවින් ඔවුහු ජනාධිපතිතුමා නෙරපීමට කටයුතු කරති. අද බමුණු කුලයට අවශ්‍ය වී ඇත්තේ බටහිර සමග එක් වී රජය පෙරළීම ය. අපි බමුණු කුලයට ඉඩ දෙමු ද?