Main Logo

Thursday, 13 December 2012

හේමන්ත බවට පෙරළෙන වසන්ත

හුණුවටයේ කතාවේ කියැවෙන්නේ ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නාසි සොල්දාදුවන් සෝවියට් දේශයේ ගම්මානයකින්් ආපසු යෑමෙන් පසුව ගොවිපළේ කටයුතු පාලනය විය යුත්තේ පළතුරු වවවන්නන්ට අවශ්‍ය අන්දමට ද එසේත් නැත්නම් සතුන් ඇතිකරන්නන්ට අවශ්‍ය අන්දමට ද යන්න තීරණය කරන ආකාරය ය. එය බ්‍රෙෂ්ට් තම නාට්‍ය රීතිය අනුව දරුවකු අයිති කාහට ද යන්න පිළිබඳ නාට්‍ය ඇතුළත නාට්‍යයක් ලෙස ඉදිරිපත් කරයි. දරුවාගේ ප්‍රශ්නය අවසානයේ දී කලක් පල්හොරකු වූ අසඩැක් විසින් තීරණය කෙරෙයි. විනිසුරු අසුන්වල සිටින්නන් තමා වැනි අය යැයි කියන අසඩැක් දැන් තමා වැන්නන් විනිශ්චාසනයට පත් විය යුතු බව පවසා දරුවා පිළිබඳ ව ද තවත් කරුණු පිළිබඳ ව ද විනිශ්වය දෙයි. කලක් තිස්සේ මෙරට විසඳීමට ඇති ප්‍රශ්නය ද ඉංගිරිසින් ෙසෙද්ධාන්තිකව මෙරට අත්හැර යෑමෙන් පසුව මේ රටේ කටයුතු සිදුවිය යුත්තේ කාහට අවශ්‍ය අන්දමට ද යන්න ය. නාසීන් සෝවියට් දේශය අත්හැර ගිය ආකාරයට ඉංගිරිසින් ඇතුළු බටහිරයන් මෙරට අත්හැර ගොස් නැත. එබැවින් අපේ ප්‍රශ්නය බ්‍රෙෂ්ට් තම නාට්‍යයෙන් කියන ප්‍රශ්නයට ද වඩා සංකීර්ණය. මෙරට කටයුතු සිදුවිය යුත්තේ බටහිරයන්ගේ නියෝජිතයන් වූ පිරිසකට අවශ්‍ය ආකාරයට ද එසේත් නැත්නම් මෙරට සාමාන්‍ය සිංහල බෞද්ධයන්ට අවශ්‍ය වූ ආකාරයට ද? මෙය 1815 දී (තව අවුරුදු තුනකින් මේ සංසිද්ධියට අවුරුදු දෙසීයක් පිරෙයි) ලංකාව ම ඉංගිරිසින් උප්පරවැට්ටියෙන් අත්කර ගැනීමෙන් පසු ඉංගිරිසින්ට විරුද්ධව භික්‍ෂූන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් කැප්පෙටිපොළ නිළමේ, වීර පුරන් අප්පු, ගොංගාලෙගොඩ බණ්ඩා, අනගාරික ධර්මපාලතුමා ආදීන් ගෙන ගිය සටන්වලදී ද පැන නැගුණු ප්‍රශ්නයේ වෙනත් ස්වරූපයක් වෙයි. එදා ප්‍රශ්නය වූයේ මේ රටේ කටයුතු සිදුවිය යුත්තේ ඉංගිරිසින්ට අවශ්‍ය ආකාරයට ද නැත්නම් සිංහල බෞද්ධයනට අවශ්‍ය ආකාරයට ද යන්න ය. එදා අවශ්‍ය වූයේ ඉංගිරිසින් එළවා දමා සිංහල බෞද්ධයනට අවශ්‍ය අන්දමට රට පාලනය කිරීම ය. අප මතක තබාගත යුත්තක් නම් ඉංගිරිසින්ට විරුද්ධව සටන් කළේ සාමාන්‍ය සිංහලයන් හා කැප්පෙටිපොළ නිළමේ වැනි ඔවුන්ගේ සාම්ප්‍රදායික නායකයන් හා වීර පුරන් අප්පූ ආදීන් හා පසුව ධර්මපාලතුමා වැන්නන් ය. ඕල්කට් බෞද්ධයන් ඇතුළු ඊනියා ලාංකිකයෝ ඉංගිරිසින් විසින් ඇතිකරනු ලැබුවාහු ඉංගිරිසින් සමග සම්මුතියෙන් තමන් ඉංගිරිසින්ට ද වඩා හොඳ ඉංගිරිසින් බව පෙන්වමින් පෙත්සම් මගින් ඉතා සීමිත නිදහසක් ලබාගැනීමට උත්සාහ කළහ.

ඉංගිරිසින් නාමිකව රට අත්හැර යෑමෙන් පසුව බලයට පත්වූයේ මේ ලාංකිකයන් ය. ඔවුහු ඉංගිරිසින් විසින් ඇතිකරන ලද ප්‍රභූ පාසල්වල ඉගෙන නීතිඥ, වෛද්‍ය ආදීි වෘත්තීන්හි හෝ ඉංගිරිසින් විසින් ස්ථාපිත කරන ලද ආර්ථිකයේ වතු පතල් වැනි ව්‍යාපාරවල යෙදුණහ. ඔවුහු සිංහල, දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ඉංගිරිසින් අනුකරණය කළහ. ඔවුහු ඉංගිරිසි සිරිත් විරිත් අකුරට ම අනුගමනය කරන ලද අතර ඉතා හොඳින් ඉංගිරිසි කතාකිරීමට දැන සිටියහ. එහෙත් ඉංගිරිසින් රටේ නායකයන් බවට පත් කළේ දෙමළ වෙල්ලාලයන් ය. සර්වජන ඡන්දය ලැබීමෙන් පසුව පමණක් ඉංගිරිසින් විසින් පත්කරනු ලෑබූ සිංහල නායකයෝ රටේ නායකයෝ වූහ. නීතිඥ හා වෛද්‍ය වෘත්තිකයෝ ද පසුව ඉංජිනේරුවෝ ද සිවිල් සේවකයෝ ද විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ද රටේ වැදගත් පුද්ගලයන්, බමුණු කුලයක් බවට පත්කෙරුණ හ. ඒ සමග සිංහල වෙදමහතා සමාජ තත්වයෙන් පිරිහිණි. භික්‍ෂූන් වහන්සේ ක්‍රමයෙන් පාංශුකූලයට පිරිතට දානයට ආදියට පමණක් සීමාවුහ. රටේ කටයුතු කෙරුණේ ප්‍රභූන්ට, අවශ්‍ය නම් කළු සුද්දන්ට, වුවමනා ආකාරයට මිස සාමාන්‍ය සිංහල බෞද්ධයන්ට අවශ්‍ය ආකාරයට අනුව නො වේ. කළු සුද්දන් රටේ කටයුතු මෙහෙයවූයේ සුදු සුද්දන්ට අවශ්‍ය ආකාරයට බව අමුතුවෙන් කිවයුතු නො වේ. දහනවවැනි සියවසේ අග ඇති කෙරුණු බෞද්ධ පාසල් නිසා හෝ හතළිහේ දශකයේ ඇති කෙරුණු මධ්‍ය මහා විදුහල් නිසා හෝ තත්වයේ වෙනසක් වූයේ නම් ඒ මතුපිටින් පමණකි. සියළු පාසල්වල ලැබුණේ බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයකි. අදාළ දැනුම බටහිර විද්‍යාවේ හෝ සිංහල සාහිත්‍යයෙහි හෝ වේවා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය පදනම් කරමින් නිපදවිණි. බටහිර වෛද්‍යවරයා හෝ රෝම ලන්දේසි නීතිඥවරයා හෝ කිනම් පාසලක ඉගෙන ගත්ත ද හරයෙන් වෙනසක් නො වී ය. ඔවුහු එක්කෝ බමුණු කුලයට අයත්වූහෂ එසේත් නැතහොත් එයට පැන ගැනීමට උත්සාහ කළහ. බටහිර අධ්‍යාපනය ඔවුන්ට සමාජ හිණිමගක් විය. ප්‍රභූන් හා සමාජ හිණිමගේ නගින්නන් අතර වෙනසක් නොතිබුණා නො වේ. ඒ එකල කොළඹ හා පේරාදෙණියේ පිහිටි ලංකා විශ්වවිද්‍යාලයේ කුල්ටන් හා හරාලා (හරමානිස්ලා) අතර වූ වෙනසට වැඩි යමක් නො වී ය. කුල්ටෝ සිරිත් විිර්ත් හැසීරීම් ආදියෙහි දී ඉංගිරිසන් දක්‍ෂ ලෙස අනුකරණය කළහ. හරමානිස්ලා කුල්ටන් අනුකරණය කිරීමට උත්සාහ කළහ. ගුණදාස අමරසේකර මහතා තම කෘතිවලින් කුල්ටන්ගේ හා සමාජ හිණි පෙත්තේ ඉහළට නැගීමට උත්සාහ කළ හරමානිස්ලාගේ් ජීවිත නිරූපණය කළේ ය. එහෙත් ඔහු කුල්ටන් මෙන් ම හරමානිස්ලා ද ලැබූ බටහිර අධ්‍යාපනය විවේචනය නො කෙළේ ය.

අගවිනිසූරුවරියට එරෙහිව ගෙනැවිත් ඇති දෝෂාභියෝගය මුළුමනින් ම ව්‍යවස්ථාවට හා නීතියට එකඟ ය. ඒ හේතුවෙන් ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර හෝ විධායකය හා අධිකරණය අතර හෝ ගැටුමක් ඇති නො වෙයි. එසේ ගැටුමක් ඇති බව පෙන්වන්නේ බමුණු කුලය හා බටහිර අධ්‍යාපනය පිහිටෙන් හිණිමගේ ඉහළ නගින්නන් විසිනි. එසේ ගැටුමක් තිබිණි නම් එය නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමාට විරුද්ධව ගෙන ආ අවස්ථාවෙහි දී මතුවිය යුතු ය. එදා පාර්ලිමේන්තුවෙහි 107 (3) ව්‍යවස්ථාව යටතේ දෝෂාභියෝගය නීත්‍යානුකූලවීමටත් අද නොවීමටත් හේතුව කුමක් ද? 107 වැනි වගන්තිය මහින්ද චින්තන යටතේ සම්මත කරගත්තක් නො වේ. එය 1978 සිට ම ව්‍යවස්ථාවෙහි අඩංගු වෙයි. මෙහි දී මතක් කළ යුතු වැදගත් කරුණක් වනුයේ සමරකෝන් මහතාට දෝෂාභියෝග යෝජනාවක් ගෙනෙනවිට පාර්ලිමේන්තුව අදාළ ස්ථාවර නියෝග සම්මත කරගෙන නොතිබූ බව ය. ඒ නියෝග සම්මත කරගත්තේ එකී දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ය. ඉහළ උසාවිවල විනිසුරුවකුට විරුද්ධව දෝෂාභියෝග යෝජනාවක් ගෙන එන්නේ 107 වැනි වගන්තිය යටතේ ය. ඒ යෝජනාව සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය 107 (3) හි සඳහන් වෙයි. එහි දී පැහැදිලිව ම දක්වා ඇත්තේ පාර්ලිමේන්තුව ක්‍රියාකරන ආකාරය ස්ථාවර නියෝග මගින් සම්පාදනය කළ යුතු බව ය. ස්ථාවර නියෝග සාමාන්‍ය තත්වයන් යටතේ නීතිය නොවේ යැයි කිසිවකුට තර්ක කළ හැකි නමුත් 107 වැනි වගන්තිය යටතේ සම්පාදනය කරන ස්ථාවර නියෝග නීතිය බවට පත්වෙයි. 107වැනි වගන්තියට එරෙහිව අද කිසිවකුටවත් අධිකරණය ඉදිරියට යා නො හැකි ය. මෙරට ව්‍යවස්ථාව යටතේ යම් පණතකට විරුද්ධව අධිකරණයට යා හැක්කේ පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති අවස්ථාවෙහි මිස එය සම්මත වූවාට පසු නො වේ. එසේත් නැතහොත් පණතක් සම්මතවීමෙහි දී ව්‍යවස්ථාවට අනනුකූලව පාර්ලිමේන්තුව නොමග යවා පණත සම්මතකර ගෙන ඇත්නම් ය. 107 වැනි වගන්තියට එරෙහිව අධිකරණයට යන්නකු අද 1978 සම්පුර්ණ ව්‍යවස්ථාවට ම විරුද්ධව ඒ සම්මත කරගත් ආකාරයට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කළ යුතු ය.

අද ඇතැමුන් පාර්ලිමේන්තුවේ බලය ගැන කතාකරනු දැකිය හැකි ය. පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවට ය. මේ වියුක්ත බටහිර ප්‍රජාතන්ත්‍රවාදී කියමනකි. ජනතාවට සංයුක්තව දැනෙන පරමාධිපත්‍යයක් තිබිය යුතු ය. ඒ කෙසේ වෙතත් පරමාධිපත්‍යය වියුක්ත ව ජනතාව සතු බව පැහැදිලි ය. රනිල් වික්‍රමසිංහ බටහිරින් ඒ ඉගෙන ඇත. ප්‍රශ්නය වන්නේ ජනතාව තම පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න ය. ඔවුන් ඒ සඳහා ලක්‍ෂ ගණනින් අළුත්කඩේට රැස්විය යුතු ද? ව්‍යවස්ථාවෙහි 4 (අ) වගන්තියෙන් කියැවෙන්නේ ජනතාවගේ ව්‍යවස්ථාදායක පරමාධිපත්‍යය පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරෙන බව ය. 4 (ඇ) වගන්තියෙන් කියැවෙන්නේ ජනතාවගේ අධිකරණමය පරමාධිපත්‍යය ද පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරෙන බව ය. වෙනසකට ඇත්තේ අධිකරණමය පරමාධිපත්‍යය උසාවි, විනිශ්චය සභා (කම්කරු උසාවි වැනි) හා ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබීම ය. ඉතා පැහැදිලි කරුණ නම් අධිකරණ පරමාධිපත්‍යය උසාවි විසින් ක්‍රියාත්මක නො කෙරීම ය. අධිකරණමය පරමාධිපත්‍යය සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට මිස උසාවිවලට හා විනිශ්චය සභාවලට නො වේ. අනෙක් අතට පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාව විසින් නිර්මාණය කෙරෙන හා පිහිටුවනු ලැබෙන හෝ පිළිගනු ලැබෙන හෝ නීතිය විසින් නිර්මාණය කෙරෙන හා පිහිටුවනු ලැබෙන හෝ ආයතන මගින් ද අධිකරණමය පරමාධිපත්‍යය ක්‍රියාත්මක කළ හැකි ය. පැහැදිලි ව ම 107 වැනි වගන්තිය යටතේ පිහිටුවනු ලැබ ඇති පාර්ලිමේන්තු තෝරාගත් කමිටුව එවැනි ආයතනයකි. එයට අධිකරණ බලතල ද වෙයි. එබැවින් පාර්ලිමේන්තු තොාරාගත් කමිටුවට එරෙහිව අධිකරණයට යෑම බටහිර නීිතියට ද ප්‍රජාතන්ත්‍රවාදයට ද ඊනියා යහපාලනයට ද එරෙහි වීමකි. මෙහි තවත් පැත්තක් වෙයි. අධිකරණයට ඉදිරිපත් කෙරෙන පෙත්සම් සම්බන්ධයෙන් තීරණය කෙරෙනුයේ අගවිනිසුරුවරිය විසින් පත්කෙරෙන විනිසුරුවන් විසිනි. තමන්ට විරුද්ධව ඇති දෝෂාභියෝගය සම්බන්ධ නඩුවක විනිසුරුවරුන් පත්කිරීම තවත් දෝෂාභියොාගයක් ගෙන ඒමට තරම් කරුණක් විය හැකි ය. මේ පෙත්සම් ඉදිරිපත් කිරීම නිසා අද අගවිනිසුරුවරියට ඉල්ලා අස්වීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. මෙවැනි ප්‍රශ්න බටහිර රේඛීය චින්තනයෙහි ධුරාවලික කටයුතුවල දී ඇති වෙයි. ධුරාවලියක ඉහළින්ම සිටින තැනැත්තා සම්බන්ධයෙන් ක්‍රියා කිරීම බටහිර රේඛීය පද්ධතීන්හි ප්‍රශ්නයක් වෙයි. එහි දී අදාළ තැනැත්තා ඉල්ලා අස්විය යුතු ය.

අද ඇත්තේ අධිකරණය හා ව්‍යවස්ථාදායකය හෝ විධායකය හෝ අතර ගැටුමක් නො වේ. අද ඇත්තේ බමුණු කුලය හා සාමාන්‍ය ජනයා අතර ගැටුමකි. තමන්ගේ සූරතලා වූ ප්‍රභාකරන් පැරදවූ ජනාධිපතිතුමාත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් දංගෙඩියට යැවීම බටහිරයන්ගේ අරමුණ වෙයි. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දරණතාක් කල් එසේ කළ නොහැකි බව ද ඔවුහු දනිති. මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්දයකින් පරාජය කිරීමට කලක් ගතවන බව දන්නා බටහිරයෝ එතුමා විවිධ මාර්ගවලින්, විවිධ වසන්තවලින්, ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට උත්සාහ කරති. කටුනායක වසන්තය, ධීවර වසන්තය, විශ්වවිද්‍යාල වසන්තය පසුකළ ඔවුහු දැන් පකිස්තාන් හෙවත් අධිකරණ වසන්තයට අවතීර්ණ වී සිටිති. පසුගිය විසිනවවැනි බ්‍රහස්පතින්දා කතානායකතුමා දුන් ඓතිහාසික තීන්දුවෙන් පසුව ඒ වසන්තය ද හේමන්තයක් බවට පෙරළී ඇත.