Main Logo

Thursday 23 June 2022

ආතල්ගම නව වටයේ සාමකාමී මානව අයිතිවාසිකම්

 

ආතල්ගම නව වටයේ සාමකාමී මානව අයිතිවාසිකම්

 

 

ආතල්ගම නව වටයක් ආරම්භ කරල ගෝඨාභය  පුටුවෙ තියලා ගෙදර ගිහිල්ලා. වමාලා සුපුරුදු පරිදි නිර්මාලාප හා නර්මාලාප කියවනවා. ඔවුන්ට සකර්බර්ග් අනාථ කඳවුර තියෙන කම් ප්‍රශ්නයක් නැහැ. අද මෙරට පවතින්නෙ අමෙරිකන් එක්සත් ජනපද හා ඉන්දියන් අණසක යටතෙ නොවුණත් ඔවුන්ගෙ කැමැත්ත පරිදි කටයුතු කරන  රාජ්‍යයක්. මෙරට රාජ්‍යයට ඒ රටවල කැමැත්තට පිටින් ගිහින් කිසිවක් කරන්න බැහැ. අප ඒ රටවල අණසකට  තවම යටත් නැහැ. එහෙත් රනිල් තව කලක් අගමැති වෙලා හිටියොත් අප ඔවුන්ගෙ අණසකට යටත් වේවි. රනිල් අගමැති වුණෙත් ඔවුන්ගෙ අවශ්‍යතාවට.

 

සජිත් මොන තරම් කිවුවත් ඔහුට ඒ උත්තමයන්ගෙ උත්තමාවියන්ගෙ කැමැත්ත ලැබෙන්නෙ නැහැ. ආචාර්ය උපාධිය ලබා ගත්තත් වෙනසක් වෙන එකක් නැහැ. ඔය බටහිර රටක විශ්වවිද්‍යාලයක හරි පර්යේෂණ ආයතනයක හරි රැකියාවක් කරන්න බලාපොරොත්තුවන්නෙ නැත්නම් ආචාර්ය උපාධියකින් වැඩක් නැහැ. මා මගේ උපදේශක ගුරුතුමාට කිවුවෙ මට ආචාර්ය උපාධියක් අවශ්‍ය නැහැ විද්‍යාපති උපාධියක් හොඳට ම ප්‍රමාණවත් කියා. ඔහු තමයි මට ආචාර්ය උපාධියක් ලබා දුන්නෙ. සජිත්ට සමහර විට පර්යේෂණ කිරීමේ අවශ්‍යතාවක් ඇති. දැනුත් ඔහු විපක්‍ෂ නායක කමේ බලතල ගැන පර්යේෂණ කරනවා පමණයි.

 

ආතල්ගම අද හොල්මන් කරන අවතාරයක් පමණයි. ඔවුන් දෙවැනි වටයකට ගිහින් කියා තමයි ආරංචිය. ඔය පරණ පාර්ලිමේන්තුව නැත්නම් වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල වටරවුමක් තියෙනවා. ඒ වටරවුම වටේ ඕන තරම් වට යන්න පුළුවන්. අර කොළඹ පොෂ් අම්මන්ඩිල කිඩ්ස්ලත් එක්ක ඇවිත් වට යනවා බලාවි. දේවදත්ත නිකාය දැන් ආතල්ගමේ එතරම් දකින්න නැත්තෙ මොක ද? අර දේවගැතිතුමාත් (මට ඔහුගෙ නම මතක නැහැ) දැන් පේන්න නැහැ. මා කියන්නෙ නැහැ ඔහු ජුදාස්ගෙ කියල. උපැවිදි වෙච්ච ඇතැම් අය ඕ මයි ජීසස් කියා කියනවලු. අර කෝප් කමිටුවෙ ඇහෙන දේ අනුව නම් ඕ මයි ජීසස් කියා නිතර කියැවෙනවා ඇති. ඒ කොහොම වෙතත් සිංහල බෞද්ධයො, විශේෂයෙන් ම උගත්තු, ඉහළ ම පෙළේ අනුකාරකයො.

 

ආතල්ගම ඉන්නෙ අරගලකරුවන් කියා තමයි පඬි නැට්ටන් කියන්නෙ. මේ ඊනියා අරගලකරුවන් පිටුපස බටහිර රටවල තානාපතිවරු තානාපතිනියන්, මහා කොමසාර්ස්වරු, මහා කොමසාර්ස්වරියන් ඉන්නවා. ඒ අයගෙ ආරක්‍ෂාව ආතල්ගම අවතාරවලට ලැබෙනවා. වට යනකොටත් ආරක්‍ෂාව ලැබෙනවා. දචස් දෙකෙන් නැති කර දාන්න පුළුවන් ආතල්ගම මුහුදු සුළං වැදි වැදී හොල්මන් කරන්නෙ අර තානාපතිනියන් නිසා. ඔය තානාපතිනියන් හිරුණිකාට කැමති නැද්ද? හිරුණිකාත් හොඳ අරගලකාරිනියක්. ඇගෙ තාත්ත නම් නොම්මර එකේ අරගලකරුවෙක්. හිරුණිකාගෙ නීතිඥ සුමන්තිරන්ගෙ අරගලය සිංහල බෞද්ධයන් සමග ද?

 

ආතල්ගම නව වටය බලන්න යන්න ඕන. කවුරු හරි පඬි නැට්ටකුට පුළුවන් ද එක්ක යන්න. අර විශ්වවිද්‍යාලෙට ජයදේව උයන්ගොඩ හරි සුනිල් විජේසිරිවර්ධන හරි ඒ මට්ටමේ වෙනත් බුද්ධිමතකු හරි එන දවසක් නම් වඩා හොඳයි.  ඔවුන් නිර්මාණය කරල තියෙන සංකල්පයක් කතන්දරයක් දැන ගන්න අවශ්‍යයයි.  දැන් කලාලකාරයො එන්නෙ නැති පාටයි. දමිතා අබේරත්න නම් වට ගැන කියනවා. අපි යන්නේ මොන වටයේ දමිතාවන් යන වටයේ.

 

සකර්බර්ග් අනාථ කඳවුරේ ඇහෙන අඳෝනාවක් තමයි අත්අඩංගුවට ගත් අරගලකරුවන් වහාම නිදහස් කරන්න කියන එක. ඔවුන් ඒ අරගලකරුවන් නිදහස් කර ගැනීමේ සටනක් ආරම්භ කරන්න යනවලු. ඒකත් හොඳයි. මේ සටන් යගයයි. ඔවුන්ටත් තානාපතිනියන්ගෙ ආශිර්වාදය හා අනුග්‍රහය ලැබේවි. තානාපතිනියන්ගෙ අනුග්‍රහයෙන් සටන් කරන එක පොඩි පහේ දෙයක් ද?

 

ආතල්ගමේ අරගලකරුවන් තමයි නියම අරගලකරුවන්. ඔවුන්ට කෝටියක් මානව අයිතිවාසිකම් තියෙනවා. නැහැ කෝටියක් සංවර ශීලය නො වෙයි. ආතල්ගම අරගලකරුවන්ට අනෙක් අයගෙ මානව අයිතිවාසිකම් මායිම් කරන්න ඕන නැහැ. අර කවුද ප්‍රංශ චින්තකයකු කිවුවලු යමකුගෙ පෞද්ගලික නිදහස කොතරම් වුවත් ඔහුගෙ සැරයටියෙ අග අනෙක් තැනැත්තගෙ නහය ළඟට යන්නෙ නැහැ වගේ කතාවක්. ඒ ප්‍රංශ චින්තකයන්ට. ප්‍රංශ චින්තකයන්ගෙ කතා කියව කියව ඉන්න පඬි නැට්ටන්ට ඒ කතා වලංගු වෙන්නෙ නැහැ.

 

පඬි නැට්ටන් ඊනියා අරගලකරුවන්ට ඊට වඩා පෞද්ගලික නිදහසක් ලබා දෙනවා. ඔය භාෂණ  නිදහස තියෙන්නෙ ආතල්ගම අරගලකරුවන්ට පමණයි. රැස්වීමේ නිදහසත් එහෙමයි. ඒ තියා ජීවත්වීමේ නිදහසත් එහෙමයි. ජනගහණයෙන් සියයට දශමයක්වත් නැති අරගලකරුවන්ට  තමයි ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමේ අයිතිය තියෙන්නෙ. ජනතාච කියන්නෙ වියුක්ත සංකල්පයක් නිසා ජනතාව කවුද කියා තීරණය කරන්නෙ අර නර්මාලාප නිර්මාලාප අනාථයො. ඊනියා අරගලකරුවන්ට පුළුවන් අනුන්ගෙ රැස්වීම් කඩාකප්පල් කරන්න. රැස්වෙන තැන් වටේ වට යන්න, වැට බඳින්න. බැරි වෙලාවත්  ඔවුන් රටේ නීතිය අනුව කටයුතු කරල නැහැ කියල අත්අඩංගුවට ගත්තොත් අරගලකරවෙන්ගෙ මානව අයිතිවාසිකම  ගැන කියන්න අනාථයන් හා නීතිඥයන් ඉදිරිපත් වෙනවා. . මොන තරම් දෙයක් ද? ජනතාව නියෝජනය කරන අරගලකරුවන්ට සියලු අයිතිවාසිකම් තියෙන්න ඕන. අරගලකරුවන්ට පුළුවන් තමන්ගෙ අදහස්වලට විරුද්ධ අය ඝාතනය කරන්න, ඒ අයගෙ ගෙවල්වලට ගිනි තියන්න.

 

ඊනියා අරගලකරුවන් සමකාමී කියා කියනවා. සාමකාමී කියන්නෙ ආයුධ පාවිච්චි නොකරන එක නොවෙයි. යමකු ආයුධ රැගෙන හරි නැතුව හරි ඇවිත් වෙනත් අයකුගෙ රැස්වීමේ නිදහස, භාෂණයේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ජීවත්වීමේ නිදහස නැති කරනවා නම් ඒ ප්‍රචණ්ඩත්වය මිස සාමකාමීත්වය නො වෙයි. ඊනියා අරගලකරුවන් ජෙප්පන් හා සෙප්පන් මෙන් ම ප්‍රචණ්ඩයි. 

 

තානාපතිනියන් කියන්නෙ අප ජාමුලට යන්න ඕන කියල. ජාමුල නිසා අපට බටහිර නොවන රටවලින් ලබා ගන්න පුළුවන් දෙයක් ලබා ගන්න බැහැ. ඒත් අරගලකරුවන් ජාමුල නියෝජිතයන් සමග තියෙන රැස්වීම්වලට බාධා කරාම තානාපතිනියන් අරගලකරුවන් ආරක්‍ෂා කරනවා.පඬි නැට්ටකු එහි ඇති ඊනියා දයලෙක්තික භෞතිකවාදය තේරුම් කරල දෙනවා ද?