Main Logo

Saturday 11 June 2022

මාක්ස්වාදය ලොකු පිම්මක් පැනලා

 මාක්ස්වාදය ලොකු පිම්මක් පැනලා

 

පසුගිය සියවසේ ලෝකයේ සිටි ඉහළ ම ගණිතඥයකු වූ ජී එච් හාඩි ගණිතඥයන්ගේ සංගමයේ වාර්ෂික රැස්වීමේ දී ගණිතයට සවුදිය පුරමින් මෙය ගණිතයට වේවා. ගණිතයෙන් ලෝකයට කිසිම වැඩක් නො වේවා කියා පැවසුවා කියනවා.  හාඩි එකල කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ හිටි විශිෂ්ටතම ගණිතඥයා වූවා පමණක් නොව රාමනුජන් එංගලන්තයට ගෙන්වා ගැනීමට කටයුතු කළ පුද්ගලයා ද වුණා.

 

ගණිතය දෑනුම් පද්ධතියක් ලෙස ඉතාමත් වියුක්තයි. සම්මත සංයුක්ත ලෝකයත් සමග කිසිම සම්බන්ධයක් නැහැ. එහි ඇත්තේ සංකල්ප, අර්ථදැක්වීම් (නිර්වචන), ස්වසිද්ධි නැත්නම් ඊනියා ප්‍රත්‍යක්‍ෂ, අනුමාන නීති, ඇරිස්ටෝටලීය න්‍යාය, ආරම්භය, රේඛීය චින්තනය, තර්කය හා නිගමන ආදියයි. එහි නිගමන සත්‍ය ද නැත් ද යන්න ගැන කිසිවකු කිසිම තැකීමක් නැහැ. අර මූලික ස්වසිද්ධි පිළිගන්නවා නම් හා අනුමාන නීති ආදිය යොදා ගැනීමේ දී වරදක් සිදු වී නැත්නම් නිගමන පිළිගත හැකිය යන්න පමණක් ගණීිතයේ කියැවෙනවා. ස්වසිද්ධි වෙනස් කළ විට වෙනස් නිගමන ලැබෙනවා. ගණිතයේ ඊනියා සත්‍යයක් නැහැ.

 

ගණිතය ලෝකයේ යොදා ගැනෙන්නේ ඊනියා ව්‍යවහාරික ගණිතය මගින්. එහෙත් එයත් කළ හැකි වන්නේ ඉතාමත් සීමිත ව. ඒ සම්මත සංයුක්ත ලෝකය යම් ප්‍රමාණයකට හරි වියුක්ත කරන්න පුළුවන් වූ විට හා යම් සංසිද්ධියකට ඒක හේතුවක් ඉදිරිපත් කරන්න පූළුවන් වූ විට. භෞතික විද්‍යාවේ දී එය යම් ප්‍රමාණයකට කරන්න පුළුවන්. ඇපල් ගෙඩියක් වැටෙන විට සුළඟේ බලපෑම ආදිය නැතිව එය හදාරන්න පුළුවන්. ජීව විද්‍යාවන්හි ඊනියා සම්පරීක්‍ෂණ කරන්නේ ඒක හේතුවක් දැන ගැනීමට. භෞතික විද්‍යාවෙන් තවත් එහාට යන විට මිනිස් සිතත් සාධකයක් වන විට අදාළ දැනුම් ව්‍යවහාරික ගණීිතයෙන් තව තවත් ඈතට යනවා. මෙරට ඉන්න පඬි බෞද්ධයන් බුදුදහම විද්‍යාත්මක යැයි කිවුවත් කිසි පඬියකු හරි පඬි නැට්ටකු හරි බුදුදහම ගණිතයෙන් ප්‍රකාශ කරන්න උත්සාහ කර නැහැ. මොන තරම් දෙයක් ද? එක් අයකු මට කිවුවේ ගණිතයෙත් බුදුදහමෙත් තියෙන්නෙ සූත්‍ර, ඒ නිසා ගණිතය හා බුදුදහම අතර සමාන කමක් තියෙනවා කියා!

 

ගණිතය හොඳයි කතා කර කර ඉන්න. කල්පනා කර කර ඉන්න. වියුක්ත ව හිතන්න පුරුදු වෙන්න. සම්මත සංයුක්ත ලෝකය වියුක්ත ව ඉදිරිපත් කළ හැක්කේ ඉතාමත් සීමිත ව ඉතාමත් සීමිත පරාසයක. ඊනියා සමාජයීය විද්‍යාවන්හි වියුක්ත අධ්‍යයනයක් කරන්න බැහැ. ඔය ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාවට කළ හැකි දෙයක් නැහැ. පසුගිය දා ආර්ථික අර්බුදයට හේතු සාකච්ඡා කළ ඊනියා විද්වතුන් එක එක මත ඉදීරිපත් කරලා. පඬි නැට්ටන් තමයි දන්නෙ ඇත්ත හේතුව. එය ඒක හේතුවක්. ඒ තමයි රාජපක්‍ෂලා හොරකම් කිරීම. පඬි නැට්ටන් සමග සංසන්දනය කිරීමේ දී නිවුටන් කවුද?

 

මාක්ස්වාදයෙන් කරන්න උත්සාහ කළෙ සමාජ විකාශය තේරුම් ගැනීම. ඒ සඳහා මාක්ස් ලොකු හිතළුවක් ගෙතුවා. ඒක හොඳ කතාවක්. ඇතැමුන්ගෙ සිත් ඇද ගන්න කතාවක්. ඒ අය කතාව කියවල නැහැ. එත් කතාවෙ කොටස් අරෙහෙන් මෙහෙන් අහල තියනවා. සමාජ අසාධාරණය නැති කරන්න මාක්ස් මගක් කියනව කියල හිතනවා. පංතිය, පංති අරගලය, සූරාකෑම, අතිරික්තය, ලාභය, විප්ලවය, අපෝහක භෞතිකවාදය, ඓතිහාසික භෞතිකවාදය, සමාජ අසාධාරණය නැති කිරීම, සමාජ සංවර්ධනය ඉදිරියට ගෙන යෑම, කම්කරු පංති ආඥාදායකත්වය, පංති විඥානය, සමාජවාදය, රාජ්‍යය වියැකුණු කොමියුනිස්ට සමාජය මොන තරම් ආකර්ෂණීය ද?

 

ඒත් මාක්ස්වාදය කිසි දිනෙක වලංගු වුණේ නැහැ. ඊනියා කම්කරු පංති විප්ලවයක් සිද්ධ වුණෙත් නැහැ. සෝවියට් රුසියාවෙ කම්කරු පංති රාජ්‍යයක් බිහි වුණෙත් නැහැ. ලෙනින් රුසියානු ජාතික චින්තනය අනුව සාර් රාජ්‍යය පහකර රාජ්‍ය ධනවාදයක් පිහිටෙවුවා පමණයි. ජෝසෆ් ස්ටැලින් (ලංකාවේ විප්ලවවාදියා නො වෙයි) එය තවත් ඉදිරියට ගෙන ගියා. මාක්ස්වාදියා වූ ට්‍රොට්ස්කිට රට ගම අත්හැරල යන්න සිද්ධ වුණා. මාක්ස්වාදය හා ඊනියා සෝවියට් දේශය අතර පෑහීමක් තිබුණෙ නැහැ. ස්ටැලින්ගේ නියෝජිතයකු මෙක්සිකෝවේ දී අයිස් පොරවකින් පහර දී ට්‍රොට්ස්කි ඝාතනය කළා.

 

අද වන විට පුටින් රුසියාව ගැන කතා කරන්නේ දැඩි ජාතිකත්වයකින්. ඔහු පීටර් රජු වර්ණනා කරනවා. පීටර් තමයි ඊනියා  රුසියානු අධිරාජ්‍යය බිහි කළ සාර්. පීටර්ගෙ කාලෙ ඉඳන් යුක්‍රේනය රුසියාවෙ කොටසක් කියා පුටින් කියනවා. පුටින් ඉපදී තියෙන්නෙත් පීටර් නමින් නම් කෙරුණු පීටරස්බර්ග් නගරයෙ. පුටින් පෙනී සිටින්නෙ පීටර් නම් සාර්ගෙ අනුප්‍රාප්තිකයෙක් ලෙස ද? මාක්ස් හා ට්‍රොට්ස්කි ජීවත් ව සිටියා නම්?

 

මාක්ස්වාදයෙන් සම්මත සංයුක්ත ලෝකයට කිසි වැඩක් නැති බව අද ලංකාවේ කෙසේ වෙතත් බටහිර ලෝකයේ ඊනියා මාක්ස්වාදීන්ට තේරිලා. ඔවුන් කම්කරු පංති විප්ලවය කිරීමට  කටයුතු කරන්නේ නැහැ. ඊනියා කම්කරු පංති පක්‍ෂ හදන්නේ නැහැ. ඔවුන් දැන් මාක්ස්වාදය වියුක්ත දැනුම් පද්ධතියක් ලෙස ගනිමින් එයට විවිධ දේ එකතු කරනවා. ඉන් සම්මත සංයුක්ත ලෝකයට ඩොලර් සත පහක වැඩක් නැහැ. ඒත් බුද්ධිමතුනට වාද විවාද කර ගන්න හොඳයි. ඉන් මානසික තෘප්තියක් ලැබෙනවා වෙන්න පුළුවන්.

 

ලංකාවේ බුද්ධිමතුන් නැති නිසා ඇතැම් පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් කරන්නේ ලෝකයේ ඉන්නා මාක්ස්වාදී බුද්ධිමතුන් කියන සම්මත සංයුක්ත ලෝකයට  වැඩක් නැති කතා තමන්ට තේරෙන පරිදි පුනරුච්චාරණය කිරීම පමණයි. තවත් ඇතැම් පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට එයවත් කර ගන්න බැහැ. ඔවුන් නර්මාලාප හා නිර්මාලාප කියවනවා. ඔවුන් කිසිවකු ආතල්ගම ගැන කී කිසිවක් ඉටු වුණේ නැහැ. එහෙත් ඔවුන් ඒ බව පිළිගන්න කැමතිත් නැහැ. සකර්බර්ග් අනාථ කඳවුර නැත්නම් ඔවුන්ට හඬක් නැහැ.

 

මේ අතර මෙරට තවත් පිරිසක් නොකෙරෙන විප්ලවයක් වෙනුවෙන් 1965 පමණ සිට මාක්ස්වාදයේ නාමයෙන් රට ගිනි තියනවා. මිනිසුන් ඝාතනය කරනවා. නැහැ ඔවුන් ජනතාව වෙනුවෙන් මිනිසුන් ඝාතනය කරනවා. හාඩි කිවුවෙ ගණිතයෙන් ලෝකයට  කිසිම වැඩක් නොවේවා කියල. ඒ ඒ මාක්ස්වාදීන් අද කියන්නෙ මාක්ස්වාදයෙන් සම්මත සංයුක්ත ලෝකයට කිසිම වැඩක් නොවනවා පමණක් නො වෙයි, ලෝකයට අවැඩක් ම හානියක් ම සිදු වේවා යන්නයි. මාක්ස්වාදය ලොකු පිම්මක් පැනලා.

 

මසකට පමණ ඉහත ඝාතනය කෙරුණු අතුකෝරාල හිටපු මන්ත්‍රීතුමාට ඉක්මණින් ම නිවන සම්මාබෝධය වේවා.