Main Logo

Friday 17 June 2022

අනෙක් රටවල් තියෙන්නෙ අපට තෙල් ගන්න ණය දෙන්න ද?

 

අනෙක් රටවල් තියෙන්නෙ අපට තෙල් ගන්න ණය දෙන්න ද?

 

ජනතා විමුක්ති පෙරමුණ අද පවත්නා ආර්ථික අර්බුදය අනෙක් දේශපාලන පක්‍ෂවලට වඩා හොඳින් තේරුම් ගනිමින් ඉන්න බවක් පේන්නෙ නැහැ. කවුරුත් ප්‍රශ්නය ගැන කියන්නෙ තම තමන්ගෙ දේශපාලන න්‍යාය පත්‍රවලට අනුරූප ව. ලාල් කාන්ත කියනවා සමහරුන්ට අනුව ප්‍රශ්නයට හේතුව බැසිල්. එසේ කියන්නේ විමල් ගමන්පිළ වැනි බැසිල් විරෝධීන්. තවත් සමහරුන්ට අනුව ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙ පහුගිය අවුරුදු දෙකහමාරෙදි. ඒ ප්‍රධාන වශයෙන් ම ස ජ බ කණ්ඩායම. තවත් සමහරු ප්‍රශ්නය 1977න් පසුව ඇති වූ එකක් ලෙස දකිනවා. ඒ මූලික වශයෙන් ජේ ආර් හා විවෘත ආර්ථික විරෝධීන්.

 

ලාල් කාන්ත එහෙම නො වෙයි. ඔහු ප්‍රශ්නයට වැරදිකරුවන් ලෙස පසුගිය අවුරුදු හැත්තෑහතරේ සිටි සියලු ආණ්ඩු දකිනවා. ඒ ජ වි පෙ ඊනියා ධනපති විරෝධී දේශපාලනය අනුව. ඒකත් එක න්‍යාය පත්‍රයක් පමණයි. ඔය සෑම න්‍යාය පත්‍රයක ම පොඩි ඇත්තක් තියෙනවා. එහෙම නැත්තන් සම්මුති සත්‍යයක් තියෙනවා. මගේ ශබ්ද කෝෂයේ ඇත්ත කියා දෙයක් නැහැ. සංගතව වැඩ කරන අදහස් පමණයි තියෙන්නෙ. බැසිල්, පසුගිය අවුරුදු දෙකහමාර, විවෘත අර්ථිකය, හතළිස්අටෙන් පසු ඇති වූ ආණ්ඩු, මේ සියලු දෙනා ම  ඒ ඒ පමණට වැරදිකරුවන්.

 

එහෙත් ඒ සියල්ලට ම වඩා වැරදිකරුවන් අපි, මෙරට රටවැසියන්. දැන් මේ දිනවල තෙල් පෝලිම් ගෑස් පෝලිම්, ආදිය තියෙනවා. එයින් තේරෙන එක් කරුණක් තියෙනවා. අප වැඩ නොකරන ජාතියක් බව. ඔය පෝලිම්වල හිටිය කියල කරන වැඩ ප්‍රමාණය අඩුවෙන බවක් පේන්නෙ නැහැ. ඊනියා විද්වත් සමාජයීය විද්‍යාඥයන්ට පුළුවන් පෝලිමේ සිට නැතිවන මිනිස්පැය ගණන ගැන නිමානයක් කරන්න. ඒ ගැන විදග්ධ පර්යේෂණ පත්‍රිකා ලියන්නත් පුළුවන්. ඒ තම උසස්වීම් සඳහා යොදා ගන්නත් පුළුවන්. මොන තරම් දෙයක් ද?

 

අප රටේ එතරම් වැඩක් කෙරෙන්නෙ නැති නිසා මිනිසුන් පෝලින්වල හිටිය ද කාර්යාලයෙ හිටිය ද කියන එක ප්‍රශ්නයක් නො වෙයි. අර විද්වත් සමාජයීය විද්‍යාඥයන්ට පුළුවන් ද කාර්යාලවල ඉඳීම නීසා නැතිවන මිනිස් පැය ගණන අනුමාණ කරන්න. අතිකාල දීමනා එයට ආධාරකයක් වේවි.

 

මා නම් ප්‍රශ්නයට වැරදිකරුවන් ලෙස දකින්නෙ අප. අපි වෙනුවෙන් නැති අපි. අපේ අධිපරිභෝජනය, බොරු ෂොක් බොරු උගත්කම. ඒ හේතු මගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුකූලයි. මා නැහැ කියන්නෙ නැහැ. අපට සුද්දන් (ඉංගිරිසින්) දුන් අධ්‍යාපනය වෙනුවට වෙනත් අධ්‍යාපනයක් සකස් කර ගන්න බැරි වුණා. අප දන්නේ සහතික එකතු කර ඉණිමගේ ඉහළ නැගීමට. ඒ තකතීරු ඉණිමගක්.

 

මා මෙහෙම කියනවට බොහෝ දෙනා විරුද්ධ වේවි. ඕල්කට් බුද්ධාගම මෙන් ම නිදහස් අධ්‍යාපනයත් ප්‍රශ්නයට වග කියන්න ඕන. ඕල්කට් බුද්ධාගම නිසා බොහෝ ඊනියා බෞද්ධ උගතුන්ගෙ ජාතිකත්වය ක්‍රිකට් තරගවල දි හැරෙන්න  නැති වුණා. ඔවුන් ඊනියා ජාත්‍යන්තර බෞද්ධයන් වුණා. ජාත්‍යන්තරය කියන්නෙ ඉංගිරිසි ක්‍රිස්තියානි මිනුම් දඬුවලින් සමන්විත පද්ධතියකට. නිදහස් අධ්‍යාපනය නිසා ඇතැමුන්ට අර ඉණිමගේ ඉහළට යන්න පුළුවන් වුණා. ඒත් ඒ සමග රටේ අස්සක් මුල්ලක් පාසා අනුකාරක අහිනක් බිහි වුණා.

 

අදත් අපි බලන්නෙ අපේ ජීවන රටාව වෙනස් කර ගන්න, වෙනස් සංවර්ධන ආකෘතියක් හදා ගන්න නො වෙයි. තෙල් ගැස් ආදිය යොදා ගැනීමට.  එනම් ශක්තිය යොදා ගැනීමටි. ලෝකයේ දියුණු රටවල් කියන්නෙ ඒක පුද්ගල ශක්ති පරිභෝජනය වැඩි රටවල්. අපිත් දියුණු වෙන්න එපායැ. අධිපරිභෝජනය බොරු ෂෝක් සඳහා අධික ශක්තියක් අවශ්‍යයි.  අපි තාමත් බලන් ඉන්නෙ ඊළඟ තෙල් නැව එනකම්. නැවක් කලින් ගෙන්නන්න රනිල්ට තියා වයිමටවත් බැහැ. අපි හිතන්නෙ  ලෝකයෙ  අනෙක් රටවල් තියෙන්නෙ අපට   තෙල් ගන්න ණය දෙන්න කියා. අනෙ අම්මපා අප වැනි මිනිසුන් ටිකක්. ඔවුන් අප ගිල ගන්න නම් බලන් ඉන්නවා.