Main Logo

Wednesday 8 June 2022

රනිල් සජිත් පරිගණක හා මතකය

 

රනිල් සජිත් පරිගණක හා මතකය

 

රනිල් මේ අගමැතිකම බාර ගත්තෙ එකම එක කාරණයක් හින්ද පමණයි. ඒ ගෝඨාභය ගෙදර අරින්න බැරි නම් ජනාධිපති බලතල කප්පාදු කරල අගමැති බලතල වැඩි කරන්න. ඔහුට ආර්ථික අර්බුදය විසඳන්න බැරි බව පැහැදිලියි. ඔහු කොහොමටවත් විශ්වකර්මයකු නො වෙයි. ඔහු විශ්වකර්ම ගැන කියවල ඇති. ඒත් ඔහුගෙ සංස්කෘතියෙ විශ්වකර්ම නැහැ. ඇලඩින් නම් ඉන්නවා. ඒත් පහන හොයාගන්න බැරුවයි ඉන්නෙ.

 

රනිල් දැන් කියවන්න පටන් අරන් ඉන්දියාව, චීනය, ජපානය පැත්තට හැරෙන්න ඕන කියා. බොහෝ දෙනකු එසේ නොසිතුවාට ඔහු ආර්ථික වශයෙන් ඉන්නෙ ඒ රටවල් සමග. හම්බන්තොට වරාය චීනයට විකුණුවෙ ඒ හින්දයි. ජපානය සමග ඔහු ගිවිසුම් අත්සන් කළා. ඔහු දන්නවා ජාමුල ආදී බටහිර ආයතනවලින් එතරම් මුදලක් ලැබෙන්නෙ නැති බව. ඒත් ඔහු සංස්කෘතික හා දේශපාලනික වශයෙන් ඉන්නෙ බටහිරයන් සමග. ඔහු කෙසේ නමුත් යහපාලන කාලෙ ඒ ඒ රටවල් අතර යම් සමතුලිතතාවක් පවත්වා ගෙන ගියා.

 

අදත් ඔහුට තියෙන ප්‍රශ්නය බටහිරත් සමග සංස්කෘතික හා දේශපාලන සම්බන්ධකම් පවත්වාගෙන යමින් ඉන්දියාව හා චීනය සමග ආර්ථික සම්බන්ධකම් පවත්වාගෙන යන්නෙ කෙසේ ද යන්න. ජපානය වෙනම ම කතාවක්. එය සංස්කෘතික වශයෙන් ආසියාතිකයි. එහෙත් ආර්ථික වශයෙන් බටහිර. දේශපාලනික වශයෙන් මිශ්‍රණයක්. ජපන් රජු තවමත් ඉන්නවා. ඒ අතර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ද තියෙනවා.

 

රනිල් අනෙක් බොහෝ දේශපාලනඥයන් මෙන් ම හිතන්නෙ එකක්. මාධ්‍යයට කියන්නෙ තවත් එකක්. ඔහු කියන්නෙ රට ගලව ගන්න අගමැතිකම ගත්ත කියල. ඒත් හිතේ තියෙන්නෙ තමන්ට බලතල අත්කර ගන්න. ආතල්ගම අරගලයත් කෙරුණෙ ඒ සඳහා. ඒත් ඔවුන්ට ගෝඨාභය යවා ගන්න බැරි වුණා. රනිල් නම් බලයට පත් වුණා. ඒ ආතල්ගම හින්ද නොවෙයි. විමල්ල ගම්මන්පිළලා හින්ද. ඔවුන් බැසිල් විරෝධය ආණ්ඩු විරෝධයක් කර ගෙන සුවාදීන වුණා. ඊනියා දේශපාලන අර්බුදය ඇති වුණෙ එහෙමයි. ආතල්ගමක් අද නැහැ. කොළඹ රටේ ගැහැණු උදවිය තම ළමයින් අරගෙන රෑට ආතල්ගම කානිවල් බලන්න යනවා. අපරාදෙ තෙල් ටික.

 

රනිල් අගමැති වෙලා කරන්නෙ පහුගිය අවුරුදු දෙකහමාරෙ වැරදි කියන එක පමණයි. පුංචි බණ්ඩගෙ ආර්ථික උපදෙස් මත කළ රසායනික පොහොර නැවැත්වීම, ජපානය සමග තිබූ ගිවිසුම අවලංගු කිරීම, දුන් බදු සහනය නිසා ආර්ථික අර්බුදය ඇති වුණ බවයි ඔහු කියන්නෙ. හොරකම් කිරීමක් ගැන නම් ඔහු කියන්නෙ නැහැ. බන්දුල මහා දවල් මහා බැංකු කොල්ලය ගැන කියයි ද කියල රනිල් හිතනවා ඇති.  කවුරු හොරකම් කළත් එයින් රටක් මෙවැනි අර්බුදයකට යොමු කරන්න බැරි බව සජබ කොහොම වෙතත් රනිල් දන්නවා. ටියුබ් ලයිට් රනිල්දාසටත් දැන් ඒ බව තේරුම් ගිහිල්ල. ඔහු හැත්තෑහතෙන් පස්සෙ ආර්ථිකයට වූ හානිය ගැන කතා කරන්න පටන් අරන්. මෙරට යමක් කියන්න හදන කොට ම තේරුම් ගන්න පුළුවන් ෆොන් නියුමාන්ල නැහැ. ටියුබ් ලයිට් තමයි තියෙන්නෙ.

 

රනිල් හැත්තෑහත ගැන කියන්නෙ නැහැ. ධවල පත්‍රිකාවෙ ඉඳලා මුළු කතාව ම කියන්න වෙනවා. ඒත් රනිල් සජිත් තරමට ම අනාගන්නෙ නැහැ. සජිත්ට අනුව පොහොර ප්‍රශ්නයට අවුරුද දෙකහාමාරක් වෙනවා. ඔහු රනිල්ගෙ රාමුවෙ නොවන බව කවුරුත් දන්නවා. ඒත් කාලය මැනීමේ දී මෙතරම් වෙනසක් තියෙන්න විධියක් නැති බව කියන්න අයින්ස්ටයින් අවශ්‍ය වෙන්නෙ නැහැ. රනිල් හා සජිත් අතර එතරම් වේග වෙනසක් නැහැ. ඒ කොහොම වෙතත් පුංචි බණ්ඩා පොහොර ගෙන්වීම නතර කරන්න උපදෙස් දුන්නෙ වකුගඩු ගැන හිතල නො වෙයි. ඩොලර් ටිකක් ඉතුරු කර ගන්න. වකුගඩුව ගැන හිතුව නම් ඊට ඉස්සෙල්ල අවුරුදුවල නිකම් පොහොර ලබා දෙනවා ද? මෙරට උගතුන්ට හා බුද්ධිමතුන්ට එවැනි ප්‍රශ්නයක්වත් අහන්න තරම්වත් කල්පනාවක් නැහැ.

 

ඊයෙ පාර්ලිමේන්තුවෙදි රනිල් තමාට බැරි බව පිළිගත්තා. ඔහුගෙ දැන් එක ම බලාපොරොත්තුව විසිඑක. ඔහු පරිගණක නැවත පණගැන්වීමක් ගැන කියනවා. සිංහලෙන් කියනව නම් කම්පියුටරේ රිස්ටාට් කිරීමක් ගැන කිවුව. මේ පරිගණක නිසා සිංහල භාෂාව දෙවැනි විකෘතියකට යනවා. පළමු විකෘතිය ඇති වුණෙ බුදුදහම පාළියෙන් ලියා තැබීමෙන්. ඒ සමග පාළි වචන සිංහලයට ඇතුළත් වුණා. පැරණි හෙළ (යක්ඛ) වදන් අසභ්‍ය නැත්නම් කුණුහරුප බවට පත්කෙරුණා. ටිකක් කල්පනා කරන්න. අපේ සිරුරේ අවයව හඳුන්වන්න ඔළුව බඩ කකුල ආදී යක්ඛ වදන් තියෙනවා. ඒත් අප කැමති හිස උදරය පාදය වගේ වචනවලට. වෙනත් අවයව ගැන යක්ඛ වචනින් කීම ලිවීම තහනම් කරලා. ඒවා අසභ්‍ය කෙරිලා. එය බුදුදහමේ වරදක් නො වෙයි. අපට තුන්වැනි පස්වැනි සියවස්වල ලැබුණු ආන්ද්‍ර බුද්ධාගමේ ප්‍රශ්නයක්. ජනපද නිරුක්තියෙන් දහම් දෙසන්න අවවාද කළ බුදුන් වහන්සේට අනුව නොවෙයි අප කටයුතු කරල තියෙන්නෙ.  අද පරිගණක නිසා ඉංගිරිසි වදන් සිංහල භාෂාවට රිංගනවා. එමගින් දෙවැනි වරටත් අපේ නිර්මාණ ශක්තිය නැතිවෙනවා. පරිගණක නැතත් ජාතික රූපවාහිනියෙ ප්‍රබුද්ධයන් ඔහු ඔවුන් ආදී වචනවල ඔ ශබ්ද කරන්නෙ ඉංගිරිසි ඔන් යන්නෙහි  ඔ උච්චාරණය කරන අන්දමට.   

 

රනිල් පසුගිය අවුරුදු දෙකහමාරෙ වැරදි කිවුවෙ කම්පියුටරය රිස්ටාට් කරන්න ඕන කියමින්. ඒකට සජිත් උත්තර දුන්නෙ මෙමරිය නැති නොකර රිස්ටාට් කරන්න කියා. මොකක් ද මේ සජිත් කියන මෙමරිය. කවුද පඬිනැට්ටියක් කියල තිබුණ මා වගේ උගන්වන කරුණු මතක තියාගෙන ඉඳලා විභාග සමත්වෙච්ච අය රාජපක්‍ෂලාට කඩේ යෑමෙන් තම මෝඩකම ප්‍රදර්ශනය කරනව කියල. ඒ වචනවලින් ම නැති වුණත් පඬිනැට්ටිය කියා ඇත්තෙ එවැන්නක්. මගේ නම් මතකය අන්තිම දුර්වලයි. මා විභාග සමත්වෙන්න ඇත්තෙ ඒ කලෙ කාට හරි කඩේ ගිහිල්ල ද කියල දැන ගන්නෙ කොහොම ද කියලයි මා කල්පනා කරන්නෙ. මගේ මෝඩකම මා පිළිගන්නවා. ඒත් මට හොඳ මතකයකුත් නැහැ. මා ඉක්මණට ම සමහර කරුණු මකල දානව වෙන්න පුළුවන්.

 

සජිත් කියන්නෙ රනිල්ට ගෝඨාභය ඉවත් කිරීම අමතක වෙලා කියල. සජිත්ට ඕන පළමුවෙන්  ගෝඨාභය ඉවත් කරන්න. ඒත් ඒක කරන්නෙ කොහොමද කියල ඔහු කියන්නෙ නැහැ. තමාගෙ තාත්තට වගේ දෝෂාභියොාගයක් ගෙනැල්ල ද?  ඒකෙ අමාරුකම රනිල් දන්නවා. ඒකයි තටු කැපීමේ විසිඑක ගේන්නෙ. ඒක වුණත් සම්මත කරගන්න අමාරු බව රනිලුත් විජේදාසත් දන්නවා. ඒ ඔය නැවත පණ ගන්වන්න ඕන කියන පරිගණකයට හොඳ මතකයක් තියෙන නිසා.