Main Logo

Monday 21 August 2017

විජේදාස භූමිකාව




විජේදාස භූමිකාව



අදට රනිල් ඊනියා ජාතික ආණ්ඩුවේ අගමැති වෙලා අවුරුදු දෙකයි. මේ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් වන්නේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව. එය හුදෙක් වචන හරඹයක් මත සිදුවන්නක්. මේ ආණ්ඩුවේ ඇති ජාතිකත්වයක් නැහැ. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙ ජනාධිපතිගෙ බලතල අඩුකරන්න කියලා තමයි කියන්නෙ. ඒත් ඒකෙන් එහෙම දෙයක් වෙලා නැහැ. අදත් ජනාධිපතිට ඕන විධියට අගමැති හා ඇමතිවරුන් පත් කරන්න පුළුවන්. අවශ්‍ය නම් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන්න පුළුවන් වෙන්නෙ ඒ බලතල යොදාගෙන.




ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවලා තියෙන්නෙ ගිවිසුමකින්. ඒක දින සීයෙ පාලනය එක්ක පටළවා ගන්න එපා. දින සීයෙන් කරන්න හිටපු වැඩ ඔය කියන ජාතික ආණ්ඩුව පිහිටුවන තෙක්් විතරක් නො වෙයි අද වන තුරුත් කරන්න බැරි වෙලා. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.  ජාතික ආණ්ඩු ගිවිසුම අවුරුදු දෙකකට වලංගු වෙන එකක්. ඒක අදින් අවසන්. දැන් එක්කො ඒ ගිවිසුම අලුත් කරන්න ඕන. නැත්නම් ආණ්ඩුව විසුරුවා හරින්න ඕන. ඒත් ලංකාවෙ එහෙම වෙන්න ඕන නැහැ. අපට ගිවිසුම් ගැන එතරම් අවබෝධයක් නැහැ. මොකක් හරි හේතුවක් කියලා ආණ්ඩුව පවත්වා ගෙන යන්න පුළුවන්. අවශ්‍ය නම් ප්‍රශ්නය දෙසැම්බරයට හරි  ලබන අවුරුද්දට හරි කල් දාන්න පුළුවන්.



ඊනියා ජාතික ආණ්ඩුව නීති විරෝධියි. ඒක පිහිටුවලා තියෙන්නෙ එ ජා පෙරමුණ හා ශ්‍රී ල නි පක්‍ෂය අතර. ඒත් අද පාර්ලිමේන්තුවෙ ශ්‍රී ල නි පක්‍ෂයක් නියෝජනය වෙන්නෙ නැහැ. පාර්ලිමේන්තුවෙ තියෙන්නෙ සංධානය. කතානායක ඒකාබද්ධ විපක්‍ෂෙට, ම එ පෙරමුණට, ජා නි පෙරමුණට පාර්ලිමේන්තුවෙ පිළිගැනීමක් ලබා නොදන්නෙ සංධාන කතාව කියලා. ඒත් ඒ කතානායක ම ශ්‍රී ල නි පක්‍ෂෙට ඒ පිළිගැනීම ලබා දෙනවා. මේ කතානායක රනිල්ට ඕන විධියට කටයුතු කරන්නෙ. සමහරුන් අගමැතිකමට කරු ජයසූරිය යෝජනා කරන්නෙ මේ කිසිවක් නො දැන ද?  



දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට සංධානය ඡන්දෙ දුන්නා. ඒ ජනාධිපති බලතල අහෝසි වෙයි කියලා හිතාගෙන මෛත්‍රිපාලට විරුද්ධව. ඒත් ඒක එහෙම වුණෙ නැහැ. අන්තිමට වුණෙ මහින්දට තුන්වැනි වතාවකට ජනාධිපති ධුරයට තරග කරන්න බැරි වෙන එක විතරයි. මේ රටේ අද තියෙන්නෙ මහින්ද මෛත්‍රිපාල වෛරී දේශපාලනයක්. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට රනිල් බලයේ ඉන්නවා.



විජේදාස (විජයදාස ද කියන එක පැහැදිලි නැහැ. එක එක පුවත්පත්වල එක එක විධියට නම ලියැවෙනවා) රාජපක්‍ෂ ගැන අද තීරණයක් ගන්න යනව. ඒත් ඒක එහෙම වෙයි ද කියන එක ප්‍රශ්නයක්. එ ජා ප මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරි මණ්ඩලය පත් කරපු කමිටු වාර්තාව අද නිකුත් වෙනවා.  විජේදාස කරපු වැරැද්ද මොකක් ද කියන එක පැහැදිලි නැහැ. සමහර විට ප්‍රශ්නය තවත් ඉදිරියට ගෙන යන්න කමිටු වාර්තාව විමර්ශනය කරන්නත් පුළුවන්. 



මට නම් විජේදාස ගැන පැහැදීමක් නැහැ. ඔහු එ ජා ප සාමාජිකයෙක්. ඒ පක්‍ෂය ඩී එස් සේනානායක පටන් ගත්තෙත් සිංහලයන්ට විරුද්ධව. ඩී එස් ගෙ ආණ්ඩුවෙ ජී ජී පොන්නම්බලම් කියන දෙමළ ජාතිවාදියත් හිටිය. සුන්දරලිංගම් ද ඒකෙ ඇමතියෙක්. එ ජා ප අදටත් සිංහල විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධීයි. විජේදාස ඒ පක්‍ෂෙ සාමාජිකයෙක් වුණා. ඒක ම ඔහුට විරුද්ධ ව තියෙන සාධකයක්.



අද මේ නටන නාඩගම එතරම් පැහැදිලි නැහැ. විජේදාස අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම කඩල තියෙනවා කියලා එ ජා පක්‍ෂෙ ඇතැමුන් කියනවා. ඒත් ඔහු හම්බන්තොටට විරුද්ධ වෙලා නැහැ. ඔහු වියුක්ත ව කියනවා රට විකිණීමට විරුද්ධයි කියලා. ඒක එතරම් වැදගත් නැහැ. රනිලුත් කියාවි ඔහුත් රට විකිණීමට විරුද්ධය කියලා. නීතිපති දෙපාර්තමේන්තුව වැඩ කරන්නෙ විජේදාසට ඕන විධියට ද? නැත්නම් රනිල් කියන විධියට ද? විජේදාසට පුළුවන් ද රනිල්ට විරුද්ධව නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයවන්න.



මහින්ද ඇතුළු රාජපක්‍ෂලා බේරන්නේ විජේදාස ද? රනිල් ද? නැත්නම් සාක්‍ෂි නැති කම ද? මෛත්‍රිපාලට අවශ්‍ය ඇති මහින්දට කොහොම හරි දඬුවම් කරන්න. කොහොම හරි කියන  එකෙන් හුඟක් දේ ගම්‍ය වෙනවා. අලුතෙන් අධිකරණ පිහිටුවලා හරි මහින්දට දඬුවම් කරන්න මෛත්‍රිපාලට ඕන වෙන්න පුළුවන්. ඒකට රනිල් කැමති වෙයි ද? විජේදාස කැමති වෙයි ද? අද ඊනියා ජාතික ආණ්ඩුවෙ විවිධ මතභේද තියෙනවා. රවි තාමත් ආණ්ඩු පක්‍ෂෙ ඉන්නවා. ඕන නම් විජේදාසටත් ඉන්න පුළුවන්.



මහින්ද පහුගිය කාලෙ මෛත්‍රිපාලට සලකපු විධිය ගැන හොඳක් කියන්න බැහැ. ඒත් මෛත්‍රිපාල ඒකෙ පළිය ගන්න මහින්ද දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ම ඉවත් කරන්න සූදානම් වෙන එක කොහොමටවත් හරි නැහැ. විජේදාස කියන්නේ එක්තරා විධියකට මහින්ද මෛත්‍රිපාල රනිල් ත්‍රිකෝණාකර දේශපාලනය අමතක කරන්න මතු කර ගත්ත චරිතයක් පමණයි. අප විජේදාස වීරයකු කරන්න ඉක්මන් වෙන්න ඕන නැහැ.



මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 අගෝස්තු 21