Main Logo

Friday 11 August 2017

අලවංගු සංස්කෘතිය


අලවංගු සංස්කෘතිය



අලවංගුවට ඇතැම් පළාත්වල යකඩය කියාත් කියනවා. තවත් නම් ඇති. නම කුමක් වුවත් අකුණු වදින වෙලාවට හෙණ ගහන විට එය ගෙයින් ඉවතට විසි කරනවා. ඒ හෙණය ගෙට පාත් වීම වැළැක්වීමට. රවිත් අලවංගුව වගේ. දැන් ඊනියා යහපාලනයට හෙණ වදින්නෙ නැහැ කියලා හිතනවා ඇති. ඒක එහෙම වෙන්නත් පුළුවන්. මේ බැඳුම්කර කෝළමේ එක් ජවනිකාවක් විතරක් නොවෙයි. ඒකෙ අවසානයත්. දැන් පොතේගුරාට (කතානායකට) හොද අත්වැලක් අල්ලන්න පුළුවන්.




බැඳුම්කර පාඩුව මොකක් ද කියා රාජිත අහනවා. ඇලෝෂියස්ට ලැබුණු ලාභයක් නැද්ද කියා අපට අහන්න පුළුවන්. බැඳුම්කරය වංචාවක් ද නැද්ද? පහුගිය මැතිවරණයට එ ජා ප ඒ මුදල් ලබාගත්ත ද නැද්ද? රජිව් විජේසිංහ ඒ ගැන කියලා තිබුණ දේ රාජිත පත්තරේකවත් දැක්කෙ නැද්ද?  ඒ කොහොම වෙතත් අලවංගුවට ගත්තෙ කිසි දිනෙක කිසිම හොරකමක් කර නැති හොරකම කියන්නෙ මොකක් ද කියලවත් දන්නෙ නැති දක්‍ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු ඇමතිකමක් දැරීම පාපයක් නො වෙයි. ඔහු ඔහුගේ ම වචනවලින් කියන්නේ නම් පාපියකු නො වෙයි. ඔහු කියනවා ඔහුට ඉතිහාසයේ හිමි තැන කාලය විසින් තීරණය කරාවි කියලා. බුද්ධඝෝෂ හාමුදුරුවො අනුව යමින් අපි කියනවා කාලය යනු පඤ්ඤත්තියක් පමණක් ය කියා. ධම්මපදයෙන් උපුටා දැක්වූ රවිට මේවා තේරෙන්න ඕන. අඩු තරමින් කතාව ලිව්ව අයට තේරෙන්න ඕන. 



මහා බැංකු බැඳුම්කරයට රවිගෙ සම්බන්ධය කුමක් ද? ඒ දිනවල මහා බැංකුව තිබුණෙ මුදල් අමාත්‍යංශෙ යටතෙ නො වෙයි. ලොතරැයි නම් එදත් ඊයෙ වෙනකමුත් රවි යටතෙ තිබුණෙ. අදත් තියෙනව ද දන්නෙ නැහැ. මහා බැංකුවෙ අධිපති කමට අර්ජුන් මහේන්ද්‍ර පත් කෙළෙත් රවි නො වෙයි. තමා යටතෙ තිබුණ මහා බැංකුවට රනිල් අර්ජුන් මහේන්දූන් පත් කළා. රවි හා රනිල් එක ම සංස්කෘතියෙ බව ඇත්ත. ඒත් ඒකට රවි මොනව කරන්න ද?



රවිගෙ ගේ අලුත්වැඩියා කරනවා. රවිට ඉන්න තැනක් නැහැ. අපේ ගෙවල් අලුත්වැඩියා නොකරන එක කොච්චර එකක් ද? රවිට දුවගෙ මාර්ගයෙන් ගෙයක් හම්බ වෙලා. දුවගෙ පාසල් මිතුරියකගෙ ගෙයක්. ඒත් මිතුරිය රවිගෙ දුවට හරි රවිට හරි ගේ බදු දෙන්නවත් කැමති වෙලා නැහැ. ඒ දැරිවි දේශපාලනඥයන් එක්ක ගණු දෙනු කරන්න කැමති නැහැලු. ඇය තවත් මිතුරකු වූ අර්ජුන් ඇලෝෂියස් මගින් තමයි රවිගෙ දුවත් එක්ක ගණුදෙනුව කරලා තියෙන්නෙ. රවි මේව ගැන දන්නෙ නැහැ. ඊයෙ පාර්ලිමේන්තුවෙ කිව්වෙ දුවගෙන් අහගෙන ඇවිල්ල වෙන්න ඕන. ඒකෙ ඇති වැරැද්ද මොකක් ද?  



මේ ගෙවල් ගණුදෙනුවත් එක්ක බැඳුම්කරයට ඇති සම්බන්ධය කුමක් ද? අර්ජුන් ඇලෝෂියස් මේ ගණුදෙනුවට පටලැවිල  ඉන්න එකත් ඇලෝෂියස් මහේන්ද්‍රන්ගෙ බෑණා වීමත් වගේ කාරණා විතරයි. ඒවයින් රවි බැඳුම්කර මගඩියට වරද කරුවකු කළ හැකි ද?  බැහැ. රවි තාම චෝදනාවලට වැරදිකරුවකු වෙලා නැහැ. චෝදනාවලට වැරදකරු වුවත් කොමිසමට බැහැ ඔහුට දඬුවම් දීමට. නීතිපති දෙපාර්තමේන්තුවෙ අය හොදින් තම භූමිකාව කරන්නෙ නැත් ද? තදින් ප්‍රශ්න ඇසූ පමණින් චූදිතයකු වරද කරුවකු වන්නේ නැහැ.



ගෙවල් ගණුදෙනුව මහා බැංකු බැඳූම්කර සල්ලි යොදා ගෙන කළා  කියලා ඔප්පු කරන්න පුළුවන් ද? එහෙම නම් මේ සෙල්ලමේ අරමුණ මොකක් ද? රවි වරදකරු ලෙස ඔප්පු වී නැතත් රවි විදේශ කටයුතු ඇමති කමෙන් අස්වෙලා. ඔහු ලොතරැයි ඇමතිකමෙනුත් අස්වුණා ද කියලා අහන්නෙ නොදන්න කමට. අස්වෙන්න ඇති. නැත්නම් ගිහිල්ල පසු පෙළ මන්ත්‍රීවරයකු වෙයි ද? මේ තරම් හොඳ ආණ්ඩුවක් තවත් තිබිලා නැහැ. නීතිපතිගෙ නියෝජිතයා කොච්චර හොඳට තම කාර්යභාරය ඉටු කළා ද?



බැඳුම්කරය ගෙවල් ගණුදෙනුවට ලඝු කිරීම හොඳ සැලසුමක්. දැන්  බැඳුම්කර කොමිසමේ වැඩ ඉවර ද? ජනාධිපති ළඟදි කොමිසමට තව මාස තුනක් කල් දුන්නා. මාස තුනෙන් පස්සෙ ඕක විසුරුවා හරින එක හොඳයි. ඕකටත් වියදම් වෙන්නෙ අපේ සල්ලි. රනිල් කියනවා තමන් හොඳ දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දුන්න කියලා. ඒක නම් ඇත්ත තමයි. මේකට කියන්නෙ අලවංගු සංස්කෘතිය. ඒකෙන් යහපාලනය නම් අවලංගු වෙනවා. ඒකට මොක ද? කාට ද ඕව තේරෙන්නෙ. රවි වෙනුවට ඇමති කෙනෙක් පත් කරන්නෙ නැහැ. මාස තුනකට වැඩ බලන ඇමති කෙනෙක් පත් කරාම මදැයි. අලවංගුව ගෙට ගන්නකන් විතරයි. ඒත් ජාතික ආණ්ඩු පැණි වරකාවට හෙණ ගහන එක නවතියි ද? ඒක තීරණය කරන්නෙ මහින්ද සමගින් ඒකාබද්ධ විපක්‍ෂෙ. අප ජීවත් වන්නෙ ඩීල් දේශයේ බව අමතක කරන්න එපා.









මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 අගෝස්තු 11