ජී එල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය
අප රටේ ජනමතය හසුරුවන්නේ ටික දෙනයි. ජනමතය හැසිරවිය හැක්කේත් කිහිප
දෙනකුගේ පමණයි. එහෙත් ඒ කිහිප දෙනා මැතිවරණයක දී වැදගත් වන්න පුළුවන්. ජනමාධ්‍ය මගින් ජනමතය හැසිරවීමේ හැකියාව ලබා ඇති කිහිප දෙනකු ඉන්නවා. ජනමතය
හසුරුවන්නන් බොහෝ විට සිතන්නේ දේශපාලන පක්‍ෂවල සාමාජිකයන්, හිතවතුන් ලෙස. තමා ආධාර කරන දේශපාලන පක්‍ෂයේ
නායකයන්ගේ කිසිම වරදක් දකින්න මේ අය කැමති නැහැ. ඔවුන්ගේ බැඳීම් පක්‍ෂයට
(සාමාජිකයකු වුවත් නැතත්) මිස රටට නො වෙයි. මහින්දගේ කිසිම වරදක් නොදකින්නන් මෙන්
ම රනිල්ගේ කිසිදු වරදක් නොදකින්නන් ද රටේ ඉන්නවා.
ජනමාධ්‍ය අයිතිකරුවන් ද තම ඕනෑ එපාකම් අනුව ජනමතය හසුරුවනවා. ඒ
ඔවුන්ගේ සේවකයන් වු නිවේදකයන්, පුවත් සංස්කාරකවරුන් ආදීන් මගින්.
ඊනියා සයිටම් ප්‍රශ්නය අද පවත්වාගෙන යෑමට උත්සාහ කරන්නේ ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය
ලොක්කකු. ඔහු හිතනවා සයිටම් මගින් ආණ්ඩුව පෙරළන්න. ඔහු නිදහස් අධ්‍යාපනය කියන්නෙ
මොකක් ද කියලවත් දන්නෙ නැහැ. මේ සම්බන්ධයෙන් මා ලියා ඇති ලිපි ඔහු තේරුම් ගන්නේ
නැහැ. ඔහු සයිටම් පටන් ගත්තේ මහින්දගේ ආණ්ඩුවෙන් බව අමතක කර එකල නොඇසූ ප්‍රශ්න
දැන් අසනවා. නෙවිල් ප්‍රනාන්දු රෝහල ජයවර්ධනපුර රෝහල මෙන් පවත්වාගෙන යෑමට තීරණය කර
ඇත්තේ සයිටම් සිසුන්ගේ සායන පහසුකම් වැඩි කිරීමට බව ඔහුට අමතක වෙනවා. එය ඉල්ලීමක
ප්‍රතිඵලයක් බවත් ඔහු අමතක කරනවා.
සාමාන්‍ය පාක්‍ෂික හිතවතුන් පක්‍ෂය අත් හැර යන්නේ නැහැ. එහෙත් පක්‍ෂවල
ඇතැම් නායකයන් එසේ නො වෙයි. ඔවුන්ට පක්‍ෂය අත් හැර වෙනත් පක්‍ෂයකට යෑම ඉතාමත් පහසු
කටයුත්තක්. වෙනත් පක්‍ෂයක සාමාජිකත්වය ගැනීමට ඔවුන්ට කිසිම ලජ්ජාවක් බියක් නැහැ.
ඔවුන් ඒ නික්ම යෑම සඳහා “හොඳ" යැයි කියන හේතුුත් කියාවි. එසේ පක්‍ෂය අත්
හැරීමෙන් පසු ඒ පක්‍ෂයේ අනුගාමිකයන් ඒ තැනැත්තාට තදින් දොස් පවරනවා. බැඳෙන පක්‍ෂයේ
අනුගාමිකයන් ඔහුගේ නැති ගුණත් කියනවා. ඒ අනුගාමිකයන් පක්‍ෂයට ලැදි නිසයි.
අනුගාමිකයන් රටට වඩා පක්‍ෂයට ලැදියි. නායකයන් ටික දෙනකු හැරෙන්නට අනෙක් අය පක්‍ෂයට
වඩා තමන්ට ලැදියි. රටට ලැදි ඇතැමුන් කිසිම පක්‍ෂයකට ලැදි නැහැ. ඔවුන් මන්ත්‍රී
ධුරයක්, තානාපති කමක්, සභාපති කමක්, වෙනත් තනතුරක් අපේක්‍ෂා කරන්නේත් නැහැ.
අද ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ල නි පාක්‍ෂිකයන් යැයි කියන අය කියාවි තමන්
පක්‍ෂයට ලැදිය කියා. එහෙත් ඔවුන් ශ්‍රි ල නි පක්‍ෂයට ලැදි නම් කරන්න තිබුණෙ මෛත්‍රිපාල
පක්‍ෂයෙන් ඉවත් කරන එක. එහෙත් ඔවුන්ගෙන් කිහිප දෙනකු කරන්නෙ මහින්ද පක්‍ෂයෙන් ඉවත්
කිරීමට කටයුතු කිරීම. ඔවුන් මහින්ද අත් හැර යෑමට සූදානම් වූ නිසා මහින්ද ඉක්මන්
තීරණයක් ගෙන මෛත්‍රිපාලට පක්‍ෂය භාර දුන්නා. මහින්ද තව ටිකක් ඉවසා සිටියා නම් රටේ
දේශපාලනය වෙනස් වෙන්න තිබුණා.
අනෙක් අතට අද එකාබද්ධ විපක්‍ෂෙ ඉන්න කී දෙනෙක් ඇමතිකම් ලබා ගැනීමට
මලික් සමරවික්‍රම ආදීන් මුණ ගැසුණා ද? යම්
අයුරකින් රනිල් ඔවුන් බඳවා ගැනීමට කැමති වූවා නම් අද ඔවුන් මහින්ද විවේචනය කරාවි.
අපේ කරුමය මහජනයා යැයි කියන සතා පක්‍ෂයකට හා එහි වර්තමාන නායකයන්ට (ඔවුන් කවදා පක්‍ෂයට
ආවත්) ආධාර කිරීම. ජී එල් පීරිස්ලා ඩලස්ලා ජනවාරි අටවැනිදාට පසුව මහින්දගේ දුරකථන
පණිවුඩයකට පිළිතුරු දීමට මාස කිහිපයක් බලා සිටියා. මලික් සමරවික්‍රම හමුවීමට
පැමිණියේ කවුද කියා මලික්වත් කියන්නේ නැහැ.
මේ ආණ්ඩුව ගෙන යන්නේ රනිල්. ආණ්ඩුව පෙරළීමට රනිල් ඉවත් කළ යුතුයි.
රනිල් ඉවත් කළහොත් මෛත්‍රිපාල ජනාධිපති ව සිටියත් එවිට තියෙන්නේ වෙනත් ආණ්ඩුවක්.
බොහෝ පඬියන්ට එය තේරෙන්නෙ නැහැ. ඔවුන් ආණ්ඩුව ලෙස සලකන්නෙ මෛත්‍රිපාල- රනිල්.
රනිල් නැත්නම් ඇත්තේ වෙනත් ආණ්ඩුවක් බව ඔවුන්ගේ ද්විකෝටික න්‍යාය පොජ්ජට තේරෙන්නෙ
නැහැ. ඔවුන්ට අවශ්‍ය ඔළුගෙඩි වෙනස් කිරීමකින් ආණ්ඩුව වෙනස් කරන්න. ඒත් එවිටත් මෛත්‍රිපාල
ජනාධිපති. මෛත්‍රිපාල ජනාධිපති ව සිටිය දී ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් බවට එවිටවත්
මේ පඬියන්ට තේරෙන්නෙ නැද්ද? ඔවුන්ට තම පරස්පර ගැන කිසිම වැටහීමක්
නැහැ. ඒ වෙනුවට අද ඔවුන් මගේ පරස්පර සොයනවා.
ජනාධිපතිට අවශ්‍ය නම් ඔහු බලය ඇතැයි සිතන අයකු අගමැති කරන්න පුළුවන්.
එක් පඬියකු අසා තිබුණා රනිල් ඉවත් කර පත් කරන්නේ කාව ද කියා. ඒ පඬියා පත්කිරීමට
නොහැකි වීම රටේ භාග්‍යයක්. රනිල් ඉවත් කර පත් කරන්නේ කවුරුන් ද යන්න ඒකාබද්ධ විපක්‍ෂය මත රැඳී පවතිනවා.
එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය එයට සහභාගි වීමට සූදානම් ද? මහින්ද එයට කැමති ද? මහින්දත්
මෛත්‍රිපාලත් පෞද්ගලික වෛරයකින් පෙළීම නිසා ම රනිල් බලයේ ඉන්නවා. ඒ දෙදෙනා රට
වෙනුවෙන් සමගි කිරීමට භික්‍ෂූන් වහන්සේ ඉදිරිපත් වෙන්නේත් නැහැ. වැඩිකල් නොගොස්
රනිල් මෙරට භිෂණයක් ඇතිව ඒකාධිපති පාලනයක් අරඹනවා.
සංධානයට මනත්‍රීවරුන් 95
දෙනකු ඉන්නවා. මෛත්‍රිපාලට පුළුවන් සංධානයේ අයකු අගමැති කරන්න. ඒ මහින්ද ම වීම
අවශ්‍ය නැහැ. එවිට සංධානයට පුළුවන් අවශ්‍ය නම් තවත් පක්‍ෂයක් සමග එකතු වී ඊනියා
ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න. ආණ්ඩුවට මන්ත්‍රීවරුන් බහුතරයක් නැති වුණත් ප්‍රශ්නයක්
නැහැ. ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංගයක් ගෙනාවත් කරන්න පුළුවන් දෙයක් නැහැ. ආණ්ඩුව
පවත්වාගෙන යන්න පුළුවන්. එ ජා පෙරමුණට ඇත්තේ මන්ත්‍රීවරුන් 106 දෙනකු පමණයි. විශ්වාස භංගයක දී අනෙක් මන්ත්‍රීවරුන්
ආණ්ඩුව පෙරළන්න ඡන්දෙ දෙන්න තියෙන ඉඩකඩ අඩුයි.
මගේ කතාවේ පරස්පරයක් නැහැ.
ජී එල් පීරිස් ද පඬි කතාවක් කියා තිබුණා. මෛත්‍රිපාල තම ආශිර්වාදය නැතිව ආණ්ඩුවක්
පිහිටුවන්න බැහැයි කී විට ජී එල් කියා ඇත්තේ මන්ත්‍රිවරුන් 113 දෙනකුට වැඩි සංඛ්‍යාවක් ඒකාබද්ධ විපක්‍ෂයට ඇති
විටක මෛත්‍රිපාලට ආණ්ඩුව ඔවුන්ට නොදී සිටිය නොහැකි බවයි. ජී එල් 2015 ජනවාරි 8 වැනි දා පාර්ලිමේන්තුවේ හිටියා. එදා සංධානයට මන්ත්‍රීවරුන් 113 දෙනකුට වඩා හිටියා. එ ජා පක්‍ෂයට හිටියේ මන්ත්‍රීවරුන්
හතළිස් ගණනක් පමණයි. මෛත්‍රිපාල අගමැති හැටියට පත් කෙළේ ජී එල් නොව රනිල්. ජී එල් 113 දෙනකුට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් තියාගෙනත්
රනිල්ගේ ආණ්ඩුවට විරුද්ධව කුමක් කෙළේ ද? ඔවුන් කෙළේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට
රනිල්ට ආධාර කිරීම පමණයි. ජී එල්ට ඒ බව අමතක ද?
ජනාධිපති හා අගමැති එකට සිටින විට ඔවුන්ට පාර්ලිමේන්තුව තමන් යටතට
ගන්න පුළුවන්. ඒක තමයි පොතේ කොහොම තිබුණත් මෙරට පාර්ලිමේන්තු ඒකාධිපතිවාදය (ඊනියා
ප්‍රජාතන්ත්‍රවාදය) ක්‍රියාත්මක වන ආකාරය. බටහිර සුද්දන්ගෙ පොත්වලින් නීතිය
දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාව ඉගෙන ගත් පඬියන්ට මේවා තේරෙන්නෙ නැහැ. සුද්න්ගෙ
රටවලත් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ පොතේ තියෙන හැටියට ම නො වෙයි. ග්‍රහවස්තුත්
ඉර වටේ යන්නෙ නිව්ටන් කියලා තියෙන හැටියට ම නො වෙයි.
ඒ මොනවා වුවත් මෛත්‍රිපාල හා මහින්ද (ඒකාබද්ධ විපක්‍ෂය) එකතු නූණොත්
රට අගාධයට යනවා. ඒ බව කියනවාට මට හිනහ වෙලා වැඩක් නැහැ. ඔවුන් දෙදෙනා කිසි දිනෙක
එකතු වන්නේ නැහැ කියමින් මට බැණ වැදීමෙන් පලක් නැහැ. ඒ දෙදෙනා එකතු වන්නේ නැත්නම්
දෙදෙනාම ද්‍රෝහීන්. රනිල්ට භීෂණය ඇති
කිරීමට, පෙරටුගාමීන්, දොස්තරලා, අර ජනමාධ්‍ය ලොක්කා සමගින් මෛත්‍රිපාල
හා මහින්දත් එකතු වෙනවා. ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගත් මහින්ද ද්‍රෝහියකු ලෙස මිය
යනවා ද? මා දේශපාලනඥයන්ටත් පඬියන්ටත් ගරු
කරන්නේ නැහැ. අවාසනාවකට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ දේශපාලනඥයන් නැතිව අපට බැහැ.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 අගෝස්තු 03