පරිසරය රැකීම
පරිසරය ගැන අද බොහෝ දෙනා කතා කරනවා. පරිසරය, ස්වභාව ධර්මය, තිරසාර සංවර්ධනය, ස්වාභාවික සම්පත්, ශක්ති ප්‍රභව ආදිය එකිනෙක සමග බැඳී පවතිනවා.
පරිසරවේදය හදාරන්නන් එමටයි. පරිසරවේදීන්ට අද සමාජයේ වැදගත් තැනක් හිමි වෙලා. පරිසර
ජනමාධ්‍යවේදීන් ද ඉන්නවා. මා හිතන අන්දමට ස්වභාව ධර්මයේ රක්‍ෂණය වෙනුවෙන් කැප වුණු
සංවිධාන ද තිබෙනවා. එහෙත් ඒ අතර ස්වාභාවික සම්පත් හීන වෙනවා.
කලකට පෙර මා ස්වභාව ධර්මය හා ඊනියා සංවර්ධනය පිළිබඳ ලිපි ලිවුවා. මේ
සමහර ලිපිවල එකතුවක් දැනට අවුරුදු දහයකට පමණ පෙර පරිසරය හා බටහිර ආකල්ප නමින් පොත්
පිංචක් ලෙස පළ කළා. එහෙත් මේ එකකටවත් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.
පරිසරවේදීන් එහි අදහස් නොසලකා හැරියා. මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුවත් අනෙක් ලිපි වගේ
ම ඒ ලිපි අමතක කළා.
අද අප බටහිර සංවර්ධනය පසුපස යනවා. මගේ මූලික ප්‍රශ්නය බටහිර සංවර්ධනය
සමග පරිසරය රැකිය හැකි ද යන්න ය. පරිසරය රැකීම යන්න ද අපේ අනෙක් සංකල්ප මෙන් ම
පැහැදිලි නැහැ. පරිසරය කියන්නේ ස්වභාව ධර්මය නො වෙයි. එසේත් නැතහොත් ස්වාභාවික
සම්පත් නො වෙයි. එහෙත් අප ඒ සංකල්ප අතර ඇති සම්බන්ධකම් හා වෙනස්කම් ගැන කතා කරන්නේ
නැහැ.
ඒ කෙසේ වෙතත් බටහිර සංවර්ධනය පසුපස යන අප ඩෙංගු ව්‍යාප්තිය, පරිසර දූෂණය ගැන කියනවා. මෙයින් ඇති එකම සෙත
ඊනියා විද්‍යාඥයන්ට හා දොස්තරලාට දත්ත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පමණයි. ඒ
දත්ත සම්මන්ත්‍රණවල කියවා උසස්වීම් ආදිය ලබා ගත හැකියි. එහෙත් පරිසර දූෂණය දිගින්
දිගට ම සිද්ධ වෙනවා. එයට විසඳුමක් නැහැ. අපේ දේශීය දැනුම පදනම් කරගෙන විසඳුමක්
සෙවීමට පරිසරවේදීනවත්් උනන්දුවක් දක්වන්නේ නැහැ.
යමකු කියන්න පුළුවන් බටහිර රටවල පරිසර දූෂණයක් නැහැ කියලා. චීනයේ
අගනුවර හා වෙනත් ප්‍රධාන නගරවල අද ඇති පරිසර දූෂණය බටහිර දකින්න නැහැ කියලා ඔවුන්
කියන්න පුළුවන්. එය ඇත්තක් වෙන්න පුළුවන්. බටහිර රටවල අවුරුදු සියයකට පමණ ඉහත තිබූ
පරිසර දූෂණය අද දකින්න නැහැ. එකල ලංඩන් නුවර පැවති පරිසර දූෂණය ගැන අදත් කියවන්න
පුළුවන්.
පරිසර දූෂණය නැති කිරීමටත් යම් යම් ක්‍රම යෙදිය යුතුයි. ඒ සඳහාත්
අවසාන වශයෙන් යොදා ගන්නේත් ස්වභාව ධර්මයේ ඇති සම්පත්. බටහිර රටවල නිෂ්පාදකයන්ට ඒ
සම්පත් යොදා ගෙනත් ලාභ ලබන්න පුළුවන්. එහෙත් අප වැනි රටවල එවැනි ක්‍රම යොදා
ගැනීමෙන් ලාභය යම් ප්‍රමාණයකින් අඩු වෙනවා. නිෂ්පාදකයන් ලාභය අඩු කර ගැනීමට කැමති
නැහැ. කර්මාන්ත ශාලාවකින් පිටවෙන අපද්‍රව්‍ය ගඟකට ඇළකට මුදා හරින්න එතරම් වියදමක්
දරන්න සිදුවන්නේ නැහැ.
බටහිර මූලික ප්‍රශ්නය සංවර්ධනය කියන එක ස්වභාව ධර්මය වැනසීම සමග බැඳී
තිබීමයි. මේ ගැන නැවතත් ලිපි ලිවීම උචිත යැයි සිතෙනවා. නුදුරු අනාගතයේ දී මේ
ලිපිවලින් කිසි ප්‍රයෝජනයක් කිසිවකු ගන්න එකක් නැහැ. එහෙත් මට නොලියා ඉන්න බැරි
නිසා ලියනවා. යමකු මගේ පැරණි ලිපි සොයා ගෙන කියවාවි යැයි මා සිතන්නේ නැහැ. ඒ ලිපි
සොයා ගැනීමත් පහසු නැහැ.
අප සැමදාමත් ස්වාභාවික සම්පත් යොදා ගත්තා. ස්වාභාවික සම්පත් නැතිව
අපට ජීවත් වෙන්න බැහැ. එහෙත් අපට අද ඇති ප්‍රශ්නය අප ස්වභාව ධර්මයෙන් වෙන් වීමයි.
බටහිරයන් පහළොස්වැනි සියවසේ චින්තන විප්ලවයෙන් පසු වෙන් කිරීම තම ජීවිතයේ ප්‍රධාන
අංගයක් බවට පත්කර ගත්තා. බටහිර දැනුම වෙන් කිරීමත් මත පදනම් වෙලා. විශ්ලේෂණයේදීත්
අප කරන්නේ යමක් කොටස්වලට කඩා ඒ එකිනෙක වෙන වෙන අධ්‍යයනය කිරීමයි.
අප ස්වභාව ධර්මයෙන් වෙන් වෙලා. අප දැන් අපේ (බටහිර සුදු මිනිසුන්ගේ)
පැත්තෙන් සිට ස්වභාව ධර්මය දෙස බලනවා. එය අධ්‍යයනය කරනවා. එය බටහිරයන්ගේ ම වචන
යොදා ගතහොත් මානව කේන්ද්‍රීයයි. ඊනියා පරිසරවේදීන් ද පරිසරය ගැන කතා කරන්නේ මානව
කේන්ද්‍රීය ව. බටහිර අධ්‍යාපනයෙන් නොකැඩුණු අයකුට මානව (සුුදු පිරිමි) කේන්ද්‍රීය
නොවී බැහැ. අප පරිසරය රැක ගැනීමට කතා කරන්නේ අපේ හිතසුව පිණිස. පරිසරයේ හිතසුව
පිණිස නො වෙයි. පරිසරයෙන් වෙන් වී පරිසරය ගැන කතා කිරීම සුදුසු දෙයක් නො වෙයි.
පරිසරය දූෂණය නොකළ යුත්තේ අපට ඩෙංගු රෝගයෙන්
මිදීමට පමණක් නො වෙයි. අද අප පරිසරයේ ඓන්ද්‍රීය කොටසක් නො වෙයි.
බටහිර කතෝලික හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තන අනුව ලෝකය මවා
ඇත්තේ මිනිසාගේ (සුදු පිරිමියාගේ) ප්‍රයෝජනය සඳහයි. පරිසරය විතරක් නොවෙයි ගැහැණිය
මවා ඇත්තේත් සුුදු නොවන ජනයා මවා ඇත්තේත් සුදු පිරිමින්ගේ ප්‍රයෝජනය සඳහායි.
බටහිරයන්ට හා ඒ අනුව යන අපට අද ස්වාභාවික සම්පත් තවත් ප්‍රභවයක් පමණයි. ඒ සම්පතක්
නො වෙයි. මේ සියල්ල ගැන අපි විස්තරාත්මක ව කතා කරමු.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 අගෝස්තු 06