Main Logo

Sunday 20 August 2017

දහම ආගම හා සංස්කෘතිය


දහම ආගම හා සංස්කෘතිය



ලංකාවෙබ් නමින් පළවන වෙබ් අඩවියේ පරිපාලක ධර්මසිරි වීරසිංහ නමැත්තෙක්. ඔහු කියනා පරිදි ඔහුගේ වයස අවුරුදු හැත්තෑදෙකක් පමණ වන අතර වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. ඔහු එංගලන්තයට ගොස් අවුරුදු හතළිහකට වැඩි බව පැවසෙනවා. ඔහු එංගලන්තයට ගොස් ඇත්තේ පළමු ජ වි පෙ ත්‍රස්තවාදී මිනීමැරුම්වලින් පසුව. එයින් කියැවෙන්නේ නැහැ ඔහු ජ වි පෙ අනුගාමිකයකු බව. මා එසේ කියාත් නැහැ. ඔහු අපහාසාත්මක ව යොදා ගන්නා මහත්තයෝ යන ව්‍යවහාරය නම් ජ වි පෙ පටන්ගත් එකක්. එහෙත් එයිනුත් ඔහු ජ වි පෙ අනුගාමිකයකු බව කිංයැවෙන්නේ නැහැ. මා ඔහු ජ වි පෙ අනුගාමිකයකු බවවත් කියා නැතත් ඔහු සිතන්නේ මා ඔහු ජ වි පෙ ත්‍රස්තවාදියකු යැයි කියා ඇති බවයි. ඔහුගේ වටහා ගැනීමේ ශක්තියට එය නිදසුනක්. ඔහු සිතන්නේ මා ඔහුට අපහාස කර ඇති බවයි. මගේ අගෝස්තු 04 වැනි දා ලිපිය කියවීමෙන් මා ඔහුට අපහාස කර ඇත් ද යන්න තීරණය කරන්න පුළුවන්.



විජයදාස වික්‍රමය, සුදු ආධිපත්‍යය හා ට්‍රම්ප්, රනිල්ගේ නිහැඬියාව හා බැඳුම්කර ආදී මාතෘකා රාශියක් තිබිය දී ධර්මසිරි වීරසිංහට පිළිතුරු දීමට ප්‍රමුඛතාව දෙන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක් විය හැකියි. මේ පිළිතුරු ලිපි එක දිගට පළවන්නේ නැහැ. අතරින් පතර අනෙක් මාතෘකා ගැන ලියන අතර මේ ලිපි පළ වේවි. මේ ලිපි පෙළ පළ කරන්නේ මෙරට උගතුන් යැයි කියන්නන් අද වැටී ඇති තත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට.  



ධර්මසිරි වීරසිංහ දැනට වසර එකහමාරකට පමණ පෙර මගේ ලිපි ලංකාවෙබ් අඩවියේ පළ කළා. එහෙත් පසුව මා බුදුදහම ගැන කියන අදහස්වලට විරුද්ධ ව නීල මහා යෝධයා නමින් ප්‍රතිචාර දැක්වූවා. නීල මහා යෝධයා යනු ධර්මසිරි වීරසිංහ බව මා හඳුනාගත් පසු ඔහු මගේ ලිපි තම වෙබ් අඩවියේ පළ කිරීම නැවැත්තුවා.  ඉන් කලකට පසු ඔහු මගේ ලිපි නැවතත් පළ කළා. මා ඔහුට මගේ ලිපි යැවුවේ නැහැ. එහෙත් ඔහු ඒ ලිපි පළ කළා. ඕල්කට් බෞද්ධයන් ගැන මා ළඟ දී ලියූ ලිපියක සඳහන් කරුණුවලට විරුද්ධ ව ඔහු නීල මහා යෝධයා නමින් මා පුහු චින්තකයකු බව සඳහන් කරමින් ලිපියක් තම වෙබ් අඩවියේ පළ කළා. එය අප ඊයේ කාලය වෙබ් අඩවියේ පළ කළා.



ඔහු නැවතත් මගේ ලිපි තම වෙබ් අඩවියේ පළ කිරීම නවත්තලා. නීල මහා යෝධයා ගැන කී පමණින් ධර්මසිරි වීරසිංහ නම් බෞද්ධයා උරණ වෙලා මගේ ලිපි පළ කිරීමත් නවත්තලා! වීරසිංහ නීල මහා යෝධයා ගැන සැලකිලිමත් වෙනවා. වීරසිංහ නොපිළිගත්තත් නීල මහා යෝධයා නමින් ලියන්නේ ඔහු. තම වෙබ් අඩවියේ තමන් අනුමත නොකරන ඇතැම් ලිපියකට ඔහු ඊනියා පිළිතුරක් දෙන්නේ නීල මහා යෝධයා නමින්. තමාට දිරවා ගත නොහැකි ලිපි ඔහු පළ කරන්නේ නැහැ. ඒ පිළිබඳ ව මගේ විරුද්ධතාවක් නැහැ. ඔහු අනුමත නොකරන ලිපි පළ නොකිරීම ඔහගේ වැඩක්. අපට එයට විරුද්ධ වන්න බැහැ.



එහෙත් නීල මහා යෝධයා නමින් පෙනී සිට තමන් අනුමත නොකරන ලිපිවලට තම වෙබ් අඩවියේ ම පිළිතුරු දීම කිසිම සදාචාරයකට එකඟ නැහැ. විවිධ පුද්ගලයන් ආරුඪ (වීරසිංහට අනුව අන්වර්ථ) නම්වලින් ලිපි ලියනවා. සඟරාවක හරි පුවත්පතක හරි සංස්කාරකවරයකු එක ලිපියකට වඩා ලියන අවස්ථාවල දී, දේශපාලන හේතුමත හෝ වෙනත් කරුණක් නිසා හෝ සැඟ වී සිටීමට අවශ්‍ය වූ විට ආදී වශයෙන් එසේ ලියනවා. එහෙත් නීල මහා යෝධයා නමින් ලිවීමට ධර්මසිරි වීරසිංහට ඇති හේතුව කුමක් ද? ඔහුට ධර්මසිිරි වීරසිංහ නමින් ම ලියන්න පුළුවන්. තම වෙබ් අඩවියට ආරූඪ නමකින් ලියා ධර්මසිරි වීරසිංහ සැඟ වී සිට පහර දෙන නිවටයකුගේ තත්වයට පත්වෙනවා.



මා සිංහල බෞද්ධයෙක්. මා මිනිසුන් විවේචනය කරනවා. මා ධර්මසිරි වීරසිංහ නිවටයකුගේ තත්වයට පත් වන්නේ යැයි කියන්නේ මට බොරු සුචරිතවාදියකු වීමට අවශ්‍ය නැති නිසා. ධර්මසිරි වීරසිංහ කියන අන්දමට ඔහුත් සිංහල බෞද්ධයෙක්. ඒ නිසා ම දෝ ඔහු කාලය වෙබ් අඩවිය වැරහැල්ලක් ලෙස හඳුන්වනවා. ම පුහු චින්තකයකු ලෙස හඳුන්වනවා. ඒ සියල්ල අපහාසත්මකයි. මා නම් කිසි දිනෙක මා චින්තකයකු ලෙස හඳුන්වා ගෙන නැහැ. මා චින්තකයකු යැයි ඇතැමුන් කියනවා. එහෙත් ඒ මා ඔවුන්ට එසේ කීමට කියා නැහැ. මගෙන් ඉගෙන ගත් බොහෝ දෙනා මට විරුද්ධයි. ඔවුන් අතර දේශපාලනඥයන්, ඕල්කට් බෞද්ධයන්, ඉන්දීය හා චීන ගැත්තන්, සයිටම් විරුද්ධවාදීන්, මහින්දවාදීන් ආදීන් ඉන්නවා. ඔවුන් මට වඩා යෝධයන්. මා අඟුටුමිට්ටකු බව ඔවුන් නොකීවාට මා දන්නවා. මා චින්තකයකු, බුද්ධිමතකු, උගතකු නො වෙයි.  ඒ බව මා කියා ඇත්තේ එක් වරක් නො වෙයි. මා දැනට කරන්නේ ලිවීම පමණයි. එය එක්තරා ආකාරයකින් ගත් කළ උපන්නාට කරන දෙයක් පමණයි.



මා කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගැන් වූ බව ඇත්තයි. එය මා ඉගැන්වූ එක ම විශ්වවිද්‍යාලය නො වෙයි. කෙසේ වෙතත් ධර්මසිරි වීරසිංහ නමැති බෞද්ධයා කැලණිය විශ්වවිද්‍යාලය හඳුන්වන්නේ පිරිවෙන් විශ්වවිද්‍යලයක් ලෙස. ඒ එකී විශ්වවිද්‍යාලයට කරන ගෞරවයක් ලෙස නොවන බව පැහැදිලියි. පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමෙන් පිරිවෙන නැති වීම ගැන මට ඇත්තේ අපේ දෙයක් නැති වීම පිළිබඳ කණගාටුවක්. එහෙත් ධර්මසිරි වීරසිංහට ඇත්තේ පිරිවෙනට ඊනියා විශ්වවිද්‍යාල තත්වයක් ලබා දීම පිළිබඳ කණගාටුවක්. ඔහු නොකියා කියන්නේ පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමෙන් විශ්වවිිද්‍යාලවල තත්වය බාල්දු වූ බවක්. ඔහුගේ ඕල්කට් බෞද්ධකම එයින් ද පැහැදිලි වෙනවා. ඕල්කට් බෞද්ධයන් ජාත්‍යන්තරවාදීන්. ඊනියා විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ආයතන. පිරිවෙනක් ජාත්‍යන්තර තත්වයකට පත් වන්නේ කෙසේ ද යන්න ඕල්කට් බෞද්ධයන්ගේ සිත්වල තියෙනවා.



ධර්මසිරි වීරසිංහට අනුව මා ඊනියා සිල්වා කෙනෙක්. ඔහු ඊනියා කියන වචනයේ තේරුම දන්නේ නැති බව පැහැදිලියි. මට පෘතුගීසි නමක් ඇති බව පැහැදිලියි. එහෙත් එය මගේ පියාගෙන් ලැබුණු නමක්. එහි ඇති ඊනියා බවක් නැහැ. අවුරුදු හතළිස් ගණනක් එංගලන්තයේ ජීවත් වීම නිසා සිංහල අමතක වන්න විධියක් නැහැ. ඔහු ඕල්කට්තුමා විසින් පිහිටුවන ලද පාසලක ඉගෙන ගත් බවත් ඒ නිසා ඔහුට දේශීය හා විදේශීය උපාධි ලැබුවත් මගේ අබෞද්ධ අදහස් දකින විට පිළිකුළක් ඇති වන බවත් කියන්නේ ඔහු ලැබූ පාසල් අධ්‍යාපනය ගැන ආඩම්බරයෙන්. එහෙත් ඒ අධ්‍යාපනයෙන් ඊනියා යන වචනයේ තේරුම දැන ගැනීමට ඔහු අසමත් වී තිබෙනවා. කෙසේ වෙතත් දේශීය හා විදේශීය උපාධි ලැබීමෙන් යම් හානියක් වීමට ඉඩ ඇති බව ඔහු පිළිගෙන තිබෙනවා. ඔහු නොපිළිගන්නා දෙය නම් පාසල් අධ්‍යාපනයෙනුත් ඒ හානිය සිදු වන වන බවයි.



(මතු සම්බන්ධයි)







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 අගෝස්තු 20