Main Logo

Showing posts with label 20 A. Show all posts
Showing posts with label 20 A. Show all posts

Tuesday, 25 June 2019

දහනවය, විස්ස හා මහින්ද


දහනවය, විස්ස හා මහින්ද 

දැන් ඒ ගමන මහින්දගෙ පිළ කියාගෙන යනවා ඔවුන් දහනවයට ඡන්දය දුන්නෙ විස්ස ගේන බවට මෛත්‍රිපාල පොරොන්දු වුණ නිසා කියල. මහින්දත් ඒ වගේ කතාවක් පහුගිය දා කිවුවා.  ශ්‍රී ල නි පක්‍ෂය දහනවයට ඡන්දය දුන්නෙත් මෛත්‍රිපාල ඔවුන්ටත් විස්සක් ගේන බවට පොරොන්දු වුණු නිසා ද? ඊයේ මා අසා සිටියා ඩලස් අලහප්පෙරුම මහා බුද්ධිමත් ස්වයං විවේචනාත්මක වෙසක් ගනිමින් තමන් දහනවයට ඡන්දය දීම වරදක් බව පිළිගන්නා බවත් එහෙත් එසේ කෙළේ විස්ස ගෙනෙන බවට පොරොන්දු වූ නිසා බවත් කියනවා. මේ ඩලස් අලහප්පෙරුම නුගේගොඩ රැස්වීම දවස්වල හිටියේ කොහෙද?  

ඒ ප්‍රශ්නය විස්සට අදාළ නැති බව පැහැදිලියි. නමුත් මා ඒ ප්‍රශ්නය අහනවා. දහනවය ගෙනාවෙ ඊනියා දින සීයේ යහපාලන ආණ්ඩුවෙන්. ඩලස් ඒ බව දන්නවා. දහනවය ගෙනාවෙ නුගේගොඩ රැස්වීමට පස්සෙ කියන එකයි මගේ මතකය. ඩලස් ඒ වන විට මහින්දගෙ හොඳ හිතවතෙක් වෙලා. ඒත් ජනවාරි මාසෙ නම් මහින්දට දුරකථනයටවත් ඔහු සම්බන්ධ කර ගන්න බැරි වුණා. කෙහෙළිය රඹුක්වැල්ලත් කියල තිබුණ දහනවයට ඡන්දය දුන්නෙ විස්ස ගේන බවට පොරොන්දුවක් දුන් නිසා කියල. කෙහෙළිය කියන්නෙ ජී එල් සමග පළාත්සභා පොදු ලැයිස්තුව අස් කර ගන්න බවට ලියුමක් දුන් තැනැත්තා. ඒ අවුරුද්දකට දෙකකට කලින්. මහින්දගෙ අනුග්‍රහයක් නැතිව ඔවුන් ඒ ලිපිය දෙයි කියල හිතන්න බැහැ. 

මහින්ද කියන ඕන දෙයක් පිළිගන්න රටේ අර පනස්අට ලක්‍ෂයෙන් අති විශාල බහුතරය සූදානමින් ඉන්නවා. ඔවුන් මා කියන දෙයක් සතපහකට ගණන් ගන්නේ නැහැ. මහින්ද කොටි පරදවන්නෙ අරකෙන් ද කියල සෝමවංශ අමරසිංහගෙන් අහන්න අවුරුදු විස්සකටත් ඉස්සර කොටි පැරදවිය හැකි බව හා යුතු බව මා කියා තිබුණා. එහෙත් මා කියන දේට වඩා මහින්ද කියන දේ මිනිසුන්ට විශ්වාසයි. ඔවුන් මා සලකන්නේ කිසි වැඩක් කරල නැති නිකම් ලිපි ලියන්නකු හැටියට පමණයි. සමහරු හිතන්නෙ මට පුළුවන් ඊනියා තියරි විතරයි කියලයි. මා ප්‍රායෝගික ව කර ඇත්තේ කුමක් දැයි ඔවුන් අහනවා. මා ආයුධයක් ගෙන සටන් බිමට ගිය නැති බව ඇත්තයි. ඒහෙත් මා කිසිවක් නොකළ අයකු ලෙස සැලකීම නම් තරමක ප්‍රශ්නයක්. ඒත් ඒ ගැන මා පුදුම වෙන්නේ නැහැ. හතරවැනි සියවසෙන් පමණ පසුව අප හිතන එක නතර කරලා. අප දන්නේ හිතන අය ගැන නොව අනුන්ගේ සින්දු කියන ඩ්‍රීම් ස්ටාර්ලා ගැන පමණයි. මා කියන්නේ පඬියන් ගැන ම පමණක් නො වෙයි.  

අවාසනාවකට ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ සම්පූර්ණ ගෞරවය ම මෙන් මහින්දට හිමිවෙලා. වැඩිම වුණොත් ගෝඨාභය ගැන කියාවි. එහෙත් සරත් ෆොන්සේකා වසන්ත කරන්නාගොඩ ආදීන් ද සිටිනවා. මේ ගෞරවය නිසා මහින්ද කියන ඕනෑම දෙයක් පනස්අට ලක්‍ෂය පිළිගන්නවා.   

පනස්අට ලක්‍ෂය මා ප්‍රතික්‍ෂෙප කරාවි. මට ලැබුණු කුට්ටිය කීයද කියලා අහාවි. එහෙත් මා ඉතා හොඳින් දන්න දෙයක් තියෙනවා. දහනවය සාකච්ඡා වෙන කාලෙ විස්සක් ගැන ඒකාබද්ධ විපක්‍ෂය කතා කෙළේ නැහැ. මා එය දැන ගත්තේ කෙසේ ද කියා මා කියන්නේ නැහැ. එකල මා ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධානීන්ට පෞද්ගලික ව  ලිපියක් යැවුවා අඩු තරමෙන් දහනවයේ යම් යම් කොන්දේසි ඉවත් කරවන්න කියා. එහෙත් ඔවුන් ඒ ලිපිය සතපහකට ගණන් ගත්තේ නැහැ. ඒ වන විට මහින්ද දහනවයට ඡන්දය දෙන්න තීරණය කරල ඉවරයි. පසු දිනෙක පවිත්‍රා වන්නිආරච්චි ඉතා පැහැදිලි ව කියා තිබුණා තමන් දහනවයට ඡන්දය දුන්නෙ සර් (මහින්ද) කී නිසා කියල. විස්සක් ගැන කතාවක් තිබුණෙ නැහැ. 

විස්සෙ කතාව ඊයෙ පෙරේදා ඇදල ගත්ත එකක්. දහනවයට ඡන්දය දීම වරදක් බව පෙන්නුවා ම තමයි විස්සක් ඇදල ගත්තෙ. ඊට ඉස්සර විස්සක් ගැන කියැවුණෙ නැහැ. පසු කාලෙක 2018 මැයි මාසෙ වගේ ජ වි පෙ ආණ්ඩුව වෙනුවෙන් විස්සක් ගෙනාවා. ඒක විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් ම වගේ අහෝසි කරන්න ගෙනාපු එකක්. ජනාධිපති තෝරන ක්‍රමයත් වෙනස් කරන්න ඒකෙ කියල තිබුණා. 2018 මැයි මාසෙ විස්ස ගැන මා ලියා ඇති මහින්දගෙ මුට්ටි දේශපාලනය ගැනත් කියලා. දහනවය ගෙනාපු දවස්වල විස්සක් ගැන කතාවක් තිබුණෙ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂෙ මහින්දගෙ කීමට දහනවයට ඡන්දය දුන්නා. අද ඔවුන් විස්ස ගැන බයිලා කියනවා. 

හොඳයි අපි හිතමු මෛත්‍රිපාල විස්ස ගේන බවට පොරොන්දු වුණා කියල. දැන් ඒ විස්සෙ තියෙන්න යන්නෙ මොනව ද කියල ඩලස් හරි කෙහෙළිය හරි පවිත්‍රා හරි දැන ගෙන හිටිය ද? දැන ගෙන හිටිය ම කියමු. එත් මේ අනාගතයෙ සිද්ධ වෙන දෙයක් ගැන දුන් ඊනියා පොරොන්දුවක් නිසා දහනවයට ඡන්දය දෙනවා ද? ජනාධිපති ධුරයක් දැරූ අයකු කිසිම ලියවිල්ලක් නැතිව මෛත්‍රිපාල දුන් පොරොන්දුවක් මත පමණක් ඒ සා වැදගත් පනතකට ඡන්දය දෙනවා ද? 

අනෙක් අතට ඒකාබද්ධ විපක්‍ෂයෙ ම අය තමයි කිව්වෙ මෛත්‍රිපාල විශ්වාස කරන්න බැහැ කියලා. රෑ එකට ආප්ප කා පසුදා උදේ තමන්ට විරුද්ධ වූ අයකු ගැන මාස කිහිපයක් යන්නට මත්තෙන් එවැනි විශ්වාසයක් ඇති කර ගත්තේ කෙසේ ද? මට මෛත්‍රිපාල ගැනවත් මහින්ද ගැනවත්  තදබල විශ්වාසයක් නැහැ.  ඒත් ඒ දෙදෙනා එකතු නොවී රනිල් ඉවත් කරන්න බැරි බව මා දැන සිටියා. මා ඒ සඳහා ලිව්වා. පහුගිය ඔක්තෝම්බරයෙ එය එලෙසමත් ඉටු වුණා. මයිලෝ කාරයන් නොවන්නට අපට හුඟක් දේ කර ගන්න තිබුණා.  

මහින්ද දහනවයට ඡන්දය දෙන්න ඒකාබද්ධ විපක්‍ෂය පෙළඹෙව්වේ තමාට ඊනියා විධායක අගමැතිකම ලැබේවිය යන බලාපොරොත්තුවෙන් විධායක ජනාධිපති බලතල කපා දැමීමට කියන එක දැන් කියන එකක් නැහැ. ඔහු අඩු වශයෙන් දහතුන ගැනවත් හිතුවේ නැහැ. පළාත් සභා තිබිය දී විධායක ජනාධිපති බලතල කප්පාදු කිරීම ඔහුට ප්‍රශ්නයක් වුණේ නැහැ. රට ගැන නොව පෞද්ගලිකත්වය ගැන පමණක් සිතා තීරණ ගැනීමේ වරදින් අද රට ම අස්ථාවර වෙලා. මහින්ද ඒකාබද්ධ විපක්‍ෂයේ ඡන්ද ලබා නොදෙන්න දහනවය සම්මත කර ගන්න බැහැ.  

2018 මැයි 05, 08, 16, 26, 27, 30 හා ජූනි 08 කාලය වෙබ් අඩවියේ පළ වූ ලිපි කියෙව්වොත් විස්ස ගැන තව යමක් කමක් දැන ගන්න පුළුවන්. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනවා. දහනවයට පමණක් නොව යහපාලන අයවැයටත් ඒකාබද්ධ විපක්‍ෂය ඡන්දය දුන් බවයි මගේ මතකය. වැරදි නම් කියන්න. මේ රටේ තියෙන්නෙ දරුණුම ගණයෙ ගණුදෙනු (ඩීල්) දේශපාලනයක්. දහනවයට විරුද්ධ ව ඡන්දය දුන්නෙ සරත් වීරසේකර පමණයි. ජානක බණ්ඩාර ඡන්දය නොදී ගෙදර ගියා.    

Saturday, 16 March 2019

දාසනායකගෙ උප්පරවැට්ටි ද සුවිශේෂ බුද්ධිය ද?


දාසනායකගෙ උප්පරවැට්ටි ද සුවිශේෂ බුද්ධිය ද?



නවසීලන්තයේ සිදු වූ මුස්ලිම් පල්ලි දෙකක් එල්ල කර ගත් ඝාතන එරට වසන සිංහල බෞද්ධයන්ගේ වැඩක් වෙන්න බැරි නැහැ. එහෙම නැත්නම් මියන්මාර් බෞද්ධයන්ගෙ වැඩක් වෙන්න ඕන. මුස්ලිම් විරෝධයක් තියෙන්නෙ ඒ රටවල විතරයි. මුස්ලිම් - ක්‍රිස්තියානි විරෝධයක් තියෙන්න බැහැ. දෙගොල්ලන් ම අදහන්නෙ එක ම දෙවියන් වහන්සෙ.  ඒත් දැන් ආරංචි වෙන විධියට නවසීලන්තයෙත් අන්තවාදීන් ඉන්නවා. මා මෙච්චර කල් හිතන් හිටියෙ සිංහල බෞද්ධයන් විතරයි අන්තවාදී කියලා.

Monday, 4 March 2019

මහින්දගේ සරුංගල් දේශපාලනය


මහින්දගේ සරුංගල් දේශපාලනය



මා මහින්දවාදියකු නො වෙයි. මා අතින් කෙරුණු එක් වරදක් නම් මහින්ද ජාතිකවාදියකු කිරීමට සුළුවෙන් හරි උත්සාහ කිරීමයි.  ඔහු නන්දිකඩාල් ජයග්‍රහණයට පසු දා ම 2009 මැයි විසිවැනි දා ම ඉන්දියාවට දී ඇති පොරොන්දුව මා දැන ගත්තේ බොහෝ කලකට පසුවයි. ඒ දැන සිටියේ නම් මා එවැනි උත්සාහයක් දරන්නේ නැහැ. මහින්ද කිසි දිනෙක ජාතිකවාදියකු ව සිට නැහැ. ඔහු කොටි සංවිධානය පැරදවීමට හමුදාවට දේශපාලන නායකත්වය දුන්නා. අප එය අගය කරනවා. එහෙත් ඔහු ඒ කෙළේ නොකර බැරි විටයි. කිසිවකුට කියන්න පුළුවන් ඔහු එතෙක් සේනා සංවිධානය කළා කියා. නැහැ ඔහුට එවැනි දැක්මක් තිබුණේ නැහැ. ඔහු වරක් සෝමවංශ අමරසිංහගෙන් අසා තිබෙන්නේ යුද්ධ කරන්නේ අහවල් එකෙන් ද කියා. ඒ සේනා සංවිධානය කළ අයකුගේ කතාවක් නොව බැහැ කියන අයකුගේ කතාවක්.

Sunday, 24 February 2019

ඇතුළෙත් ගැට පිටත් ගැට


ඇතුළෙත් ගැට පිටත් ගැට



දැන් ඒ ගමන බොහෝ දෙනකු ව්‍යවස්ථා සභාවෙ ඉතිහාසය ගැන කියන්න පටන් අරගෙන. ව්‍යවස්ථා සභාව පටන් ගත්තෙ දහහත්වැනි සංශෝධනයෙන් බව මතක් වෙලා. දහහත්වැනි සංශෝධනයට අනුව බහුතරයක් පාර්ලිමේන්තුවට පිටින් ව්‍යවස්ථා සභාවට පත් කරන්න හිටියත් දිනේෂ් හා වාසු මැදිහත් වෙලා වැඩි නියෝජනත්වය පාර්ලිමේන්තුවට ගත්ත කියන එක චෝදනාවක් ලෙස ඉදිරිපත් කෙරෙනවා. පිටින් යෝජනා කරන අය අපක්‍ෂපාත වෙන්න පුළුවන් කියන එක ද මේ අය කියන්නෙ. පිටින් ගන්න අය වග කියන්නෙ කාට ද? ඔවුන්ගෙ නම් යෝජනා කරපු අයට ද?

Thursday, 24 January 2019

සුමන්තිරන් අපිත් සූදානම්


සුමන්තිරන් අපිත් සූදානම්





සුමන්තිරන් දෙරණ වාදපිටියට ඇවිත්. මා එය නැරඹුවේ ඊයේ. සුමන්තිරන් කී දේ ඉතා පැහැදිලියි. එයින් කියන්නේ ඔහු විවෘත ව කතා කළ බව නො වෙයි. ඔහු රනිල්ගෙ නිවුන් සොහොයුරෙක් වගේ. සුමන්තිරන් බොහෝ දේ හංගන්න තැත්කරත් ඔහුට රනිල්ට මෙන්ම එයට හැකියාවක් නැහැ. ඔහු සිංහලයන්ට තර්ජනයක් ද කළා. සිංහලයන් සුමන්තිරන්ලාට ව්‍යවස්ථා සංශෝධනයට ඉඩ නොදුන්නොත් උතුරේ ජනතාව තමන්ට වඩා දැඩි ක්‍රියා මාර්ගවලට යන අය තෝරා ගනීවි කියා. අප එයට බය නැහැ. ඒ කරුණු දෙකක් නිසා. උතුරේ ජනතාව එවැනි ක්‍රියා මාර්ගවලට යෑමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. විග්නේස්වරන්ගේ අසාර්ථක උත්සාහයෙන් ඒ බව පැහැදිලි වෙනවා. දෙවනුව යම්කිසිවකු ප්‍රභාකරන් මෙන් බලහත්කාරයෙන් එවැන්නක් කළහොත් ඔහුටත් අත් වෙන්නෙ ප්‍රභාකරන්ගෙ ඉරණම ම තමයි. බටහිරයන්ට, වෙල්ලාල ප්‍රභූන්ට හා සිංහල පඬියන්ට මිස දෙමළ කතා කරන ජනයාට සිංහල බෞද්ධ විරෝධයක් නැහැ. 

Sunday, 30 December 2018

රනිල්ගේ ම නොවන රනිල්ගෙ ආණ්ඩුව හෙවත් සුමන්තිරන්ගෙ ආණ්ඩුව


රනිල්ගේ ම නොවන රනිල්ගෙ ආණ්ඩුව හෙවත් සුමන්තිරන්ගෙ ආණ්ඩුව



රනිල් උපාසක මහත්තයා දළදා මාළිගාවට ගිහින්. ඔහු නිළමෙළාත් එක්ක පින්තුරෙකුත් අරගෙන. රනිල්ට ඕන කෙනකු එක්ක පින්තූර ගන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් නිළමෙළා පිරිවරාගෙන පින්තූර ගන්නෙ රාජ්‍ය නායකයා. මට සුභ සහ යස සිහිවෙනවා. කවටකමට හරිි රජ්ජුරුවන්ට අඳින එක හොඳ වැඩක් නො වෙයි. රනිල් අනුරාධපුරෙත් ගිහින්. ශ්‍රී මහා බෝධීන් වහන්සේට සිවුරු පූජා කරලා. තම හිසින් බෝධීන් වහන්සේ ස්පර්ශ කරලා. රනිල් දැන් වයසට ගිහින් ද? වයසට යන විටත් පරලොව මතක් වන විටත් මිනිසුන් ඔහොම හැසිරෙනවා. ඒත් රනිල්ගෙ සංස්කෘතිය මොකක් ද? රනිල්ට අවශ්‍ය තමන් සිංහල බෞද්ධ සංස්කෘතියෙ ආරක්‍ෂකයා කියල පෙන්නන්න ද?

Wednesday, 12 September 2018

ජෙනීවා හා නිව්යෝක්


ජෙනීවා හා නිව්යෝක්



ඊයේ ලිපියෙහි වරදක් වෙලා. එහි පහත සඳහන් වාක්‍ය කිහිපය තිබුණා. "අප කළ යුත්තේ නනදිකඩාල් හි පරාජය වුණේ ප්‍රභාකරන් හා කොටි පමණක් නොව මුළු  දෙමළ ජාතිවාදී ව්‍යාපෘතිය ම බව පෙන්වා දීමයි. නන්දිකඩල් ජයග්‍රහණයෙන් පසු තවත් සාකච්ඡා ඊනියා සංහිඳියා කතා අවශ්‍ය නැහැ. නන්දිකඩාල් හි අප දුන්නේ දේශපාලන විසඳූමක් එය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් මිස ඊනියා ජාත්‍යන්තරයක ප්‍රශ්නයක් නො වෙයි. මා ඒ බව සරත් වීරසේකරට මෙන් ම චන්න ජයසුමනටත් කියා තියෙනවා."  

Monday, 10 September 2018

තර්ජනී නාමල් හා මෛත්‍රිපාල


මේ ලිපි මුහුණු පොතේ පළ කරන්නේ නම් පමණක් කරුණාකර පළමුව කර්තෘගේ අවසරය ලබා ගන්න.

තර්ජනී නාමල් හා මෛත්‍රිපාල



කාලෙකට පස්සෙ ලංකාවෙ කණ්ඩායමක් ශූරතාව  දිනලා. ඒ දැල්පන්දු ක්‍රීඩාවෙන්. කණ්ඩායමේ හිටිය දෙමළ කතාකරන ක්‍රීඩිකාවක් ගැන බොහෝ දෙනා කතා කරනවා.  ඇයත් කණ්ඩායමත් ගැන අපට ආඩම්බරයක් තියෙනවා. එහෙත් ඒ ක්‍රීඩිකාවගේ නම කුමක් ද? එය සිංහලෙන් ලියැවෙන්නෙ තර්ජනී කියලා. එහෙම නමක් තියෙන්න පුළුවන් ද? ප්‍රංශ නම් හරියට උච්චාරණය කරන්න වෙහෙසෙන දෙමළ සිංහල භේදයක් ඇතිකිරීමට බටහිරයන්ගේ (ප්‍රංශ කාරයන්ගේ ද ඇතුලුව) ආධාරයෙන් හා අනුග්‍රහයෙන් කටයුතු කරන ඊනියා මානව හිතවාදීන් මේ නම උච්චාරණය කරන හැටි ප්‍රංශ කාරයකුගෙන්වත් අහගන්නෙ නැහැ. දෙමළ නම් ඉංගිරිසි අකුරෙන් ලියන්නෙ එක එක විධියට. අපට ඉස්සර ධර්මරත්නම් කියා ආචාර්යවරයෙක් හිටියා. ඔහුගේ නම ලිව්වෙ (Tharmaratnam) කියා. අරුල්ප්‍රගාසම් කියා පීඨාධිපතිවරයකුගෙ නම ලිව්වෙ (Arudpragasam) ලෙස. දෙමළ බසට ගරු කරනවා කියන පඬියන් ඒ බසට ප්‍රංශ බසට තරම් ගරු කරන්නෙ නැති බව පැහැදිලියි. දෙමළ න ල ෂ ශබ්ද කිහිපයක් තියෙනවා. ඒ ඉංගිරිසියෙන් (පඬි වීමට රෝම අකාරාදියෙන්)  ලියන ක්‍රම තියෙනවා. මා හිතන්නෙ මේ ක්‍රීඩිකාවගේ නම දර්ශනී කියලා. මා වැරදි වෙන්න පුළුවන්. දන්න කෙනෙක් කියන්න.

Thursday, 12 July 2018

රනිල්ගේ විස්ස


රනිල්ගේ විස්ස



රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාව සඳහා අනුර කුමාරගේ උපදෙස් මත විජිත හේරත් ගෙනෙන ලද විසිවැනි සංශෝධනය ගැසට් පත්‍රයේ පළ කරලා. එය සම්මත වීමට ඉඩක් තිබෙනවා. වෙල්ගම වැන්නන්ගේ ප්‍රකාශ එතරම් යහපත් නැහැ. විසිවැනි සංශෝධනය නිසා මහින්දට අගමැති වී නැවත ආණ්ඩුවේ නායකයා වීමේ අවස්ථාවක් ඇති බව පෙන්නුම් කරාවි. රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීම ගැන දැනට කතාබහක් නැහැ.

Friday, 8 June 2018

විස්ස පැරදවීමට නව දේශපාලනයක ජාතික ව්‍යාපාරයක්




විස්ස පැරදවීමට නව දේශපාලනයක ජාතික ව්‍යාපාරයක්



විස්ස ගැන නීතිපති කුමන තීන්දුවක් දුන්නත් එය අධිකරණයට යොමු කළ යුතුයි. අධිකරණය කිනම් තීන්දුවක් දේව්දැයි කියන්න බැහැ. විස්සෙන් පැහැදිලිව ම ජනතා පරමාධිපත්‍යයෙහි විධායක බලතල මෙන් ම ව්‍යවස්ථාදායක බලතල ද ක්‍රියාත්මක කරන ආකාරය වෙනස් කරනවා. ජනතා පරමාධිපත්‍යය පිළිබඳ කරුණක් නිසා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවේ ය කියා හිතනවා. ඒ කියන්නේ එය ජනමත විචාරණයකින් ද සම්මත වෙන්න ඕන.

Thursday, 31 May 2018

ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්


ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්





ඒකාබද්ධ විපක්‍ෂය විස්සට විරුද්ධ වෙන්න ඒකමතික ව තීරණය කරලා. අදාළ යෝජනාව ඉදිරිපත් කරල තියෙන්නෙ මහින්දමයි. මහින්ද ම යෝජනාව ඉදිරිපත් කරපු එක හොඳයි, වෙන අයකු ලවා එය නොකරවා. මහින්ද ඉදිරිපත් කරන යෝජනාවකට අනෙක් අය විරුද්ධ වන්නෙ කලාතුරකින්. ඒකාබද්ධ විපක්‍ෂෙ බැසිල් හිටියත් ඔහුටත් යෝජනාවට පක්‍ෂ වෙන්න වෙනවා. ජී එල් පීරිස් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ.

Wednesday, 30 May 2018

විස්ස ගැන වැරදුණොත් නිවැරදි කරන්න බැහැ


විස්ස ගැන වැරදුණොත් නිවැරදි කරන්න බැහැ





තවම විස්ස කෙටුම්පත දැකලා නැහැ ඒ නිසා මොකුත් කියන්න බැහැ අපි තීරණයක් අරගෙන කියන්නම්  ආදී කතා විවිධ පක්‍ෂවලින් ඒ කියන්නෙ, ඒවායෙ නායකයන්ගෙන් කියැවෙනවා. ඔය කෙටුම්පත ඕන නම් ජ වි පෙරමුණෙන් ඉල්ලගෙන කියවන්න පුළුවන්. දි අයිලන්ඩ් පත්තරේ ඒකෙ තියෙන දේ ගැන කෙටි සටහනක් පළ වුණා. දි අයිලන්ඩ් පත්තරේට ගන්න පුළුවන් වුණා නම් අනෙක් පත්තරවලට ගන්න බැරි වුණෙ මොක ද කියන එකත් ප්‍රශ්නයක්.

Saturday, 12 August 2017

විසිවැනි සංශෝධනය  

විසිවැනි සංශෝධනය

හර්තාලයට අදට අවුරුදු 64ක් වෙනවා. මා මෙය සඳහන් කරන්නේ හර්තාලය ගැන ලිවීමට නො වෙයි. සමසමාජ කොමියුනිස්ට් පාක්‍ෂිකයන්ට අද හර්තාල් දවස බව මතක් වේවි ද යන්න දැන ගන්නත් එක්ක. ඒ කාලෙ අප දැන ගෙන හිටියෙ පනස්හයත් හර්තාලයේ ප්‍රතිඵලයක් හැටියට. හර්තාල් කියන්නෙ මා දන්නා විධියට හින්දි නමක්. ඒකට සිංහල නමක් නැහැ. එක කාලයක මේලා වැනි හින්දි නම් රටේ ප්‍රචලිත වුණා. දැන් නම් කෙලින් ම ඉංගිරිසි නම් තමයි කියැවෙන්නෙ. අපේ ගෙදර පොඩි උත්සවයක් තියෙනවයි කිව්වම තරුණයන් මගෙන් අහන්නෙ ෆන්ක්ෂන් එකක් ගැන.ඒ මොනව වුණත් හර්තාලයෙන් වුණු වැඩේ ඩඩ්ලි සේනානානයක අගමැති කමෙන් ඉවත් වෙලා ජෝන් කොතලාවල ඒ තනතුරට පත් වෙච්ච එක. හර්තාලෙ ගැන දැනට ඊට වැඩිය කතා කරන්න ඕනෙ නැහැ.