Main Logo

Monday 4 March 2019

මහින්දගේ සරුංගල් දේශපාලනය


මහින්දගේ සරුංගල් දේශපාලනය



මා මහින්දවාදියකු නො වෙයි. මා අතින් කෙරුණු එක් වරදක් නම් මහින්ද ජාතිකවාදියකු කිරීමට සුළුවෙන් හරි උත්සාහ කිරීමයි.  ඔහු නන්දිකඩාල් ජයග්‍රහණයට පසු දා ම 2009 මැයි විසිවැනි දා ම ඉන්දියාවට දී ඇති පොරොන්දුව මා දැන ගත්තේ බොහෝ කලකට පසුවයි. ඒ දැන සිටියේ නම් මා එවැනි උත්සාහයක් දරන්නේ නැහැ. මහින්ද කිසි දිනෙක ජාතිකවාදියකු ව සිට නැහැ. ඔහු කොටි සංවිධානය පැරදවීමට හමුදාවට දේශපාලන නායකත්වය දුන්නා. අප එය අගය කරනවා. එහෙත් ඔහු ඒ කෙළේ නොකර බැරි විටයි. කිසිවකුට කියන්න පුළුවන් ඔහු එතෙක් සේනා සංවිධානය කළා කියා. නැහැ ඔහුට එවැනි දැක්මක් තිබුණේ නැහැ. ඔහු වරක් සෝමවංශ අමරසිංහගෙන් අසා තිබෙන්නේ යුද්ධ කරන්නේ අහවල් එකෙන් ද කියා. ඒ සේනා සංවිධානය කළ අයකුගේ කතාවක් නොව බැහැ කියන අයකුගේ කතාවක්.




මහින්ද කොටි සංවිධානය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දෙන තැනට තල්ලු කෙරුණේ ජාතික ව්‍යාපාරය විසින්. ඔහු බැරි ම තැන හමුදාවට දේශපාලන නායකත්වය දුන්නා. එහෙත් අප දැන් දන්නා විධියට ඉන්දියාවට යම් පොරොන්දු දීමෙන්. 2008 -2009 කාලයෙහි ඉන්දියාව හා ලංකාව අතර දෙරටේ ට්‍රොයිකා හෙවත් තුන්දෙනාගේ කණ්ඩායම් අතර පැවති සාකච්ඡාවල දී මේ පිළිබඳ එකඟතාවකට පැමිණ ඇති බව පැහැදිලියි.



මහින්දට ඇත්තේ සරංගල් දේශපාලනයක්. ඔහු සරුංගල් මගින් දේශපාලන හුළඟ හමන අත තේරුම් ගන්නවා. ඒකෙන් කියන්නේ ඔහු සෑම විට ම දේශපාලන හුළඟ අනුව තම ක්‍රියාමාර්ග (මා ඒවාට ප්‍රතිපත්ති කියා කියන්නේ නැහැ) වෙනස් කරන බව නො වෙයි. ඔහු අනෙක් බොහෝ දෙනාට වඩා ප්‍රායෝගිකත්වය මුල් කරගත් දේශපාලනඥයෙක්. ඔහු ඇඟ බේරාගෙන උත්තර දෙන්න දන්නවා.



ඊළඟ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ගැන ඔහු කිසිවක් කියන්නේ නැහැ. වහාම එසේ කළ යුතු යැයි මා කියන්නේ නැහැ. එහෙත් වැඩි කල් නොගොස් ඔහුට ජනාධිපති අපේක්‍ෂකයා නම් කරන්න වෙනවා. ඔහු එයට කලින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න උත්සාහ කරනවා. ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් මගින් ඔහුට බලපෑම් දැමීමට බැහැ. දැන් එවැනි ජාතික ව්‍යාපාරයක් නැහැ.  අද ජාතික ව්‍යාපාරය මෙහෙයවෙන්නෙත් මහින්ද අතින්.



පහුගිය දා ඔහු සුපුරුදු පරිදි ඇඟේ නොගෑවෙන කතාවක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන කියා තිබුණා. ඔහුට අනුව ජ වි පෙ සමග සාකච්ඡා පවත්වනවා, ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟයි, එහෙත් මේ පාර්ලිමේන්තුවට ඒ කිරීමට බැහැ. මේ ප්‍රකාශයෙන් ප්‍රශ්න ගණනාවක් ම මතු වෙනවා. ඔහු ජනාධිපති ව සිටි අවස්ථාවෙහි විශේෂයෙන් ම 2010න් පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න උත්සාහ කෙළේ නැත්තේ ඇයි? ඒ පාර්ලිමේන්තුවටත් එසේ කිරීමට හැකියාවක් තිබුණේ නැද්ද? මේ පාර්ලිමේන්තුවට යම් කිසි ආකාරයකින් විධායක  ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හැකි නම් මහින්ද එයට ආධාර කරනවා ද? ඒ ප්‍රශ්නය වෙනත් අයුරකින් ඇහුවෙත්, එනම් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මගක් සලසා ගත හැකි නම් ඔහු විපක්‍ෂයට ඒ සඳහා ඡන්දය දීමට කියනවා ද? ඔහු මේ සියල්ල කරන්නේ ඔහුට දහනවයෙන් වැට බැන්ද නිසා ද? එහෙත් ඔහු නොවන්නට දහනවය සම්මත කර ගන්න බැහැ.



අමතක කරන්න එපා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්දය දෙන ලෙස මහින්ද ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට කී බව. පවිත්‍රා වන්නිආරච්චි එයට හොඳම උදාහරණය. මහින්දට කෙලින් ම කියන්න බැරි ද ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඡන්දය නොදෙන බව හා විපක්‍ෂයට එවැනි යෝජනාවකට විරුද්ධ ව ඡන්දය දීමට උපදෙස් දෙන බව. සරුංගල් ඇරීමෙන් හැමදාමත් දේශපාලනය කරන්න බැහැ. මා මෙසේ කී පමණින් මා සිරිජාතිකවාදියකු අන්තවාදියකු ආදී වශයෙන් හැඳින්වීමට මහින්දවාදීන් මෙන් ම බැසිල්වාදීන් ද ඉදිරිපත් වේවි. ජාතිකත්වයක් නොමැති බැසිල්වාදීන්ට ජාතිකත්වයක් ඇතියවුන් පෙනෙන්නේ ජාතිවාදීන් ලෙස.



පොහොට්ටුවේ ඇතැමුන්ගේ උද්ධච්ඡ කතා අප බැහැර කළ යුතුයි. පොහොට්ටුව යනු මහින්දට හිතවත් සාමාන්‍ය මිනිසුන්ගේ නිර්මාණයක්. එය 2015 ජනවාරි නවවැනි දා සිට නිර්මාණය වූ පක්‍ෂයක්. මහින්ද සුළඟත් එහි නිර්මාණයක්. බැසිල් කෙළේ හොඳින් වර්ධනය වන ව්‍යාපාරයකට පිට රටින් පැමිණ නමක්, ලකුණක් හා සභාපති කෙනකු දීම පමණයි. බැසිල් යනු පුම්බන ලද චරිතයක් පමණයි. මහින්ද 2015 පැරදුණේ බැසිල් පිටරට යෑමෙන් පසුව නො වෙයි. 



පොහොට්ටුවේ සමහරුන් කියන්නේ තම යශෝරාවය වැඩි වෙමින් තිබූ අවස්ථාවක මහින්ද අගමැතිකම භාර ගැනීමෙන් ඒ වර්ධනය කුරුවල් කර ගත් බවයි. ඔක්තෝම්බර් විසිහය නොවන්නට විස්ස හරි වෙනත් ව්‍යවස්ථා සංශෝධනයක් හරි තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කර ගෙන අවසානයි. ඒකාබද්ධ විපක්‍ෂයේ අයට එය නැවැත්වීමේ  හැකියාවක් තිබුණේ නැහැ. අද රනිල් කිසිවක් කරගත නොහැකි පුද්ගලයකු වෙලා. ඔහුට අද ජීවයක් ලැබිය හැක්කේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පමණයි. ප්‍රශ්නය මහින්ද ඔහුට ඒ සඳහා ආධාර කරනවා ද යන්නයි. මහින්ද කිව යුත්තේ කොන්දේසි විරහිත ව ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධ ව විපක්‍ෂය මෙහෙයවන බවයි. එහෙත් ඔහු සුපුරුදු පරිදි බයිලා කියනවා. මහින්ද ඒ සම්බන්ධයෙන් වැනෙන කතා නොකියා නිශ්චිත පිළිතුරක් ලබා දිය යුතුයි.



අද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි ජනාධිපතිට අවුරුදු හතරහාමාරක් වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සාමාන්‍ය තත්වයන් යටතේ කළ නොහැකි බව දහනවයෙන් කියන නිසා. මහින්දත් දහනවයට වග කියන්න ඕන. රනිල්ට හා රනිල්දාස දාසනායකට අවශ්‍ය දේ කිරීමට මහින්ද සහාය දුන්නොත් ඒ සියළු රාජපක්‍ෂවරුන්ගේ අවසානය වේවි. මහින්ද කළ යුත්තේ මෛත්‍රිපාල සමග ඇති කර ගත් සමගිය තවදුරටත් වර්ධනය කර විධායක ජනාධිපතිකමට සුදුසු අපේක්‍ෂකයකු තෝරාගැනීමයි. එසේ කිරීමෙන් පමණක් මෙරට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට මගක් සොයා ගන්න හැකි වේවි. එසේ නොවුවහොත් රට අරාජික වෙනවා. අදාළ විකල්ප සියල්ල සාකච්ඡා කරන්න මා මේ අවස්ථාවක් කර ගන්නේ නැහැ. එහෙත් ඒ එකකින්වත් රටට යහපතක් වන්නේ නැහැ.