Main Logo

Friday 15 March 2019

ජෙනීවා හා හුඹස් බිය


ජෙනීවා හා හුඹස් බිය



මෛත්‍රිපාල නයකු යැයි සඳහන් කෙළේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර. ඉතා පැහැදිලි ව මෛත්‍රිපාල උත්සාහ කරන්නේ නැවතත් ජනාධිපති වෙන්න. ඒ ගැන සැකයක් නැහැ. හිරුණිකා බලන්නෙත් කොහොම හරි ඇමතිණියක් වන්න. ඇයට මහින්ද ගැනත් විශ්වාසයක් නැහැ. එහෙත් රනිල් ගැන විශ්වාසයක් තියෙන බව පේනවා. මට නම් මේ කිසිම අයකු ගැනත් බැසිල් ගැනත් විශ්වාසයක් නැහැ. රනිල් ආරක්‍ෂා කෙරෙන්නේ කවුරුන් විසින් ද යන්නට පිළිතුරු රාශියක් තියෙනවා. අප එක් එක් අයට එහි දී පෙනෙන්නේ අප විරුද්ධ අය පමණයි.




එක්තරා කාරියකරවන චරිතවත් මූසිලයකු කියා තිබුණා ඔක්තෝම්බර් විසිහයෙන් රනිල්ගේ තුනෙන් දෙක නැති වුණේ නැහැ කියා. ඔහුට ඇත්තේ මහා දාර්ශනිකයාට මෙන් ම මෛත්‍රිපාල වෛරයක්. ඔක්තෝම්බර් විසිහය නොවන්නට රනිල් කලින් මෙන් ම මෛත්‍රිපාල යට කර ගෙන තමන්ට අවශ්‍ය පරිදි ව්‍යවස්ථාවත් සම්මත කර ගෙන. ජ වි පෙ රනිල් වෙනුවෙන් උත්සාහ කළත් විස්සක් උස්සන්න බැහැ.



එයට හේතුව මෙරට දේශපාලන නායකත්වයකට යට නොවන සිංහල බෞද්ධ බලය. දේශපාලනඥයන් සිංහල බෞද්ධ බලයට බයයි. එය ඩී එස් සේනානායකගේ කාලයේ සිට එන්නක්. එ ජා ප මෙන් ම ඊනියා සමාජවාදී බලවේගත් සිංහල බෞද්ධ බලයට යටයි. සමසමාජ පක්‍ෂයට ජාතිකත්වයක් ඇති අය ඇදී ගියේ ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවීමට පෙර. ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවා එය ජාතිකත්ව පක්‍ෂයක් බවට පත්වීමට ඇරඹූ දිනයේ සිට මෙරට පැරණි වම නැතිවන්න පටන් ගත්තා. විජේවීර ජාතිකත්වය හා ඊනියා සමාජවාදය අතර දෝලනය වෙමින් සමාජ වෛරයක් ඇති කරමින් ඊනියා නව වමක් හදන්න උත්සාහ කළා. ප්‍රේමදාස ජ වි පෙ නැති කෙළේ නැවත ඔළුව එසවීමට අවස්ථාවක් නොදෙමින්. දෝලකයන්ට වැඩි කල් පැවැත්මක් නැහැ.



මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂය මරා දැම්මා. එයට බැසිල්ලාත් වග කියන්න ඕනෙ. බටහිරයන් හා ඉන්දියාව සිංහල බෞද්ධ බලවේග නැසීමට මහින්ද මෛත්‍රිපාල විරසකය යොදා ගත්තා. එහි දී ඔවුන් මහින්දට විරුද්ධව මෛත්‍රිපාල යොදා ගත්තා. ඔවුන්ට අවශ්‍ය වුණේ රනිල් බලයට පත් කර සිංහල බෞද්ධ බලය විනාශ කිරීමට. රනිල් එය ක්‍රමයෙන් කෙරුවා. අප මහින්ද හා මෛත්‍රිපාල එක්විය යුතු බව කීවේ රනිල් පරාජය කර සිංහල බෞද්ධ බලය නගා සිටුවීමට. ඉන් ඔවුන් දෙදෙනාගේ ජාතිකත්වයක් කියැවෙන්නේ නැහැ.



2015 පරාජයෙන් කලකට පසුව තමයි පොහොට්ටුව ආරම්භ කෙළේ. ඒකෙ ඇති සිංහල බෞද්ධ කමක් නැහැ. බැසිල් ජාතිකත්වයක් ඇති අයෙක් නො වෙයි. ඔහු තමයි සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් දිනන්න බැහැ කියන මතය ඉදිරියට ගෙන යන්නා. ඔය කියන තරම් මුස්ලිම් ඡන්ද බැසිල්ට ගන්න බැහැ. රිෂාඩ් බද්‍යුද්දීන් අවසානයේ දී වැඩ කරන්නේ තමන්ගේ ඡන්ද මඩිය තර කර ගන්න පමණයි. අද පොහොට්ටුවේ ඇතැමුන් සිංහල බෞද්ධකම ගැන කතා කරන අයට විරුද්ධව වැඩ කරනවා. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂය මරා දැමීමෙන් පසු නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවීමට අප විපක්‍ෂයට කළ ඉල්ලීම බීරි අලින්ට කළ විණා වාදනයක් වුණා. අවුරුදු තුනකට පමණ පසු පිහිටුවූ පොහොට්ටුව සිංහල ජාතිකත්වයේ පක්‍ෂයක් නො වෙයි. එහෙත් අද පොහොට්ටුව හා ශ්‍රී ල නි ප එකතුවීමකින් තොරව රනිල් පරාද කරන්න බැහැ. ඔහු තමයි සිංහල බෞද්ධ සංස්කෘතියේ විනාශය වෙනුවෙන් වැඩ කරන්නා. එහි දී ඔහු සුමන්තිරන් සමග එකතු වෙනවා.



ජෙනීවාහි ලංකාවේ නියෝජිතයා මෙවර යෝජනාවටත් සම අනුග්‍රහය දීමට දැනටමත් අත්සන් කර. ඒ කාගේ අවශ්‍යතාවට ද?  අඩු තරමෙන් විදේශ අමාත්‍යාංශයවත් ඒ ගැන දැන සිටියා ද? ලංකාවේ නියෝජිතයාට විද්‍යුත් තැපෑලෙන් උපදෙස් දුන්නේ කවු ද?  ඒ විිද්‍යුත් තැපැල් යැවුණේ මුදල් අමාත්‍යාංශයෙන් ද? මෙයටත් අවසානයේ දී මංගල පමණක් වැරදිකරු වේ ද? ඒ අර්ජුන් මහේන්ද්‍ර පමණක් වැරදිකරු වෙන ආකාරයට ද?  



මේ තත්වය වෙනස් කිරීමට මෛත්‍රිපාලට පුළුවන් ද? 2009 සිට ම අප ක්‍රියා කර ඇත්තේ බටහිරයන් සතුටු කිරීමට. අප ඊශ්‍රායලය මෙන් කටයුතු කර නැහැ. මියන්මාරය මෙන් කටයුතු කරන්නේ නැහැ.අද ථෙරවාදය රකින ප්‍රධාන රට බවට මියන්මාරය පත්වෙමින් ඉන්නවා. අවුරුදු දහස් ගණනක් ථෙරවාදය රැකි රට ලෙස පිළිගැණීමට ලක් වූ ලංකාවට ඒ තත්වය නැති වේගෙන යනවා. 2009 න් පසු නන්දිකඩාල් පාවාදීමෙන් පසු අප වැඩ කෙළේ ඉන්දියාවේ අවශ්‍යතාවට. දයාන් වැනි ඊනියා ස්මාට්වාදීන්ගේ උපදෙස් මත ක්‍රියා කළ මහින්දට සිංහල බෞද්ධ බලවේගවල ශක්තිය නිසා ඉන්දියාවට විරුද්ධ වන්න සිදු වුණා. එවිට ඉන්දියාව ජෙනීවාහි අපට විරුද්ධ වුණා. මහින්දටත් ශක්තිය තිබුණේ නැහැ ජෙනීවාහි බටහිරයන්ට විරුද්ධ ව වැඩ කරන්න. අප එක්සත් ජාතීන්ගේ බොරු කොන්දේසිවලට යට වුණා.



රනිල් සම්පූර්ණයෙන් ම බටහිරයන්ට අවශ්‍ය අන්දමට කටයුතු කරනවා. ඔහුගේ අනුමැතිය නැතිව මංගල වැඩ කරන එකක් නැහැ. මෛත්‍රිපාල ඉතා දැඩි ස්ථාවරයක් ගන්න ඕන. ඔහු මියන්මාරයෙන් පාඩමක් ඉගෙන ගන්න ඕන. එහෙත් ඔහුට ඒ සඳහා ශක්තිය තියෙනවා ද? මහින්දට තියෙනවා ද?  මෛත්‍රිපාලට තිලක් මාරපන මහතා ලවා ඉදිරිපත් කරවන කතාවෙන් සම අනුග්‍රකත්වයට අනුග්‍රහකත්වයක් නැති බව කියවන්න පුළුවන් ද? එහෙම නැත්නම් ලංකාවේ නියෝජිතයාගේ මතය තම මතය නොවන බව ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් ද?  මහින්දටත් ජාත්‍යන්තරය ඉදිරියේ ජෙනීවාහි සිංහලයන් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය ශක්තිය තිබූ බවක් පෙනී ගියේ නැහැ.



මෛත්‍රිපාල සිංහල බෞද්ධ බලය දිනා ගැනීමට වෑයම් කරන බව පේනවා.  එහෙත් ඔහු කරන ඇතැම් දේ හරි යැයි කියන්න බැහැ. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කළ යුතුව තිබුණේ නැහැ. එසේ කිරීමෙන් ත්‍රිපිටකය පවත්නා රාජ්‍ය තන්ත්‍රය යටතේ සංස්කෘතික අමාත්‍යාංශය යටතට පත් වුණා. දැන් ඊනියා ලෝක උරුමයක් කළහොත් ත්‍රිපිටකය යුනෙස්කෝවේ උරුමයක් වෙනවා. අපට ත්‍රිපිටකය ගැනත් සෙවීමට පළමුව ජෙනීවා හෝ පැරීසියට හෝ ගොස් අවසර ගන්න වේවි.



මෛත්‍රිපාලට සිංහල බෞද්ධ බලය දිනා ගැනීමට නම් කළ යුත්තේ හැකි තාක් ජෙනීවාවලින් ඉවත් වීමයි. ජෙනීවාහි ලංකා නියෝජිත අසීස්ට මෙවර යෝජනාවට සම අනුග්‍රහයක් දීමට බැරි බව ලෝකයට හඬ ගා කියන්න ඕන. එවිට ස්ථාවර දෙකක් ගැනීම නිසා ලංකාව ලෝක අවමානයට පත් වේ යැයි පඬියන් කියාවි. පඬියන් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට බයයි. අප මේ හුඹස් බිය නැති කර ගන්න ඕන.  ලෝක මාන්නයක් නිසා අප අපේ ස්වෛරීබව නැති කර ගනිමින් රණවිරුවන් ඊනියා ජාත්‍යන්තර/දෙමුහුන් අධිකරණවලට භාර දෙනවා ද?