Main Logo

Monday 11 March 2019

ජාතික සින්දුව හා ඩ්‍රීම් ස්ටාර්

ජාතික සින්දුව හා ඩ්‍රීම් ස්ටාර්

ලංකාවේ ජාතික සින්දුව ගැන කියා තිබුණේ රනිල්. ඔහු කළුතර දිස්ත්‍රික්කයේ යම් තැනක දී, පස්දුන් රටේ ද කියල මා දන්නෙ නැහැ, තමන් දෙමළ ජාතිවාදීන්ට කර ඇති සේවය ගැන කියද්දි කියල අද යාපනයට ගියාම ජාතික සින්දුව සමහර වෙලාවට සිංහලෙන් හා දෙමළෙන් කියනව කියලා. රටේ සංස්කෘතිය, භාෂාව, ඉතිහාසය (හයවැනි පරාක්‍රමබාහු රජුගේ ගොවිතැන) ගැන නොදන්න අගමැතිවරයකු සින්දු නොවෙයි  බයිල කිව්වත් කරන්න දෙයක් නැහැ කියල කාට හරි කියන්න පුළුවන්. රනිල්ගෙන් නම් දරුවන් එතරම් දෙයක් ඉගෙන ගන්නෙ නැති නිසා එතරම් බයක් නැහැ.


එහෙත් ජනමාධ්‍යවේදීන්, නිවේදකයන් එසේ නො වෙයි. බොහෝ දෙනා දරුවන් ද නොදරුවන් ද (ඇතැම් වැඩිහිටියන් ද දරුවන් නොවූවත් නොදරුවන් වගේ) ඉගෙන ගන්නේ ජනමාධ්‍යයෙන්. අතේ ඇඟිලි ගණනටත් අඩු කිහිප දෙනකු හැරෙන්නට  මේ ජනමාධ්‍යවේදීන් හා නිවේදකයන් සමග මගේ සම්බන්ධයක් නැහැ. ඔවුන්ට අනුව මා වැනි මුග්ධයන්ගේ අදහස් රටට වැඩක් නැහැ. දේශපාලනඥයන්ට වැඩක් තිබුණත් (ඔවුනුත් මා මෙන් මුග්ධ ලෙස ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් සලකන්නේ නැහැ) ඒ බව ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ.   

මා ඊයේ ලියූ ලිපියෙහි පහත සඳහන් වාක්‍ය කිහිපය තිබුණා. එය ඩ්‍රීම් ස්ටාර් සම්බන්ධයෙන්. ජනතා පරමාධිපත්‍යය කියන්නෙ දේශපාලනයෙහි යෙදෙන පාරිභාෂික වචන දෙකක්.එයට සම්මත අර්ථයක් තියෙනවා. මා කියා සිටියේ ඇතැමුන් ජනතා පරමාධිපත්‍යය යන්න තම නොදැනුවත්කම නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ වැරදියට වහරන බවයි.                       

යම් වැය ශීර්ෂයක් පරාද වුණු පළියට අයවැය පරාද වෙන්නෙත් නැහැ. එවිට ආණ්ඩුව අස්ථාවර වෙන බව පෙන්වල ජනතා පරමාධිපත්‍යය අනුව 3 හා 4 යටතෙ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් කියන එකයි මගේ මතය. ඒත් එය  උගත් නීතිඥයකුගෙ මතය නො වෙයි. ජනතා පරමාධිපත්‍යය දැන් හැමෝ ම යොදා ගන්නවා. බලාගෙන යනකොට ඊයෙ ඊනියා ඩ්‍රීම් ස්ටාර් තේරිල තියෙන්නෙත් ජනතා පරමාධිපත්‍යයෙන්. නාලන්දෙට ජනතා පරමාධිපත්‍යය හසුරුවන්න පුළුවන් වගේ. මහින්දත් නාලන්දෙ ඉගෙන ගෙන තියෙනවා.” 

වහරනුසෙරෙන් සපයා සිදත් සඟරා කියා තියෙන්නෙ අපේ ව්‍යාකරණ පොතේ. ව්‍යවහාරය වැදගත්. ඒ පොතත් පරිවර්තනයක්! අපි අපේ ව්‍යාකරණය කියන්නෙ වෙනත් ව්‍යාකරණයකට. අපට තියෙන්නෙ අපේ නොවන අපේ ම දේ. අප උගන්වන්නෙ අපේ නොවන වියුක්ත ව්‍යාකරණයක්. දරුවන්ට වියුක්ත ව්‍යාකරණයවත් වියුක්ත ගණිතයවත් උගන්වන්න බැහැ. ලංකාවේත් බටහිරත් බොහෝ දෙනකුට වියුක්තය බැහැ. එහෙත් බටහිර උගතුන් පිරිසක් ඉන්නවා වියුක්ත ව හිතන්න පුළුවන්. ලංකාවෙ එහෙ ම නොවෙයි. වියුක්ත ව හිතන්න පුළුවන් උගතුන් නැහැ.

ඩ්‍රීම් ස්ටාර් පරමාධිපත්‍යය සමහරවිට දැනටමත් ඇතැමුන්ගේ වාග්මාලාවට එක් වෙලා ඇති. ඒ සමග පරමාධිපත්‍යයත් බාල්දු වෙලා ඇති. මා කියන්නේ ඩ්‍රීම් ස්ටාර් පරමාධිපත්‍යය බාල්දු කළා කියන එක නො වෙයි. එහෙත් එහෙම වෙන්න පුළුවන්. පරමාධිපත්‍යය කියන්නෙ කෙටි පණිවුඩ (එස් එම් එස්) මගින් එක් අයකුට වයස් භේදයක් නැතිව වාර ගණනක් මුදල් ගෙවා කැමැත්ත පළ කිරීමට ඇති හැකියාවට නො වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තුන්වැනි හා හතරවැනි ව්‍යවස්ථාවල පරමාධිපත්‍යය ගැන  කියැවෙන්නෙ මෙහෙමයි.

"3. ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡුන්ද බලය ද ඇතුළත් වන්නේ ය.
4. ජනතාවගේ පරමාධිපත්‍යය ක‍්‍රියාත්මක වීම ද, භුක්ති විඳීම ද, මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ යඃ-
(අ) ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත‍්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද ක‍්‍රියාත්මක කළ යුත්තේ ය,
(ආ) රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කළ යුත්තේ ය,
(ඇ) නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ම ක‍්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත‍්‍රීවරයන්ගේ වරප‍්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක‍්‍රියාත්මක කළ යුත්තේ ය."

ජනතා පරමාධිපත්‍යයට බොහෝ දේ අඩංගු වෙනවා. එහි ඡන්ද බලය ගැන ද කියැවෙනවා. එහෙත් ඒ ඡන්ද බලය වයස දහඅටට වැඩි අයට තම පරමාධිපත්‍යය විධායකය හා ව්‍යවස්ථාදායකය මගින් ක්‍රියාකරවන පුද්ගලයන් තෝරා ගැනීම හා සම්බන්ධයි. ඒ ඡන්ද බලය කෙටි පණිවුඩ මගින් ඩ්‍රීම් ස්ටාර් තෝරා ගැනීම සම්බන්ධ ව නො වෙයි.

මෙවැනි අවුල්වලින් මිනිසුන්ට ජනතා පරමාධිපත්‍යය ගැන වැරදි හැඟීමක් ඇති වන්න පුළුවන්. කලින් සඳහන් කර ඇති පරිදි බොහෝ දෙනා ඉගෙන ගන්නේ ජනමාධ්‍යයෙන්. නිවේදකයන්ට අද ගුරුවරුන්ට නොතිබූ බලයක් අත් වෙලා තියෙනවා.

ඒත් කාට හරි කියන්න පුළුවන් ඡන්දයෙන් ජාතික සින්දුකාරයන් තෝරනවාට වඩා කෙටි පණිවුඩ මගින් ඩ්‍රීම් ස්ටාර් තෝරන එක වැදගත් කියලා.