Main Logo

Friday 8 March 2019

එස් බීගේ හරක් කතා


එස් බීගේ හරක් කතා



මෙරට සිංහල බෞද්ධ රටක් කියන එක නැති කරන්න මුලින් ම හැදුවෙ සොළීන් වෙන්න පුළුවන්. පොළොන්නරුවෙ ශිව දේවාලය හදල තියෙන්න පන්සල් බිමක කියල මෛත්‍රිපාල සිරිසේන කියන්නෙ කාගෙ හරි යම් පුරාවිද්‍යාත්මක ගවේෂණයක ප්‍රතිඵලයක් පදනම් කර ගෙන වෙන්න ඕන. ඒත් මෛත්‍රිපාල එක්ක දැන් වැඩ කරන ඇතැම් හිටපු ස්වාදීනයන් හා පශ්චාත්නූතනවාදීන් කරන්නේත් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගහන එක. මෛත්‍රිපාල හැම තිස්සෙ ම හරි නැහැ. පෘතුගීසීන් පත්තිනි දේවාල කඩල පල්ලි හදපු බවට සාක්‍ෂි තියෙනවා. ඊට පස්සෙ ලන්දේසින් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කරන්න විවිධ දේ කෙරුවා.  ඉංගිරිසින් තමයි සියල්ලට ම වැඩිය ඒ වැඩේ කෙළෙ. ඔවුන් මත්පැන් පුරුදු කළා. බටහිර ආකල්ප සිරිත් විරිත් අපට දුන්නා. ඒත් ඔය සියල්ල කරළත් සිංහල බෞද්ධ සංස්කෘතිය ශක්තිමත් ව තිබුණා. පාසල් විශ්වවිද්‍යාල ජනමාධ්‍ය ඒ වෙනස් කළා. ජේ ආර් විවෘත ආර්ථිකයක් නමින් විවෘත සංස්කෘතියක් ඇති කළා. එමගින් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දුන්න. රනිල්ගෙ ආණ්ඩුව මේ පහර දීම තවදුරටත් කරගෙන යනවා. එහෙම පහර දෙමින් ඔවුන් අහනව අපි බෞද්ධ නොවෙයි ද කියලත්!




ඒත් ජේ ආර්වත් රනිල්වත් ප්‍රසිද්ධියේ කිව්වෙ/කියන්නෙ නැහැ මස් පිණිස සතුන් ඇති කරන්න, එළදෙනුන් විකුණන්න ඕන කියලා. ඔවුන්ට ඒ ගැන බයක් තිබුණා. ඔවුන් හැදුණෙ වැඩුණෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියක.  ඒත් ඔවුන්ට සිංහල බෞද්ධ ඡන්ද ඕන වුණා. ඔවුන්ට තරමක බයක් තිබුණ සිංහල බෞද්ධ සංස්කෘතියට. එහෙත් එස් බී දිසානායකට එහෙම බයක් නැහැ. ඔහු ද්‍රව්‍යවාදියෙක්. හිටපු මාක්ස්වාදියෙක්. සමහරවිට තවමත් මාක්ස්වාදී අදහස් තියෙන කෙනෙක්. ඡන්දයෙන් නොව ජාතික ලැයිස්තුවෙනුත් මන්ත්‍රී වෙන්න පුළුවන් අයෙක්. විශ්වවිද්‍යාල උපාධිධාරියෙක්, ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්.



අද මෙරට සිංහල බෞද්ධ පිරිමින්ගෙන් කී දෙනකු පන්සිල් රකිනවා ද කියා මා දන්නේ නැහැ. එහෙත් එය විශාල ප්‍රතිශතයක් වෙන්න බැහැ. ඉතා වැඩි දෙනකු මස් මාළු කනවා.අද චිකන් නැත්තන් කන්න බැරි තත්වයක් උදා වෙලා.  මස් කන එක පවක් ද කියල අහන්න එපා. බොහෝ සිංහල බෞද්ධ පිරිමි මත්පැන් බොනවා. ඔවුන් ඒ ගැන ආඩම්බර වෙනවා. මී විත තොල ගෑවා, පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තා වගේ කතා ඇහෙනවා. ඒත් මත්පැන් බොන මිනිස්සුත් ප්‍රසිද්ධියේ කියන්නෙ නැහැ මත්පැන් බොන්න කියා. ඔවුන් සමහරවිට මිතුරන්ට මත්පැන් පොවාවි. එය හොඳයි කියන එක නොවෙයි මා කියන්නෙ. බොහෝ පිරිමින්ට ආත්ම ශක්තියක් නැහැ පෙරැත්ත කරන විට නොබී ඉන්න. ඒකටත් එක්තරා විධියක කොන්දක් තියෙන්න ඕන.  හොරකම් කරන අය ප්‍රසිද්ධියේ කියන්නෙ නැහැ හොරකම් කරන්න කියලා. සමරිසි අය හැරෙන්න කාමයෙහි වරදවා හැසිරෙන අයත් එහෙමයි. සමාජයෙ තාමත් ඇතැම් විට ලජ්ජාවක් බයක් ඉතිරි වෙලා තියෙනවා. පඬියකු කියන්න පුළුවන් ඒ කුහකකම කියා. පඬියන් මත්කුඩු ගහලා. ඒ බටහිර අධ්‍යාපනය නමැති මත්කුඩු. ඒ මත්කුඩු පාවිච්චියෙන් කැඩෙන එක පහසු නැහැ.



අවශ්‍ය නම් ඕනැම කෙනකුට බටහිර දැනුම යොදාගෙන ඕනම දෙයක් යුක්තියුක්ත කරන්න පුළුවන්. සමරිසිත් යුක්ත යුක්ත කරන්න පුළුවන්. මිනීමැරීම් යුක්ති යුක්ත කරන්න පුළුවන්. ස්ත්‍රී දුෂණ යුක්ති යුක්ත කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නෙ මනස මොළයට ඌනනය කරන එක විතරයි. ඒත් මොළය නිසා මනස ඇති වෙනවා කියල කියන්න බැහැ. මොළය කියන ඒ ද්‍රව්‍ය කොටස නැති අයකු ගණිතය පිළිබඳ ප්‍රථම පන්තියේ උපාධියක් ලබා ගෙන තියෙනවා. ඉක්මන් නිගමනවලට එළඹෙන්න එපා. ඒ සිදු වී ඇත්තෙ බටහිර රටක. 



බටහිර සමාජය ද්‍රව්‍යවාදීයි. හැම දෙයක් ම ද්‍රව්‍යයට ඌනනය කරන්න හදනවා. මාක්ස්වාදය කියන්නෙ දෙබිඩ්ඩක්. එක් අතකින් කතෝලික චින්තනය මත පදනම් වෙන ගමන් අනෙක් අතින් ද්‍රව්‍යවාදී වෙනවා. ඊනියා සංස්කෘතික සුපිරිව්‍යුහයක් හා ආර්ථික අධෝව්‍යුහයක් ගැන කතා කරනවා. මාක්ස්වාදය කියන්නෙ පල් හෑල්ලක් පමණයි. මනසින් තොරව ඊනියා යථාර්ථයක් පවතින බව මනසින් තොරව පෙන්වන්න කිසිවකුටවත් බැහැ. ගණිතය කියන්නෙ මනසින් තොරව පවතින දැනුමක් නොවන බවට මා ලිපි කිහිපයක ම කරුණු දක්වල තියෙනවා. මිනිසුන්ගෙන් ස්වායත්ත ව දැනුමක් තියෙනවයි කියල විශ්වවේදයෙන් (cosmology) පෙන්නුම් කරන්න බැහැ. මාත් ඉගෙන ගන්න ගිය විශ්වවේදයත් මිනිසුන්ගෙ නිර්මාණයක්.



එස් බී දිසානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ ශිෂ්‍ය නායකයෙක්. එකල ඔහු ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ දේශපාලනය අනුගමනය කෙළෙ. පසු කාලෙක ඔහු මාර්ග ආයතනෙ වැඩ කළා. මාර්ග ආයතනය ගොඩ්ෆ්‍රි ගුණතිලකගෙ නායකත්වයෙන් සිංහල බෞද්ධ මාර්ගය වසා දැමීමට කටයුතු කළා. එස් බී ඊයේ කියා තිබුණා පොල් වගාව බේරාගන්න වඳුරන් රිලවුන් මරන්න. මස් පිණිස හරක් විකුණන්න. එළදෙනුන් විකුණන්න කියා. ඔහුට මුදල් වෙනුවෙන් පළමුවැනි සික්ඛා පදය කඩන්න කියා ප්‍රසිද්ධියෙ කියන්න පුළුවන්. ඔහු හිතනවා ඇති ඔහු නිර්භීත ව අදහස් ප්‍රකාශ කරන අයකු කියා. ඔහු පෙන්නුම් කරන්නෙ නිර්භීතකමක් නොව ද්‍රව්‍යවාදයට තියෙන ගැතිකම. ක්‍රිස්තියානි මුස්ලිම් සංස්කෘතිවලින් ඔහු ලබා ඇති ආභාසය.



අද මොන තරම් හොරකම් ද කෙරෙන්නෙ. මහා බැංකුවත් කඩපු එකේ තවත් මොන කතා ද? ඒත් කඩපු කවුරුවත් කියන්නෙ නැහැ බැංකු කඩව් කියලා. අද රටේ ගණිකා මඩම් තියෙනවා. හන්දියක් හන්දියක් ගානෙ කාමර කුලියට දෙනවා. බොරු නොකියන අය ඉන්නෙ පාර්ලිමේන්තුවෙ පමණක් ය කියන එක බොරුවක් ද? එවැනි  ප්‍රශ්නවලට  ද්විකෝටිකයෙන් පිළිතුරු දෙන්න බැහැ. පාර්ලිමේන්තුවෙ ඉන්න බොහෝ දෙනකුට මා කියන දේ තේරෙන්නෙ නැහැ. කතානායකට කොහොමටත් තේරෙන්නෙ නැහැ. පඬියන්ටත් තේරෙන්නෙ නැහැ. ඔවුන් ඉන්නෙ බටහිර ක්‍රිස්තියානි ද්විකෝටික රේඛීය චින්තනයෙ.



මත්පැන්වලින් රජය බදු ලබා ගන්නවා. ඒ නැතිව රජය පවත්වගෙන යන්නෙ කොහොමද කියල අහන්න පුළුවන්. ඒ අය දන්නෙ නැත්තෙ ඒ ප්‍රශ්නෙ අහන්නෙ ක්‍රිස්තියානි පසුබිමක කියන එක. ඔය සියල්ලට ම  වඩා පඬියකු අහන්න පුළුවන් දෙමළ ත්‍රස්තවාදීන් මරපු එක හරි නම් හරක් මරණ එක වැරුද්දක් ද කියලා. තවත් අය අහන්න පුළුවන් ඒ කාලෙ භාරතයෙ නගර සෝභිනියන් හිටියෙ නැද්ද කියලා. නරක ද කාමර කුලියට දෙන අයගෙනුත් බද්දක් අය කරන එක.



රාජ්‍යය ආරක්‍ෂා කිරීම එකක් රාජ්‍යයට මුදල් ලබා ගැනීම තවත් එකක්. බුදු හාමුදුරුවන් කොහේවත් දේශනා කරල නැහැ හමුදා විසුරුවා හරින්න කියල. එහෙත් අධාර්මික වෙළෙඳාම් ගැන නම් දේශනා කරල තියෙනවා. මේ රටේ වෙළෙඳාම් කරන්නෙ බදු අය කරන්නෙ සිංහල බෞද්ධ ක්‍රමයකට නො වෙයි. මල නොතලා රොන් ගන්න එක බෞද්ධ ක්‍රමයක් ම නූනත් මංගලට මල තලන්නෙ නැතිව බැහැ. මේ රට සිංහල බෞද්ධ රටක් වන්නේ සංකේතාත්මක ව පමණයි. මෙහි වැඩිය ඉන්න අටපිරිකර බෞද්ධයන්.



බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය අප වට කරගෙන ඉන්න විට සිංහල බෞද්ධ සංස්කෘතියක් සිංහල බෞද්ධ රටක් ගැන කතා කිරීම  විහිළුවක් කියල කාට හරි කියන්න පුළුවන්. පාසල්වල විශ්වවිද්‍යාලවල හා ජනමාධ්‍යයෙහි බටහිර දැනුම නමැති මත්කුඩු බෙදා දෙන හැටියට පාණදුරේ කෙසෙල්වත්තේ අහුවෙන මත්කුඩු මොනවද කියල හිතෙනවා. මා කෙසෙල්වත්තේ ශ්‍රී ජින ධර්මදාන පාසලේ ගුරු නිවාසෙ බාල වියේ ඉඳලා තියෙනවා. මගේ මතකයේ මුල් ම සිද්ධිය ඒ පාසල සමග සම්බන්ධයි. ඒ කාලෙ පාණදුරේ කෙසෙල්වත්ත අද වගේ ප්‍රසිද්ධ නැහැ. අද හැම දෙනා ම මෙන් බටහිර දැනුම නමැති මත්කුඩුවලට පුරුදු වෙලා.  



මිනිසුන් නොබලන නිසා රාත්‍රි අටෙන් සවස හයට තල්ලු කර දැමූ කුසුමාසන දේවි නාට්‍යය අවසන් වීමට ළඟයි. ඒ නාට්‍යයෙ සේනාධිපති සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කර ගන්නත් පරංගිගෙන් එය බේරා ගන්නත් උත්සාහ කරනවා. ඒත් විමලධර්මසූරිය රජුගෙන් පස්සෙ අපට සිංහල බෞද්ධ රාජ්‍යය ශක්තිමත් ව පවත්වගෙන යන්න පුළුවන් නායකයකු හිටියෙ නැහැ. හත්වැනි පරාක්‍රමබාහු හෙවත් කවුද කියල තිබුණ විධියට විකුණුම්බාහු හෙවත් පරංගිබාහු සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන උනන්දුවකුත් නැහැ තේරෙන්නෙත් නැහැ. කුසුුමාසනදේවි නාට්‍යය අවසන් වෙනව වගේ සිංහල බෞද්ධ සංස්කෘතියත් අවසන් වේවි ද?  එස් බී දිසානායක විකුණලවත් සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගන්න පුළුවන් වේවි ද? එස් බී නම් කියන්නෙ හරක් මස්කඩයට විකුණන්න කියලා.  එළදෙනුන් ද විකුණන්න කියලා. සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් යමක් කිරීමට හැකි රාජ්‍ය නායකයකු අපට අවශ්‍යයි. මෛත්‍රිපාල හා මහින්ද එකතු කරන්න එස් බී ඉමහත් වෑයමක් ගත්තා. ඒ ගැන අප ඔහුට කෘතඥ වෙනවා. එහෙත් ඒ නිසා ඔහු කරන කියන හැම දෙයක් ම ගණන් නොගෙන ඉන්න බැහැ.